නිතර මෙනෙහි කළ යුතු...
ගල්කුලම පලුගස්වැව
කටුපොත කන්ද වජිරාරාම ආරණ්‍යයේ
බළන්ගොඩ සුමංගල හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස!
මරණ සතිං භික්ඛවෙ භාවෙථ, මරණාසති භික්ඛවේ භාවිතා බහුලිකතා මහප්ඵලා හෝති
මහානිසංසා අමනෝගධා අමත පරියෝසානා’.
කාරුණික පින්වත්නි,
ලෝකයට බුදුරජාණන් වහන්සේ පහළවීම තරම් උතුම් කරුණක් වෙනත් නැහැ. අනන්ත
සසර
දුකට පත් සත්ත්වයාට පිළිසරණක් විය හැකි වන්නේ සම්මා සම්බුදු
රජාණන්වහන්සේ නමකට පමණයි. සම්මා සම්බුදු රජාණන්වහන්සේලාගේ පහළ වීම
අතිශය දුර්ලභයි. ඇතැම්විට කල්ප ගණන් බුදුරජාණන් වහන්සේ නමකගේ පහලවීමක්
නැතිව ගෙවී යනවා.
ඒ බුදුරජාණන් වහන්සේලාගෙන් හිස් වූ කල්ප ශූන්‍ය කල්ප ලෙස නම් කරනවා.
මේක මහා භද්‍ර කල්පයක්. මේ කල්පයේ බුදුරජාණන් වහන්සේලා කීප නමක්ම පහළ
වී තියෙනවා. ඒ නිසා මේ කාලයේ අංග සම්පූර්ණ මිනිසෙක් වෙලා ඉපදෙන්න
ලැබිලා තිබෙන්නේ වාසනාවකට පෙර මහා පිනකට. මේ කාලයේ අපට බොහොම හොඳට
බුදුබණ අහන්න ලැබිලා තියෙනවා. කියන්නත් ලැබිලා තියෙනවා.
ජීවමාන බුදුහාමුදුරුවන් වහන්සේ වැඩ නොසිටියාට ජීවමාන ධර්මරත්නය
පවතිනවා. ඒ බුදුහාමුදුරුවන්ගේ ජීවමාන ශක්තියයි. මහා සඟ රුවනත් වැඩ
වෙසෙනවා. මේක මහා දුර්ලභ අවස්ථාවක්. එනිසා අපේ උපරිම ශක්තිය උපරිම
කැපවීම යොදලා මේ අතිදුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕනෑ. ධර්මයෙන්
නිසිඵල නෙලාගත යුතු වෙනවා. එහෙම නැතිව මේ අවස්ථාව නිකරුණේ ඉක්මවා
හැරියොත් අපි අපට ම කරගන්නා මහා විනාශයක්. මේ උතුම් අවස්ථා පිළිබඳ
සැලකිලිමත් නොවුනහොත් අපට බොහොම පසුතැවිලි වෙන්න සිදුවෙනවා. එනිසා මේ
උතුම් අතිදුර්ලභ අවස්ථාවෙන් නොපමාව අපේ ජීවිත ආලෝකවත් කර ගනිමු. ඒ සඳහා
උපරිම ශක්තිය, උපරිම කැපවීම කරමු. ශ්‍රී සදහම් ශ්‍රවණය කිරීමේ පළමු
පියවර එයයි.
පින්වත්නි,
සම්මා සම්බුදුරජාණන්වහන්සේගෙන් ලොවට සිදුවන යහපතසෙත අපරිමිතයි. ලොව
ශ්‍රේෂ්ඨතම මනෝ වෛද්‍යවරයා බුදුරජාණන් වහන්සේ ම යි. බුදුරජාණන් වහන්සේට
වඩා උතුම් කෙනෙක් පහලවන්නේ නැහැ. මනස පිළිබඳ කල්ප ගණන් සිට කළ පර්යේෂණ
ගවේෂණ අධ්‍යයන හේතුවෙන් බුදුරජාණන්වහන්සේට මේ උසස් හැකියාව ලැබී
තිබෙනවා. එමෙන් ම බුදුරජාණන් වහන්සේගේ සම්බුදු නුවණ සියල්ල දැන ගැනීමේ
නුවණ හේතුවෙන් මිනිසාගේ මනසේ ස්වභාවය මැනවින් හඳුනා ගැනීමට හැකියාව
තිබෙනවා. පුද්ගලයාගේ මානසික ක්‍රියාකාරීත්වය හොඳින් හඳුනාගෙන එහි
අඳුරුපැති දුරුකර යහපතට යොමු කිරීමට නිසි ප්‍රතිපදාවන් හඳුන්වා දී
තිබෙනවා. මිනිසාට දියුණු කළ හැකි මනසක් ඇති බව පැහැදිලිව හඳුනාගත්තේ
බුදුරජාණන් වහන්සේමයි. සාමාන්‍ය මිනිසාගේ මනස දෙවියන්ගේ බ්‍රහ්මයන්ගේ
මානසික ස්වභාවයන් ඉක්මවා ලෝකෝත්තර ස්වභාවය දියුණුකළ හැකි බව පැහැදිලිව
නිවැරැදිව නොවරදින සේ පෙන්වා වදාළා. අපට සීල, සමාධි, ප්‍රඥා ප්‍රතිපදා
හඳුන්වා දී තිබෙන්නේ අපේ දුර්වල මනස දියුණු කර ගැනීමට මිස අන් යමකට
නොවෙයි. මනස දියුණු කිරීමෙන් ලෞකික දිවි මඟද සුවපත් වෙනවා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම සියල්ලම අපේ සිත දියුණු
කිරීම පිණිස ම යි. කිසිදු අභියෝගයකට මුහුණ දීමට නොහැකි ඉතා සුළු
දෙයෙහිදි පවා දැඩි ව කම්පාවන සැලෙන සිත ඕනෑම අභියෝගයකට මුහුණදීමට හැකි,
අතිශය ප්‍රබල දුක්කම්කටොලු වලදී පවා නොසැලෙන පමණට දියුණු කිරීමට මග
පෙන්වා වදාළා. බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ භාවනා ක්‍රම අතර
මරණනුස්සති භාවනා ක්‍රමය විශේෂ වූ පිළිවෙතක්. ප්‍රබල අභියෝග වලදී නො
සැලී සිටීමට, කම්පා නොවී සිටීමට සිත දියුණු කරන සිත වඩන ඉතා උසස්
පිළිවෙතක්. භාවනා ක්‍රමයක්. එය සාමාන්‍ය මිනිස් මනසට වැටහෙනවා. අඩුයි.
එහෙත් එය දියුණු කිරීමෙන්, ප්‍රගුණ කිරීමෙන් අතිශය ප්‍රබල චිත්ත
ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන්. විපුලඵල, විපුල ආනිසංස ලැබෙන භාවනා
ක්‍රමයක්. මේ පිළිබඳ දන්න අය, මේ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ අය පිළිබඳ
විමසා බැලීමෙන් අපට යම් අවබෝධයක් ලබා ගන්න හැකි වෙනවා.
දරුවා මළ බව තේරුම් ගැනීමට නොහැකි වූ කිසාගෝතමිය දැඩි ශෝකයෙන් දරුවාගේ
මළ සිරුරත් ඔසවාගෙන ගමක් නගරයක් පාසා සැරි සැරුවේ දරුවා සුවපත් කර
ගැනීමටයි. ඇයට මරණය පිළිබඳ එතරම් අවබෝධයක් තිබුණේ නැහැ. දරුවාට තිබුණ
ආදරය සෙනෙහස නිසා දරුවාගේ මරණය පිළිගැනීමට සූදානම් ව සිටියෙත් නැහැ.
එනිසයි ඇය වෙදමහතුන් සොයා ගියේ. හැමෝම දරුවා මළ බව කීවා. සුවපත් කිරීම
ප්‍රතික්ෂේප කළා. ඇයට පිළිසරණක් නැතිව ගියා. ඇගේ තිබුණු වාසනාවට ඇයට
බුදුරජාණන් වහන්සේ සමීපයට යන්නට අවස්ථාව උදා වූවා.
උපක්‍රමශීලිව බුදුරජාණන් වහන්සේ ඇයට මරණය පිළිබඳ අවබෝධ කළා. කිසාගෝතමිය
ධර්මාවබෝධය ලැබුවා. නුවණැස පහල කර ගත්තා. සිත දමනය කරගත්තා. සැනසීම ළඟා
කරගත්තා. මරණය අපට උරුම ලෝක ධර්මතාවයක් බව ඇය වටහා ගත්තා. එයම නිවන්සුව
අවබෝධයට මග හෙළිකළා.
ඒ වගේම එකම අවස්ථාවක දරුවන් ස්වාමියා, මාපියන් ඇතුළු පවුලේ සැමෝ ම
අහිමි වීමෙන් අත්ත අසරණ තත්ත්වයට පත් පටාචාරාවට ඇති වූ දුක වේදනාව,
ශෝකය දරා ගැනීමට නොහැකි වූ බව අපි දන්නවා. ඇය පිස්සියක මෙන් ඒ මේ අත
දිව ගියා. පියවි සිහිය නැතිව ගියා. ඇඟේ ඇදිවත ගැලවී ගිය බවවත් ඇයට
දැනුනේ නැහැ. මේ අසරණ තත්ත්වය සාමාන්‍ය මිනිසුන් දැනගත්තේ නැහැ. ඇය
පිළිකුල් කර පලවා හැරියා.
ප්‍රතික්ෂේප කළා. කිසිවෙක් පිහිටට උදව්වට ආවේ නැහැ. කෙසේ හෝ ඇයටත්
බුදුරදුන් සමීපයට යාමට පින තිබුණා. බුදුරජාණන් වහන්සේගේ කාරුණික වදන්
කිහිපයෙන්ම ඇයට පියවි සිහිය ලැබුණා. සදහම් ශ්‍රවණය කළා. ධර්මාවබෝධය
ලැබුවා. සසර දුකින් එතෙර වන්නට ඇයට වාසනාව තිබුණා. මරණය සනාතන ධර්මයක්
බව වටහාගත් ඇය යළි කිසි දිනෙක දුකට ශෝකයට පැමිණියේ නැහැ.
මේ ප්‍රකට කථාපුවත් දෙකෙන්ම පැහැදිලි වන්නේ මරණය පිළිබඳ නියමාකාරයෙන්
නොදැන දුකට වෙහෙසට පත් වූ ආකාරයත් ඒ පිළිබඳ අවබෝධය ලබා සැනසුන ආකාරයත්
ගැනයි. කුමන හේතුවක් නිසා හෝ මේ දෙදෙනාටම බුදුහාමුදුරුවන් වහන්සේ
හමුනොවුනානම් ඇතිවන තත්ත්වය සිතා ගැනීමටත් අපහසුයි. මෙවැනි අය එදා
සමාජයේ තව බොහෝම සිටින්නට ඇති. බුදුරජාණන්වහන්සේගේ පිහිට ලබා සදාකල්
සැපතට පැමිණි අයත්. කිසිදු පිහිටක් නොලබා අන්ත අසරණ වූ අයත් බොහෝ
සිටින්නට ඇති. මෙවැනි අය අද සමාජයෙත් සිටිනවා. තම දරුවාගේ, සහෝදරයාගේ,
සහෝදරියගේ මවගේ පියාගේ ඥාතියාගේ ස්වාමීයාගේ ස්වාමි දියණියගේ මරණය අසා
ඇතිවන දුක ශෝකය ඉවසා දරා ගැනීමට නොහැකි ව මරණයට පත්වන අය පිළිබඳ අපි
දන්නවා. ඇතැම් අය සිය ජීවිත හානි කර ගන්නවා. තවත් සමහරු මානසික
විකෘතියට පැමිණෙනවා. ඇතැම් අය ජීවිතය පුරාවටම දුකසේම ගත කරනවා. මේකට
හේතුව මේ අය මරණය පිළිබඳ යථා ස්වභාවයෙන් හඳුනාගෙන නැති එකයි. එනිසයි ඒ
අයට ඇතිවන දුක ශෝකය දරාගන්න බැරි වන්නේ. මේනිසා ඒ අය පමණක් නොව තවත්
බොහෝ දෙනෙක් තව තවත් කරදර බාධකවලට ගොදුරු වෙනවා.
මේ අතර ඇතැම් අය ඕනෑම ප්‍රබල දුකක් ඉවසා දරාගෙන අවට ලෝකයාත් මවිතවන
අයුරින් බොහොම සැහැල්ලුවෙන් වැඩ කටයුතු කරනවා. බොහෝ විට ඒ අය පෙර
ජාතිවලදී මේ භාවනා ක්‍රම ප්‍රගුණ කරපු ශක්තිය පවතිනවා. මේ ජීවිතයේදීත්
යම් ධර්මාවබෝධයක සිටිනවා. ගුණ දහමක් නැති කරුණා මෛත්‍රිය නැති අයටත්
දුක ශෝකය නො දැනෙන්න පුළුවන් සමහර අවස්ථාවල. අප මෙහිදී සඳහන් කරන්නේ
හොඳට කරුණා මෛත්‍රී ගුණ ඇති ගුණ දහම් අගයන හොඳින් යුතුකම් ඉටුකරන අය
පිළිබඳවයි. සිත භාවනා වශයෙන් වඩා තිබෙන වඩන අයට මෙවැනි අවාසනාවන්ත
තත්ත්ව ඇතිවන්නේ නැහැ. අපට ප්‍රකට කථා පුවත් මෙහිදී සිහිපත් වෙනව.
බන්දුල මල්ලිකාව ගැන අපේ පින්වතුන් අසා තියෙනවා. ඇගේ සැමියා, බන්දුල
සේනාපති ඇතුළු පිරිමි දරුවන් තිස් දෙදෙනාම එකම මොහොතක මරාදමා තිබුණා.
ඇයට ඒ පුවත දැනගන්න ලැබුණේ ඇය සැරියුත් මහරහතන් වහන්සේ ප්‍රමුඛ
මහසඟරුවනට දන් පූජා කරන මොහොතේදී . එහෙත් ඇය ඉන් කම්පා වූයේ නැහැ.
සැලුනේ නැහැ. හදිසි කම්පනයට, කලබලයට පැමිණියේ නැහැ. සියල්ල ඉවසාගෙන
දන් පූජා කළා. සංසුන්ව සියලු කටයුතු කළා. මේ කාන්තාවට මේ ශක්තිය
ලැබුණේ කොහොමද? ඉතා උසස් ලෙස දියුණු කරපු වඩපු සිතක් ඇයට තිබුණා. අපට
මරණය උරුම දෙයක්, අපට මරණයට මුහුණ දෙන්න සිදුවෙනවා. කියන එක ඇය අවබෝධ
කරගෙන සිටියා. එනිසයි ඇයට එතරම් ප්‍රබල අවාසනාවන්ත සිදුවීමකදීත් ඉවසා
සිටින්න හැකිවූයේ.
බෝසත් චරිතයේත් මෙවැනි ඉතා වැදගත් අවස්ථාවක් සඳහන් වෙනවා.
බුදුබණ නිවැරැදිව හොඳින් සිතට ගෙන තම ජීවිත ආලෝකමත් කරගත් ආකාරය මේ
තුළින් අපට මැනවින් පැහැදිලි වෙනවා.
අපට අප පිළිබඳව ලෝකය පිළිබඳව යථාර්ථය නුවණින් තේරුම් ගන්නට හැකිනම් අපේ
ජීවිත සැපවත් කර ගැනීමට අන් ක්‍රම අවශ්‍ය වන්නේ නැහැ. අප සන්තානගත
කෙලෙස් දුරුකර ගැනීමට එය මහෝපකාරී වෙනවා. ස්වාමියා, බිරිඳ, මාපිය,
දූදරු ආදී වශයෙන් දැඩිව ක්ලේශ බන්ධනයෙන් බැඳී වෙලී ඇති බැවින් දුක ශෝකය
ඉවසා දරා ගැනීමටත් නොහැකි ව අතිශය වෙහෙසට පත්වෙනවා. ධර්මානුකූ®ලව
විමසීමේදී එසේ විය යුතු නැත. ඔවුනොවුනට ආදරය කරුණාව මෛත්‍රිය ඉතා
හොඳින් තිබිය යුතුය. එහෙත් ක්ලේශ බන්ධනයෙන් වෙන්වීම යහපත් ය. තම තමන්ගේ
යුතුකම් වගකීම් නොපිරිහෙලා ඉටුකළයුතු වෙනවා. එය දෙලොව සැනසීමේ
පිළිවෙතයි. ලෞකික ලෝකෝත්තර දියුණුව පිණිසත් එය හේතුවෙනවා.
සසර දුකින් මිදෙන්නටත් එය මහෝපකාරි වෙනවා. මරණානුස්සති භාවනාව මනාව
ප්‍රගුණ කළොත් උසස් ආනිසංස ලැබෙනවා. එනිසයි අපට බුදුහාමුදුරුවො පෙන්වා
වදාළේ මේ භාවනාක්‍රමය හොඳින් ප්‍රගුණ කරන්න කියලා. නිවන්සුව අවබෝධ කර
ගැනීමට එයම හේතු වෙනවා. භාවනාවේ මූලික පරමාර්ථය නිවන්සුව අවබෝධ
කිරීමයි. එතෙක් අපට මෙලොව බොහෝ අනුසස් ලැබෙනවා. මේ ජීවිතයේදීමත්
ලැබෙනවා. මරණය පිළිබඳ සිහිය පිහිටුවා භාවනා කිරීම ඉතා හොඳ දෙයක්. එය
නොපමාව නිවන් මගටත් මෙලොව දියුණුවටත් හේතුවෙනවා. කරුණු හොඳින් වටහාගෙන
සියලු යහපත උදාකර ගැනීමට මේ උතුම් භාවනා ප්‍රතිපදාව නිති ප්‍රගුණ කරමු.
දියුණු කරමු.
තෙරුවන් සරණයි!
|