පරිසරය යි - විනය නීතිය යි
මහනුවර අස්ගිරිය මහා විහාරයේ
ශාස්ත්‍රවේදී, පණ්ඩිත
අමුණුපුර පියරතන
හිමි
වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළ වූ
දීපංකරාදී
බුදුවරුන්ගේ ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු
ජීවිතයට සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක්
වශයෙන් අනුමත කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය
ආගමික
චින්තනයටත් යළි භික්‍ෂු
ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව පැහැදිලි
වෙයි.
ඉමෙහි පන සමණා සක්‍ය පුත්තියා හේමන්තම්පි, ගිම්හම්පි වස්සම්පි චාරිකං
චරන්ති. හරිතාණි තිණානි සම්මද්දන්තා ඒ කින්ද්‍රියං ජීවං විහේඨන්තා බහු
ඛුද්දකෙපාණේ සංඝා තං ආපාදෙන්කාති.
අථඛො භගවා එකස්මිං නිදානෙ එතස්මිංපකරණේ ධම්මං කථං කත්වා භික්ඛු
ආමන්තේසි.
“අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං.”
පින්වත්නි,
සකල ජන මන සැනසූ අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පරිසරයේ ස්වාභාවික
ක්‍රියාකාරිත්වයට අනුගතවන ලෙස ශ්‍රාවකයන් වහන්සේලාගේ ශික්ෂණය සඳහා විනය
නීතිරීති පනවා වදාළ සේක.
පරිසරය අනුව සමාජ සිද්ධාන්තයත්, සිද්ධාන්තයට අනුව විනය නීතියත් එයට
අනුව ශික්‍ෂණයත්, අවසානයේ විමුක්ති මාර්ගයත් සකසා ගැනීමට බුද්ධ ධර්මයේ
විස්තර කොට ඇත.
උපන් සත්වයා පරිසරයට අනුව ජීවත්වීම ජීවනයට එකම පිළිසරණයි. එහෙත් පරිසර
සම්පත් පොදු භාවිතයට අයිති නිසා පෞද්ගලිකව තමාගේ පරිහරණයෙන් අනුන්ට
හිරිහැරයක්, අලාභයක් වන්නේ නම් එය නීතියෙන්, රීතියෙන්, ව්‍යවස්ථාවෙන්
වැලැක්වීම ශිෂ්ට සම්පන්න සෑම සමාජයක් විසින්ම අනුමත කරනු ලැබේ.
බුදුදහම බිහිවූයේ මානව සමාජ පරිසරයෙන් නිසා විශේෂයෙන් මානව ධර්ම
ආරක්ෂා කිරීමට බුදුදහමෙන් තරම් පිටුවහලක් වෙනත් කිසිම චින්තනයකින්
නොලැබෙන බව මානව ඉතිහාසයේ වසර දස දහස් ගණනක තොරතුරුවලින්
ප්‍රත්‍යක්‍ෂවී ඇත.
භාරත දේශය මෙතරම් උසස් අර්ථවත් ඉතා සියුම් චින්තනයන් පහළවීමට යෝග්‍යතම
තෝතැන්න වූයේ එහි විද්‍යාමානවන අසිරිමත් එමෙන්ම භෞතික පරිසරයයි.
මෙයින් ජනිතව විවිධ විපර්යාසයන් දර්ශනයෙන් චලිතවන මානසික
සංවේදිතාවයන්ගෙන් භාරත ශිෂ්ටාචාරය පෝෂණවී අසල්වාසී රටවල විවිධ ජාතීන්
අතර ආගමික, ජාතික හා ආර්ථික වශයෙන් මෙන්ම සරල මානව ධර්මතා ලෙසද
ව්‍යාප්තවූ අයුරු දක්නට පුළුවන.
පරිසරයෙන් ලබන අත්දැකීම් අනුව මානව ධර්ම සකසා එමගින් දෙලොව අභිවෘද්ධිය
උදාකර දීමට බුදුරජාණන් වහන්සේ විවිධ දේශනා ක්‍රම උපයෝගී කරගත් අයුරු
ත්‍රිපිටක ධර්මය නිරීක්‍ෂණය කිරීමෙන් මනාව පැහැදිලි ෙව්.
භෞතික පරිසරයට ඇති බිය නිසා ආගම් නීති රීති ව්‍යවස්ථා මිනිසා විසින්
නිර්මාණාත්මකව ඉදිරිපත් කරන අතර බුද්ධාදී උතුමන් ඒවා දෙස බුද්ධියෙන්
බලා අවශ්‍ය දේ පමණක් අනුමත කොට සත්වයාගේ ජාති ජරා ව්‍යාධි ශෝක
පරිදේවාදී දුක් දොම්නස් නැතිකොට සදාකාලික විමුක්තිය ළඟා කරදීමට
ප්‍රයත්න දරන අතර ලෝකයේ එයට ප්‍රතිවිරුද්ධ බලවේග ගොඩ නැගෙන්නේ සත්වයා
ස්වභාවයෙන් ලෝභ, ද්වේෂ, මෝහ යන පාප මූලධර්මයන්ගෙන් වෙලී පැටලී සිටින
නිසාය.
වස්සාන සෘතුවේ වස් විසීම පෙර මනුලොව පහළවූ දීපංකරාදී බුදුවරුන්ගේ
ශ්‍රේෂ්ඨ අනිවාර්ය සිරිතක් වුවද සමාජ අවශ්‍යතාව භික්‍ෂු ජීවිතයට
සම්බන්ධවන තුරු අප බුදුරජාණන් වහන්සේ බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් අනුමත
කළේ නැත. පරිසර වෙනස්වීම සමාජ ජීවිතයටත් එයින් අන්‍ය ආගමික චින්තනයටත්
යළි භික්‍ෂු ජීවිතයටත් බලපාන අයුරු මෙම වස් විසීමේ විනය කර්මවලින් මනාව
පැහැදිලිවෙයි.
ගිම්හානය ඉකුත්ව වස්සානය පැමිණෙත්ම භාරතීය ගොවියන් වහ වහා කෙත්වත් වගා
කිරීමට සූදානම් වන්නේ වලාහක දෙවියන්ට තුති පූජා කරමිනි. එමෙන්ම ආගමික
චින්තනයේද පුළුල් පරිවර්තනයක් වන බැවින් තමන් පිළිගත් දෙවි දේවතාවන්
සිහිපත් කරමින් පුර පසළොස්වක්, අමාවක් අටවක් දිනවල ව්‍රත සමාදානයෙන්
පරිශුද්ධ ජීවිතයක් ගත කළ හැකි බව වෛදික සාහිත්‍යයේ දැක්වේ.
ව්‍රතසමාදානය, යාග කිරීම ආරණ්‍යක උපනිෂද් ගායනා කිරීම බ්‍රාහ්මණ සමාජයේ
පැවති උසස් චාරිත්‍ර විධිවේ.
පසුකාලීනව සම්බුද්ධ ශාසනයේ පැවැත්ම උදෙසා, උපසම්පදා විනය කර්ම,
උපෝසථාගාර වතාවත් වස් විසීම හා කඨින පූජා, පවාරණ ආදී පැවිදි සිරිත්
විරිත් විකාශනය වූයේ වෛදික ආගමික සමාජ පසුබිමේ සාධු සම්මත සිරිත්
විරිත් පසුබිම් කරගෙනය.
වස්විසීම, උපෝසථාගාර වත් පිළිවෙත් පවාරණ, කඨින චීවර පූජා යන සියලු
ක්‍රම විධි පවත්වන්නේ වර්ෂා කාලයේ පවතින දේශගුණයට අනුගත වීමෙනි.
ඇලදොල, ගංඟා පිරී ඉතිරී යන හරිත ගහකොල ප්‍රාණවත්වන හරකාබාන ගොඩමඩ
ඉඩම්වල දුව පැන ඇවිදින මෙම සිසිල් දේශගුණයට කාලගුණයට සරිලන පරිදි
භික්‍ෂූන් වහන්සේලාද සුපුරුදු චාරිකා නවතා දායකයන්ගේ ආරාධනා ඇතිව නැතිව
හෝ යෝග්‍ය ආරාමයක වස්විසීම බුද්ධ නියමයක් ඉෂ්ට සිද්ධ කිරීම පමණක් නොව
තමන්ගේ ශ්‍රමණ ප්‍රතිපත්තීන් සපුරා ගෙනෙන විමුක්ති මාර්ගය සාදා ගැනීමේ
මුලාධාරයක්ද කරගත යුතු වන්නේය.
වස් විසීමෙන් ඇතිවන ප්‍රයෝජන:
01 බුද්ධ නියමයක් ඉෂ්ට කිරීම
02 භික්‍ෂු සමඟිය තහවුරු වීම
03 ගිහි පැවිදි සම්බන්ධය ඇතිවීම
04 ධර්ම විනය පිළිපැදීම
05 විමුක්ති මාර්ගයට ළඟාවීම
06 බෞද්ධ ශිෂ්ටාචාරය
පෝෂණය
විශේෂයෙන් පරිසරයට අනුගතව ජීවත්වීම මානව ධර්ම ආරක්ෂා කිරීමට හේතුවන
සාධකයක් බව වස්විසීමේ සිරිතෙන් ගම්‍යමානවේ. තනිව උපන් සත්වයා
ජීවත්වන්නේ ජීව අජීව පරිසරය සමඟය.
ජීව ලෝකයේ ප්‍රධාන සත්වයා වන මිනිසා මානව ධර්ම ආරක්‍ෂා කිරීමෙහිලා
නීතියෙන්, ප්‍රඥප්තියෙන්, ආගමික සිද්ධාන්තයෙන්, වගකීමෙන් බැඳී සිටී.
බෞද්ධ භික්‍ෂුව ඉන් ඔබ්බට ගොස් නිර්වාණගාමී සාමීචි ප්‍රතිපදාවක් වශයෙන්
වස්විසීමේ උතුම් සිරිත ක්‍රියාකාරීව ආරක්‍ෂා කරන්නේ නම් තමන්ට මෙන්ම
දායක පින්වතුන්ටද භවයක් පාසා ජීවනයට හිතකර පරිසරයක උපදින්නට භවාන්තයේ
සසර දුක් කෙළවරකොට උතුම් නිවන් සම්පත් ලබාගන්නට හැකිවන්නේය.
ඔබ සැමට තෙරුවන් සරණයි. |