UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
 

 

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ස්ස
තිණිමානි භික්ඛවේ පුඤ්ඤ කිරිය වත්‍ථුං
කතමානි කිං දානමයං පුඤ්ඤ කිරිය වත්‍ථු
සීලමයං පූඤ්ඤකිරිය වත්‍ථු
භාවනාමයං පුඤ්ඤකිරිය වත්‍ථුති

පින්වත්නි,

ශාන්තිනායක ලොවුතුරා බුදුපියාණන් වහන්සේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් දේශනා කරනව. මහණෙනි! මේ ලෝකයේ පුණ්‍ය ක්‍රියාවස්තු තුනක් තියෙනවා. දානමය පුණ්‍ය ක්‍රියා, සීලමය පුණ්‍ය ක්‍රියා, භාවනාමය පුණ්‍ය ක්‍රියා එම තුනයි.

පුණ්‍ය ක්‍රියා යනුවෙන් හැඳින්වෙන්නේ පිරිසුදු බවයි. ලෝභ, ද්වේශ, මෝහ, අකුසල මූලයන්ගෙන් වෙන්ව පිරිසුදු චේතනාවෙන් කරන ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවයි. මා පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන්නේ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවයි.

දානය යනු දීමයි. නැතොත් අතහැරීමයි. යමක් තමන් දුන්නේනම් ඒ ගැන තමන් තුළ ආශාවක් නැහැ. එසේනම් දානය යනු තම ආශාව, තණ්හාව, ලෝභය දුරුකර ගැනීමේ මාර්ගයයි. මෙම කෙලෙස් දුරුකරගත් අයට සීලයෙහි පිහිටීම පහසුයි. සීලයෙන් ඔපවත් වූ අයට භාවනාව පහසුයි. එසේනම් සිල්වත් වීමටත්, භාවනාවෙහි පිහිටීමටත් දානය මුල් වෙනවා.

ආමිස දානය, ධර්මදාන, අභයදාන, වශයෙන් දානය තෙවදෑරුම් වෙනව. සාංඝික දාන, සලාක දාන, මියගිය අයට පින් පැමිණීම් වශයෙන් භික්ෂූන්වහන්සේට දාන පිළිගන්වනව. එය පූජා බුද්ධියෙන් දෙන දාන වෙනව. අසරණයින්ට අනුකම්පාවෙන් දෙන දානය අනුකම්පා බුද්ධියෙන් දෙන දාන වෙනව. මේ ලෝකයේ අසරණයින් අනන්ත ඉන්නව. ඉන්න හිටින්න ගෙයක් දොරක් නැහැ. ආහාර වේලක් සොයාගන්න නැහැ. දරුවන්ට අධ්‍යාපනය දෙන්න වත්කමක් නැහැ. ඒ අයට ආහාර පාන ඇඳුම් පැළඳුම් ටිකක් දෙනවනම් නිවසක් හදල දෙනවනම් එය අනුකම්පා බුද්ධියෙන් දෙන දානයක්. බෝසත් චරිතය තුළ බලද්දී උන්වහන්සේට දානදීමට පූජ්‍යපක්ෂයට ලැබුනේ නැහැ. උන්වහන්සේ දන් දුන්නේ අසරණ අයට. රජ, සිටු තනතුරු ලබා ඒවා අත්හැර දුගී, මගී, යාචක ආදීන්ට එම සියලු ධනය දන් දී වනගත වූයේ අනුකම්පා බුද්ධියෙන්.

පස්පවින් වැළකී සිටීම ද දානයකි

කිසිවෙක් පරපන නොනසන්නේ නම් එම සතුන් මරණ බිය නැතිව නිදහසේ ජීවත්වනව. සතුන් නොමරනවනම් එය එම සතුන්ට අභයදානය දීමේ පින්කමක්. වෛද්‍ය වෘත්තියේ යෙදී සිටින වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලය තම රැකියාව කරන්නේ වැටුපකටය. තමන් වැටුපට සීමානොවී කරුණා මෛත්‍රීයෙන් රෝගීන් සුවපත් කරන්නේනම් එයද අභයදානයක්. රෝගියාගේ ජීවිතය බේරාගැනීමේ එකම පරමාර්ථය ඇතිව යහපත් චේතනාවෙන් තම රැකියාව කරන්නේ නම් ඔහුට හෝ ඇයට මෙලොව ජීවිතය යහපත් වන අතර පරලොව ජීවිතය ද සුගතිගාමි වෙනව. අන්සතු දෙය පැහැර නොගන්නේනම් එයත් දානමය පුණ්‍ය කර්මයක්. ගෙවල් බිඳ වස්තුව කොල්ලකෑම් ආදිය අහන්න ලැබෙනව. මෙවැනි ක්‍රියා නොවේනම් තරුණියන් බිය නැතිව තනියම මහමග ගමන් කරනව. වස්තු හිමියෝ තම වස්තුව පරිහරණය කරමින් බිය සැක නැතිව ජීවත්වනව. තමන්ගේ වස්තුව නිදහසේ භුක්ති විඳීමට අවස්ථාව ලබාදීමත් දානයක්. අකටයුතුකාමය තුළින් අනන්ත පවුල් විනාශ වෙනව. අඹුසැමියෝ වෙන්වනව. දරුවො අනාථ වෙනවා. අකටයුතු කාමයෙන් වෙන්වනවානම් බිරිය, සැමියා දරුවො සැනසීමේ සතුටින් ජීවත්වෙනවා. අන්අයට සැනසීම සතුට ලබාදීමත් දානයක්. බොරුව තුළින් මුළු ලොවම මොහොතින් විනාශ කරන්න පුළුවන්.

එකිනෙකා අඬදබර කරවන පවුල් විනාශ කරන බොරුවෙන් වළකිනවනම් කොතරම් පින්කමක්ද? සුරාව ජීවිත විනාශ කරන හලාහලයක්. සුරාව නිසා තම පවුල් පමණක් නොවෙයි රටම විනාශ වෙනව. බිරිය, දරුවන් ජීවිතය පුරා කඳුළින් ජීවත් වෙනව. සුරාමතින් ගෙදර එන සැමියා දකින බිරිය, තම පියා දකින දරුවන් බියෙන් තැතිගන්නව. සුරාවෙන් වෙන් වෙතොත් මේ අයට කොතරම් සැනසීමක්ද? සතුට සැනසීම ලබාදීම කොතරම් පින්කමක් ද?

සියලු දාන අතුරින් උතුම්ම දානය ධර්ම දානයයි. ධර්ම දේශනා කිරීම, නොමග ගිය අය ධර්ම මාර්ගයට ගැනීම, ධර්ම සාකච්ඡා කිරීම, දහම් පොත් ලියා පූජා කිරීම, ධර්ම දානයයි. ‘සබ්බ දානං ධම්ම දානං ජිනාති’ සියලු දාන අභිභවා ධර්ම දානය පෙරමුණ ගන්නව. ශාන්තිනායකයාණන් වහන්සේ ධර්ම දානයේ අගය මෙලෙස පැහැදිලි කරනව.

අන්න දෝ බල දෝ හෝති - වත්ථ දෝ හෝති වණ්ණ දෝ
යාන දෝ සුඛ දෝ හෝති - දීපදෝ හෝති ඛක්ඛු දෝ
සොච සබ්බ දෙදෝ හෝති - යෝ ද දාති උපස්සයං
අමතං දදෝච සෝහෝති - යෝ ධම්ම මනුසාසති
අන්නදෝ බල දෝ හෝති

ආහාර දීමෙන් බලය ලැබෙනව. බුදු පාමොක් මහසගනට දාන පිළිගැන්වීම බෞද්ධයා නිතර සිදුකරන පුණ්‍ය කර්මයක්. දුගී මගී යාචකයින්ට ආහාර වේලක් දීමත් ඒවාගේ පුණ්‍ය කටයුත්තක්. ආහාරයට පලතුරු ගෙඩියක් සොයාගන්න නැති අසරණ කුරුල්ලන් අපේ ගෙවල් අසල අනන්ත සිටිනව. ඔවුන්ට ආහාර ටිකක් වතුර භාජනයක් තියනවනම් කෙතරම් පිනක් ද? බුදුපියාණන් වහන්සේ දාන ආනිශංස මෙසේ දේශනා කරනවා.

කෙනෙකුගේ සහායක් නැතිව තමන් තනිවම දානය දෙනවනම් ඒ අය උපඋපන් ආත්මයේ ධනවත්ව උපදිනව.

එහෙත් පිරිස් බලයක් නැහැ. යමෙක් පිරිසත් සමග එක්ව එහි තමන් ප්‍රමුඛත්වය ගෙන තමන් කිසිම මුදලක් වැය නොකර අනෙක් අයගෙන් වැය කරනවා.

දානය දෙනවනම් ඔහු උපන් උපන් ආත්මයේ පිරිස් බලයෙන් පරිපූර්ණවෙනවා. එහෙත් ඔහුට ධන බලය නැහැ. දුගී දුප්පත්ව උපදින්නෙ කෙනෙක් පිරිසක් සමග එක්ව තමන් ද ධනය වැයකර සියලු දෙනා සමග දානය දෙන්නේනම් ඔහුට උපන් උපන් ආත්මයේ පිරිස් බලයත් ලැබෙනවා. ධන බලයත් ලැබෙනවා.

වත්තදෝ හෝති වණ්ණදෝ

අනෙක් කරුණනම් වස්ත්‍ර දීමෙන් වර්ණ සම්පත්තිය ලැබෙනව. භික්ෂුන් වහන්සේ වෙනුවෙන් සිවුරු පිරිකර පූජා කිරීමෙන් උපන් උපන් ආත්මයේ පි‍්‍රයමනාප රූමත්, වර්ණවත් සිරුරක් ලැබෙනව. දුගී දුප්පත් අයට ඇඳුම් දීමෙනුත් එම කුසලය ලැබෙනව.

යානදෝ සුඛදෝ හෝති

අනෙක් කරුණ වාහනයක් දීමෙන් සැප ලැබෙනව. ගමන් අපහසු භික්ෂූන් වහන්සේට වාහන පහසුකම් සලසා දෙනවානම් සසරපුරා අනන්ත සැප පහසුකම් ලැබෙනව. භික්ෂූන් වහන්සේට පාවහන් පූජාකළත් මෙම පූජාවට සමානයි. බස් රථයක යනවිට රෝගි කෙනෙකුට හෝ මහලු කෙනෙකුට තම ආසනය දෙන්නේනම් එයත් මේ සමාන කුසලයක්. බස් රථවල පූජ්‍ය පක්ෂයට වෙනම අසුනක්වෙන්කර තියෙනවා. භික්ෂූන් වහන්සේ නමක් වාහනයට නගිනවිට සමහර අය එම ආසනයේ නිදි. සමහර කාන්තාවෝ නැගිටින්නෙ නැහැ. මුහුණට මුහුණ බල බල ඉන්නව. අර ස්වාමින් වහන්සේට සමහරවිට වෙන අයෙක් ආසනයක් දෙනව. පූජ්‍ය පක්ෂයට වෙන්කර ඇති අසුන බලෙන් පැහැර ගැනීමක් නොවේද? ස්වාමීන් වහන්සේට එම අසුන පවරතොත් ස්වාමීන් වහන්සේ එම අයට සිතින් හෝ සෙත් පතනව. නැතොත් වචනයෙන්ම සුවපත් වේවා කියනව. දානමය පිනක් කරගැනීමට තිබියදී එතැන කරගන්නේ පවක්.

දීපදෝ හෝතිචක්ඛුදෝ

පහන් පූජාවෙන් උපන් උපන් ආත්මයේ ප්‍රසන්න නෙත් ලැබෙනව. ඇස්රෝග හැදෙන්නෙ නැහැ. හොඳ ඇස් පෙනීම ඇතිවෙනව. බෞද්ධයො විදුලි බුබුළු මගින් චෛත්‍යය ආලෝක කරනව. ලේක්හවුස් ආයතනය පොසොන් පොහොයට මිහින්තලය විදුලි බුබුළුවලින් ආලෝක කරනව. එය ඉතාම ප්‍රසන්න සිතින් කරන්නෙ. එම අයටත් මෙම කුසලය ලැබෙනව. ගුරුවරියෙක් සිසුදරු දැරියන්ට ගුරු මුෂ්ටිය නැතිව නිසි අධ්‍යාපනය දෙනවානම් එය එම දරුවාගේ ජීවිතයටම ආලෝකය දීමක් වැටුපට සීමානොවී එම දරුවා රටට හිත ඇති යහපත් දරුවකු කරන්න. අවවාද අනුශාසනාදී නිසි අධ්‍යාපනය ලබා දෙනවානම් පහන් පින්කමේ ආනිශංස එම අයටත් ලැබෙනව. කරුණාවෙන් ශිල්ප කියාදෙන කරුණා දෙනෙතින් බලන එම ගුරුවරයාට උපන් උපන් ආත්මයේ කරුණාවෙන්ම අන් අය දෙස බලන පියකරු නෙත් ලැබෙනව.

සෝච සබ්බ දෙදෝ හෝති
යෝ දදාති උපස්සයං

යමෙක් භික්ෂූන් වහන්සේට ආවාසයක් කරවා දෙන්නේ නම් මේ සියලු සම්පත් ඔහුට ලැබෙනව. වාසස්ථානයක් නැති ගෙයක් හදාගන්න බැරි දුප්පත් කෙනෙකුට ගෙයක් හදල දෙනවනම් ඒ අයටත් මේ සියලු සම්පත් ලැබෙනව.

අමතං දදෝ ච සෝ හෝති
යෝ ධම්ම මනුස්සාසති

ධර්මානු ශාසනා කරන්නේ නම් සුමගට යාම කියා දෙන්නේනම් ඒ අයට අමෘතය ලැබෙනව. නිවන් මග හෙලිවෙනවා. ‘බුදුසරණ’ පුවත්පත ලංකාවේ පමණක් නොව විදේශ රටවල අයගේද අඳුරු නෙත් පහදනවා. සත්ක්‍රියාවක් ලෙස කරන ‘ බුදුසරණ’ කාර්ය මණ්ඩලයටද මෙම කුසලය ලැබෙනව.

ඔබ සැමට තෙරුවන් සරණයි!

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]