UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමි සමාජයක පහන් ටැඹ රන්මුතුගල විහාරය

අරඹා කෙටි කලක් තුළ කැපී පෙනෙන දියුණුවක් ලබා ඇති, කඩවත, කිරිල්ලවල,රම්මුතුගල මහා විහාරයේ ‘ආදි කර්තෘ දිනය ‘ නිමිත්තෙන්, සමාජ සත්කාර ඇතුළු පින්කම් රැසක්, සැප්තැම්බර 2 - 5 දිනවල “ විමල බැති හරසර” උළෙල යටතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත

රන්මුතුගල පෙදෙසේ පාළු කනත්තක තිබුණු පුංචි ගෙදරක, මෙයට අවුරුදු 28 කට පෙර පුංචි ආරාමයක් ඇරඹුණා. වෙන පන්සල්වල වගේ නො වෙයි, මෙතන මුලින් ම පටන් ගත්තේ පිළිසරණක් නැති අසරණ ළමයින්ට සෙවණ දෙන ළමා නිවාසයක්,

වටපිටාවේ තරුණ පිරිස ඇතුළු ප්‍රජාව ගේ උදවු ඇතිව, මේ ස්ථානය ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගත්තා. විහාරස්ථානයකට අවශ්‍ය සම්බුදු මැදුර, බෝධිය, චෛත්‍යය, සංඝාවාස ආදියෙන් එය සම්පූර්ණ වෙන්න පටන් ගත්තා. එයට අමතරව , පිරිවෙනක්, දහම් පාසලක්, ළමා සෙවණක්, රැකියා පුහුණු පාසලක්, ප්‍රාථමික විදුහලක්, පුස්තකාලයක් ආදි වශයෙන්, මෙලොව පරලොව යහපතට මුල් වන අංශවලින් මේ ආයතනය පිරී යන්න පටන් ගත්තා.

මහර , ගම්පහ, කැලණිය ආසන ඇතුළු අවට ප්‍රදේශයේ නොයෙක් වෙහෙර විහාර, ඓතිහාසික සිද්ධස්ථාන එමටයි. ඒවායින් කෙරෙන වැදගත් සේවාවට දෙවැනි නොවන පුළුල් සේවාවක් දැන් මේ විහාර ස්ථානයෙන් ප්‍රදේශයට සිදුවෙනවා. දිනපතා සහ පෝය දවස්වලට මේ ස්ථානය සැදැහැවතුන් ගෙන් පිරී යනවා. වැදගත් පොහෝ දිනවලට මාර්ගයේ ගමන් බිමන් හැසිරවීමට පොලීසියට පවා මැදිහත් වෙන්න සිද්ද වෙනවා.

මෙය මෙතරම් කෙටි කාලයක් තුළ මෙතරම් ජනතාවකට සේවාව සලසන, ජනපි‍්‍රය ආයතනයක් වූයේ කෙසේ දැයි සිතා බැලීම, බෞද්ධ පැවිදි ගිහි අප කාගේත් යහපතට හේතු වෙතැයි අප සිතෙනවා. මේ ආයතනයේ මෙවැනි වර්ධනයක් සහ සංවර්ධනයක් ඇති වූයේ, සම්බුදු මඟ දැඩි ව අනුගමනය කිරිම නිසා බව ඉඳුරාම කිව යුතුයි. ‘සම්බුදු මග ‘ යනු නිවන් මඟ හැර අන් කුමක්ද? මේ ආයතනයේ ඉටු කරනු ලබන සියලු කටයුතු ප්‍රමුඛ ලෙස නිවන ම මුල් කොට, පාරමිතා මාර්ගය ඔස්සේම ක්‍රියාත්මක වීම මේ දියුණුවට ප්‍රධාන හේතුව යැයි අපට සිතෙනවා.

මෙතන දේවාල නැහැ. මෙහි ඇත්තේ බුදුන්, දහම්, සඟුන් යන තුනුරුවන පමණිය. දේව පූජා, සෙත්කවි, වස්කවි, ආදි කිසිවක් නැහැ.මෙහි ඇත්තේ බුද්ධ පූජා, අටවිසි බුද්ධ පූජා, බෝධි පූජා, සීල සමාදානය, භාවනාව ආදි චිරාගත ව සම්භාවිත බුදුනු වත් පිළිවෙත් පමණයි. ඉදිරි සඟ පරපුර නිර්මාණයට සහ සංවර්ධනයට දායක වීමත් ගිහි දායක පරපුර නිවන් මඟට යොමු කිරීමත් ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ මඟ පෙන්වීම ලබා දීමත් මෙහි සියලු ව්‍යාපෘතිවලට මුල් වෙනවා.

මේ සියලු කටයුතු බෞද්ධ ජීවන මාර්ගය වන දස පාරමිතා මුල් කර ගෙන සිදු වීම විශේෂයි. වෙනත් කිසි තැනක දක්නට නො ලැබෙන ‘පාරමිතා සජ්ක්‍ධායනය ‘ මෙහි හඳුන්වා දී ඇති නවාංගයක් !

වයස අවුරුදු විසි අටක් වුවත්, දැන් මේ විහාරස්ථානයේ කටයුතු සියල්ල, මේ ආයතනයෙන් බිහි වූ පැවිදි ගිහි අය විසින් ම මෙහෙයවිය හැකි තැනට පත් ව තිබීම විශේෂ කරුණක්! උදාහරණ වශයෙන් පිරිවෙනේ සහ දහම් පාසලේ ඇදුරු මඬුල්ලට මෙහි ම උගත් හිමිවරුන් පත්වෙමින් සිටිනවා. පොහෝ දා වැඩ සටහන් සහ දිනපතා පැවැත්වෙන ආගමික කටයුතු සියල්ල මෙහි උගත් හිමිවරුන් අතින් කෙරෙනවා. “ නෙළුම් වැස්ස” ප්‍රාථමික විදුහලේ නව විදුහල්පතිනිය මෙහි දහම් පාසලේ ආදි ශිෂ්‍යාවක්. විමලවංශ ළමා සංවර්ධන ආයතනයේ වත්මන් පාලක මහතා මුලින් ඒ ආයතනයේම සෙවණ ලැබූ දරුවෙක් ! ආයතනයේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් රැසක්, කලින් එවැනි මග පෙන්වීම් ලත් අය ලෙස හඳුන්වා දෙන්න පුළුවන්. එසේ ම එවැනි අය බොහෝ දෙනෙක් දිවයිනේ විශ්ව විද්‍යාල ඇතුළු වැදගත් ආයතනවල උසස් වගකීම් හොබවනවා.

මාසික වැටුප් ලබන හතලිහක පමණ සේවක මණ්ඩලයක් සිටීම මේ ආයතනයේ සුවිශේෂ ලක්ෂණයක්. මේ ආයතනයේ සම්මාදම් නැහැ. වෙන්දේසි නැහැ. මුදල් රැස් කරන පින්කම් නැහැ. අය කිරීම් යටතේ ලබා දෙන සේවා නැහැ. භික්ෂු අයතනය, ළමා නිවාසය ආදියේ පිරිස් දෛනිකව යැපෙන්නේ ස්වේච්ඡා ආධාර මඟින්. යෝජිත හැම දේකට ම දායකයන් කැමැත්තෙන් අධාර දෙනවා.

‘දහම අනුව කටයුතු කරන්නා දහම විසින් රැකෙයි ‘ රම්මුතුගල විහාරය එයට උදාහරණ සපයනවා! මේ අසිරිය මෙහි ආදි කර්තෘ සීලගම විමල නායක හිමිපාණන් ගේ අගනා පිළිවෙත්වල ප්‍රතිඵලයක්. අප මෙහි ‘විමල බැති හරසර’ පවත්වන්නේ ඒ පිළිවෙත්වලට හරසර දක්වන්න!

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]