ධර්මධර වන්නේ කෙසේ ද?
යහපත් සිතිවිලි නිසා සිත පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි
වෙනවා. කෙලෙස් වශයෙන් ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට
සමත්වන
සිතිවිලි වලටයි. කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක,
කළයුතු දේ නොකළ යුතු දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ
කිළිටි වූ සිතිවිලි නිසයි. කෙනෙකුට
ධර්මාවබෝධය වුවමනා කරන්නේ සිතේ පවතින කිළිටි සහිත සිතිවිලි ඉවත් කරගෙන
සිත පිරිසුදු කර ගැනීමටයි.
ඕස්ට්‍රේලියාවේ කැන්බරාහි
ශ්‍රී ලංකා ධම්මවිහාරයේ විහාරාධිපති
නෙළුවාකන්දේ ඤාණානන්ද හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
න තාවතා ධම්මධරො -
යාවතා බහු භාසති
යො ච අප්පමපි සුත්වාන –
ධම්මං කායෙන පස්සති
ස වෙ ධම්මධරොහෝති -
සෝ ධම්මං නප්පමජ්ජති
පින්වත
ධර්ම දේශනයට මාතෘකා කළේ ධම්මපදයේ ධම්මට්ඨ වග්ගයට අයත් වන හතර වන
ගාථාවයි. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවන මහා විහාරයේ වැඩ වසද්දී
එකුදාන නම් තෙරණුවන් අරමුණු කරගෙනයි මේ ගාථාව වදාළේ.
ජීවිතය පවත්වාගෙන යාමේදී අපට පණ ඇති, පණ නැති බොහෝ ද්‍රව්‍ය වල උපකාරය,
උදව්ව, පිහිට ලබා ගැනීමට සිදු වෙනවා. මේවා එක එකක් පිහිටවන්නෙත් විවිධ
ක්‍රමවලට. ගස් වැල් මල් පල දීමෙන්, වාතය ලබා දීමෙන්, සෙවන දීමෙන්, දැව
සැපයීමෙන් පිහිට වෙනවා. ජලය, මහපොළොව, අව්ව, වැස්ස මේවා විවිධ
ක්‍රමවලින් අපට උදව්වෙනවා. ඒ ගැන ඔබ හොඳට දන්නවා. බොහෝ විට ධර්මය ඔබට
පිහිට වෙන ආකාරය ගැන නොසිතන්ට ඇති. අද ධර්ම දේශනාවට තෝරාගත් ගාථාවත් ඊට
පසුබිම් වූ කතාවත් අපට ධර්මයේ පිහිට ලබාගත හැකි ආකාරය පැහැදිලි කර
දෙනවා.
රහත් බව ලබා සිටි එකුදාන තෙරණුවෝ පිරිසෙන් ඈත්ව භාවනා කිරීමට සිතා,
බුදුරජාණන් වහන්සේගෙන් අවසර ගෙන වනයට පිටත්ව ගියා. භාවනාවට සුදුසු යැයි
සිතෙන ස්ථානයක් පිළියෙළ කරගෙන එහි වැඩ සිටියා. එළඹුණු පසළොස්වක දිනයේදී
මහ වනයේ බණ ඇසීමට කිසිවෙකුත් හිටියේ නැහැ. උන්වහන්සේ දෙවියන්ට ආරාධනා
කර බණ දේශනා කළා. ධර්ම දේශනාව අවසානයේ බණ ඇසීමට රැස් වූ දෙවියන්
සාධුකාර දුන්නා. ඒ සාධු නාදය එකුදාන හාමුදුරුවන්ට ඇහුණා. ඒ නිසා
උන්වහන්සේ දැන ගත්තා දෙවියන් බණ ඇසීමට පැමිණි බව.
ටික දිනකට පසුව ධර්මධර භික්‍ෂූන් ලෙස ප්‍රසිද්ධියක් ලබා සිටි භික්‍ෂූන්
දෙනමක් එකුදාන තෙරුන් වැඩ සිටි අරමට පැමිණියා. එකුදාන තෙරණුවෝ පැමිණි
හාමුදුරුවරු ගරු සරු ඇතිව පිළිගෙන නේවාසික පහසුකම් දුන්නා. ඊළඟට එළඹුණු
පසළොස්වක් පොහොය දින ධර්ම දේශනාව සඳහා අර පැමිණි දෙනමට ආරාධනා කළා.
“කවුරුත් නොපෙනෙන මේ වන මැද කාටනම් බණ කියන්නේදැයි” උන්වහන්සේලා
ප්‍රශ්න කළා. ධර්ම දේශනා කරන විට දෙවියන් බණ ඇසීමට පැමිණෙන බව එකතුදාන
තෙරණුවෝ ප්‍රකාශ කළා. පිටතින් පැමිණි දෙනම බණ දේශනාවට එකඟ උනා. එක්
නමක් පෙළ දේශනා කරන විට අනෙක් නම එහි තේරුම පැහැදිලි කළා. ධර්ම දේශනාව
අවසාන වූවත් සාධු නාදයක් ඇසීමට ලැබුණේ නැහැ.
එකුදාන තෙරුන්ටත් සාධු නාදය ඇහුනේ නැහැ. අර හාමුදුරුවරු දෙනම ඒ ගැන
ප්‍රශ්න කළා. තමන් ධර්ම දේශනා කර අවසන් වන විට දෙවියන්ගේ සාධු නාදය
ඇසුණු බව එකුදාන තෙරුන් කියා සිටියත් අර හාමුදුරුවරු එසේ පිළිගත්තේ
නැහැ. “එසේ නම් ඔබවහන්සේ බණක් දෙසන්නැයි” උන්වහන්සේලා ඉල්ලීමක් කළා. ඒ
අනුව එකුදාන හාමුදුරුවන් බණක් දේශනා කළා. ඒ බණ අවසානයේ දෙවියන්ගෙ සාධු
නාදය ඇහුණ. අර භික්‍ෂූන් දෙනමටත් ඇහුණා. මේක හරි ප්‍රශ්නයක්. මේ පිරිස
බුදුරජාණන් වහන්සේ බැහැදැක මේ ගැටලුව ඉදිරිපත් කළා. ඊට පිළිතුරු ලෙස
තමයි මා මාතෘකා කළ ගාථාව දේශනා කළේ. ගාථාවේ සාමාන්‍ය අදහස නම් “යම්
කෙනෙකු ධර්මය හොඳින් දැනගෙන ප්‍රකාශ කළත් ඒ තැනැත්තා ධර්මධරයෙකු නොවේ.
ධර්මය ටිකක් දැන ඒ දැනගත් ධර්මයට අනුව ජීවත්වන තැනැත්තා ධර්මධරයෙකි.
ධර්මය දැනගෙන ඒ අනුව කටයුතු කොට මඟඵල ලබන්නා නියම ධර්ම ධරයායි” දැන්
අපි මේ ගාථාවෙන් කියවෙන කරුණු පිළිබඳව විමසා බලමු. මෙහි ප්‍රධාන වශයෙන්
විස්තර වන්නේ කෙනකු ධර්මධරයෙකු වන්නේ කෙබඳු ලක්‍ෂණ වලින් යුක්ත වූ විට
දැයි පැහැදිලි කෙරෙනවා. පින්වත, ශ්‍රී ලංකාවේ වෙසෙන අපට තරම් ධර්මය දැන
ගැනීමට ඇති ඉඩකඩ ලෝකයේ වෙන කිසිම රටක නැතිව ඇති, ගුවන් විදුලිය දිනපතා
උදේ, සවස ධර්මය ප්‍රචාරය කරනවා. රූපවාහිනී නාලිකාවල දහම් දෙසුම්
පැවැත්වෙනවා. දැන් බෞද්ධ ගුවන් විදුලි හා රූපවාහිනී අපට තියෙනවා. පළ
කැරෙන දහම් පොත අති විශාලයි. ඒ වගේම විහාරස්ථාන වල වෙසක්, පොසොන් වැනි
විශේෂ පෝය දින නිමිති කරගෙන සති ධර්ම දේශනා සංවිධානය කෙරෙනවා. සමහර විට
වස් තුන්මාසය පුරාවට දම් දෙසුම් පැවැත්වෙනවා. ඒ වගේම සන්නිවේදන
තාක්‍ෂණය දියුණු නිසා අන්තර් ජාලය ඔස්සේ ලෝකයේ වෙනත් රටවල කෙරෙන ධර්ම
දේශනා ධර්ම සාකච්ඡාද ශ්‍රවණය කිරීමට හැකියාව ලැබෙනවා. එසේ බලන විට
ධර්මය දැන ගැනීමට කොතරම් මාර්ග අපේ බෞද්ධ පිරිසට ලැබී තිබෙනවාදැයි
සිතන්න.
“මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්‍ඛු කරණී ඤාණකරණී උපසමාය
අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණය සංවත්තති” ප්‍රථම ධර්මදේශනය වන දම්සක්
පැවතුම් සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දක්වන මේ පාඨයෙන් කෙනෙකුට
ධර්මයෙන් ලැබිය හැකි ප්‍රයෝජන සඳහන් වනවා. ඤාණය පහළ වීම, ආර්ය සත්‍යය
මනාව අවබෝධවීම, කෙලෙස් දුරු කර ගැනීම හා නිවන් අවබෝධය තමයි ඒ ප්‍රතිඵල.
අපට ලෝකය දිහා, ලෝකයේ සිදුවන දෑ බැලිය හැකි ක්‍රම දෙකක් තිබෙනවා.
එනම් මසැසින් හා මනසින් දැකීමයි. පුහුදුන් අප බොහෝවිට හුරුවෙලා
තිබෙන්නේ මසැසින් දැකීමටයි. පියෙවි ඇහැට පෙනෙන සියල්ල සත්‍ය නොවේ. ඇස
රවටන මායාකාරී දේ බහුලයි. එනිසාම දුක් සහිත දේ සැපතක් සේ දකිනවා.
අවලස්සන දේ ලස්සනයි වගේ පෙනෙනවා. ආර්යයන් වහන්සේ ලෝකය දුටුවේ මනසින්,
එනම් නැණසින්, උන්වහන්සේගේ දර්ශනයත් අපේ දර්ශනයත් වෙනස් වන්නේ එනිසයි.
නැණසින් දකින දේ සත්‍යයයි. ධර්මය මනාව අවබෝධ කළ තැනැත්තා ලෝකය දකින්නේ
පියෙවි ඇසින් නොවේ, නැණසින්. ඒ ධර්මධරයාගේ ලක්‍ෂණයයි. දහම දැනගත්
තරමින් හෝ බණ දේශනා කළහැකි වූ පමණින් කෙනෙකු ධර්මධරයෙක් නොවේ. ලෝකය දෙස
නුවණින් බැලිය හැකි කෙනෙකු විය යුතුයි.
අපේ ඉඳුරන් අරමුණු හා ගැටෙන හැම මොහොතකම හිතේ සිතිවිලි උපදිනවා. එලෙස
උපදින සිතිවිලි හොඳ හෝ නරක ඒවා විය හැකියි. යහපත් සිතිවිලි නිසා සිත
පිරිසුදු වන අතර නරක සිතිවිලි නිසා සිත කිළිටි වෙනවා. කෙලෙස් වශයෙන්
ධර්මයේ විස්තර වන්නේ මේ හිත අපිරිසුදු කිරීමට සමත්වන සිතිවිලි වලටයි.
කෙලෙස් සිතිවිලි වලින් හිත ලෙඩ වෙනවා. හොඳ, නරක, කළයුතු දේ නොකළ යුතු
දේ හරිහැටි තෝරා ගැනීමට බැරිව මුලාවට පත් වන්නේ කිළිටි වූ සිතිවිලි
නිසයි. කෙනෙකුට ධර්මාවබෝධය වුවමනා කරන්නේ සිතේ පවතින කිළිටි සහිත
සිතිවිලි ඉවත් කරගෙන සිත පිරිසුදු කර ගැනීමටයි.
හැම දෙනාටම තෙරුවන් සරණයි! |