UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ගෝන පේත වත්ථුව

පේතවත්ථු කතා මාලාව - 7 කොටස
 

භාග්‍යවත් ශාන්ති නායක ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන අරමෙහි වැඩ වාසය කරද්දී පියා මළ ශෝකයෙන් තැවෙන සෝතාපන්න (සෝවාන්) ඵල ලැබීමට හේතු සම්පත් ඇති එක්තරා තරුණ පුතෙකු අරභයා මෙම පේ‍්‍රත වත්ථුව වදාළ සේක.

සැවැත්නුවර එක්තරා කෙළඹියකුගේ පියා කලුරිය කළේය. පියා කෙරෙහි දැඩි ස්නේහයයෙන් පසු වූ මේ පුතු පියාගේ වියෝවයෙන් පසු උමතු වූවකුමෙන් වීතින් හි ඇවිද යමින් හමුවන හමුවන අය විමසන්නේ “. තම පියා දුටුවෙහි දැ”යි අසයි. මොහුගේ ශෝකය දුරු කරන්නට කිසිවකුට හෝ නොහැකි වීය. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අලුයම් කාලයෙහි ලොව බලා වදාරන්නේ සෝවාන් ඵල සම්පත්තිය ලබා ගැනීමට හේතු ඇති මොහු දැක සවස් කාලයෙහි නිවෙස වෙත වැඩම කළ සේක. භාග්‍යවත් බුදුරජාණන් වහනසේ දුටු මොහු ඉතා සතුටුව නිවසට වැඩම කොට අසුන් පනවා වඩා හිඳුවා එකත් පස්ව සිටින්නේ, “ කිමෙක්ද, ස්වාමීනි, මගේ පියා ගිය තැන දන්නේ දැයි ඇසී”ය. “කිමෙක්ද උපාසකය, ඔබ විචාරන්නේ මේ ආත්මයේ පියාද, නැතහොත් අතීත භවයන්හි පියා විචාරන්නේ දැ”යි විමසූ සේක. මේ වදන් ඇසෙත්ම කෙළෙඹිපුත්‍රයා “ මට පියවරු බොහෝ වෙත්ල “ යි සිතන්නේ ශෝකය මදක් තුනීව ගියේය. මෙහිදී කෙළඹියාගේ සිහිය මැදිහත් බවට පත් වූ බව දැන ඉතිරි ශෝකය ද දුරු කිරීම සඳහා අනුපිළිවෙළින් දහම් දෙසන්නේ සිත මෘදු භාවයට පත්වූයේ චතුරාය¸ සත්‍යය ඇතුළත් සාමුක්කංසික (ගැඹුරු දහමෙන්) දේශනාවෙන් දහම් දෙසා කෙළඹියා සෝවාන් ඵලයෙහි පිහිටුවා විහාරයට වැඩම කළ සේක.

මෙකල් හි දම් සභා මණ්ඩපයට රැස්ව සිටි භික්‍ෂූන් වහන්සේ ඇවැත්නි, බුද්ධානුභාවය බලනු මැනැවි. පියා මළ කාරණයෙන් අතිශයෙන් උමතුවෙන් සිටි ඒ උපාසකයා බුදුරජාණන් වහන්සේ හමුවේ සෝතාපන්න ඵලයෙහි පිහිටු වූවකු කරන ලද්දේ යැයි යන කථාවක් ඉපද වූහ. ධර්මාසනයෙහි වැඩ හිදි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව උන්නාහුදැයි ධර්ම මාතෘකාවක් ගොඩනඟා ගත් සේක. භික්‍ෂූහු සියලු පවත් සැළකළ කල්හි මහණෙනි, මවිසින් මොහුගේ ශෝකය දුරලන ලද්දේ දැන් පමණක් නොවේ. අතිතයෙහි දීද ශෝකය පහකරන ලද්දේ යයි වදාළ සේක. ඒ භික්‍ෂූන්ගේ ඇයැදීමෙන් ඉකුත් කථාව මෙසේ වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර එක්තරා ගෘහපතියකුගේ පියා කලුරිය කළේ ය. පියා කෙරෙහි දැඩි ස්නේහයෙන් සිටි මොහු ඔහුගේ චිතකය (දරසෑය) වටා නිතර යමින් ශෝකයෙන් විලාප කියමින් හඬමින් තමාගේ වැඩ අතපසු කරමින් නිතර කාලය ගෙවීය. මෙය දකින මොහුගේ නුවණැති වූ බුද්ධිසම්පන්න පු‍්‍රත්‍රයා පියාගේ ශෝකය හා මෝඩකම් දුරලමැයි සිතා දවසක් නගරයෙන් පිටත පාරෙහි වැටී මැරි සිටී ගොනෙකු දැක තණකොළ ස්වල්පයක් හා වතුර ටිකක් ද ගෙන ඌ සමීපයට ගොස් ජිවත්ව සිටින ගොනෙකු සේ දක්වමින් මළ ගොනා ඉදිරියේ ටික ටික දෙමින් කාපිය කාපිය බීපිය බීපිය ආදිය කියමින් මහමග බිම වැතිර අණ දෙමින් සිටින්නේය. මහමග යන මිනිසුන් මෙය දැක මෙස් මළ ගොනෙකුට ඔබ ඔය කරන ක්‍රියාව පිස්සුවෙන් කරන්නක් නොවේ ද? මළ ගොනා තණකොළ බුදින්නේ හෝ දිය බොන්නේ හෝ කෙසේද? දරුව, ඔබ පිස්සෙක් වූයේද? යනුවෙන් කියති. හෙතෙම කිසිත් නො කියා එයම කරන්නේය. මොහු හඳුනන සමහර උදවිය මෙම සිද්ධිය ඔහුගේ පියා හමුවට ද ගොස් කීවෝය. නුඹේ පුතා උමතුවෙන් දෝ පාරේ වැටී සිටින මළ ගොනෙකු ළඟ වැටී තණකොළ වතුර දෙමින් සිටින්නේ යැයි කීහ.

එය ඇසූ ගෘහපතියාට තම පියා අරමුණු කොට තිබූ ශෝකය පහව ගියේ තම පුත්‍රයා උමතුවූයේ දැයි ශෝකයෙන් දැවෙමින් වේගයෙන් පුතු සොයා ගියේය. සුජාතය, නුඹ ඥානවන්ත පුතෙක් නොවේද? බුද්ධිසම්පන්න වූවෙක් නොවේද? කුමක් නිසා පුතේ, මේ මැරිච්ච ගොනෙකුට තණ හා වතුර දෙන්නේ දැයි දුක් වූ සිතින් අසන්නේ ඔබ උම්මත්තකයෙක් වූයේ දැයි විමසන්නට වීය. එය අසා සිටි පුතා පියාට කියන්නේ,මේ බලන්න මේ ගොනාගේ හිස හා පාද සතර වලිගය ඇස් දෙක එසේම තියෙනවා. එනිසා මේ ගොනා නැගිටින්නේ යැයි මට සිතෙනවා. එහෙත් මගේ සීයාගේ අත් පා හිස, ශරීර කිසිවක් දක්නට නැතිව තිබියදීත් මැටියෙන් කළ දර සෑය වටේ යමින් හඬන වැළපෙන ඔබ ද මෝඩකම් කරන්නේ, උම්මත්තකව හැසිරෙන්නේ නැතහොත් මම දැයි පියාගෙන් ඇසීය.

සකස් වූ සියල්ල නැසෙන්නේය. බිඳෙන සුළු ද්‍රව්‍යයකින් යමක් සකස් වූයේ ද ඒවා බිඳී යන්නේමය. (මැටියෙන් කළ කළයක් වැනි වූ ) මේ කය බිදෙන්නේය. නැසෙන්නේය. ඉපිද හැම කෙනෙක්ම මැරෙන්නේය. ඒ බව දන්නා වූ අය කුමට විලාප නගත් ද, හඬත් දැයි පියාට ධර්මය කීයේය.

එය අසා , නුවණැති වූ මගේ පුතා මා සංසිඳුවීම සඳහාම මේ ක්‍රියාව කළේ යැයි පියා සිතට ගෙන මෙතැන් පටන් මම ශෝකය නොකරමි යි පුතා හා ගිවිස ගත්හ. පසුව ගොස් ජලයෙන් නා පිරිසිදු වස්ත්‍ර හැඳ ආහාර ගෙන කර්මාන්තයන් හි යෙදී කලක් වාසය කර කලුරිය කොට ස්වර්ගයේ උපත ලැබීය.

භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගේ මේ දේශනාව අසා චතුස්සත්‍යාවබෝධයෙන් බොහෝ දෙනෙක් සෝවාන් ආදි මාර්ග ඵල යන්හි පිහිටියාහුය.

(ඛුද්දක නිකාය පේතවත්ථු පාලියෙහි 1 - 8 ගෝන පේත වත්ථුවයි)

සටහන :- භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුකට වෛද්‍යවරයෙකි. (දුකට වෙදාණන්) මනෝ චිකිත්සකයෙකි. (මනසට බෙහෙත් කරන්නෙකි) අද ජීවමාන බුද්ධකාය නැත. එහෙත් අමිල නිමල ධර්ම කාය දැනුදු ත්‍රිපිටක දහමෙහි ඉතිරිව ඇත. මෙම පේ‍්‍රත වස්තුවෙහි තථාගත බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයෙහි සඳහන් කථාව තුළ ශෝකයෙන් භරිතව සිටි කෙළඹියාගේ මනසට භාග්‍යවතුන් වහන්සේ ප්‍රවිෂ්ට වූ අයුරු බලන්න. “ උපාසකය කිමෙක්ද? “ ඔබ විමසන්නේ මේ ආත්මයේ පියාද? ඉකුත් භවයන්හි පියෙක් පිළිබඳව ද? මෙසේම බුදුරජාණන් වහන්සේ කිසා ගෝතමිය, අමතන්නේ “ ගෝතමිය ඔබ දරුවා සුවපත් කළ හැක. ඒ සඳහා මේ නගරයේ කිසිවකුදු නොමළ ගෙයකින් අබ ටිකක් ඉල්ලාගෙන එන්න යයි “ කී සේක. මළ දරුවා සුවපත් කළ හැකි යැයි කියනවාත් සමඟම ඇගේ මනස අඩකින් සුවපත් වී හමාරය. අනතුරුව අබ ඉන්දියාවේ ඉතා සුලභ ද්‍රව්‍යයකි. එය වහා සොයාගත හැකිය යි ඇය සිතුවාය. එමගින් මළ දරුවාට නැවැත ඉක්මනින් පණ ලැබේ යැයි සිතමින් ගිය ඇයට එවන් ගෙයක් හමු නොවීය. අඩක් සුවපත්ව සිටි ඇයට යමක් සිතන්නට ඉඩ ලැබිණි. මෙසේ සුවපත් වූ සිත සිංහිදිනි. පටාචාරාහට තම ස්වාමියා ද දරු දෙදෙනා ද මව සහ පියා සමඟින් සොහොයුරා ද අහිමිවූයේ කෙටි කාලයක් තුළය. පෘථග්ජන සිතකට කෙසේ නම් මෙවැනි වියෝවක් එක්වර දැරිය හැකිද? පිස්සියක් නොවී සිටිය හැක්කේ කවරකුහටද?

නග්න වූ ඇය මහපාරේ දිවයද්දී මිනිස්සු ගල් ගැසූහ. “පිස්සී පිස්සී “ යයි අවලාද නැගූ®හ. කොල්ලෝ හු කීවෝය. අමාමෑණී බුදුරජාණන් වහන්සේ හමුවට ආ ඇයට තථාගතයන් වහන්සේ ඇමතුයේ එක් මිහිරි වචනයක් පමණි. “ නැගණිය සිහි එළවා ගන්න “ යනු ඒ මිහිරි බුද්ධ වචනයයි. එකවර මරණ හයකට මුහුණ පෑ ඇයට ඇති වූ බලවත් චිත්ත කම්පනයට සමාජය පිහිට වූයේ නැත. හූ කීවෝය. පිස්සි යයි කෑ ගෑවෝය. කැට කැබළිත්තෙන් පහරදුන්ය. ඇයට ඒ සමාජය තුළ සිටි සියලු නෑයෝ සියලු හිතවත්හු නැති වූ වේලාවකි මේ. එවන් අවස්ථාවක තමන්ගේ අසරණකමට, පිහිටට හිතෙෂි වැඩිමහල් සහෝදරයකු පිහිටට ළඟ සිටිනවා යැයි ඒ එක වදනින්ම ඇයට හැඟිණි. සිහි එළවිණි. ඇය එහිදී මගඵල ලබමින්ම සුවපත් වුවාය.

ශාසන ඉතිහාසයේ මෙවන් ප්‍රවෘත්තීන් ගෙන් ගහනය. මජ්ඣිම නිකායේ 56 සූත්‍ර දේශනාවේදී උපාලි ගෘහපති හට භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ, උපාලිය, මනෝ කර්මය සත්ත්වයා හට බලවත් වේ. කාය කර්ම හා වචී කර්ම සෙසු වෙති. ධම්මපද දේශනාව ආරම්භ කරන්නේ ම “ මනො පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනොමයා “ වශයෙනි. “සියලු ධර්මයන්ට සිත පෙරටුවේ . සිතම ශ්‍රේෂ්ඨ කොට පවතී “ මෙසේ මුළු බුදු දහමම මානසික ආබාධයන්ට මහත් ඖෂධයකි. පිරිසිදු මනසකින් යහපත්ව ජිවත්ව ඒ පිරිසිදු මනස භාවිතා කොට (භාවේ තබ්බඤ්ඤ භාවිතා) සියලු දුක් නැති කරන ජිවන මාර්ගය දේශනා කරනා දෙසුමකි. (ආසවක්ඛයා වහං හොතු - සබ්බදුක්ඛා පමොජජති)

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]