UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

“ලොකෙකනාථ වදනං බුජ රාජහංසං
චේතෙය්‍ය කොමුදවනං කිර ජොතයන්තං
අද්ධින්දුකාර වර රූප විරාජමානං
වන්දාමි සාධු මමලං ජින දන්ත ධාතුං “

ඓතිහාසික ශ්‍රී සෙංකඩගලපුර දළදා පෙරහරෙහි සමාරම්භය අනුරාධපුර යුගය තෙක් දිව යයි. වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සිරිලක වැඩම කළ දවස මෙරට රජ පත් කීර්ති ශ්‍රී මේඝ වර්ණ නරපතිඳු දළදා වහන්සේ ලදුයෙන් ඉමහත් සන්තුෂ්ඨියට පත්ව දර්ශනීය පෙරහර පවත්වා සැදැහැති ප්‍රණාමය දැක්වූ බව වංශකතාවන්හි සදහන් වේ. එපමණකුදු නොව වර්ෂයක් පාසා අඛණ්ඩව පෙරහර පැවැත්වීමට රාජ නියෝගයක් ද පනවන ලදී .

පෙරහර ආරම්භයට පෙර රාජ පුරුෂයින් මගින් අණ බෙර ලවා පෙරහර ප්‍රසිද්ධ කළ ආකාරයත්, අනුරාධපුර නගරයෙහි මං මාවත් විචිත්‍රවත් කළ ආකාරයත්, මග දෙපද රැස් වූ ජනී ජනයා සුවඳ මලිත් දළදා වහන්සේ පුද දුන් බවත් මහා වංශයෙහි සඳහන් ය. අනුරාධපුර රාජධානි සමයේදී මෙහි පැමිණි චීන දේශ සංචාරක ෆාහියන් හිමියන් ලියා ඇති ගමන් වාර්තාවල ද ශ්‍රී දළදා පෙරහර පිළිබඳ වාර්තා ඇතුළත් ය.

අනුරාධපුර රාජධානියෙන් ඉක්බිති පොළොන්නරුව රාජධානි සමයේ ද දළදා පෙරහර පිළිබඳ තොරතුරු වංශ කතාවෙහි සඳහන් වේ. මහා පරාක්‍රමබාහු රජතුමා පැවැත් වූ දළදා පෙරහර ඉතා උත්කර්ෂවත් එකක් විය. එහි මල් මාලා ධජ පතාක , කොඩි, චාමර වීණා වස් කුළල්, මෘදංග බෙර ආදිය රැගත් ශිල්පීහු මෙන්ම නළඟනෝ ද ගමන් කළහ. එකල බුදු සිරිතේ යම් යම් අවස්ථා සිතුවමට නංවා පුන් කළස් තබා වීදිය දිව්‍ය විමානයක් බඳුව සරසවා පෙරහර පැවැත් වූ බව විස්තරවේ. දඹදෙණි යුගයේ පැරකුම්බා රජ දවස මග තොට සුදු වැලි අතුරා, ධජ පතාකාදියෙන් වීදි සරසා තොරණ බැඳ, නැටුම්, ගැයුම් සහිතව රජතුමා හා මැති ඇමැතිවරුන් දළදාවහන්සේ පෙරහරේ වැඩමවාගෙන ගිය ආකාරය වංශ කතාවල දැක ගත හැකිය.

දඹදෙණි යුගයෙන් පසුව, එළඹෙන කුරුණෑගල යුගයේ දී ද පෙර මෙන්ම මහත් ගෞරවයෙන් මනා සංවිධානයෙන් යුතුව පෙරහර පැවැත්වූ බව සඳහන් වෙතත් ඉන් පසු මහනුවර යුගය දක්වා දළදා පෙරහර පිළිබඳව නිශ්චිත සාක්‍ෂි නොලැබේ. කෝට්ටේ යුගයේදි දළදා පෙරහර පවත්වන්නට ඇති බවත්, සතර දේවාල පෙරහර එක්වූයේ එම සමයෙහිම වන්නට ඇති බවත් විශ්වාස කෙරේ.

පළමුවන විමලධර්මසූරිය රජතුමා කන්ද උඩරට මහනුවර රාජධානිය පිහිටුවා ගැනීමෙන් පසු වාර්ෂික ‘ඇසළ පෙරහර ‘ ආරම්භ විය. එය ඇසළ පෙරහර මිස එතෙක් පැවැති දළදා පෙරහර නොවේ. මහනුවර යුගයේ මුල් කාලයේ දෙවියන් උදෙසා පවත්වන ලද ඇසළ පෙරහර දළදා පෙරහර බවට පත් වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ දවසය. සියම් රටෙහි සිට මෙරටට වැඩම කළ උපාලි තෙරුන් වහන්සේගේ උපදෙස් පරිදි හා වැලිවිට අසරණ සරණ ශ්‍රී සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේගේ ඉල්ලීම් මත එම වෙනස සිදුකරන ලදී.

මහා වංශයේ විස්තර කෙරෙන පරිදි ඇසළ පෙරහර සඳහා නගරය විසිතුරු අන්දමින් සරසා ඇත. ධජ පතාක දරන්නෝද, චාමර හා මල් ගත් මිනිසුන් නැගි ඇතුන් ද අශ්වයින් ද, නැටුම්, ගැයුම් ද සහිතව පෙරහර ගමන් කළ අතර ධාතු කරඬුව රන්සිවිගේ තබා රජතුමා ද මැති ඇමතිවරුන් ද පෙරහරේ ගමන් කළ බව සඳහන්ය. පෙරහරේ පළමුවෙන් ම ගජනායක නිළමේ රැගත් හස්තියා ද, අනතුරුව කොඩිතුවක්කු ලේකම්වරයා ද , කොඩි රැගත් හතර කෝරළේ හා හත් කෝරළේ වැසියෝද, ඌවේ සහ මාතලේ වැසියෝද, සබරගමුවේ සහ වලපනේ වැසියෝ ද, උඩ පළාතේ වැසියෝ ද හේවිසිකරුවෝ සහ නැට්ටුවෝද පෙරහරේ ගමන් කළහ.

සිංහල දේශය බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ පසු ඉංගී‍්‍රසි ජාතිකයෝ පෙරහර පැවැත්වීමට සහාය වූ බැව් පෙනේ. පෙරහර පැවැත්වීමේදී පෞරාණික අංග ලක්‍ෂණ, ඒ අයුරින්ම පවත්වා ගෙන ඒමට ගත් උත්සාහය අනාවරණය වේ. බොහෝ පැරැණි අංග ලක්‍ෂණ පෙරහර පෙළ ගැස්වීමේ දී අදටත් දක්නට ලැබේ.

දළදා වහන්සේ සිරිලක වැඩම වූ තැන් පටන් මෙතෙක් පවත්වන පෙරහරවල මුහුණුවර විවිධ ස්වරූප ගත්තද ඒ හා බැඳුණු සාම්ප්‍රදායික චාරිත්‍ර විධි නම් වෙනස් වීමට භාජනය වී නොමැත. ශ්‍රී දළදා මාළිගයේ “ නැකැත් රාළ “ පිළියෙල කරන නැකැත් අනුව පෙරහරේ සියලු කාර්යයන් සංවිධානය කරනු ලැබේ. එසේම ඒ අනුව ‘කාරියකරවන රාළ’ පෙරහර පවත්වන දින හා වේලාවන් දැනුම් දීම සිදු කරයි. ඒ අනුව පළමුවෙන් කප් සිටුවීමෙන් අනතුරුව ඇරඹෙන දළදා පෙරහර ඇතුළේ පෙරහර , කුඹල් පෙරහර , රන්දෝලි පෙරහර , දිය කැපීම හා දහවල් පෙරහර ආදි වශයෙන් පවත්වා නිමාවට පත්වේ.

කප් සිටුවීම සම්ප්‍රදායික චාරිත්‍රයකි. ඒ හා සම්බන්ධ විශේෂ චාරිත්‍ර විධි ගණනාවක් වේ. කඳෙහි වට ප්‍රමාණය වියත් තුනක් පමණ වූ ඵල නොදරන ලද කොස් ගසක් මේ සඳහා තෝරා ගැනේ.

අනතුරුව මෙම ගස අවට භූමිය පිරිසුදු කර ඒ වෙනුවෙන්ම පිළියෙල කර ගත් සඳුන් දිය ආලේප කර දුම්මල අල්ලා ගස කැප කිරීම සිදු කෙරේ. ගස මුල අසුනක් සකසා මල්, පහන් හා බුලත් කොල නවය බැගින් තබා පූජා කිරිමෙන් අනතුරුව දෙහි තවරා, ස්නානය කොට, පිරිසුදු වස්ත්‍රයෙන් සැරසී පේවි පැමිණෙන විෂ්ණු දේවාලයේ පොරෝකාරය විසින් ගස කපා දමනු ලැබේ.

කපා දැමූ ගස කොටස් හතරකට කපා ඒ සියල්ල, නියමිත දේවාල වෙත ගෙන යන අවස්ථාවේ පංචතූ®ර්ය නාදය සහිත පෙරහරක් පැවැත්වේ.ඇසළ මස නව සඳ උදාවන දින දේවාල භූ®මියේ නියමිත ස්ථානයක එම කොට කැබැල්ල චාරිත්‍රානුකූලව සිටුවනු ලබයි. එය සිටුවන භූමිය උඩින් වියන් බැඳ, වට තිර ඇද, හාත්පස ගොක් රැහැන් ඇද සරසන බැව් දක්නට පුළුවන. මේ සමස්ත ක්‍රියාවලිය කප් සිටුවීම නමින් හැඳින්වේ. කප් සිටුවීමෙන් පසු එදින සිට දින පහක් පුරාවට දේවාල භූමියේ “ඇතුලේ පෙරහර “ පැවැත්වෙයි. මෙම ඇතුලේ පෙරහර ශ්‍රී දළදා මාළිගයෙහි පවත්වනු නොලැබේ. සයවන දින කුඹල් පෙරහර ආරම්භ කෙරේ. මේ ඉතා සුවිශේෂි අවස්ථාවකි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර දේවාල පෙරහර ශුභ මොහොතින් පිටත්ව ශ්‍රී දළදා මාළිගය අසලට පැමිණ පසු මාළිගාවේ පෙරහර පෙරටු කරගෙන වීදි සංචාරය අරඹනු ලැබේ.අලි ඇතුන්, ගැමි නැටුම්, උඩරට නැටුම් අංග ආදියෙන් සමන්විත කුඹල් පෙරහරෙහි සාම්ප්‍රදායික එහෙත් සුදු ඇඳුමෙන් සැරසුණු ශ්‍රී දළදා මාළිගයෙහි නිල දරන්නෝද, දේවාල වල නිල දරන්නෝද ගමන් කරති. ප්‍රථම කුඹල් පෙරහර වීදි සංචාරය කරන දින මහනුවර නගරයේ වීදි පුරා සැදැහැවතුන් අති විශාල පිරිසක් එක් රැස්වෙනුයේ මෙම කුඹල් පෙරහර නැරඹීමෙන් කුඩා දරුවනට වැළඳී ඇති ලෙඩ රෝග ආදිය සුවවන්නේ යැයි ඔවුන් තුළ පවතින විශ්වාසය පදනම් කරගෙන පෙරහර නැරඹීමේ අභිප්‍රායෙනි.

කුඹල් පෙරහර දින පහ අවසන් වෙනවාත් සමගම එනම් කප් සිටුවීමෙන් එකොළොස්වන දින රන්දෝලි පෙරහර ඇරඹේ. ප්‍රථම රන්දෝලි පෙරහරේ සිට දිනෙන් දින පෙරහර අලංකාරය වීම සිදුවේ. මෙහි රූ සිරිය වඩා වර්ධනය කෙරෙන විශේෂිත අංග වනුයේ නර්තන අංග සහ අලි ඇතුන්ගේ සහභාගිත්වයයි.

දින පහක් තිස්සේ පැවැත්වෙන රන්දෝලි පෙරහරේ වඩා උත්කර්ෂවත් අවස්ථාව පස්වන රන්දෝලි පෙරහරයි. මෙය මහ පෙරහර ලෙසද හැඳින්වේ. එය අවසන් දින රාත්‍රියේ පෙරහරයි.ඇසළ මස හෝ බොහෝ විට නිකිණි මස පුර පසළොස්වක පොහොය දින රාත්‍රියේ මෙම අවසන් මහ පෙරහර යෙදේ.

කුඹල් සහ රන්දෝලි පෙරහර සංවිධානය කොටස් පහකින් සමන්විතය. ප්‍රථම කොටස ශ්‍රී දළදා මාලිගයේ පෙරහරයි. බුදුන් වහන්සේ සහ උහන්සේගේ ශ්‍රී දන්තධාතූන් වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන පෙරහරට මුල්තැන ලැබේ.

“සෙංකඩගල නුවර - ඇසළට කරන පෙරහර
දෙවියන්ට නිසිකර – පැවත ආවේ කලක සිට පෙර
බුදු පෙරදැරි කොට - දෙවියන් ඊට පසුකොට

පෙරහර යන ලෙසට - පැවතුනේ අප නිරිඳු කල සිට “මුංකොටුවේ රාළ රචනා කරන ලද “ සඟ රජ වත “ කාව්‍ය සංග්‍රහයෙහි ඇසළ පෙරහරට මූලිකත්වය හිමිවන ආකාරය එලෙස විස්තර වේ. දළදා පෙරහරට පසුව නාථ දේවාල පෙරහර ගමන් ගනී. දේවාල පෙරහර අතරින් නාථ දේවාල පෙරහරට මුල් තැන හමුවනුයේ නාථ දෙවියන් මතු බුදුවන මෛත්‍රී බෝධිසත්වයන් යන විශ්වාසය සිංහල ජන සමාජය තුළ රෝපණය වී ඇති බැවිනි. අනතුරුව විෂ්ණු දේවාල පෙරහර ගමන් ගනී. ඊළඟට කතරගම දේවාල පෙරහරත් අවසන් වශයෙන් පත්තිනි දේවාල පෙරහර ගමන් කරනු ලැබේ. ඇසළ පෙරහරෙහි අති උත්කර්ශවත්ම අවසාන රන්දෝලි පෙරහර පෙළ ගැසෙන ආකාරය මෙලෙසයි.

1. ආරක්‍ෂක පෙර ගමන් රථය
2 කසකරුවන්
3.කොප්පරා කරත්තය
4.ගිනිබෝල සංදර්ශන ශිල්පීන්
5.බෞද්ධ කොඩි ගෙනයන පිරිස,
6.දිසා කොඩි (රෙදි) ගෙනයන්නෝ
7. දිසා කොඩි (පිත්තල) රැගෙන යන පිරිස
8.කඩු ගෙනයන්නෝ
9.පෙරමුණේ රාළ
10. හේවිසි වාදන ශිල්පීන්
11.ගජනායක නිළමෙ රැගත් හස්තිරාජයා
12.පන්තේරු නර්තන ශිල්පීන්
13.බෞද්ධ කොඩි සහිත අලි
14.නෛයණ්ඩි රංගන ශිල්පීන්
15.සේසත් රැගත් අලි
16.ලී කෙළි රංගන ශිල්පීන්
17.බෞද්ධ කොඩි සහිත අලි
18.රබන් වාදන ශිල්පීන්
19. සේසත් සහිත අලි
20.උඩැක්කි වාදන ශිල්පීන්
21.බෞද්ධ කොඩි සහිත අලි
22.සවරං නර්තන ශිල්පීන්
23.මුතුකුඩ පලස් සහිත අලි
24.උඩරට හා පන්තේරු නර්තන ශිල්පීන්
25.කාරිය කරවන රාළ
26.නාගසිංගම්
27.බුරුම හා තායි කොඩි ගෙන යන අය
28.දෑලේ ඇතුන් දෙදෙන සමග කරඬුව
වැඩම කරවන මංගල හස්ති රාජයා
29.උස බෞද්ධ කොඩි දෙක
30.කවිකාරමඩුව
31.උඩරට නර්තන ශිල්පීන්
32.දියවඩන නිලමෙතුමා
33.දෙපස මුර ආයුධ හා මුතු කුඩය රැගෙන යන අය
34.ගම් දහයේ විදානේවරු
35.නාථ දේවාලයේ පෙරහර
36.විෂ්ණු දේවාලයේ පෙරහර
37.කතරගම දේවාලයේ පෙරහර
38.පත්තිනි දේවාලයේ පෙරහර
39.රන්දෝලි රැගෙන යාම
(දේවාල හතර සඳහා පමණි)

මහනුවර , ඇසළ පෙරහර මංගල්‍යයට සම්බන්ධ වන අලි ඇතුන් ඒ ඒ දේවාලයනට ආවේණික වූ වර්ණයන්ගෙන් යුත් අලි ඇඳුම්වලින් හැඩ ගැන්වේ. ඒ අනුව නාථ දේවාලයේ තද කහ වර්ණයෙන් ද, විෂ්ණු දේවාලයේ නිල් වර්ණයෙන් ද, කතරගම දේවාලයේ රතු වර්ණයෙන්ද, පත්තිනි දේවාලයේ ලා කහ වර්ණයෙන් ද සැරසී අලි ඇතුන් පෙරහරේ ගමන් කරති. වසර හතළිහක් පුරා අලි ඇතුනට ඇඳුම් මසා හුරු පුරුදු මහනුවර, රීටාස් ව්‍යාපාර අධිපති, කේ.සී තදානි මහත්මා පවසනුයේ පුරාණයේ අලි, ඇතුන් හැඩගැන්වුයේ සතුන්ගේ ශරීරයට රෙදිකඩක් පොරවා ලණුවලින් බැඳීමෙන් බවයි. ‘ එය රැහැන් ගහනවා “ යන්නෙන් හැඳින් වූ බවත් විවිධ අත්හදා බැලීම් ඔස්සේ අලියගෙ ශරීරයට ගැලපෙන ඇඳුමක් නිර්මාණය කළ බවත් ඇඳුමේ මුලික කොටස් මසා නිමකොට ඉන්පසු සීකුයින්ස්, බීඩ්ස් උපයෝගි කරගෙන හැඩ දමන බවත් අලි ඇඳුමේ සැරසිලි රටා වසරින් වසර වෙනස් කරන බවත් එතුමා පවසා තිබේ.

කරඬුව වැඩම කරවන ඇත්රජුගේ ඇඳුම් කට්ටලය

1.හැට්ටය කඳ වැසෙන සේ අන්දවන ඇඳුම
2.නෙත්තිමාලය හිසට හා හොඬවැලට අන්දවන කොටස
3.කන්පෙති – කන්දෙක වැසීමට යොදා ගැනේ
4.කරපටිය - කරේ සිට දම්වැල් වැසෙන සේ අන්දවන ඇඳුම

මේ හැර කන් දෙකට චාමර, දළ යුවළට දළ කොපු, පාද වලට වළලු ආදිය යොදා ගැනේ.

අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීමෙන් පසු සතර දේවාලයේ පෙරහර දිය කැපීම සඳහා පසු දින අලුයම ගැටඹේ තොට කරා ගමන් කරයි. ශ්‍රී දළදා මාළිගයේ පෙරහර සධාතුක කරඬුව සමග “ ගමන් මාළිගය “ හෙවත් “ආදහන මළුව“ වෙත ගමන් කරයි.අවසන දහවල් ආදහන මළුවෙන් පිටත්වන ශ්‍රී දළදා මාළිග යේ පෙරහර ගමන් අරඹා, ගණදෙවි කෝවිල අසලදී දේවාල පෙරහර සමග එක්ව ශි‍්‍ර දළදා මාළිගය තෙක් පැමිණ මාලිගා චතුරශ්‍රය වටා තෙවරක් පැදකුණු කොට ගෙවැදීමෙන් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය නිමාවට පත්වේ.

ඉක්බිති දියවඩන නිලමේතුමා ප්‍රධාන සතර දේවාල බස්නායක නිලමේවරු රජතුමා බැහැදැකීමට යාමේ අනිවාර්ය පැරැණි සිරිතට අනුව වත්මනෙහි අතිගරු ජනාධිපතිතුමා හමු වී පෙරහර සාර්ථකව නිම කළ බව සැළ කර සිටිති.

පාදක සටහන් :- 1.පූජ්‍ය අස්සජි හිමි ඌරුගමුවේ, සෙංකඩගලපුර සිරි දළදා පෙරහර, බුදුසරණ, 2005.08.19 ලේක්හවුස් 19 පිටුව

2.මීගස්කුඹුර කේ. ශ්‍රී දළදා පෙරහර ‘සිරසා නමාමි ‘ බු.ව. 2547 නිකිණි, සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම -36 -39 පිටු

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 23 වන දා සඳුදා අපර භාග 08.08 ලබයි.
24 වන දා අඟහරුවාදා අපරභාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වනදා අඟහරුවාදාය.
 මීළඟ පෝය සැප්තැම්බර් 01 වනදා බදාදාය


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

First Quarterපුර අටවක

සැප්තැම්බර් 15

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]