UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - ළමාවියේ පසුවන්නෙකුට පහසුවෙන් වැටහෙන පරිදි හරවත් නිදසුනක් මඟින් සත්‍යවාදීත්වයේ අගය බුදුරජාණන් වහන්සේ එක්තරා සාමණේරයන් වහන්සේ නමකට වදාළහ. මෙම කුඩා සාමණේරයන් වහන්සේගේ නම කුමක්ද? එම පුවත සඳහන් සූත්‍ර ධර්මය කුමක් ද?

පිළිතුර - දිනක් බුදුරජාණන් වහන්සේ රාහුල සාමණේරයන් වහන්සේ වැඩසිටින ආරාමයට වැඩම කළහ. සාමණේරයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පා සේදීම සඳහා දිය සූදානම් කළහ. බඳුනෙහි ස්වල්පයක් ඉතිරිවන සේ පා සෝදාගත් බුදුරජාණන් වහන්සේ රාහුල බඳුනෙහි ඉතිරිවූ ස්වල්ප වූ ජලය ඔබට දකින්නට ලැබෙන්නේදැයි විමසා රාහුල - හිතාමතා බොරු කියන තැනැත්තාගේ ජීවිතයත් මෙබඳුයැයි වදාළහ. අනතුරුව බඳුනෙහි ඉතිරි ජලය ඉවත දැමූ බුදුන් වහන්සේ රාහුල, හිතාමතා බොරු කීමට ලැජ්ජාවක් නැත්තාගේ ජීවිතයත් ඒ අයුරින්ම ඉවතලන ලද්දකැයි වදාළහ. මෙපුවත ම.නි. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍ර දේශනයෙහි සඳහන් වෙයි.

ප්‍රශ්නය - අනුන්ගේ දුක්බර දිවිය දැක එම දිවියෙන් සුවපත් දිවියකට යොමුකිරීම සඳහා සාධුසත්පුරුෂයන්ගේ සිත්හි ඇතිවන සිතිවිල්ල දෙවන බ්‍රහ්ම විහාර නමින් හඳුන්වා ඇත. බුදු සමයට අනුව අනුකම්පාව, දයාව, යන වචන ඊට සමාන්තරව යෙදෙන බව පෙන්වා දී ඇත. දහම් පිළිවෙතට අනුව මෙම සත්ගුණය පැහැදිලි කරන්න.

පිළිතුර - මෛත්‍රියට සියලු සතුන් (සබ්බේ සත්තා භවන්තු සුඛි තත්තා) අරමුණු වන අතර දුකට පත් සත්වයා (දුක්ඛප්පත්තාච නිද්දුක්ඛා) එයින් මුදාලීමට කරුණාව ඒකාන්ත අරමුණ වෙයි. සම්මා සංකප්ප (යහපත් සංකල්පනාව) ගොඩනගන ලද අව්‍යාපාද, අවිහිංසා සංකල්ප තුළ කරුණාව දයාව අනුකම්පාව ගැබ්වෙයි.

ප්‍රශ්නය - අනගාරික ප්‍රතිපදාව ජීවිතය කොට ගත් භික්ෂූ ජීවන රටාව අධ්‍යාත්මික සදාචාරාත්මක හා මානව හිතවාදීව සහජීවනයෙන් කටයුතු කළ යුතු වුවත් ප්‍රායෝගික වශයෙන් එම පිළිවෙත ද වෙනස්ව කටයුතු කිරීමට බාධාවක් නැත. ගමික වත හා වැසිකිළිවත යන අංග දෙක ඉහත සඳහන් නියමයන්ට කදිම නිදසුනකි. පැහැදිලි කරන්න.

පිළිතුර - වැසිකිලිය (වච්ඡකුටි) යනු පොදු පරිභෝජනය සඳහාම වෙන් වූ ස්ථානයකි. සාමාන්‍ය ජීවිතයෙහිදී පනවාගත් (වෘද්ධාපචායන) වැඩිහිටි අගයට මුල්තැන දී ‘සඟ’ මහලු පිළිවෙළ හෙවත් උපසපන් වීමෙන් ගණනය කිරීමෙන්. සඟමහලු පිළිවෙළ සකස් ව ඒ අනුව ශාසනික සම්ප්‍රදාය සකස් වී ඇත. වැසිකිළි වත නමින් සඳහන් වන සම්ප්‍රදායයෙහි දී අනුගමනය කිරීමට නියමිත බැවින් එය ප්‍රායෝගිකත්වය විශේෂත්වයෙන් සලකා ඇත.

ප්‍රශ්නය - මිළින්ද පඤ්හයෙහි නාගසේන හිමියන් මුහුනදෙන උභතෝකෝටික ප්‍රශ්නයන් අතර ‘පිරිත් පිළිබඳව‘ ගැටලුව ද එකකි. එහිදී නාගසේන හිමියන් පිරිතෙහි ශාන්තිය නොලැබීමට හේතුවන කාරණා තුනක් මිළිඳු රජතුමා පැහැදිලි කරයි. එම කරුණු තුන මොනවාද?

පිළිතුර - ‘තීහි මහාරාජ! කාරණෙහි පරිත්තං න රක්ඛති කම්මාවරණෙන - කිලෙසාවරණෙන - අසද්දහනතාය’ එනම් කර්මයාගේ බාධා කිරීමෙන් ක්ලේශයන්ගේ බාධා කිරීමෙන් හා ශ්‍රද්ධාවෙන් තොරවීම යන කරුණු හේතුවෙන් පිරිතෙහි ආරක්ෂාව නො ලැබෙනු ඇත.

ප්‍රශ්නය - කුසලා කුසල කර්මයන්ගේ සමුදයට (හටගැනීමට) හේතු තුනක් බුදුරජාණන්වහන්සේ වදාළහ. එම හේතුත්‍රය කුමක්ද?

පිළිතුර - කුසලාකුසල කර්මයන්ගේ සමුදය පිළිබඳව හේතූන් තුනක් සඳහන් වන අතර සුත්‍රාගත තොරතුරු අනුව ‘නිධාන තුනක් වශයෙන් සඳහන්ව ඇත.

යං භික්ඛවෙ ලොභ කතං කම්මං
දොස කතං කම්මං
මොහ කතං කම්ම
ලෝභජං - ලොභ නිදානං ලොභ 
සමුදයං තං කම්මං අකුසලං
තං කම්මං සාවජ්ජං
තං කම්මං දුක්ඛ විපාකං
(අං.නි. තික නිපාත)

මේ අනුව ලෝභ, දෝස, මෝහ යන චේතනා මුල්කරගෙන කරනු ලබන ක්‍රියා අකුසල බවත් අලෝභ, අදෝස, අමෝහ යන චේතනා මූලික කරනු ලබන ක්‍රියා කුසල් බවද බුදුරජාණන්වහන්සේ වදාළහ.

ප්‍රශ්නය - ගිහි විනය නමින් දන්නා සිඟා ලෝවාද සූත්‍රය සිව්සඟරා වත හඳුන්වා දෙමින් දානයද පි‍්‍රය වචනයද, මෙහි යම් අර්ථ චර්යාවක් වේ නම් එයද ඒ ඒ පුද්ගලයන් කෙරෙහි සුදුසු පරිදි ධර්මයන්හි සුදුසු පරිදි සමානාත්මතාවය ද ගමන් කරන රියකට එහි ඇණය මෙන්ද ලොවට යහපත පිණිස වේ. ‘සිව් සඟරා’ වතෙහි එන පි‍්‍රය වචනය පැහැදිලි කරන්න.

පිළිතුර - දෙවන සංග්‍රහ වස්තුව ලෙසින් දැක්වෙන්නේ ‘පෙය්‍යවජ්ජ’ හෙවත් පි‍්‍රයවදනයයි. එය ‘සාලෙය්‍යක සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි. පරුෂ වචන හැර පියා පුරුෂ බසින් වැළකියේ වෙයි. නිර්දෝෂ වූ කණට සුව එළවන පේ‍්‍රමනීය වූ ළඟන්නා ශිෂ්ට මිනිසුන් කතා කිරීමට නිසි වූ බොහෝ දෙනාට පි‍්‍රය වූ බොහෝ දෙනාට මන වඩන්නා වූ යම් බසක් වේද යනුවෙනි. (යා සා වාචා නෙලා කණ්ණසුඛා පෙමනීයා හදයංගමා - පොරී බහුජන කන්තා බහුජන මනාපා- තථාරූපං වාචං භාසිතා හොති.
(ම.නි.668 සාලෙය්‍යක සූත්‍ර)

ප්‍රශ්නය - අඹුසැමි සම්බන්ධතාව ‘උතුම් ගිහිගෙය’ යන අර්ථයෙන් ‘සදාර බ්‍රහ්ම චරිය’ යනුවෙන් බුදුදහම අවධාරණය කරන අතර ගිහි සැපය සදාර සන්තුෂ්ඨිය ලෙසින් නම් කෙරිණ. බුදුහිමියන් සඳහන් කළ ගිහිවතෙහි’ ප්‍රධාන අංගය වන්නේ අඹු - සැමි සම්බන්ධතාවයයි. සූත්‍රාගත මූලාශ්‍ර ඇසුරු කරමින් පැහැදිලි කරන්න.

පිළිතුර- දී. නි. අග්ගඤ්ඤ සූත්‍ර දේශනාවට අනුව ගෘහ ජීවිතයේ ආරම්භය කාන්තාවක් සමග මිනිසෙකු අඹුසැමියන් වශයෙන් ජීවත් වීමට පටන් ගැනීම නිසා සිදුවෙයි. ප්‍රාථමික අවදියෙහි දී නිදැල්ලේ හැසුරුණු මිනිසා අඹුසැමි සබඳතාවය පැවැත්වීමට අවශ්‍ය රහස්‍ය භාවය කරණකොට ගෙන ගෙවල් තනාගත් අයුරුත් සඳහන් වෙයි. සිඟාලෝවාද සූත්‍රයට අනුව බිරිඳ හා සැමියා අතර පැවැතිය යුතු (පච්චුපට්ඨා තබ්බා) පස් අයුරක් සටහන් වෙයි. සම්මානයෙන් අවමන් නොකිරීමෙන්, අනති චර්යාවෙන් සම්පත් පැවැරීමෙන් හා ආභරණ ප්‍රදානයෙන් සැලකිය යුතුය. ‘සංවාස’ සූත්‍රයෙහි දී බුදුහිමියන් පෙන්වා දෙන ආකාරයට සාර්ථක පවුල දෙවියෙකු දෙව්දුවක සමග වසන්නා වූ තැනැක් මෙනි. අසාර්ථක පවුල් මළ මිණියක් මළ මිනියක හා වසන්නාක් වැනිය. එහිදී මළ මිනියක් නැතහොත් දෙවියෙකු (හෝ දෙව් දුවක) වීම ගැහැණියට පමණක් නොව පිරිමියාටද පොදුය.

ප්‍රශ්නය - පෙළ දහමට අනුව පවුල් ඒකකය තුළ දෙමව්පියන්ට ගෞරවණීය පැවැත්මක් හඳුන්වා දී තිබේ. මෙහිදී දෙමව්පියන් යනු සැමියාගේ මෙන්ම බිරිඳගේද මව්පියන් විය හැකිය. එවිට දූ දරුවන් නම් අඹුසැමි දෙදෙනාය. මේ අනුව වරෙක මව්පියන්ද තවත් වරෙක ඔවුන්ගේ දූ දරුවන්ද වශයෙන් පරම්පරා තුනක් බෞද්ධ පවුලක් තුළ දක්නට ලැබෙයි. මෙම සද්ගුණය වර්තමානික පවුල් දිවි පෙවෙත හා සසඳා බලන්න.

පිළිතුර- බෞද්ධ පවුල් ඒකකයක් තුළ මව්පිය දෙපළ බ්‍රහ්ම පූර්වාචාර්ය පූර්ව දෙවතා ආහුනෙය්‍ය යන සම්මානනීය නාමයන්ගෙන් හඳුන්වනු ලැබේ. සිඟාලෝවාද සූත්‍ර දේශනාවන්ට අනුව මවුපියන් විසින් දරුවනට කළයුතු යුතුකම් පහක්ද දරුවන් විසින් මව්පියනට කළයුතු යුතුකම් පසක් ද පෙන්වා දී ඇත. දරුවන් විසින් මව්පියන් පෝෂණය කළයුතුය. මහලු දෙමව්පියන් පෝෂණය කිරීම දරුවන්ගේ යුතුකම වශයෙන් පිළිගත් පවුලක වැඩිහිටියන් රැකබලා ගැනීම පෝෂණය කිරීම වැනිගැටලු ඇති නොවන නිසා ‘වැඩිහිටි’ නිවාස නමින් විශේෂ නිවස්නයක් බිහි නොවනු ඇත. හැර දමනු ලැබූ - අසරණ වූ හුදකලා වූ වැඩිහියෝ මගතොටේ හමුනොවනු ඇත.

ප්‍රශ්නය - ළාමක වූ ගැමි වූ - හීන වූ පුහුදුන් අය විසින් පුරුදු කරනු ලබන්නා වූ උතුම් නොවූ අවැඩ පිණිසම වන්නා වූ පස්කම් සුවයෙහි ඇලී ගැලී හිඳීම - වැරැදි සහිත පිළිවෙතක් එක් නමකින් හඳුන්වන්න.

පිළිතුර - කාම සුඛල්ලිකානු යෝගය නම් වේ.

ප්‍රශ්නය - ඒ මැදුම් පිළිවෙතින් නුවණැස ඤාණය පහළ විය. කෙළෙස් සන්හිඳින - සිව්සස් නුවණ පහළ විය. සම්බුදු (සම්බෝධාය) බව සිදුවිය. නිවන් අවබෝධ විය. මේ මධ්‍යම ප්‍රතිපදාව කුමක්ද?

පිළිතුර -
1. සව්සස් නුවණ - (සම්මා දිට්ඨි)
2. යහපත් කල්පනා - (සම්මා සංකල්ප - නිවැරදි දැක්ම)
3. යහපත් වචන - (සම්මා වාචා)
4. යහපත් ක්‍රියා - (සම්මා කම්මන්ත)
5. යහපත් දිවි පෙවෙත - (සම්මා ආජීව)
6. යහපත් උත්සාහය - (සම්මා වායාම )
7. යහපත් සතිය - (සම්මා සති)
8. යහපත් සමාධිය - (යහපත් සමාධිය - යහපත් චිත්ත ඒකාග්‍ර තාවය)

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]