UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වෛදික යුගයේ ආගමික සංස්කෘතික පසුබිම

ආර්යයන්ගේ ආගමික චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා ගැනීමෙහිලා වෛදික සාහිත්‍යය ඉතා වැදගත් මූලාශ්‍රයකි. ඝෘග්, යජුර්, සාම, අථර්වන් යන වේද සතරකින් සමන්විත වෛදික සාහිත්‍යයේ පැරණිම වේද ග්‍රන්ථය ලෙස ඝෘග්වේදය සැලකේ. මේ නිසා ඉන්දු ආර්යය ආගමික විශ්වාසයන්ගේ ආරම්භය, ඒවායේ ක්‍රමික විකාශය පිළිබිඹු කරන කැඩපතක් සේ සෘග්වේදය සැළකිය හැකි ය. ඝෘග්වේදයේ තොරතුරුවලට අනුව ඉන්දු ආර්යයන්ගේ ආගමික චින්තනයේ පසුබිම ස්වභාවික වස්තු වන්දනය තුළින් ගොඩනැගෙන බව පෙනේ.

ප්‍රාග් බෞද්ධ භාරතීය ආගමික හා දර්ශනික ඉතිහාසය වෛදික, බ්‍රාහ්මණ, ආරණ්‍යක උපනිෂ්ද් වශයෙන් යුග හතරකට බෙදා වෙන්කොට හඳුනා ගත හැකි ය. මෙයින් වෛදික යුගය ලෙස හඳුන්වන්නේ මධ්‍යම ආසියාවේ සිට ඉන්දියාවට පැමිණි ආර්යයන් එහි වාසස්ථාන ඉදිකොට ගෙන ක්‍රමයෙන් ව්‍යාප්ත වෙමින් සිය සහ්‍යත්වය හා සංස්කෘතිය ගොඩනඟා ගැනීමට උත්සුක වූ කාල පරිච්ඡේදය වෛදික යුගය වශයෙන් හැඳින්විය හැකි ය.

මෙකී යුගයේ ආර්යයන්ගේ ආගමික චින්තනය හා ක්‍රියාකාරීත්වය පිළිබඳ සොයා ගැනීමෙහිලා වෛදික සාහිත්‍යය ඉතා වැදගත් මූලාශ්‍රයකි. ඝෘග්, යජුර්, සාම, අථර්වන් යන වේද සතරකින් සමන්විත වෛදික සාහිත්‍යයේ පැරණිම වේද ග්‍රන්ථය ලෙස ඝෘග්වේදය සැලකේ. මේ නිසා ඉන්දු ආර්යය ආගමික විශ්වාසයන්ගේ ආරම්භය, ඒවායේ ක්‍රමික විකාශය පිළිබිඹු කරන කැඩපතක් සේ සෘග්වේදය සැළකිය හැකි ය. ඝෘග්වේදයේ තොරතුරුවලට අනුව ඉන්දු ආර්යයන්ගේ ආගමික චින්තනයේ පසුබිම ස්වභාවික වස්තු වන්දනය තුළින් ගොඩනැගෙන බව පෙනේ.

“වෛදික සුක්තයන්හි සිය හැඟීම් පවසන සෘෂිවරුන් පළමුව යැද්දේ ඉරුදෙවියන්ටවත්, සඳු දෙවියන්ටවත්, ගිනි දෙවියන්ටවත් වෙන දෙවියන්ටවත් නොවේ. ස්වාභාව ධර්මයේ විවිධ අංගවන අහසේ දිනපතා නැඟ එන සූර්යයාටද, රාත්‍රියේ සිය රැස්වලින් ලොව නහවන චන්ද්‍රයාට ද අහසෙහි සමහර විට බැබළෙන විදුලි එළියට ද, මිහිපිට නිතරම දැල්වෙන ගිනිදැල්වලටද, එසේම පෙනෙන වෙනත් නොයෙක් ස්වාභාවික වස්තූන්ට ද වේ. කල්යත්ම ඔවුන් ඒ ස්වාභාවික වස්තූන්ට දැක් වූ ආදරය හා බිය නිසා දේව බලයක් ඒවාට ආරූඪ කිරීමට කටයුතු කරන්නට ඇතැයි නිගමනය කළ හැකි ය.

මෙම ප්‍රකාශය වෛදික දේව විශ්වාසයන්ගේ ආරම්භය පිළිබඳ ප්‍රවේශයක් සපයා දෙයි. සොබා දහම දේවත්වයෙන් සැලකීමෙන් නොනැවතුණ ආර්යයෝ ඊට මානව රූපි බවක් ආරෝපණය කරමින් සජීවි බවක් ලබා දීමට උත්සාහ දැරූහ. දෙවියන් ලෙස සැළකූ ස්වාභාදහමේ මෙකී අංගයන් මිනිසුන් හා සමාන සජීවි බලවේග වශයෙන් ද ,ඒවා දයාව, කරුණාව, වෛරය, කෝපය වැනි මානව හැඟීම් අනුව ක්‍රියාකරතැයි ද විශ්වාස කොට තමන්ගේ ජීවිත පැවැත්ම සුරක්‍ෂිත වන්නට මහ බලපරාක්‍රමයකින් යුත් මානව රූපී මෙකී බලවේගයන්ගේ ආශිර්වාදය ලබාගත යුතු යැයි සිතා සොබාදහමේ විවිධ අංගයන්ට වැඳුම් පිදුම් කළහ. පිහිටාධාරපතා යාඥා කළහ. ආර්යයන් මෙසේ සොබාදහමේ ආවිෂ්කාරයන් දේවත්වයෙන් සලකා ඇති බවට ඔවුන්ගේ දේව සභාව සාක්‍ෂි දරයි. සූර්ය,සෝම, අග්නි, වායු, පෘථිවි, උෂස්, මරුත්, ඉන්ද්‍ර, වරුණ, මිත්‍ර, අදිති, පුෂන්, රුද්‍ර, පර්ජන්‍ය, අශ්වින්, විෂ්ණු යනු වෛදික ආර්යයන්ගේ ගෞරවාදරයට හා පූජනීයත්වයට පත් සමහර දෙවිවරුය. අහස වරුණ හෝ අදිති ලෙසත්, පොළව අහසේ බිරිඳ ලෙසත්, සූර්යයා යනු ඒ වරුණ දෙවියා ලෝකය දෙස බලන ඇස ලෙසත් සලකා තිබේ. අශ්වින් ආලෝකයේ දෙවියායි. ගින්නේ දෙවියා වූ අග්නි සූර්ය තුළත්, විදුලියෙත්, දර උදුනෙත් සිටිතැයි විශ්වාස කෙරිණ. යාගයන්ගේ දෙවියා වූ අග්නි ගිතෙල් හෝ දර ආහාර වශයෙන් ගනිතැයි පිළිගැනිනි. විශේෂයෙන් ආකාශස්ථ දෙවියන් වෙත පෘථිවියේ පූජාවන් ගෙන යනු ලබන්නේ අග්නි දෙවියන් විසිනි. දර කැබැලි දෙකක් ගැටීමෙන් අග්නියේ උපත සිදුවේ. එහෙත් ඇතැම් ස්තෝත්‍රවල ඔහු අහසේ ජලයෙන් ප්‍රභවය වී යැයි සඳහන් වේ. අග්නි දේවතාවා සත්වයන් සියල්ලටම වඩා හිතකර වූ දෙවියකු වශයෙන් සැලකුණ අතර ඔහුගේ කරුණාවෙන් දිනපතා සත්වයන්ට ධනය ආහාර, පුත්‍රයන් හා සමෘද්ධිය ලැබෙතැයි පිළිගෙන තිබිණි.

සෝම යනු වෛදික ආර්යයන් අතර පූජනීයත්වයට පත් තවත් දේවතාවෙකි. ඔහු මධ්‍යසාරයේ දෙවියා වශයෙන් සැලකිණ. පර්ජන්‍ය යනුවෙන් මේඝයේ හා වර්ෂාවේ දෙවියන් අදහා තිබේ. මෙම දෙවියන්ගේ චරිතය පිළිබඳ අපූරු චිත්‍රයක් ඝෘග්වේදයේ දැක්වෙන වාර්තාවක් තුළින් දත හැකි ය. වැස්ස, සැඩ සුළඟ, ගර්ජනාව හා විදුලිය ඔහුගේ ක්‍රියාකාරකම් ලෙස හැඳින්වේ.

පර්ජන්‍ය ගස් කඩයි. රාක්‍ෂයින් නසයි. ඔහුගේ විශාල ආයුධයට මුළු ලොවම තැතිගනී. ගර්ජනය කරමින් පර්ජන්‍ය සතුරන් (වළාකුළු) විනාශ කරන විට ශක්තිමත් වූ ඔහු කෙරෙන් අහිංසක අයද පලායති. රියදුරකු කසයෙන් තලමින් අශ්වයන් දක්වන්නාක් මෙන් ඔහු වර්ෂා නම් දූතයන් ඉදිරියට මෙහෙවයි. පර්ජන්‍ය අහසේ වැසි වස්සන විට දුර සිට සිංහයාගේ ගර්ජනාව ඇසේ. සුළඟ හැම අතින්ම හමයි. විදුලිය නිකුත් වේ. (ඕෂධිහු) පැළෑටි පැන නැඟිත් මේ අනුව පර්ජන්‍ය දෙවියා ඉතා බියජනක හැසිරීම් රටාවක් ඇත්තෙකි. එසේම ජලය ලබාදීම, පැළෑටි හා ජීවයන් පෝෂණය කිරීම, ප්‍රාණවත් කිරීම ඔහුගේ බලමහිමයෙන් සිදුවන්නේ ය.

වෛදික යුගයේ ඉන්ද්‍ර ආර්යයන් අතර තවත් ගෞරවාදරයට පත් දෙව් කෙනකු ‘රුද්‍ර’ ඔහු සැඩ සුළඟ හෙවත් කුණාටුවට සම්බන්ධ දේවතාවා වශයෙන් සැළකිණ. ජේ. තිලකසිරි මහතා මෙම දෙවියන් ස්වාභාවික වස්තූන්ගේ රෞද්‍ර ස්වභාවය පිළිබිඹු කරන දෙවියන් වශයෙන් සලකයි. රෞද්‍ර දේවතාවා බිහිසුණු තිරිසනකු මෙන් සතුරන් නසන, කෙනකු ලෙසත් එසේම ‘වරුණ’ දෙවියන් මෙන් මිනිසුන් හොඳ නරක පරීක්‍ෂා කර බලා ඊට යුක්ති සහගත තීන්දු තීරණ ගන්නා බවත්, විශ්වාස කෙරිණ. ‘වායු’ නමින් හැඳින්වෙන වාතයට අධිපති දෙවියන් ද ඉන්ද්‍ර ආර්යයන්ගේ දේව සභාවේ ප්‍රබල දෙවියකි.

මරුත් සැඩ සුළඟට අධිපති දෙවියකු වශයෙන් සලකා තිබේ. ඔහු දෙවිවරුන් සමූහයක්ම නියෝජනය කරන අතර ඔවුන් රෞද්‍රගේ පුත්‍රයන් වශයෙන් ද සලකනු ලැබේ. මරුත් දෙවියන්ගේ ස්වභාවය සෘග් වේදයේ දැක්වෙන්නේ,

“විදුලියෙන් තම මහිමය පෙන්වන වීරවරයෙකි. වායු වේගයෙන් යන මරුත්වරුනි, පර්වත උදුරා දමන දෙවිවරුනි, වර්ෂාව ගෙනෙමින් වැසිවලින් පර්වත වසාගෙන ගර්ජනා කරමින් බලපරා ක්‍රමය පෙන්වන්නාහුය.”

දේවතාවන් අතර දෙවඟනන් ද ඉන්දු ආර්යයන්ගේ පූජනීයත්වයට පත්ව තිබේ. “උෂස්” නමින් හැඳින්වෙන හිමිදිරියට අධිපති දෙවඟන එවැනි දෙවඟනකි. ‘උෂස්’ දෙවඟනගේ කාර්ය භාරයත්, ඇය සතු ගුණාංගයත් පහත වර්ණනා වලින් පැහැදිලි වේ.

“නෑමෙන් තම සිරුර කාන්තිමත් වී යැයි හඟිමින් ‘උෂස්’ දේවිය අප ඉදිරියේ අපට පෙනෙන ලෙස සෘජුව සිටී. සතුරන් අඳුර නසා දිවස් දුහීතෘ වූ ‘උෂස්’ දෙවියා අප වෙත ආලෝකය රැගෙන එයි.

‘උෂස්’ හා ‘හිරු’ දෙවියන් අතර ඇත්තේ සමීප සබඳතාවයකි. හිමිදිරිය හා හිරු උදාව යන සොබා දහමේ ක්‍රියාකාරීත්වය එක්ව ගමන් කරන සංසිද්ධි දෙකකි. මේ අවස්ථා දෙක දේවත්වයෙන් සැළකූ ආර්යයෝ ඊට අසීමිත ගෞරවාදරයක් දැක්වූහ.

සෘග්වේද යුගයේ දී ඉන්ද්‍ර නම් වූ දෙවියා ආර්යයන්ගේ දෙවිවරුන් අතර සිටි බලවත් දෙවියෙකි. යුදමය කාර්යයන්හි හා කාලගුණය පිළිබඳ කාර්යයන්හි යෙදුණ, මේ දෙවියා අකුණුවලට අධිපති දෙවියකු වශයෙන් ද අනාර්යයන්ගේ බලකොටු විනාශ කළ දෙවියකු වශයෙන්ද සැලකේ. සැඩ කුණාටු සහිත වර්ෂාවන්ගේ දෙවියා වශයෙන්ද මොහු හඳුන්වනු ලැබේ.

ඉන්දීය ආර්යයන්ගේ ශූරකම හා රණකාමී ගතිය එඩිතරව කියාපාන ජාතික දෙවියකි. ඉන්ද්‍ර මොහුගේ බලපරාක්‍රමයක් ලබා ගැනීම පිණිස නිතර ප්‍රාර්ථනා කළහ. ‘ඉන්ද්‍ර’ යුද බිමේදී යුද භටයන්ට ජයග්‍රහණය ලබා දෙයි.

ඉන්ද්‍රට පමණක් දෙවැනි වූ ‘වරුණ’ මහා බලසම්පන්න දේවිදේවතාවන් පිරිවරාගත් මහාරාජයකු මෙන් වැජඹුණ කෙනෙකි. සදාචාර ධර්ම භාරව සිටි ‘වරුණ’ සෑම තැනමත්, සෑම විටමත් සිටින දෙවිකෙනෙකු වශයෙන් සැලකිණ. පවිත්‍ර සිතැති වරුණ බෙහෙවින් ධාර්මික දෙවියකු ලෙස පෙනී සිටී. එබැවින් ඔහු අයහපත, පව, හෙළා දකී. බොරුව, කෝපය, බීමත්කම, සූදුව හා පවිටු මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් සදාචාර විරෝධි ලෙස සලකමින් එවැන්නන්ට දඬුවම් ලබා දේ. මේ නිසා වරුණගෙන් මිනිසුන් විසින් කරන නොයෙක් වැරැදි ක්‍රියාවන්ට සමාව අයදින බව පෙනේ.

මේ ආකාරයෙන් ඝෘග් වේදයේ ඉන්දු ආර්යයන්ගේ පූජනීයත්වයට හා ගෞරවාදරයට පත් වූ දෙවඟනන්ගේ හා ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කරන විට පැහැදිලි වන්නේ ස්වභාව ධර්මයේ අංගයන් ඔවුන්ගේ දෙවියන් බවට පත් වී ඇති ආකාරයත් ස්වාභාව ධර්මයේ අපූර්වත්වයත් දේවත්වයෙන් සැළකූ ආකාරයත් සොබාදහම හා වෛදික ජනයා අතර පැවති සමීප සබඳතාවන්ය. එදිනෙදා ජීවිතයට සම්බන්ධ වූ සොබාදහමේ අංගයන් ජීවිතයේ කොටසක් ලෙස සැලකූ ආකාරයන් ය.

මෙසේ දෙවියන් පිළිබඳ වෛදික ජනයා දැරූ මත හා අදහස් උදහස් ක්‍රමයෙන් දියුණුවට පත් වූ අතර ඔවුන්ගේ දේව සභාව සංඛ්‍යාත්මකව විශාල විය. මෙම අවස්ථාව වෛදික දේව විශ්වාසයන්ගේ බහුදේවවාදි යුගය ලෙස හැඳින්වේ. එච්.ටී. බස්නායක මහතාගේ අදහසකට අනුව ආර්යයන්ගේ දේව මණ්ඩලය කිසියම් පිළිවෙළකට සකස් කර ගැනීම සඳහා වර්ගීකරණයක් කොට තිබේ. මෙකී වර්ගීකරණය කොට ඇත්තේ ඒ ඒ දෙවිවරුන්ගේ ප්‍රභවය ලත් ස්ථාන ආශ්‍රය කරගෙනයි. ඒ අනුව ‘පෘථිවිස්ථාන’ අත්තරී – ක්ෂස්ථාන’ හෙවත් මධ්‍යස්ථාන හා ‘දසපුස්ථාන’ යනු දෙවිවරුන්ගේ වාසස්ථානයි.

‘පෘථවි’, ‘අග්නි’, ‘සෝම’, බ්‍රහස්පති’ හා ‘ගංඟා යන දෙවිවරු, පළමු වාසස්ථානයටත්, ‘ඉන්ද්‍ර’, ‘රුද්‍ර’, ‘වායු’, ‘පර්ජන්‍ය’, ‘ආප’, ‘මාතරිෂ්වාන් දෙවැනි වාසස්ථානයටත් ‘ද්‍යුස්’, ‘වරුණ’, ‘මිත්‍ර’, ‘සූර්යයා’, ‘පුෂාන්’, ‘විෂ්ණු’, ‘ආදිත්‍ය’, ‘උෂා’ තුන්වන වාසස්ථානයටත් අයත්වන අතර ඇතැම් දෙවිවරුන්ගේ වාසස්ථාන අපැහැදිලි බව ප්‍රකාශ කරයි. බොහෝ දෙවිවරුන් හා දෙවඟනන් වර්ග කළා පමණක් නොව දෙවිවරුන් තිස් තුනක් හෝ තුන්සිය තිස් තුනක් හෝ වෙනත් තුනේ සංඛ්‍යාවකින් ගණනය ද කෙරිණ.

බහුදේවවාදී යුගයේ දී බොහෝ දෙවිවරුන්ගෙන් තෘප්තියට පත් නොවූ ආර්යයයෝ ඔවුන්ගේ මුළුදේව සභාවම පාලනය කරන එක් බලගතු දෙවියකු ඇතැයි විශ්වාස කෙරිණ. මෙය ඒකදේවවාදයේ මූලික අවස්ථාවයි. බහුදේව වාදයේ සිට ඒකදේවවාදය දක්වා වූ ආර්යයන්ගේ ආගමික චින්තනයේ වර්ධනය අතරතුර සියලු දෙවිවරු අතරින් කලින් කලට එක් දෙවියකු ප්‍රධාන වශයෙන් සැළකීමට ගත් උත්සාහයක් පෙනේ. මෙය එකෛකේශ්ව වාදය, ආවස්ථිත වාදය යනුවෙන් හැඳින්වේ. මේ තත්ත්වය තුළ ඇතැම් අවස්ථාවල ඉන්ද්‍ර ද, තවත් අවස්ථාවක, වරුණ ද, තවත් අවස්ථාවක ප්‍රජාපතිද, සියලු දෙවියන්ගේ අධිපති දෙවියා වශයෙන් පිළිගැනීමට පෙළඹී තිබේ.

මෙසේ ඉන්දු ආර්යයන්ගේ ආගමික ඉතිහාසය පරික්‍ෂා කර බලන විට පැහැදිලි වන සුවිශේෂි කරුණ නම් ඔවුන්ගේ ආගමික චින්තනය අවට පරිසරය හා ඔවුන් මුහුණ දුන් ගැටලුවලට සාපේක්‍ෂව ප්‍රභවය වී ඇති බව හා ක්‍රමානුකූලව මෙකී ආගමික චින්තනය වර්ධනය වී දාර්ශනික පසුබිමකට ඔවුන් ‍ෙගනගොස් ඇති බවයි.

නිකිණිපුර අටවක පෝය

නිකිණිපුර අටවක පෝය අගෝස්තු 16 වන දා සඳුදා පූර්ව භාග 12.08 ට ලබයි. 17 වන දා අඟහරුවාදා පූර්ව භාග 11.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 16 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු 24 වනදා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

New Moonඅමාවක

සැප්තැම්බර් 08

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]