විසිතුරු ප්‍රතිභාන උපදවන
අංගුත්තර නිකායෙන්...
ශාස්ත්‍රපති, හත්තොටුවේ
ඉන්දරතන හිමි
දුක නිපාතයේ සතරවන සමචිත්ත වර්ගයේ සිවුවන සුත්‍රය අනාථපිණ්ඩික
සිටුතුමාට දේශනා කර ඇත. අනේපිඬු සිටුතුමා බුදුරදුන් හා මහාසංඝ රත්නය
වෙහෙස කිරීමට අකමැති වූ හෙයින් නිතර ප්‍රශ්න නොඇසු බව සඳහන්ය. නමුත්
මෙම සූත්‍රයේ සදහන් වන පරිදි බුදුරදුන් වෙත ගිය අනේපිඬු සිටුතුමා
“කතිනුඛො භන්තෙ ලොකෙ දක්ඛිණෙය්‍යා ? කත්‍ථච දානං දාතබ්බං “ යි
(ස්වාමීනි, ලෝකයේ දක්‍ෂීණාර්හයෝ කෙතෙක්ද? (දන්දීමට සුදුස්සෝ කීයද?
කොතැන්හි දන් දිය යුතුද? ) ප්‍රශ්න කරයි.
බුදුපියාණන් වහන්සේ ඊට පිළිතුරු දෙමින් ගෘහපතිය, ලෝකයෙහි දන්දීමට (දාන
පිළිගැනීමට) සුදුස්සෝ දෙදෙනෙක් වෙති. ඔවුන් කෙරෙහි (වෙත) දන්දිය
යුතුයැයි “ (එත්‍ථච දානං දාතබ්බං) වදාළහ. එම දෙදෙනා නම් :-
1.සෙඛ පුද්ගලයා සෙඛ පුද්ගලයෝ සත්දෙන අදහස් වේ. සිල්වත් පුහුදුන්
පුද්ගලයා (භික්‍ෂුව ) ද සෝතාපන්නයාටම සංග්‍රහ කරන බව මනෝරථපූරණී අටුවාව
පවසයි. සෝවාන් මාර්ගස්ථ පුද්ගලයාගේ සිට අර්හත් මාර්ගස්ථ පුද්ගලයා දක්වා
වූ පුද්ගලයන් 7 මෙහිදී අදහස් වේ.
2.අසේඛ පුද්ගලයා රහතන් වහන්සේය. අර්හත් ඵලස්ථයාය. මේ ආර්ය පුද්ගලයෝ අට
දෙන දක්‍ෂිණාර්හයෝ වෙති.
සෙඛො අසෙඛොච ඉමස්මිං ලොකෙ
ආහුණෙය්‍යා යජමනාතං හොන්ති,
තෙ උජ්ජුගතා කායෙන වාචාය උද චෙතසා
ඛෙත්තං තං යජමානානාං එත්‍ථ දින්නං
මහප්ඵලං
මේ ලෝකයේ සේඛයාද අසේඛයාද දන්දීමට සුදුසු වූවෝ වෙති. ඔවුහු කයින්ද
වචනයෙන්ද සිතින් ද ඍජු වූවෝ වන හෙයිනි. දන්දෙන්න වුන්ට (අනුත්තර වූ )
පුණ්‍යක්‍ෂේත්‍රය මේ ආර්ය පුද්ගලයෝ අටදෙනයි. ඔවුන් කෙරෙහි පිහිට වූ
දානය මහත්ඵල වේ.
සැරියුත් මහ රහතන් වහන්සේගේ මහා ශ්‍රාවක සන්නිපාතය
මනෝරථපූරණී අටුවාවට අනුව ලොවුතුරා බුදුවරුන්ට ශ්‍රාවක සන්නිපාත තුනක්
වේ. අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට මහා ශ්‍රාවක සන්නිපාත එකක්වේ. අප ගෞතම
බුදුසසුනේ අග්‍රශ්‍රාවක වූ සැරියුත් මහ රහතන් වහන්සේගේ මහා ශ්‍රාවක
සන්නිපාතය සැවැත්නුවර පූර්වාරාමයේ (මිගාරමාතු ප්‍රාසාදයේදී ) සිදුවිය.
එහිදී දේශිත සංයෝජන පර්යාය ධර්මදේශනාව ජක නිපාතයේ සමචිත්ත වර්ගයේ පස්
වන සූත්‍රය ලෙස සංග්‍රහ කර ඇත. එය ශ්‍රාවක භාෂිත මෙන්ම බුද්ධ භාෂිත යද
ඇතුළත් අගනා සූත්‍ර දේශනාවකි. සැරියුත් මහ රහතන් වහන්සේ මෙහිදී
පුද්ගලයෝ දෙදෙනෙක් පිළිබඳව භික්‍ෂූන් වහන්සේලාට දේශනා කරති.
1.ආධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයා
2. බාහිර සංයෝජන ඇති පුද්ගලයා
අධ්‍යාත්ම සංයෝජන ඇති පුද්ගලයා යනු සිල්වත්ව, ප්‍රාතිමෝක්‍ෂ සංවර
ශීලයෙන් යුක්තව ආචාරගෝචර සම්පන්නව, අල්ප මාත්‍ර වරදෙහිද භය වෙමින්
ශික්‍ෂාපද මනාව ආරක්‍ෂා කර, මරණින් පසු කාමාවචර දිව්‍යලෝක හයෙන් එකක
ඉපදී. නැවත මිනිස්ලොව (ආගන්තා ඉත්‍ථතත්0) උපදින්නාය. බාහිර සංයෝජන ඇති
පුද්ගලයා පිළිබඳව විග්‍රහ දෙකක් සුත්‍රයේ එයි.
1.මේ සසුනෙහි සිල්වත් වූ භික්‍ෂුව ප්‍රාතිමෝක්‍ෂ සංවර සීලයෙන් යුතුව.
ආචාරගෝචර සම්පන්නව, අල්ප වූද වරදෙහි බිය දකිමින් ශික්‍ෂා පදයන්හි මනාව
හික්මෙයි. මරණින් පසු එම භික්‍ෂුව පංචශුද්ධාවාසයන්ගෙන් එක් තැනක
උපදියි. එක්තරා ශාන්ත විමුක්තියකට (අඤ්ඤතරං සන්තං චෙතොවිමුත්තිං) පැමිණ
වාසය කිරීම නිසා (අෂ්ට සමාපත්ති අතුරෙන් චතුර්ත්‍ථ ධ්‍යානයට සමවැදීම
නිසා ) එම භික්‍ෂුව පංච ශුද්ධාවාසයන්හි ඉපිද නැවත කාම ලෝකයට නොඑන
ස්වභාව ඇතිව වෙසේ. (අනාගන්තා ඉත්‍ථත්තං)
2.ශික්‍ෂාපදයන්හි මනාව හික්මෙන මේ සසුනෙහි පැවිදි වූ භික්‍ෂුව සිකපද
සමාදන්ව සිල්වත්ව වෙසෙමින් කාමයන්ගේත්, ත්‍රිවිධ භවයන්ගේත් විරාගය,
නිරෝධය පිණිස පිළිපන්නේ වේ. මරණින් පසු එම භික්‍ෂුව පංචශුද්ධාවාසයෙහි
ඉපිද එහිම පිරිනිවේ. නැවත කාම ලෝකයේ නූපදියි.
මෙසේ මෙම පුද්ගලයන් දෙදෙනා පිළිබඳව කරන ලද හැඳින්වීම ඇසූ සම සිත් ඇති
දේවතා කණ්ඩායමක් ජේතවනාරාමයේ වෙසෙන බුදුරදුන් වෙත පැමිණ” අනුකම්පාව
උපදවා සැරියුත් හිමියන් වැඩ වෙසෙන මිගාරමාතු ප්‍රාසාදයට වඩිනු මැනවි”යි
ආරාධනා කරති. එම ඇරයුම අනුව වහාම දෙව්රමින් අතුරුදහන් වන බුදුපියාණන්
වහන්සේ පූර්වාරාමයේ පහළ වෙති. පැනවූ අස්නෙහි වැඩ සිටින තථාගතයන් වහන්සේ
“ මේ දෙවියෝ දස දෙනෙක් විසිදෙනෙක්, තිස්දෙනෙක් , සැට දෙනෙක් උනුන්
නොගැටී සිටිනුයේ මේ සසුනෙහිදී ම සිත් වැඩූ බැවිනි. එනිසා සාරිපුත්‍රය
මෙසේ හික්මිය යුතුයි. සන්සුන් ඉඳුරන් ඇතිව සන්සුන් සිත් ඇත්තො වෙමු “
යි නුඹලා තුන් දොරින් සංවර විය යුතුයි “
සබ්‍රහ්මචාරීන් සමග වාසය කිරීමේදී පසිඳුරන් සංවර කරගෙන, නිවුණු සිත්
ඇතිව විසිය යුතු බව දේශනා කළ බුදුපියාණන් වහන්සේ මෙබඳු ධර්ම පර්යායක්
අන්‍ය තීර්ථකයන්ට ඇසීමට නොලැබෙන හෙයින් ඔවුන් නැසුණු වැනසුණු බව දේශනා
කරති. “ අනස්සුං ඛො සාරිපුත්ත අඤ්ඤතත්ථි යා පරිබ්බාජකා යෙ ඉමං ධම්ම
පරියායං න අස්සොසුං “
මෙම සූත්‍රයට ලියූ අටුවා විස්තරය ඉතා වැදගත් තොරතුරු ඇතුලත් වූවකි. මේ
සමචිත්ත පටිපදා සූත්‍රය දේශනා කරන ලද්දේ පසු බත් කලය හෙවත් පස්වරුවේය.
භාග්‍යවතුන් වහන්සේගේ මුල් වස් විසීම් විස්ස ස්ථාන සහිතව මෙහි දක්වා
ඇත. මුල් විසි වසින් අනතුරුව සැවැත්නුවර ජේතවනාරාමයේ හා පූර්වාරාමයේ
(එම ආරාම පිදුවන්ගේ ගුණ මහත් බැවින්) නිරන්තරව වාසය කළ බව සඳහන්ය.
මාරුවෙන් මාරුවට දිනයක් හැර දිනයක් සැවැත්නුවරම පිහිටි මෙම ආරාම දෙකේ
බුදුපියාණන් වහන්සේ වැඩ සිටි බව සූත්‍ර අටුවාවේ කියැවේ.
විවාද කිරීමට හේතු
වරණාවෙහි කද්දමදහ තීරයේ වසන මහා කච්චායන හිමියන් වෙත පැමිණී ආරාමදණ්ඩ
නම් බමුණා විමසූ ප්‍රශ්න හා ඊට කච්චායන හිමියන් දුන් පිළිතුරු සමචිත්ත
වර්ගයේ සයවන සූත්‍රයේ ඇතුලත් වේ.
ආරාම දණ්ඩ “පින්වත් කච්චායන හිමියනි, ක්‍ෂත්‍රියයන් ක්‍ෂත්‍රියයන්
සමඟත් බමුණන් බමුණන් සමඟත් ගෘහපතියන් ගෘහපතියන් සමඟත් විවාද කරති. මීට
හේතු කවරේද? ප්‍රත්‍ය කවරේද? (හෙතු කො පච්චයො )
කච්චායන හිමි “ බමුණ , කාමරාගයේ වැදගැනීම, විශේෂයෙන් බැඳීම, එහි එරීම,
ඉන් මැඬගැනීම, හා ගිල ගැනීම නිසා ක්‍ෂත්‍රියන් , බ්‍රාහ්මණයන්
ගැහැවියන් ඔවුනොවුන් හා වාද කරති.
ආරාමදණ්ඩ එය පිළිගෙන, “එසේ නම් කාමරාග දුරු කළ ශ්‍රමණයන් ශ්‍රමණයන් සමඟ
වාද කිරීමට හේතු ප්‍රත්‍ය කවරේද? “ යි විමසයි.
ච්චායන හිමි “ බමුණ දෘෂ්ටිරාගයේ වැදගැනීම, විශේෂයෙන් බැඳීම , එහි එරීම,
ඉන් මැඬ ගැනීම හා ගිල ගැනීම නිසා ශ්‍රමණයෝ ශ්‍රමණයන් හා වාද කරති. “
ඉන් පසු ආරාමදණ්ඩගේ ප්‍රශ්නය වනුයේ “ සමාජයේ විවාද කාරණයන්ට මුල් වූ මේ
කාමරාගයෙන් හා දෘෂ්ටිරාගයෙන් වෙන්වූ පුද්ගලයෝ ලොව ඇද්ද? යන්නයි.
ඊට පිළිතුරු දෙන කච්චායන හිමියෝ “ කාමරාග, දිට්ඨීරාග දෙකින් සහමුලින්ම
වෙන්වූ ඒ තථාගත සම්මා සම්බුදුපියාණන් වහන්සේ සැවැත්නුවර වෙසෙන්සේක” යි
පවසති. එය අසන බමුණා සැවැත්නුවර ඇති දෙසට ඇදිලි බැද වැඳ උක්කුටිකයෙන්
සිට තුන්වරක් නමස්කාර කළේය.
සූත්‍රාරම්භයේ පැහැදිළි කරන ආකාරයට උපතින් බ්‍රාහ්මණ වංශික මහා කච්චායන
හිමියන් වෙත පැමිණි ආරාමදණ්ඩ බමුණා, උන්වහන්සේට වැඳ නමස්කාර
නොකළේය.ආයුෂ්මන් කච්චායන හිමියන් වෙත ගිය බමුණා උන්වහන්සේ සමඟ පිළිසඳර
කථා සිහිපත් කළ යුතු කථා කොට නිමවා එකත් පසෙක සිටියේය. එසේ පිදිය
යුත්තකු නොපිදු මානාධික බමුණා සාකච්ඡාව අවසන බුදුරදුන් දෙසට වැඳ
වැටෙයි. මහාකච්චායන හිමියන්ට ද ප්‍රශංසා කරයි. මෙම සූත්‍රයෙන්
බුද්ධකාලීන භාරතීය සමාජය විවාද මූලිකව විසූ බව හෙළිවේ.
කාමසුඛල්ලිකානුයෝගී පිළිවෙත අනුගමනය කළ වුන් කාමරාගය නිසාත්
අත්‍ථකිලමථානුයෝගී පිළිිවෙත අනුගමනය කළවුන් දිට්ඨිරාගය නිසාත්
ඔවුනොවුන් සමඟ විවාද කර ඇත. තමන් ගත් මතයම සත්‍යය සෙස්ස බොරුයැයි
(ඉදමෙව සච්චං මොසමඤ්ඤං) ඔවුහු දැඩිව ගත්හ. මෙම සූත්‍රයෙන් හෙළිවනුයේ
කාමරාගයත් දිට්ඨීරාගයත් පුද්ගලයා අධ්‍යාත්මිකව මෙන්ම බාහිරවද පිරිහවීමට
පත් කරන බවයි. සමාජයේ පිරිහීමට ද කාමරාගය හා දිට්ඨිරාගය හේතුවේ. ඒ
දෙකින් තොරවූ උතුමෝ බුද්ධිමතුන්ගේ වන්දනාවට පත්වේ.
වෘද්ධ භූමිය හා දහර භූමිය
සමචිත්ත වර්ගයේ සත්වන සූත්‍රය මහාකච්චායන හිමියන් විසින් දෙසන ලද්දකි.
දිනක් මහා කච්චායන රහතන් වහන්සේ මධුරාවෙහි ගුන්දා වනයෙහි වැඩ වෙසෙති.
කණ්ඩරායන නම් වෘද්ධ බමුණා උදේ පාතරාසය වළඳා මහාකච්චායන හිමියන් වෙත
පැමිණ සතුටුවිය යුතු සිහිකටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නේය. එකත්
පසෙක හුන් කණ්ඩරායන බමුණා කච්චායන හිමියන්ට මෙසේ පවසයි.
“පින්වත් කච්චායන , ඔබ වහන්සේ ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ කල් ගත
වූ අවසාන අවස්ථාවට පැමිණ සිටින බමුණු පඬිවරුන්ට වැඳීම්, ගරුකිරීම්
නොකරන්නේ යැයි මවිසින් අසන ලදී. දැන් එය මා හට ප්‍රත්‍යක්‍ෂ විය.
(කණ්ඩරායන දුටුවිට කච්චායන හිමියන් වැඳීම් ගරුකිරීම් නොකළ බැවින් මෙසේ
පවසයි) වැඩිමහලු බ්‍රාහ්මණ පඩිවරු නොපුදන්නේය. යන මෙම කාරණය පින්වත්
කච්චායනට සුදුසු වුවක් නොවේ” (න සම්පන්නමෙව)
කච්චායන හිමියෝ “ බ්‍රාහ්මණය, සියල්ල දත් අප සම්මා සම්බුදුපියාණන්
වහන්සේගේ වෘද්ධභූමියක් හා දහර භූමියක් (වුද්ධභූමිච අක්ඛාතා,
දහරභූ®මිච ) වදාරණ ලදී.
1.වෘද්ධභූමිය මනාවූ කලුකෙස්, ඇති, භද්‍ර යෞවනයෙන් සමන්විත, පළමු
වයසෙහි සිටි (යුවා සුසුකාලකෙසො භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා)
තරුණයකු කාමවස්තු පරිභෝග නොකරයිද වස්තු කාම ක්ලේශකාම දෙකින් වෙන්ව
සිටීද කාමුක දැවීම් වලින් නොදැවී, කාමවිතර්ක නැතිව කම්සුව නොසොයන්නේද
ඔහු “ ථෙර “ නාමයට සුදුසුය. එනම් ඔහු වැඩිමහල්ලෙකි.
2. දහර භූ®මිය උපතින් වයස අසූවක් වු හෝ අනූවක් වු හෝ සියවස් ඇති ඉතා
මහලු වයසෙහි සිටියකු (වුද්ධො චෙපි ආසීතිකො වා නාවුතිකොවා වස්සසති. කොවා
ජාතියා ) කාමවස්තු පරිභෝග කරයිද වස්තු කාම කේලේශකාම දෙකට වසඟව සිටියිද
කාමුක දැවීම් සහිතව කාම විතර්කවලින් පීඩිතව නිති කම්සුව සෙවුනේද ඔහු “
ළදරු” නාමයට සුදුසුය. (සො බාලො තේවව සංඛං ගච්ඡති)
මනෝරථපූරණී අටුවාවෙහි “ථෙර” (ස්ථවිර) වයෝවෘද්ධයා හඳුන්වා දෙමින් එන
ගාථා දෙකක් දක්වා ඇත.
“ න තෙන ථෙරො හොති –
යෙනස්ස පලිතං සිරො
පරිපක්කෝ වයො තස්ස -
මොඝ ජිණ්ණෙති වුච්චතී”
යමකුගේ හිසකේ පැසුණු පමණින් වෘද්ධයෙක්, ස්ථවිර කෙනෙක් නොවේ. ඔහුගේ වයස
මුහුකුරා ගියා පමණි. “මොඝජිණ්ණ “ (හිස් මහල්ලා) නාමයට ඔහු සුදුසුය.
“යම්හි සච්චංච ධම්මෝච අහිංසා සඤ්ඤමො දමො
සවෙ වන්තමලො ධීරො ථෙරො ඉති පවුච්චතී”
යමකු තුල සත්‍යබව , ධර්මය, අවිහිංසාව, සංයමය, ඉන්ද්‍රිය දමනය වේ නම්
කෙලෙස් කසට වැමෑරු ඔහුම (ඒ නුවණැත්තාම) ස්ථවිර නාමයට සුදුසුය. කණ්ඩරායන
බමුණා වහා නැගිට කච්චායන හිමියන්ගේ දෙපා අල්ලාගෙන වැඳ වැටෙමින් “වෘද්ධ
වූ නුඹ වහන්සේ බුද්ධ භූමියේ සිටිසේක.
ළදරු වූ මම දහර භූමියේ සිටියෙමි. ඒ වයෝවෘද්ධ මම තරුණ භික්‍ෂූන්ගේ පා
මෙසේ සිරසින් වඳිමි “ යි වන්දනා කළේය.
කච්චායන හිමි ලවා තමාට වන්දවා ගැනීමට පැමිණී වයෝවෘද්ධ කණ්ඩරායන බමුණා
මෙම සූත්‍රය අවසානයේදී කච්චායන හිමියන්ගේ දෙපා මුල වැද වැටීම අසිරිමත්
සිදුවීමකි.
අටුවාවේ එන ගාථාව අනුව වයෝවෘද්ධ බව හෙවත් සමාජයේ පිදුම් ලබන ස්ථවිර බව
ලබා ගැනීමට අප තුල දියුණු කරගත යුතු ගුණධර්ම පහකි.
1. සච්චං - වාක් සත්‍යය, බොරුවෙන් වැළකීම, චතුර්විධ වාග් දෝෂයන් ගෙන්
මිදීම
2. ධම්මෝ - ධර්මයේ හැසිරීම, ධර්මානුකූ®ල පැවැත්ම, දැහැමි බව
3. අහිංසා - අවිහිංසාව , අනුන්ට හෝ තමන්ට හිංසා වන කටයුතුවලින් වැළකීම
(සම්මා සංකප්ප)
4. සඤ්ඤමො – සංයමය, සංවර බව, යෑම් ඊම්, ආදි ඉරියවු පැවැතීමෙහි
සංවරභාවයක් ප්‍රකට කිරීම
5. දමො - ඉන්ද්‍රිය දමනය, පසිඳුරන් තමාට අවශ්‍ය පරිදි හැසිරවීම,
ඉන්ද්‍රිය පී‍්‍රණනයට යොමු නොවීම, දුටු ඇසූ විඳි දේ සමග නොඇලී නොගැටී
සිටීම .
මෙම ගුණධර්ම ඇති දස වසක් වන ළදරුවාද “ ස්ථවිර “ සංඛ්‍යාවට ගැනේ. මෙනිසා
අප තුලද මෙම ගුණ ධර්ම වර්ධනය කරගෙන සමාජයේ ගරු බුහුමනට සුදුස්සෙක්
වෙමු.
|