UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක 2010 . 08 . 24

යථාරූපී මායාව

සංගීතය, සාහිත්‍යය, චිත්‍ර කලාව, මූර්ති කලාව, නාට්‍ය කලාව, ඡායාරූප කලාව, සිනමා කලාව ආදිය මිනිසා ගේ භාව ප්‍රකාශන මාධ්‍යයන් බව ඇත්ත ය. එ සේ වුව ද ඒවා එම නිර්මාණකරුවන් ගේ හැකියාව පිළිබඳ නිදර්ශන පමණක් නො ව සමාජයක ආත්මය අවබෝධ කැර ගැනීමට තිබෙන මාර්ගයකි. රොමෙයින් රෝලන්ඩ් ගේ මේ වචනවලින් එය මැනවින් අවබෝධ වනු ඇත.

“යම් ජාතියක දේශපාලන ජීවිතය වූකලී එහි පැවැත්මේ මතුපිට අංගයක් පමණි. එහි අභ්‍යන්තර ජීවිතය වටහා ගන්නට නම්, එහි ක්‍රියාකාරකම්වල ප්‍රභවස්ථාන වටහා ගන්නට නම්, එම ජාතියේ පොදු ජනයාගේ අදහස් උදහස් අභිප්‍රායයන් හා ආශාවන් පිළිබිඹු වන සාහිත්‍යය, දර්ශනය සහ කලාව මඟින් එහි ආත්මය වෙත කිඳා බැසිය යුතුය.”

එහෙත්, ඇතැම් කලාකෘති ආනයනික භාණ්ඩ මෙන් සමාජයීය නිෂ්පාදන නො වී පරිහරණය වන අවස්ථා ද තිබේ. ඒ සඳහා බොහෝ නිදර්ශන චිත්‍ර කලාවෙන් අපට ලැබී ඇත. දහනව වන සියවසේ සිට යුරෝපයෙහි සිදු වූ සමාජ, ආර්ථික හා දේශපාලන පෙරැළි නූතන චිත්‍ර කලාව කෙරෙහි දාර්ශනික වශයෙන් විශාල ලෙස බලපා ඇත. උපස්ථිති වාදය, පශ්චාත් උපස්ථිතිවාදය, ඝනිකවාදය, ප්‍රකාශනවාදය, අධිතාත්වික වාදය, ඩාඩාවාදය, අනාගතවාදය, පශ්චාත් නව්‍යවාදය යනාදී ප්‍රවණතා යුරෝපීය අධ්‍යාත්මයෙහි කලාත්මක ප්‍රකාශන ලෙස සැලැකිය හැකි ය. ඒවායේ ආකෘතික ලක්‍ෂණ ශ්‍රී ලංකාවට ද ආනයනය කළ අවස්ථා බහුල ය. එහෙත්, ඒවායේ දාර්ශනික පදනම ශ්‍රී ලාංකේය රසික සමාජයට බොහෝ විට සමීප කැර නැත. කිසියම් සංස්කෘතියකට අයත් භෞතික සංස්කෘතිය ආනයනයට කළ හැකි වුව ද ඒ කෙරෙහි බලපෑ අභෞතික සංස්කෘතිය ආනයනය කිරීම පහසු නො වේ. මන්ද යත්, අභෞතික සංස්කෘතිය යනු ඇදහිලි, විශ්වාස හා සිරිත් විරිත් ආදිය වන බැවිනි.

එ සේ වුව ද සන්නිවේදන තාක්ෂණයේ නූතන දියුණුව නිසා සංස්කෘතික ආනයනය කෙරෙහි පැවැති සීමා බිඳ වැටිණ. මේ තත්ත්වය, තිස්ස අබේසේකර සූරීන් විස්තර කළ ආකාරය ‘අයාලේ ගිය සිතක සටහන් ‘ නමැති කෘතියෙන් මෙ සේ උපුටා දක්වමු.

“සන්නිවේදනයේ මුල් ම වාහකය වූයේ මිනිස් කටහඬයි. එය ඇසෙන තෙක් මානයෙන් පිට යැවීමට අවශ්‍ය වූ විට එක් එක් හඬ එක් එක් හැඩ ගත් සංඥා බවට පත් කළ මිනිසා ඒවා තල්පතක ලියා ඔහු ගේ කටහඬ පොව්වන ඉමෙන් ඔබ්බට ඇරියේ ය. අකුරු බවට පත් වූයේ ඒ සංඥාව යි. හැම අකුරක් ම කිසි යම් වස්තුවක් හෝ හඬක් නියෝජනය කරයි. එහෙත් ප්‍රශ්නයක් පැන නැඟුණි. එක ම වස්තුවට එක ම හඬට යොදන අකුරු කලාපයෙන් කලාපය, රටින් රට වෙනස් වෙන්නට පටන් ගත්තේ ය. එවිට දේශ දේශාන්තර සන්නිවේදනය ඇන හිටියේ ය. එක් දේශයක වර්ධනය වූ දැනුම තවත් දේශයකට සන්නිවේදනය වීමේ දී භාෂාව හරස් විය. දැනුම නිදහසේ සංසරණය නො වී ය. එක් කලාපයක දැනුම අනෙක් කලාපයන්ට වඩා දියුණු වූ කල්හි නො දියුණු කලාපයක් යටපත් කර ගැනීමට දියුණු කලාපයන්ට හැකි විය. යුරෝපාධිකාරය බිහි වූයේ එලෙස ය”.

“ඉංගී‍්‍රසි බස ‘කඩුවක්’ වූයේ එලෙස ය. තවද සකු, මගධ, ලතින්, ගී‍්‍රක ආදි පොදුජන ව්‍යවහාරයෙන් ඈත් වූ මළභාෂා තුළ ශිල්ප ඥානය හා ශාස්ත්‍ර ඥානය ‘සඟවා’ තැබීමට පඬුවන් පෙලඹුණේ එ තුළින් තම අධිකාරි බලය රැක ගැනීමට ය. ‘බමුණු කුලයන්’ බිහි වූයේ එසේ ය. ශිල්ප හැදෑරීම නොහොත් ශාස්ත්‍රෝද්ග්‍රහණය නොහොත් අකුරු කිරීම, ‘අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා ‘ යනාදි වශයෙන් කළ යුතු දුෂ්කර ක්‍රියාවක් කරන ලද්දේ දැනුම තමන් අත මිට මොළවා ගෙන සාමාන්‍ය ජනතාවට උඩින් තේජෝ බලපරාක්‍රමයෙන් වැජඹීමට ගිජු වූ බමුණු කුලයන් හෝ අධිකාරී පත්තීන් විසිනි. මේ ඒකාධිකාරයෙන් මිදීම සඳහා මිනිසා ගෙන ගිය පරිශ්‍රමයේ, ව්‍යායාමයේ අග්‍රඵලය වනාහි චලන චිත්‍රය යි. දැනුම නිදහසේ සංසරණය වීමට පදනම සකස් කරන ලද්දේ චලන චිත්‍රය විසිනි. භාෂාව අභිභවා ගොස් සියලු ජාතීන්ට පොදු ප්‍රකෘති මිනිස් ශක්තියක පිහිටා දැනුමට රිසි සේ ගමන් කිරීමට පුළුවන් නවීන සේද මාවත, අහසේ පාවෙන සන්නිවේදන චන්ද්‍රිකා ඔස්සේ දසත විහිදෙන චලන චිත්‍රයයි “

තිස්ස අබේසේකර සූරීන් විසින් චලන චිත්‍රය යැයි හඳුන්වන ලද රූපවාහිනී මාධ්‍යයේ ප්‍රබලත්වය එ බඳු ය. එහෙත් අප එය භාවිත කැරෙන ආකාරය ගැන සතුටු විය හැකි ද?

අද වන විට මෙ රට සෑම රූපවාහිනී සේවාවක් ම පාහේ යැපෙනුයේ යථාරූපී (reality) යැයි හඳුන්වනු ලබන වැඩසටහන් මත ය. ආධුනික ගායන තරගයක් ලෙස සයිමන් ෆුලර් විසින් ක්‍රි.ව. 2000 දී නිර්මාණය කරන ලද පොප් අයිඩල් (pop idol) නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනී වැඩසටහන මේ යථාරූපී සම්ප්‍රදායයේ ආරම්භය යි. එය අනුකරණය කළ වැඩසටහන් අතරට එක් වූ අප රටේ රූපවාහීනී සේවාවන් ජනතාවට අලුත් මනාප තරගයක් ලබා දුන්නා පමණි. මෙයට පෙර පැවැති ආධුනික ගායන තරග මඟින් බිහි වූ කරුණාරත්න දිවුල්ගනේ හෝ නීලා වික්‍රමසිංහ වැනි විශිෂ්ටයන් වෙත සමීප විය හැකි ගායකයකු හෝ ගායිකාවක් බිහි කිරීමට රූපවාහිනී සේවා සමත් වී නොමැත.ඊට හේතුව අනෙකක් නො ව දුරකථන කෙටි පණිවුම මත යැපීම ය. මේ ඊනියා සුපිරි තරු විසින් සමාජයට දායාද කැර ඇති නිර්මාණ දෙස බැලූ විට යථාරූපී මායාව වටහා ගැනීමට පුළුවන.

බුදු දහමෙන් පෝෂිත සංස්කෘතියකට හිමිකම් කියන මෙ රට ජනතාව ගේ අභ්‍යන්තර ජීවිතය වටහා දෙන්නට සුපිරිතරු වල මේ නිසරු නිර්මාණ වලට හැකියාවක් තිබේ ද?

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]