UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 සියනෑ කෝරළයේ සොඳුරු පුද බිම

සපුගස්කන්ද රජ මහා විහාරය

දර්ශනීය භූමිභාගයක උස්ගල්තලාවක් මත පිහිටි මාකොළ සපුගස්කන්ද රාජමහා විහාරස්ථානය බස්නාහිර පළාතේ සියනෑ කෝරළයේ පෞරාණික සිද්ධස්ථාන අතුරින් සුවිශේෂි ස්ථානයක් හිමිකරගත් ආගමික, ශසනික, අධ්‍යාපනික, සංස්කෘතික සමාජ මෙහෙවරක් ඉටුකරනු ලබන පින්බිමකි.


සැතපෙන පිළිම වහන්සේ.

මෙය දේශීය වෛද්‍ය මෙහෙවරේදී භාවිතා කරන දුර්ලභ ගණයේ ශාක සහිත ඔසු උයනකින් යුතුය. මල්, පළතුරු, මෙන්ම උස්ව වැඩුනු මහාර්ඝ වෘක්‍ෂයන් සහිත තුරුලතාවන්ගෙන් ගහන අක්කර දහයක් පමණ බිමකි. ඉඩමෙහි අක්කර හතරක් පමණ පරාසයක පැතීරී ඇති මහගල්තලාව මත සංඝාවාසය බුදුමැදුර, බෝමළුව, චෛත්‍යය සතර මහා දේවාල පිහිටා තිබේ. දැඩි නියඟකදීවත් නොසිඳෙන පානීය ජලය සහිත ගල්ලිඳ පැරණි ආකෘතියේ විශාල වාහල්කඩ තොරණ ඉපැරණි ධර්මශාලාව, ගල්තලාවේ පිහිටීම ප්‍රයෝජනයට ගනිමින් ඉඳිකළ තුන්මහල් ගොඩනැගිල්ලේ පිහිටි දෙවන මහලේ ඇති ත්‍රිපිටකය සහිත පොත්ගුල ශ්‍රී ගුණරතන ධර්ම පාඨශාලාව, ශ්‍රී ගුණරතන කලායතනය, ආදි සියලු විහාර අංගයන්ගෙන් යුත් සමස්ත ගොඩනැගිලි ඉඳිකර ඇති අයුරු විශ්මය දනවන සුළුය. පරිසරය ගතසිත සනසන්නේය.


මකර තොරණේ කොටසක්

ගල් තලාව මත ඇති චෛත්‍ය මළුවට ගොඩවූ කල්හි රාත්‍රී කාලයට සමනළ ගිරිශිඛරය පෙනේ. දිවා කල කල්‍යාණි රාජ මහා විහාරස්ථ චෛත්‍ය රාජයාණන්, වරාය ඇතුළු කොළොම්තොට නගර දර්ශන, තෙල් පිරිපහදුවේ නොනිමෙන ගිනිදැල් කුළුණු, සපුගස්කන්ද කර්මාන්ත සංකීර්ණයද ගම්පහ දිස්ත්‍රික්කයේ පුරා පැතිරී පවත්නා කෙත්වතු යායවල්ද දැක ගත හැකි වන්නේය. දුරස්ථ පරිසර දර්ශන මනහරය. ආසන්න පරිසර දර්ශනය ගත සිත සැනසීමට සමත්ය. සංරක්‍ෂණය කළ යුතු පරිසරයක් ලෙස පරිසර කාය්‍යාංශයෙන් ඇඟයීමට ලක්කර ඇත්තේ එබැවින් ය.

මහනුවර යුගයට අයත් වූ විහාර බිතුසිතුවම් , සිවිලිම් චිත්‍ර, පිළිම නිර්මාණ, තත්කාලීන රාජමහා විහාරස්ථාන තුළ දක්නට ලැබෙන පොදු කලාංගයන්ගෙන් යුත්තය. බුදු මැදුරට ඇතුල්වන ප්‍රධාන දොරටුව දෙපස ඇති සිංහරූප සහ ලියකම් චිත්‍ර නිර්මාණ අපූර්වතම කලාත්මක බවකින් සෑදි තිබේ. විහාරයේ මැද බුදු පිළිම වහන්සේ ධ්‍යාන මුද්‍රාවට මූර්තිමත් කර ති‍ෙබ්. සිවුර දිය රැළි ආකාරයට සාදා තිබේ. පිළිමය වටා ඇති ෂඩ්වර්ණ රැස්වලල්ල අපූර්ව නිර්මාණයකි. සැතපෙන පිළිම වහන්සේගේ සිරිපතුල් නිමාව විශේෂත්වයක් ගනී. දෙනෙත් විවෘත ය. බිත්තිරූප එකම චිත්‍ර සම්ප්‍රදායයක් අනුගමනය කරමින් නිමකර තිබේ. ඉදිරියට හැරුණු චිත්‍ර ද්විමාණ ලක්ෂණවලින් සමන්විතය. සත්ව සහ ගස්වැල් අතර ඇති සම්බන්ධතාව , සමීපබව, ආලෝකය අඳුර මෙන්ම කොළවල මතුපිට පවා ස්වාභාවික ලෙස සිතුවම් කර තිබේ.


දරණගම ඤාණසිරි නා හිමි

වසර 300 කට ආසන්න සපුගස්කන්ද රාජමහා විහාරයේ චිත්‍ර සම්ප්‍රදාය තුළින් ඉතිහාසය ඉගෙනීමට සාධක සපයයි. විහාරස්ථානය නරේන්ද්‍රසිංහ රජතුමන් මැදිහත් බව ආරම්භ වූ බවද කියැවේ. මෙකී පෞරාණික වටිනාකම නිසාම පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබේ.

මාකොළ සරණපාල නාහිමිපානන් විසින් ආරම්භ කරන ලද කිරිබත්ගොඩ උඩුපිල මාර්ගයේ කිරිබත්ගොඩ සිට සැතපුම් දෙකක් පමණ දුරින් මාකොළ හන්දිය අසල මහාමාර්ගයට සීමාවෙමින් පිහිටි මෙම පින්බිම “ ගලේ පන්සල” නමින්ද හඳුන්වති. සදැහැති වැඩිහිටි යෞවන යෞවනියන්ගේද සිත්ගත් මෙම මනහර විහාරස්ථානට දහස් සංඛ්‍යාත බැතිමත්හු පොහෝ දිනවලට ඇදී එති.


පොළොන්නරුව ගල්විහාර පිළිම වහන්සේගේ අනුරුව

පැහැදිලිවන සඳහන්වන විහාරාධිපති භික්‍ෂු පරම්පරාවේ වැලිවිට ශ්‍රී සංඝරාජ මාහිමි පරපුරෙන් ඇරඹේ. පොකුරාගොඩ හිමි නමින් කියැවෙන හිමිපානන් විසින් විහාරස්ථානය 1790 දී පිළිසකර කර ඇති අතර වැලිවිට සංඝරාජ නාහිමි සපුගස්කන්ද රජ මහා විහාරයේ ආදි කර්තෘවරයාණන් ලෙස සඳහන්වේ. උන්වහන්සේගේ ශිෂ්‍යයකු වන සුමන නම් වූ හිමිනමකට සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරතුමා විසින් 1825 දී ඔප්පුවකින් ඉඩම පවරා දී තිබේ. මෑත ඉතිහාසයේ සඳහන් වන පූජ්‍යපාද මකොළ ශ්‍රී සරණපාල, මාකොළ ශ්‍රී ගුණරතන, කැන්දලියද්ද පාළුවේ ශ්‍රී ඥාණමෝලි, හපුවලානේ ශ්‍රී සෝභිත අස්ගිරියේ ධම්මජෝති මාහිමිපාණන් වහන්සේලාගේ යුගවල සුවිශාල සමාජ මෙහෙවරක් මෙම විහාරස්ථානය මූලිකව ඉටුකර තිබේ. පාසල් 15 ක් හා උඩුපිල මාර්ගය ඇතුළුව ප්‍රධාන මාර්ග ගනනාවක් ප්‍රදේශයට ලබාදීමට මාකොළ ශ්‍රී සරණපාල නාහිමි මූලික වූ බව කියැවේ.


අසූ මහා ශ්‍රාවක ප්‍රතිමා

විහාරස්ථානයෙහි වර්තමාන විහාරාධිපති සීනාදි සිව් කෝරළේ අධිකරණ සංඝනායක අභිධර්ම විශාරද පූජ්‍ය දරණගම ඥණසිරි මාහිමිපාණන්ගේ අනුශාසනා අධීක්‍ෂණ සහිතව අවුකන බුදුපිළිමය, වටදාගෙය පිළිමය, තොළුවිල හා සමාධි පිළිම වහන්සේලා විශාල පිරිවැයකින් නිමකර තිබේ. එකම විහාරස්ථානයකදී මෙම පිළිම, වහන්සේලාට වන්දනා කිරීමට ලැබීම සැදැහැවතුන් ලබන දුර්ලභ භාග්‍යයකි. දැනෙට නිමා වෙමින් පවතින අසූ මහා ශ්‍රාවක පිළිම ශ්‍රාවිකා පිළිම, ශ්‍රී දන්තධාතු වැඩම කරවීම, මහින්දාගමනය වැනි නිරමාණ නුවන් පිනවන සුන්දර දසුන්ය. ඉතාම කර්කෂ අක්‍රමවත් ගල්තලාවක් මත කෙරෙන මෙම නිර්මාණ දකින විට හැගෙනුයේ විහාරාධිපති නා හිමියන් සතු නිර්මාණශීලි ගුණයි. ප්‍රතිභාවයයි.

එසේම ඉදිකෙරෙමින් පවතින තුන්මහල් සංස්කෘතික මධ්‍යස්ථානය බස්නාහිර පළාතේ දක්නට ලැබෙන අපූර්වතම ස්ථානයක් වේ. එහි ප්‍රධාන ශාලාවෙහි 3000 ක් පිරිසට පහසුකම් සහිතය. මෙය ආගමික සංස්කෘතික කටයුතුවලදි ඉමහත් ප්‍රයෝජනවත් වනු නිසැකය.

මෙම සුන්දර ඓතිහාසික පින්බිම ජාතික උරුමයක් සේ ආරක්‍ෂා කළ යුතු සම්පතකි.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]