UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය - පස්වන සියවසේ දී මහසෙන් රජුදවස ලංකාවට වැඩමකළ චීන ජාතික දේශාටකයන් වහන්සේ කවුද?

පිළිතුර - පා හියන් නම් සුප්‍රකට චීන වන්දනාකාර හිමියන් මහසෙන් රජු දවස ශ්‍රී ලංකාවට වැඩම කොට ඇත.

ප්‍රශ්නය - මහාවංසයේ 37 පරිච්ඡේදයේ 203 වන ගාථාවෙහි සඳහන් වන පරිදි කරුණා සීතල හදවතක් තිබූ ආගමික ශ්‍රද්ධාවෙන් පිරිපුන් උපතිස්ස රජු මෙහෙසිය අතින් මැරුම් කෑ පසු පැවිදිව සිටි මහානාම කුමරු සිවුරු හැර රජ බවට පැමිණුනි. මෙහෙසිය මහාවිහාර පාක්ෂික වූ අතර රජ අභයගිරි පාක්ෂික වූවෙකි. මෙකල ශාසනික ඉතිහාසයේ සුවිශේෂ වූ සිදුවීමක් විය. එය කුමක්ද?

පිළිතුර - ශ්‍රේෂ්ඨ අට්ඨකථා කර්තෘවරයෙක් වූ බුද්ධඝෝෂ හිමියන් අනුරාධපුර මහාවිහාරයට වැඩමකොට තෙවළා හෙළ අටුවා පාලියට නැගීමට කලින් ‘විසුද්ධි මාර්ගය’ රචනා කරන ලදී.

ප්‍රශ්නය - අනුරාධපුර අභයගිරි විහාරය මුල් කාලයේ හැඳින්වූ විශේෂ නාමය කුමක්ද?


අභයගිරි චෛත්‍යය පිළිසකර කිරීමට පෙර

පිළිතුර - අභියත්තර විහාරය, උත්තර විහාරය, බගිරිනකය, උතුරුසෑය , භයාගිරිය ආදී විවිධ නම් වලින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය - ක්‍රි.ව. 1848 අගෝස්තු මස 24 වන දින ඉංගී‍්‍රසි ජාතික ‘බුලර්’ මහතා ප්‍රධාන පිරිස විසින් අත්අඩංගුවට ගත් හිමිපාණන් වහන්සේ කවුද?

පිළිතුර - කුඩාපොල හිමිපාණන් වහන්සේ.

ප්‍රශ්නය - බටහිර සිරිත් විරිත් සහ ඉංගී‍්‍රසි භාෂාව සම්භාවනාවට ලක් වූ යුගයක ඉපැරණි ශ්‍රී ලාංකේය අනන්‍යතාවය තහවුරු කිරීම සඳහා ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාට සමකාලීන ජාතික වීරවරයා කවුද?

පිළිතුර - වලිසිංහ හරිශ්චන්ද්‍රතුමා

ප්‍රශ්නය - බුදුරජාණන්වහන්සේ එක් අවස්ථාවක මෙසේ වදාළහ. මහරජ මෙතැන් පටන් මාගේ ශාසනයෙහි මා ඇති කල්හි වේවයි නැතිකල්හි වේවයි දරු කෙනෙකුන් මා පියනට නොකියා මහණ කළ නොහැක්කේ ය යැයි ශික්ෂාපද පැනැවූහ. මෙම අවස්ථාව කුමක් ද?

පිළිතුර- ශුද්ධෝධන රජතුමා තම මුණුබුරාණන් වූ රාහුල කුමරා පැවිදි කළ බව අසා මහත් සේ කම්පාවට පත්වූහ. ඉකිබිති බුදුන් හමුව දෙමාපියන් නොඅනුදත් දරුවන් පැවිදි නොකරන බවට වරයක් දෙන ලෙස අයැද සිටියහ. එවිට බුදුන් වහන්සේ ඉහත සඳහන් නියමය පැනවූ සේක.

ප්‍රශ්නය - උරුවේලාවත්, ගයාවත් අතරමගදී බුදුරජාණන්වහන්සේ මුණගැසුන එක් තැනැත්තෙක් මෙසේ කියයි

ඇවත, ඔබ නිසල වූ ගුණ ඇති කෙනෙකි. ස්ථිර වූ ගුණ ඇති කෙනෙකි. ගැඹුරු ව ගුණ ඇති කෙනෙකි. තෙදගුණ ඇති කෙනෙකි. සොමිගුණ ඇති කෙනෙකි. අමා පිඩක් වැනි කෙනෙකි. මහ පින්පිඩක් වැනි කෙනෙකි. ඇවත ඔබගේ ඉන්ද්‍රියයෝ ඉතා ප්‍රසන්නයහ. ශරීර වර්ණය පිරිසුදුය. කවර ශාස්තෘවරයෙකු උදෙසා පැවිදි වූයේ හිද?

බුදුරදුන් හමු වූ මේ මගියා කවරෙක්ද?

පිළිතුර - ‘උපක’ ආජීවක තුමාය.

ප්‍රශ්නය - සත්ත්වයා යනු රූපාඅරූප ධර්මයන් ගේ සංයුතියකි. පැහැදිලි කරන්න.

පිළිතුර - රූපා අරූප ධර්මයන්ගේ සංතතිය සත්ත්වයා යයි සම්මතයට එක්ව ඇත. රූප ධර්ම වලින් වර්ණ රූපය පමණකි. අපේ ඇසට පෙනේ. එහෙත් අරූප ධර්ම (නාම) අපේ ඇසට නොපෙනේ. අරූප ධර්ම රූපයෙන් වෙන්වීම (වියෝවීම) අභාවය. (මරණය) සිදුවේ. එවිට රූපයට ක්‍රියාකළ නොහැකිය. රූපයෙන් අරූප ධර්ම (නාම) වෙන්වී ඇති නිසාය. එහෙයින් රූපය ක්‍රියා කරවන්නේ අරූප ධර්ම (මනො පුබ්බංගමා ධම්මා මනොසෙට්ඨා මනොමයා) බව පැහැදිලිය. මෙසේ රූප - අරූප ධර්මයන් ගේ සංයෝගයක්. (එක්වීමක්) පැවැත්මත්. වෙන්වීමත් හැර සත්ව ශරීරයෙහි ආත්ම යයි ගතයුතු කිසිවක් නැත. මරණයෙන් ඔබ්බට යන කිසිවක් සත්ත්වයා තුළ නැත.

ප්‍රශ්නය - රූප - අරූප ධර්මයන්ගේ සංතතිය සත්ත්වයා බව පෙලදහමට අනුව විවරණය වී නම් රූප ධර්ම යන්නෙන් පැහැදිලි ධර්මයතාවය කුමක්ද?

පිළිතුර - සත්ත්වයාගේ ශරීරය රූපය බව අපි දනිමු. අපා, දෙපා, සිවුපා බහුපා ආදී මිනිස් ලොව වසන හැම සතෙකුටම රූපයක් හෙවත් (ශරීරයක්) ඇත. රූපය රූප සමූහයක් සංයෝගයක් (කොටස් එකතුවක්) රූපස්කන්ධයයැයි ව්‍යවහාර වෙයි. රූපස්කන්ධය ඒ ඒ අංග පදාර්ථ) රූප ධර්ම නම් වෙයි. රූපස්කන්ධය මහභූතරූප නමින් කොටස් 04 කට වෙන්ව හඳුනාගත හැකිය.

1. පඨවි ධාතුව - ජීව - අජීව වස්තුවල ඇති රළු ගතිය

2. ආපො ධාතුව - එම වස්තුවල ඇති වැගිරෙන ඇලෙන ගතිය

3. තේජෝ ධාතුව - එම වස්තුවල ඇති සිසිල් ගතිය හා උණුසුම් ගතිය

4. වායෝ ධාතුව - එම වස්තුවල සැලෙන පිම්බෙන ගතිය

ප්‍රශ්නය- ‘කථෝපකථනය’ මෑත බෞද්ධ පුනරදය සඳහා ද මෙය ග්‍රන්ථයක් වශයෙන් බෙහෙවින් ආධාරකයක් විය. මෙම කෘති කවුරුන් විසින් රචිත ග්‍රන්ථයක්ද?

පිළිතුර -හෙන්රි ඕල්කට්තුමා විසින් පළකරන ලද ප්‍රශ්න උත්තර සහිත ග්‍රන්ථයකි. මෙම ග්‍රන්ථය 45 වතාවක් මුද්‍රණය කර භාෂා 18 කට පරිවර්තනය කොට ඇත.

ප්‍රශ්නය - ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය වන ජේතවනාරාමය කරවන ලද්දේ කවුරුන් විසින්ද?

පිළිතුර - ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත බෞද්ධ ලෝකයේම සුවිසල් දාගැබ ලෙස සැලකෙන ජේතවන ස්ථුපය මහසෙන් රජතුමා (ක්‍රි.ව. 276 - 304) විසින් කරවන ලද්දකි. දැනට එහි උස අඩි 231 පමණ වූවත් මුල් යුගයෙහි දී අඩි 400 ක් වූ බව සඳහන් වෙයි. දාගැබ් මලුව අක්කර 07 බිමක් වසා සිටී.

ප්‍රශ්නය - ලොව ඇති විශාලතම බෞද්ධ විහාර ස්ථානය පිහිටා තිබෙන්නේ කුමන රටකද? එම විහාරස්ථානය හැඳින්වෙන්නේ කුමන නාමයකින් ද?

පිළිතුර - ඉන්දුනීසියාවේ බෝරෝ බූදුර් විහාරය

ප්‍රශ්නය - දළදා වහන්සේට පොළොන්නරු රාජධානියේහදී නිශ්ශංකමල්ල රජතුමා විසින් කරවන ලද ගොඩනැගිල්ල හැඳින්වෙන්නේ කුමන නාමයකින් ද?

පිළිතුර- හැටදාගෙය මෙම ගොඩනැගිල්ල නිශ්ශංකමල්ල රජු විසින් ඔහුගේ රාජකීය මන්දිරය මෙන් පැය හැටක් ඇතුලත නිමවන ලද බව සඳහන් වෙයි. එනිසා මෙම ගෘහය හැටදා ගෙය නමින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය - ඉපැරණි රාජධානියක් තුළ ඒකීය ජන කොට්ඨාසයක් වශයෙන් මෙම රාජධානිය තුළ ජීවත් වූ ජනතාවගේ ජාතිත හා ආගමික සමගිය සංකේතවත් කරන දැනට නටබුන් බවට පත් සිද්ධස්ථානයන් පිරි නගරයකි. මෙහි නාමය කුමක්ද? එහි ඇති පූජනීය ස්මාරක මොනවාද?

පිළිතුර - පුලස්ථිපුර හෙවත් පොළොන්නරු රාජධානියයි. පොළොන්නරුවෙහි සොයා ගනු ලැබූ පැරණිම හින්දු ස්මාරකය. අංක 02 ශිව දේවාලයයි. පැරණි නගරයෙන් බටහිර දිසාවෙන් දක්නට ලැබෙන දේවාල දෙක මහා ශිව සහ ශිවගේ පුත්‍ර ගනේෂ් දේවාලය යි.

ප්‍රශ්නය - කර්මය සත්ත්වයා හීන වශයෙන් හා ප්‍රණීත වශයෙන් ප්‍රභේද කරයි. (කම්මං සත්තෙ විභජති යදිදං හීනපණීතතායාති ම.නි. චුල්ලකම්ම විභංග සූත්‍ර 3.432) මෙම බුද්ධ දේශනා පාඨය අනුව කර්මය නියතිවාදී අදහසක් හැඟී යයි. පැහැදිලි කරන්න.

පිළිතුර - තෝදෙය්‍ය පුත්‍ර ‘සුභ’ මානවකයා බුදුරදුන් වෙත පැමිණ තම සැක දුරුකර ගැනීම සඳහා කර්මවිපාක පිළිබඳව පැහැදිලි කරදෙන ලෙස ඉල්ලීය. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ‘ප්‍රාණඝාත හේතුවෙන් අල්පායුෂ්ක බවද (ආයුෂ අඩු) ප්‍රාණ ඝාතයෙන් වැළකීමෙන් දීර්ඝයුෂ්ක බවද සත්ව හිංසා හේතුවෙන් රෝගී බවද සතුන්ට දයාව දැක්වීම හේතුවෙන් නිරෝගීබවද මානයෙන් හීන කුලයක උපත ලබන බවද මානයෙන් තොරව ගරුකළ යුත්තන්ට ගරු කිරීමෙන් කුලීන බවද ආදී ලෙසින් කරන ලද කර්මයට අනුරූපව පුද්ගල විෂමතා දක්නා ලැබෙන බව බුදුරදුන් වදාළහ. මෙසේ සුභ මානවකට තවදුරටත් පැහැදිලි කරමින් මානවකය, අල්පායුෂ්ක ප්‍රතිපදාව අල්පායුෂ්ක ඵලයක්ම ලබයි. දීර්ඝායුෂ්ක ප්‍රතිපදාව දීර්ඝායුෂක ඵලයක් ම ලබයි. මෙසේ ම බොහෝ ආබාධ ඇතිබව හා නැතිබව ඒ ඒ ඵලයන්ම ලබයි. දුර්වර්ණ බව පවතින ප්‍රතිපදාව හා ප්‍රසාද ඵලවන බව පිණිස පදාව එලෙසම ප්‍රතිඵල ලබයි. මෙසේ අල්පෙශාක්‍ය මහේශාක්‍ය, අල්පභෝග, මහාභෝග, නීච කුලීන, හා උච්චාකුලීන බව ඵලයක්ම ලබන බව බුදුරදුන් වදාළහ.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය අගෝස්තු 09 වන දා සඳුදා අපර භාග 12.15 ට ලබයි. 10 වන දා අඟහරුවාදා පූර්ව භාග 08.38 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 09 වන දා සඳුදා ය.

මීළඟ පෝය
අගෝස්තු මස 16 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 01

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]