බුදුරදුන් අවබෝධ කරගත්
ධර්මයේ සුවිශේෂත්වය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, දර්ශනපති,
රාජකීය පණ්ඩිත, ගෝනදෙණියේ
පඤ්ඤාරතන හිමි
වෙසක් මස පුර පසළොස්වක දිනයක උදෑසන බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලයේ දී
සියලු කෙලෙසුන් නසා ධර්මය අවබෝධ කර උතුම් බුද්ධත්වයට පත්වීමත් සමගම
බුදුරදුන් ලොව උසස්ම උත්තමයාණන් වහන්සේ බවට පත් වූහ. උන්වහන්සේ මෙම
ධර්මය අවබෝධ කරන ලද්දේ ඉතා අපහසුවෙනි. මෙය ගැඹුරු ය. පහසුවෙන් අවබෝධ කළ
නොහැකි ය. බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ ධර්මය කිසිවකට සම කළ නොහැකි ය.
“න තෙන ධම්මෙන සමත්ථි කිඤ්චි” යන දේශනාවෙන් එය මැනවින් පැහැදිලි වෙයි.
මෙම ධර්මය අවබෝධ කළ බුදුරදුන් ද කිසිවකට සමාන කළ නොහැකි ය. “න නො සමං අත්ථි
තථාගතෙන” යනුවෙන් ඒ බව සඳහන් වෙයි. මුහුදෙහි ජලය කොතනින් ගත්ත ද ලුණු
රස වන්නා සේ බුදුරදුන් දෙසූ සියලු දහම් පද එකම විමුක්ති රසයෙන් යුක්ත
ය. පන්සාළිස් වසක් මුළුල්ලේ දෙසූ ඒ හැම දහම් පදයක්ම සත්වයාට නිවීම
සැනසීම යහපත උදාකරයි. කාලයාගේ ඇවෑමෙන් මිනිසුන්ගේ සිතින් මෙම ධර්මය
අතුරුදන් වී යයි. එවිට බුදුකෙනෙක් ලොව පහළ වී නැවතත් මෙය සොයා ගනිති.
උප්පාදාවා තථාගතානං අනුප්පාදාවා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මඨිතිතා
ධම්මනියාමතා ඉදප්පච්චයතා... යන දේශනාවට අනුව ධර්මය සැමකල්හි ලොව තුළ
පවතින බව පැහැදිලි වෙයි. සියලු බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගනු ලබන්නේ
ද, දේශනා කරනු ලබන්නේ ද එකම ධර්මයකි. දේශ කාලානුරූපව නම් ගොත් ආදිය
වෙනස් වූව ද අර්ථය කිසිදා වෙනස් නොවේ. මෙම චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත
ධර්මය බුදුරජාණන් වහන්සේ නමකට හැර වෙනත් කිසිවෙකුට දේශනා කළ නොහැකි ය.
සියලු බුදුරජාණන් වහන්සේ අනිච්ච, දුක්ඛ, අනත්ත යන ත්‍රිලක්‍ෂණ දේශනාවම
පවත්වති. බුදුකෙනෙකුන් ලොව පහළ වන්නේ මෙම ත්‍රිලක්‍ෂණය ලොවට ඉගැන්වීමට
බව ධර්ම ග්‍රන්ථවල සඳහන් වෙයි. ධර්මය දැකීම යනු බුදුරදුන් දැකීමයි.
බුදුරදුන් දැකීම යනු ධර්මය දැකීමයි. එසේම යමෙක් පටිච්චසමුප්පාදය දකී ද
ඔහු ධර්මය දකියි. යමෙක් ධර්මය දකියි ද ඔහු පටිච්චසමුප්පාදය දකියි යනු
බුද්ධ දේශනාවයි. බුදුන් දැක නිවන් දැකිය යුතුය යනුවෙන් අප සමාජ
ව්‍යවහාරයේ පවතින ප්‍රකාශය මේ අනුව පැහැදිලි ය. සියලු සත්ත්වයන් නිවන්
දැකීමට නම් බුදුරදුන් දැකිය යුතු බව මෙයින් අනාවරණය වෙයි. බුදුරදුන්ගේ
ධර්මය මුල මැද අග යන තුන් ස්ථානයම යහපත් වූවකි. උන්වහන්සේ දේශනා කරන්නේ
අර්ථ සහිත, ව්‍යඤ්ජන සහිත අතිශයින්ම පිරිසුදු වූ බ්‍රහ්මචර්යාවකි. එහි
අඩුපාඩු කිසිවක් නැත. එය සත්ත්වයා දුකින් නිදහස් කරන්නකි.
“ආදිකල්‍යාණං මජ්ඣෙකල්‍යාණං පරියොසානකල්‍යාණං සාත්‍ථං සව්‍යඤ්ජනං
කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙති.”
යන ප්‍රකාශයෙන් ඒ බව පැහැදිලි වෙයි. මෙම බුද්ධ දේශිත උතුම් ධර්මයෙහි
හැසිරෙන තැනැත්තාට දුක් කරදරවලින් මිදීමේ වාසනාව උදාවන අතර නිවන් සුවය
ද ප්‍රත්‍යක්‍ෂ කිරීමේ භාග්‍යය උදාවෙයි. මහා සතිපට්ඨාන සූත්‍රයේ දී
පැහැදිලි කරන්නේ ශෝක පරිදේව ඉක්මවායන්නට, දුක්දොම්නස් වලින් අත
මිදෙන්නට, ඤාණයට පැමිණෙන්නට, නිවන් අවබෝධයට එකම මඟ සතර සතිපට්ඨානය
වැඩීම බවයි.
“එකායනො අයං භික්‍ඛවෙ, මග්ගො සත්තානං විසුද්ධියා සෝකපරිද්දවානං
සමතික්කාමාය, දුක්‍ඛදොමනස්සානං අත්‍ථඩ්ගමයා, ඤායස්ස අධිගමාය,
නිබ්බාණස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා.”
යමෙක් දින හතක් නමුත් බ්‍රහ්මචරියාවෙහි හැසිරෙන්නේ නම් ඔහුට ධර්මාවබෝධය
ලැබීමේ වාසනාව උදා වෙයි. එහෙත් එහි දී පුග්ගල විසමතාව දත යුතු ය. එසේම
සතර සතිපට්ඨානය යනු බුද්ධ ශ්‍රාවකයාගේ පිය උරුමය යි. කැට කිරිල්ලියට
ඇගේ පියාගේ සීමාවෙහි දී ආරක්‍ෂාව සැලසෙන්නේ යම් සේ ද බුද්ධ ශ්‍රාවකයාට
ද තම පියා වන බුදුරදුන් දෙසූ මෙම සතර සතිපට්ඨානයෙහි හැසිරෙන්නේ නම්
ආරක්‍ෂාව සැලසෙයි. මාරයාට කරදර පැමිණවීමේ අවස්ථාව නොලැබී යයි. මේ නිසාම
සිය ශ්‍රාවකයන්ට සිය පියාගේ සීමාවෙහි හැසිරෙන ලෙස බුදුහු උපදෙස් දුන්හ.
ගොචරෙ භික්‍ඛවෙ චරථ සකෙ පෙත්තික විසයෙ යනු බුද්ධානුශාසනය යි. මෙම ධර්මය
අවබෝධ නොකිරීම නිසා සත්ත්ව ප්‍රජාව කුරුළු කූඩුවක කෙඳි මෙන් ලණු
කැරැල්ලක කෙඳි මෙන්, පාපිස්සක කෙඳි මෙන් අවුලෙන් අවුලට පත් වී සසර
ඇවිදින බව, ආනන්ද හිමියන්ට දෙසූ අයුරු, දීඝනිකාය මහානිදාන සූත්‍රයෙන්
පැහැදිලි වෙයි. අකුසලයට නැඹුරු වූ සිත් ඇත්තාට මෙම ධර්මය අවබෝධ කිරීම
ඉතා අපහසු ය. එය බෙහෙත් නෙල්ලි කොළයකින් ගොටුවක් තනා දින ගණනක් තිස්සේ
පිපාසිතව සිටින පුද්ගලයෙකුට එය පානය කර පිපාසය සංසිඳවා ගන්නා ලෙස
උපදෙස් දෙන්නාක් වැනි ය. දිනක් ආනන්ද හිමියන් පිණ්ඩපාතයේ වඩින විට
ලිච්ඡවි කුමාරවරු අශ්ව කෙන්දක් ඉලක්කය වශයෙන් ගෙන දුන්නෙන් විදීමට
පුරුදු වනු දැක බුදුරදුන් වෙත පැමිණ ලිච්ඡවි කුමාරවරුන් ඉතා අපහසුවෙන්
දුනු ශිල්ප හදාරන බව පැවසී ය. එහි දී එම අශ්ව කෙන්ද හතකට පළා එකකට
විදීම අපහසු වන්නා සේ චතුස්සත්‍යාවබෝධය ද ඉතා දුෂ්කර බව පැවසූ හ.
මෙසේ ධර්මාවබෝධය අපහසු වූවත් කුසල් දහම් සම්පූර්ණ කරන්නාට එය අපහසු
නොවෙයි. වඩන ලද කුසල් ඇත්තා තමන්ට ගැළපෙන ධර්මය ලද වහා ධර්මාවබෝධය
ලබයි. එබඳු අවස්ථා කිහිපයක් මෙසේ ය.
1. අස්සජි මහතෙරුන් දෙසූ ගාථාර්ධයක් අසා උපතිස්ස පිරිවැජියා සෝවාන්
වීම.
2. කෝලිත පිරිවැජියා එම ගාථාවම අසා සෝවාන් වීම.
3. සුදුරෙදි කඩක් පිරිමදිමින් සිටි චුල්ලපන්ථක හිමියන් රහත්වීම.
4. පහන් දැල්ල දෙස බලා සිටි උප්පලවණ්ණා තෙරණිය රහත් වීම.
5. පා සේදූ ජලය බිමට උරාගන්නා දෙස බලා සිට පටාචාරාව රහත් වීම.
මෙම පුවත්වලින් පූර්වකෘත කුසල ශක්තිය ඇත්තෝ වහා ධර්මාවබෝධය ලබන අයුරු
පැහැදිලි වෙයි. මෙම ධර්මය ශාන්ත ය. ප්‍රණීත ය. අංගුªත්තර නිකායේ
කාරණපාලි සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ
ප්‍රයෝජනය කුමක්දැයි ඇසූ කාරණපාලි බ්‍රාහ්මණයාට පිඞ්ගියාණි විසින්
ධර්මයේ ඇති අගය ප්‍රකාශ කිරීම පිණිස යොදාගත් උපමා වලින් ධර්මයේ ඇති
උත්තරීතර බව මැනවින් වටහා ගත හැකි ය.
1. ඉතා උසස් භෝජන අනුභව කරන පුද්ගලයෙකු කටුක අහරක් ලද විට එය
විසිකරන්නා සේ බුදුන්ගෙන් ධර්මය ඇසූවන් අනෙක් ශාස්තෲවරුන්ගේ ධර්මය
පි‍්‍රය නොකිරීම.
2. දින ගණනාවක් කුසගින්නේ සිට අයෙක් මීවදයක් අනුභව කිරීමෙන් යම් සතුටක්
සුවයක් විඳී ද බුදුබණ අසන්නා ද එබඳු සුවයක් විඳින බව.
3. සඳුන් හරයක් සිඹින්නා මුල මැද අඟ යන ත්‍රිවිධ ස්ථානයේදීම මිහිරි
සුගන්ධයක් ආඝ්‍රාණය කරන්නා සේ ධර්මය ශ්‍රවණය කරන්නා ඉතා උසස් සුවයක්,
මිහිරක් විඳන බව.
4. දීර්ඝ කාලයක් තිස්සේ නිදන්ගත රෝගයකින් පෙළෙන තැනැත්තකුට ඉතාම දක්‍ෂ
වෛද්‍යවරයකු මුණ ගැසීමෙන් පසු ඔහුගෙන් ලද පළමු බෙහෙතෙන්ම එම රෝගයෙන්
සුවපත් වීම නිසා යම් සුවයක් සතුටක් විඳින්නේ ද බුදු බණ ශ්‍රවණය කරන්නා
ද එබඳුම සුවයක් පී‍්‍රතියක් ලබන බව.
5. ගී‍්‍රස්ම කාලයෙහි එක්තරා පුරුෂයෙක් කාන්තාරයක් මැදින් දාහයෙන්
පෙළෙමින් පිපාසිතව කුසගින්නේ පැමිණෙයි. ඔහු කාන්තාර සීමාවෙහි රුක්
ගොමුවකින් වට වූ ඉතා ශීතල ජලය ඇති පතුල පෙනෙන තරම් පිරිසුදු පැන්
පොකුණක් දැක, එයට බැස පැන් පානය කොට දාහය හා පිපාසය සංසිඳවා ගන්නේ යම්
සේද එවැනිම වූ සතුටක් පී‍්‍රතියක් සොම්නසක් බුදු බණ ඇසීම තුළින් ලැබෙන
බව පැවසී ය.
මෙම උපමා ඇසූ පමණින් බුදු බණ ඇසීමේ ප්‍රයෝජනය තේරුම් ගත් කාරණපාලි
බ්‍රාහ්මණයා, සිටි අසුනින් නැගී සිට උතුරු සළුව එකස් කොට, බුදුරදුන්
වැඩ සිටි දෙසට හැරී තෙවරක් නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
යනුවෙන් ප්‍රකාශ කොට තෙරුවන් සරණ ගිය උපාසකයෙකු බවට පත් විය. ධර්මයේ
ඇති විශිෂ්ටත්වය මෙම උපමා වලින් මැනවින් පැහැදිලි වෙයි.
ධර්මයට වඳින ගාථාවේ එහි ගුණ හයක් අන්තර්ගත වෙයි. මෙම ගුණ මෙනෙහි කරන
විට භය තැති ගැනීම් දුරුවන බව ධජග්ග සූත්‍රයෙන් පැහැදිලි වෙයි. නො චෙ
මං අනුස්සරෙය්‍යාථ අථ ධම්මං අනුස්සරෙය්‍යාථ භය තැති ගැනීම්වලින්
අත්මිදීමට ධර්මය මෙනෙහි කරන ලෙස පැවසූ අයුරු මෙම පාඨයෙන් පැහැදිලි
වෙයි. එම ගුණ හය මෙසේ ය.
ස්වාක්‍ඛාත ගුණය – භාග්‍යවතුන් වහන්සේ විසින් පර්යාප්ති ධර්මය හා
නවලෝකෝත්තර ධර්මය ද මනා කොට දේශනා කළ බැවින් ධර්මය ස්වාක්‍ඛාත නම්
වෙයි. මෙහි පර්යාප්තිය නම් ආදි කල්‍යාණ, මජඣෙ කල්‍යාණ, පරියෝසාණ
කල්‍යාණ හා අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත බවයි.
සන්දිට්ඨික ගුණය – තමන් සන්තානයෙහි ඇති කෙලෙස් ධර්ම නැති කරන හෙයින් ද
තමා විසින් අවබෝධ කළ යුතුය යන අදහසින් ද සන්දිට්ඨික නම් වෙයි.
අකාලික ගුණය – කාල භේදයකින් තොරව කුසලය විපාක දෙන බව හා මාර්ගයෙන් ඵලයට
පත්වීමේ දී අතර කාලයක් නොමැති වීම.
එහිපස්සිකො ගුණය – නවලෝකෝත්තර ධර්මය ඒකාන්තයෙන් ම පිරිසුදු බැවින් ද
විද්‍යමාන බැවින් ද එව බලවයි කීමට සුදුසු බැවින් ද එහිපස්සික නම්
වෙයි.ඕපනයික ගුණය - ලෝකෝත්තර මාර්ග ඵල ධර්මය සිතෙහි උපදවාගත යුතු
බැවින් ද පිහිටුවා ගත යුතු බැවින් ද ඕපනයික නම් වෙයි. පච්චත්තං
වෙදිතබ්බ විඤ්ඤූහි ගුණය – නුවණැත්තන් විසින් තම සිත්හි ලා දත යුතු
දැක්ක යුතු බැවින් නවලෝකෝත්තර ධර්මය පච්චත්තං වෙදිතබ්බ විඤ්ඤූහි යන
නමින් හඳුන්වයි.
මෙසේ උතුම් ගුණ සමුදායකින් හෙබියා වූ තථාගතයන් වහන්සේ වදාළ ශ්‍රී
සද්ධර්මය නිරන්තරයෙන් සිය ජීවිතයට බද්ධ කරගෙන නුවණැතියෝ සතුටින් වාසය
කරති.. |