UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුරාණ භාරතයේ පුදබිම්

ප්‍රථම විහාරය අසෝක රජතුමා විසින් කරවන ලද බවත්, ඒ මත ඊට පසු මෙහි විහාරය සාදන ලද බවත් පුරාවිද්‍යාත්මක කැණීම් අනුව හෙළිවී ඇත. චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියෝ ක්‍රි.ව. 409 දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ දුටු බව සඳහන් කරති. එසේ වුවද මහාබෝධි යන නාමය භාවිතා කර නැත

ඇසළමස පුරපසළොස්වක දා සිද්ධාර්ථ කුමාරයා සියලු රජ සැප හැරදා කපිල වස්තුපුරයේ මාලිගයෙන් නික්ම යෑම මහාභිනිෂ්ක්‍රමණය ලෙසින් බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන්වේ. ඒ වන විට සිදුහත් කුමාරයාගේ වයස අවුරුදු 29 කි. ගිහිගෙය හැර යන අවස්ථාවේදී රජමාලිගයෙන් පිටවීමට පෙර එදින උපන් සිය පුත්‍රරත්නය වූ රාහුල කුමාරයා යසෝධරා දේවියගේ තුරුලේ සිටි අන්දම දුටු සිදුහත් කුමරු කන්ථක අශ්වයා සමග පැමිණි ඡන්න අමාත්‍යවරයා සමග ඒ මහා ගමන පිටත් වූයේය. අනෝමා නදිය තරණය කළ ආකාරය සඳහන් කරන අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමිපාණන් වහන්සේ මෙසේ සඳහන් කරති.

අසුපිටින් නොබැසම නදියෙන් එගොඩට ගියහ. එහි සුදු වැලි තලායෙහිදි අසුපිටින් බිමට බැස්සාහ. ඉක්බිති ටික වේලාවක් වැල්ලෙහි හිඳ ගමන් වෙහෙස නිවාගෙන මුහුණ අත්පා සෝදා ගත්හ. එයට පසුව දකුණතින් කඩුවද වමතින් කෙස්වැටියද ගෙන එය සිඳ අහසට දැමූහ. එය එයින් නොපෙනී ගියේය. බෝසතාණන් වහන්සේ තමන්ගේම වස්ත්‍ර තවුසෙකුගේ නියායෙන් හැඳ පෙරවරු අතීත බුදුවරුන් සිහිකොට දොහොත් මුදුන් තබා වැඳ ආජීවාෂ්ටමක ශීලය සමාදන්වැ ගත්හ. මෙසේ තවුස් පැවිද්දෙන් පැවිදි වූහ. ඉක්බිති තමන් හැඳ පැළඳ තුබුණු සැට්ට හා ආභරණ ඡන්නයාට පැවරූහ .”

සිද්ධාර්ථ ගෞතම චරිතය - පි.40

එතැන් සිට සැතපුම් 400 පමණ දුර ගෙවා සිදුහත් තවුසා පැමිණියේ දාර්ශනිකයින් හා චින්තකයින් සිටි ප්‍රදේශයක් වූ එවක ඉතා ප්‍රකට වූ (රාජගෘහ) රාජ්ගිර් පුරයටය. එහි ආලාරකාම තාපසයාගේ ආරාමයෙහි කලක් වාසය කළේය. ඉන්පසු උද්ධකාරාමගේ ආරාමයෙහිද භාවනාව තමන් විසින්ම පුරුදු කළේය. මේ කිසිවකින් සතුටට පත්නොවූ සිදුහත් තවුසා එතැන් සිට සැතපුම් හතළිහක් පමණ දුර වූ මහාවනයක පිහිටි උරුවෙල් දනව්ව බලා පිටත් වූයේය. පරිබ්‍රාජිකයින් පස් දෙනෙකුද රාජ ගෘහයේදී මේ ගමනට සිදුහත් තවුසාට එක් වූහ. වසර හයක් තිස්සේ සිදුහත් තවුසා එම පස්වග පරිබ්‍රාජිකයින් සමග පිළිවෙත් පිරුවේය. අවසානයේදී තනිවම දුෂ්කරක්‍රියා කිරීමට පටන් ගත්තේය. කයට අධික සැපදීමෙන් හෝ කයට අධික දුක්දීමෙන් විමුක්ති මාර්ගයට පිවිසීමට නොහැකි බව අවබෝධ කරගත් සිදුහත් තවුසා දුෂ්කර ක්‍රියාව හැර ගයාව පෙදෙසට යෑමට පිටත් වූයේය. ඒවන විට පස්වග තවුසෝ සිදුහත් තවුසා හැර ගොස් සිටියහ. සේනානි ගමෙහි නුග රුකක් යට භාවනානුයෝගීව සිටි සිදුහත් තවුසා දුටු සුජාතාදේවිය තමන් ගෙනා කිරිපිඬු පූජා කළාය. (මේ අවස්ථාව අමරාවතී පුදබිමෙහි (ආන්ධ්‍රා ප්‍රදේශය) අල්පෝන්නත මුර්ති ඵලකයක නිරූපණය කර ඇත)

නේරංජනා නදිය (මෙකල නිරන්ජන් නදිය ) තරණය කළ සිදුහත් බෝසතාණෝ එහි සිට කි.මීටර් 10 පමණ දුරින් පිහිටි මෙකල බිහාර් දේශයට අයත් ගයා ප්‍රදේශයට ගියහ.

“බෝසතාණන් වහන්සේ දහවල් සමවත් සමවදිමින් කල් යවා එදා සවස්හි සල්වනයේ නික්ම බෝරුක දිශාවට යන මාර්ගයට බැස ගමන් ගත්සේක. ඉදිරි මගින් එන ස්වස්තික (සොත්ථිය) නම් බමුණෙක් උන්වහන්සේගේ ආකාරය දැක තමාගෙන එන කුසතණවලින් අටමිටක් පුදා ගියේය. බෝසතාණන් වහන්සේද එය පිළිගෙන බෝරුක වෙත එළඹි සේක. එළඹ එහි දකුණු දිග් භාගයෙහි වැඩ සිටි සේක. එකෙනෙහි එපෙදෙස නෙළුම් පතක දියබිඳු මෙන් කම්පිත වු සේ පෙනිණ. එවිට මේ ප්‍රදේශය මගේ ගුණය උසුලනු නොහැකි යැයි සිතා පශ්චිම දිසා භාගයට වැඩි සේක. හෙද කම්පිත වූ සේ පෙනිණ. උතුරු දෙසටද වැඩි සේක. එද කම්පිත වූ සේ පෙනිණ. ඉක්බිති නැගෙනහිර දෙසට වැඩිසේක් එහි පර්යංකයක් පමණ තැන නිශ්චල යැයි දැක මේ මගේ කෙළෙස් නසන තැන යැයි සනිටුහන්කොට එහි තණ අට මිට සලා මේ ශරීරයේ සම් , මස්, ලේ, ඇට, නහර වියැළී සුණුවිසුණු වන කල්හිද පුරුෂ උත්සාහයෙන් පුරුෂ වීර්යයෙන් පුරුෂ පරාක්‍රමයෙන් ලැබිය යුතු වූ සම්බෝධිය ලැබ මිස මා උත්සාහය අත්නොහරිමි’යි චතුරංග වීර්යය ඉටා බෝ කඳට පිටදී පෙරදිග බලා වජ්‍රාසනයෙහි වැඩහුන් සේක.

සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නා හිමිපාණන් වහන්සේ 1986 - පි.62 -63 )

දස බිම්බරක් මාර සේනාව පරාජය කරමින් සම්‍යක් සම්බෝධියට පත් වූ ගෞතම බුදුරජාණන් වහන්සේට සෙවන දුන් ඒ විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ පිහිටියේ අද බුද්ධගයාව නමින් ප්‍රකට වූ මෙම පින්බිමෙහිය. සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් මුලුල්ලේම පෙරුම් පිරූ මේ මහා ශාන්ති නායකයාණෝ බුද්ධත්වයට පත්වූ ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටියේ මෙකල බිහාර් ප්‍ර‍්‍රාන්තයේ බුද්ධගයා ප්‍රදේශයේ ය. එදා ගයාව නමින් ප්‍රකට වූ ප්‍රදේශය සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වු නිසා බුද්ධගයාව නමින් ලොව ප්‍රකට වුයේය.

බුද්ධත්ව ජයන්තියට වසර 2600 සපිරෙන්නේ ලබන වසරේදීය. බොහෝ පුදබිම්වල නාමයන් සුළු වශයෙන් හෝ වෙනසකට පත්වී මෙකල භාවිතා වේ. එහෙත් එදා ගයාව සිදුහත් තවුසා බුද්ධත්වයට පත්වූ පසුව “ බුද්ධගයාව “ නමින් අදත් ඒ නාමයෙන්ම හැදින්වේ.

බුද්ධගයාව බෞද්ධ සැදැහැවතුන්ට ඉතා ශ්‍රේෂ්ඨතම පුදබිමක් පමණක් නොව පුරා විද්‍යාඥයින්ට සහ ඉතිහාසඥයින්ට සාමාන්‍ය සංචාරකයින්ට ද ඉතා වැදගත් පුදබිමකි.

සිදුහත් තවුසාට බුද්ධත්වය ලබා ගැනීම සඳහා සෙවන දුන් ඇසතු වෘක්‍ෂය ඉන්පසුව ශ්‍රී මහා බෝධිය නමින් ලොව ප්‍රකට වුයේය. එම ශි‍්‍ර මහා බෝධීන් වහන්සේගේ උද්භිද නාමය - FICUS RELIGIOSA ෆිකුස් රෙලිජෝසා නමින් හැඳින්වේ. අසෝක රාජ යුගයේදී බුද්ධගයාවේ පිහිටි මෙම ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවන ලද්දේ සංඝමිත්තා ථෙරිය ප්‍රමුඛ දූත පිරිස විසිනි. (ජයසිරි මහා බෝවරුණ - 2003 ජය ශ්‍රී මහා බෝධි රන් වැට අරමුදල

සිරිසමන් විජේතුංග ලියූ - ජය සිරිමහා බෝවරුණ ලිපිය පි.26)

බුද්ධගයාවෙහි සැදැහැවත් බෞද්ධ ජනතාවට දැක බලා වැඳ පුදාගත හැකි ස්ථාන කීපයක් මෙසේය.

1. මහාබෝධි විහාරය
මෙය පළමුව සාදවන ලද්දේ දඹදිව අසෝක මහා අධිරාජයා (ක්‍රි.පූ. 273 - 232 ) විසිනි. ඉන්පසුව ගොඩනගන ලද විහාරය මෙකල දක්නට ලැබේ.

2. ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සිදුහත් බෝසත්තුමාට බුද්ධත්වය ලබා ගැනීමට සෙවන දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද එම පුද බිමෙහි නැත. අසෝක රාජ යුගයේදි එම ශ්‍රී මහා බෝධිය විනාශ කරන ලද්දේ අසෝක රජුගේ තිස්සා රක්ඛා නම් බිසව විසින් බව මහාවංසයෙහි සඳහන් වේ. ඊට පෙර ලංකාවට එහි දක්ෂිණ ශාඛාව වැඩම කරවන ලද නිසා ඒ මුල් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවේ යහතින් වැඩ සිටිති. එය ශ්‍රී ලාංකික බෞද්ධ ඔබ අප හැමගේම වාසනාවකි.

3. බුද්ධත්වයට පසුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සත්සතිය ගත කළ ස්ථාන ද දැකගත හැකිය.

4. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම පිණිස වැඩ හුන් ස්ථානයේ වජ්‍රාසනය ද දැකිය හැකිය. මෙම ව්‍රජාසනය ක්‍රි.ව. 1881 වර්ෂයේදි මෙම ස්ථානය කැණීමේදී පුරාවිද්‍යාඥයින්ට හමු වූයේය.

5. නූතන මහාබෝධි විහාරයද මෙහි ඇත. ටිබෙට්, චීන, තායිලන්ත, ජපන්, මියන්මාර් (බුරුම) හා

6. මහාබෝධි විහාරය වටා සාදන ලද ගල් වැට (එහි කොටසක්) දක්නට ලැබේ.

7. බාරහාර සඳහා පිහිටුවන ලද කුඩා ස්තූප මේ අවට දැකිය හැකිය.

8. බෝධි සත්වරූප පහක මූර්ති

9. මහා බෝධි විහාරයට දකුණු දෙස විශාල විලකි.

10. එම විලට ඇතුළුවන ස්ථානයෙහි ඇති අසෝක රජුගේ ස්තම්භය (අසෝක ස්තම්භය )

11. මහාබෝධි විහාරයට නැගෙනහිර පැත්තේ නේරංජනා (නිලාජන්) නදිය ගංගාවේ (අනෙක් පැත්තේ පිහිටි ) ගම බක්රවුර් නම් වේ. එහි අජපාල නුගරුක සුජාතාගේ ගෙය බුද්ධත්වය ලබා ගැනීමට පෙර සිදුහත් බෝසත්තුමා භාවනා කළ දුන්ගේෂ්වරි ලෙන පිහිටියේය.

අසෝක රජතුමා විසින් සම්බෝධිය වැඳීමට ගිය බව එතුමාගේ අට වැනි ගිරිලිපියෙහි සඳහන් වී ඇත. එම ශිලා ලිපියෙහි සම්බෝධිය නමින් හඳුන්වා ඇත්තේ බුද්ධගයාවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය. (Asoka -D.R. Bandarkar - 1925 page .293 -294 ) බුද්ධගයාවේ ප්‍රථම විහාරය අසෝක රජතුමා විසින් කරවන ලද බවත්, ඒ මත ඊට පසු මෙහි විහාරය සාදන ලද බවත් පුරාවිද්‍යාත්මක කැණීම් අනුව හෙළිවී ඇත.

චීන භික්‍ෂූන් වහන්සේ නමක් වූ ෆාහියන් හිමියෝ ක්‍රි.ව. 409 දී ශ්‍රී මහා බෝධීන් වහන්සේ දුටු බව සඳහන් කරති. එසේ වුවද මහාබෝධි යන නාමය භාවිතා කර නැත. ඊට සියවස් දෙකකට පසුව බුද්ධගයාවට පැමිණි හියුංෂාං චීන භික්‍ෂූන් වහන්සේ “මහාබෝධි විහාරය” යන නාමය ව්‍යවහාර කර තිබේ. ඉන් පසුව මෙහි හමු වූ ශීලා ලිපි රැසකම මහාබෝධි විහාර යන නාමය ක්‍රි.ව. 14 වැනි සියවස තෙක්ම භාවිතා කර ඇති බව ශිලා ලේඛන සාක්‍ෂි දරයි. ඊට පෙර පැමිණි ෆාහියන් හිමියෝද සිදුහත් බෝසත්තුමා දුෂ්කර ක්‍රියාව කළ ස්ථානය හා සත්සතිය කළ ස්ථාන ගැන ද සඳහන් කරති.

නිකිණි අව අටවක පෝය

නිකිණි අව අටවක පෝය සැප්තැම්බර් 01 වන දා බදාදා පූර්ව භාග 10.51 ට ලබයි.
02 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.42 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 01 වන දා බදාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 08
වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 22

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]