නිකිණි පුර අටවක 2010.08.16
වටහා නො ගත් හිංසනය
රටේ ප්‍රධාන අංශ තුනක අයහපත් ක්‍රියාකාරිත්වය සංකේතවත් කැරෙන
ප්‍රබල සිද්ධීන් තුනක් කෙරෙහි අවධානය යොමු කිරීම පිණිස අද දින
කතුවැකිය යොදා ගන්නෙමු. රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත අරුණ
බණ්ඩාර ශිෂ්‍යයා ගේ මරණය එයින් පළමු වැන්න යි. දෙවන සිද්ධිය
නම්, එක්සත් ජාතික පක්‍ෂයේ මූලස්ථානය වන සිරිකොත මන්දිරය
ඉදිරිපිට දී සිරුරට ගිනි තබාගෙන රියෙන්සි අල්ගම නමැත්තා දිවි
නසා ගැනීම ය. කැලණිය ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියකු වන මොහොමඩ්
ඉෂාම් නමැත්තා ගස් බැඳීම තෙවන සිද්ධිය යි.
රුහුණු විශ්ව විද්‍යාලයේ සුසන්ත අරුණ බණ්ඩාර ශිෂ්‍යයා ගේ මරණය
සමඟ බැඳී ඇති සිදුවීම් ආරම්භ වී ඇත්තේ එහි මහා ශිෂ්‍ය සංගමය
සංවිධානය කරන “ පැදුරු සාදයක “ ප්‍රදර්ශන දැන්වීම් අඳිමින්
සිටි ශිෂ්‍යයන් පිරිසකට මහා ශිෂ්‍ය සංගම් ශාලාව තුළ දී ම
රාත්‍රියේ එල්ල කළ මැර ප්‍රහාරයකිනි. එම පහරදීමේ සිද්ධියට
සැකපිට විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු තිදෙනෙකු අධිකරණ නියෝග
මත රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. ඊට අදාළ ඊළඟ සිදුවීම වන්නේ
ශිෂ්‍යයන් පිරිසක් විසින් විශ්ව විද්‍යාල පාලන ගොඩනැගිල්ල
වටකොට උපකුලපතිවරයා ඇතුළු කාර්ය මණ්ඩලය නිවාස අඩස්සියේ තබා
ගැනීම යි.
ජූලි මස 18 වන දා උදෑසන සිට රුහුණු විශ්ව විද්‍යාල පරිශ්‍රය
ශිෂ්‍යයන්ට තහනම් කලාපයක් බවට පත් කළ ද ශිෂ්‍යයන් එයට අවනත නො
වීම නිසා පොලිස් නිලධාරීන් එහි කැඳවීමට උපකුලපතිවරයා ක්‍රියා
කැර ඇත. බුත්තල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සුසන්ත බණ්ඩාර ද
පොලිස් නිලධාරීන් එහි පැමිණ ඉවතට යැවූ ශිෂ්‍යයෙකි. එම සිදුවීම්
වල ප්‍රතිඵලයක් ලෙස එල්ල වූ පොලු පහරක් නිසා හටගත් හිසේ
වේදනාවකට රෝහල් ගත කිරීමෙන් අනතුරු ව ජූලි මස 22 වන දා ඔහු මිය
ගියේ ය. මිය ගිය එම ශිෂ්‍යා ගේ මව ජනමාධ්‍ය වෙත කළ ප්‍රකාශයක
සඳහන් වූයේ, “ බස්සා” නමැති රුහුණු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයකු
විසින් තමා ගේ හිසට පොල්ලකින් පහර දුන්නේ යැයි රෝගාතුර ව සිටිය
දී පුතා පැවසූ බව ය. ‘බස්සා’ නමැති ශිෂ්‍යයා ජනතා විමුක්ති
පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංවිධානයක සාමාජිකයකු බව හඳුනා ගෙන
ඇතැයි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක දී
ප්‍රකාශ කළේ ය. එහෙත් එම ශිෂ්‍යයා ගේ මරණය පොලිස් පහරදීමක්
නිසා සිදු වූ බවට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින්
චෝදනා කැර ඇත. කෙ සේ වුව ද මේ මරණය සම්බන්ධයෙන් කරුණු සොයා
බැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු ජගත් බාලපටබැඳි
මහතා ගේ් සභාපතිත්වයෙන් යුත් ඒක පුද්ගල ජනාධිපති කොමිසමක්
ජනාධිපතිවරයා විසින් පත් කරන ලදී.
දැන් අපි මෙහි සඳහන් කළ දෙවන සිද්ධිය දෙසට හැරෙමු. එජාප යේ
දකුණු පළාත් සම්බන්ධීකරණ නිලධාරියා ලෙස සිරිකොත පක්‍ෂ
මූලස්ථානයේ සේවය කළ රියෙන්සි අල්ගම මහතා ජූලි මස 26 වන දා ප.ව.
1.30 ට පමණ සිරිකොත ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගැනීම නිසා
දරුණු පිළිස්සුම් තුවාල සහිත ව කළුබෝවිල රෝහලට ඇතුළත් කැර
තිබේ. එහි දී ඔහු විසින් පොලීසියට දෙන ලද කට උත්තරයෙන් ඔහු ගේ
දිවි නසා ගැනීමේ අරමුණ පැහැදිලි ය. ඔහු එහි දි මෙ සේ පවසා ඇත.
“ගිය 23 වන දා පක්‍ෂයේ ප්‍රතිසංවිධානය සඳහා කරුණු මාලාවක්
කෘත්‍යාධිකාරි මණ්ඩලයට මා ඉදිරිපත් කළා. ඒවා කිසිවක්
කෘත්‍යාධිකාරි මණ්ඩලය ගණන් ගත්තෙ නැහැ. මම පක්‍ෂයට ආදරෙයි.
පක්‍ෂය කඩා වැටෙනව බලන් ඉන්න බැහැ. ඒ නිසා එක්සත් ජාතික
පාක්‍ෂිකයන්ට ආදර්ශයක් වෙන්නයි මම ගිනි තියා ගත්තේ “
අප සඳහන් කළ තුන්වන සිද්ධිය වන මොහොමඩ් ඉෂාම් නමැති සමෘද්ධි
නිලධාරියා ගස් බැඳීම පිළිබඳ ව අගෝස්තු 08 වන දා ඉරිදා ලක්බිම
මෙ සේ සටහන් කැර තිබිණ.
“ඩෙංගු මර්දන ශ්‍රමදානයකට නො පැමිණියේය යන චෝදනාව මත කැලණිය
ප්‍රදේශයේ සමෘද්ධි නිලධාරියකු පසුගිය සතියේ ගස් බඳින ලදී.
සිද්ධිය වු ස්ථානයේ මහා මාර්ග නියෝජ්‍ය ඇමැති මර්වින් සිල්වා
මහතා ද සිටි අතර ඔහු ගේ අණ පරිදි පුද්ගලයකු සමෘද්ධි නිලධාරියා
ගස් බඳිනු දක්නට ලැබුණි. නමුත් මර්වින් සිල්වා මහතා පසු ව
ප්‍රකාශ කළේ සමෘද්ධී නිලධාරියා විසින් ම ඔහු කළ වරදට ගස්
බැඳගෙන ඇති බව යි. එ සේ ම තමා ඔහු ගස් බැඳි බවට සමෘද්ධි
නිලධාරියා පොලීසියට පැමිණිලි කළහොත් නියෝජ්‍ය ඇමැති ධූරයෙන්
ඉල්ලා අස්වන බව ද මර්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේ ය “
මේ සිදුවීම් එකිනෙකට සම්බන්ධයක් නොමැති ඒවා වුව ද දේශපාලන
වශයෙන් සමීප සබඳතාවකින් යුක්ත ය. සරසවි දේශපාලනයේ
ප්‍රචණ්ඩත්වය, ප්‍රධාන විපක්ෂයේ පරාජිත මානසිකත්වය
බලඅතික්‍රමණය යන සාධක සමඟ බැඳී ඇති එම අයහපත් සිදුවීම් හුදෙකලා
ඒවා නො වේ. සුසන්ත අරුණ බණ්ඩාර ශිෂ්‍යයා ගේ මරණය, සමෘද්ධි
නිලධාරියා ගස් බැඳීම පමණක් නො ව දේශපාලන කලකිරීම නිසා යැයි
දිවි නසා ගැනීම ද හිංසනය ක්‍රියාවට නැඟීමක් ම ය. දිවිනසා ගැනීම
යනු තමන්ට ම එරෙහි ව හිංසනය ක්‍රියාත්මක කොට අන් අය හිංසාවට
පත් කැරෙන ක්‍රමයකි.
මනුෂ්‍ය ක්‍රියාකාරකම් තුළ මානසික කාරණාවන්ට ප්‍රධාන තැනක් ඇති
බව ථෙරවාද බුදුදහමෙහි උගැන්වෙන හෙයින් හිංසන ක්‍රියාවන් ද ඒ
පරිසරය තුළ බහා සැලකිල්ලට භාජන කළ යුතු වේ.
මේ තත්ත්වය සියලු දෙනා ගේ අවධානයට යොමු විය යුතු ය. |