UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඇසළ පුර අටවක 2010.07.18

උපවාස හා ප්‍රතිචාර

රෝගී තත්ත්වයක් නිසා නො වන අවස්ථාවක දී ආහාර ගැනීමෙන් වැළැකී සිටීම හෙවත් උපවාසය ආගමික චාරිත්‍රයක් ලෙස ආදිකාලයේ සිට පැවැත එන්නකි. එහි ආදිතම අවස්ථාව ඉන්ද්‍රිය දමනය පිණිස උපවාසය අවශ්‍ය බවට හින්දු ආගමේ ඇති සඳහන යැයි කිව හැකි ය. කිලිටි වස්ත්‍රයක් ජලයෙන් සෝදා පිරිසිදු කරන්නාක් මෙන් උපවාසයෙහි පහන් බවට පැමිණියවුන්ට දීර්ඝ කාලයක් පුරා ක්ෂය නො වන සැපතක් අනාගතයේ දී ලැබෙන බවත්, කේවල උපවාසයෙන් ශරීරය සිහින් කැර ගැනීම තපසක් නො වන බවත්, උපවාස කරන්නා කෙරෙහි අහිංසාව, සත්‍යවාදීබව, ප්‍රාණවධයෙන් තොරවීම, සංයමය හා දයාව යන ගුණ පිහිටිය යුතු බවත් මහාභාරතයේ ශාන්ති පර්වයෙන් පැවැසේ.

රෝමානු කතෝලිකයන් අළු බදාදා හා මහ සිකුරාදා යන දෙදින උපවාසයෙන් ගත කිරීම දැනටත් සිදු කැරෙන චාරිත්‍රයකි. මේ දින දෙකෙහි දී ගොඩමසින් වැළැකිය යුතු අතර කැමැති නම් දියමස් ගැනීමට අවසර ඇත. මේ දින දෙකෙහි දී දිනකට එක් ආහාර වේලක් පමණක් ගැනීම ඔවුන් ගේ සිරිත ය.

ඉස්ලාම් ධර්මයට අනුව උපවාසය ඉතා උසස් චාරිත්‍රයක් ලෙස සැලැකේ. දෙවියන් විසින් මහමත්තුමාට කුරානය හෙළි කරන ලද මාසය උපවාසයෙන් ගත කිරීම ඉස්ලාම් භක්තිකයන්ට අනිවාර්ය කැර තිබේ. රමදාන් උපවාසය යනුවෙන් හැඳින්වෙන්නේ එය යි.

වෙනත් ආගමිකයන්ට මෙන් උපවාස කළ යුතු බවට නියමයක් බෞද්ධයන්ට නොමැති බව අමුතුවෙන් කිව යුතු නො වේ. ගිහිගෙය හැර ගිය සිදුහත් කුමරා විවිධ උපවාසයන්හි නිරත වූ නමුදු ඒවායින් ප්‍රතිඵල නො ලැබිණ. අවසානයේ උන්වහන්සේ මැදුම් පිළිවෙත කරා යොමු වූ සේක.

කෙ සේ වුව ද දේශපාලන අරමුණු වෙනුවෙන් උපවාසයේ යෙදීම අද වන විට වඩාත් ප්‍රචලිත ය. එය සිංහල විශ්වකෝෂයෙහි මෙසේ විස්තර කැර තිබේ.

“දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමේ අවියක් ලෙසින් උපවාසය මුලින් ම උපයෝගී කැර ගනු ලැබුයේ ඉන්දියාවේ ය. අවිහිංසාවාදය තම දේශපාලන දර්ශනයේ වැදගත් අංගයක් කොට ගත් මහත්මා ගාන්ධිතුමා තම ඉල්ලීම් දිනා ගැනීමේ දී විප්ලව ආදී හිංසාකාරී ක්‍රම ප්‍රතික්ෂේප කොට උපවාසය වැනි ක්‍රම අනුගමනය කළේ ය. ඉන්පසු උපවාසයට මෙකී නව මුහුණුවර ලැබිණ. දැනට සමස්ත ලෝකය පුරා දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට උපවාස ක්‍රමය ආයුධයක් කැර ගන්නා බවක් පෙනේ. මෙ කල උපවාසය දැඩි ලෙස අනුගමනය කරනු ලබන්නේ ඉන්දියාවේ හා දකුණු වියට්නාමයේ ය. දකුණු වියට්නාමයේ නිදහස තකා සටන්කළ ගිහි පැවිදි නායකයෝ රැසක් උපවාසය නිසා මරුමුවට පත් වූ හ. ඉන්දියාවේ එ වැනි අවස්ථා දෙකක් සඳහන් වේ. 1952 දී ආන්ද්‍රා ප්‍රදේශයේ ප්‍රාන්ත රාජ්‍යයක් ඇති කරන ලෙස ඉල්ලා දැඩි උපවාසයේ යෙදුණු ජෝති ශ්‍රී රාමුලු නමැත්තා 58 වන උපවාස දිනයෙහි මියගිය අතර පංජාබ්හි මහජන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ සික් ජනනායකයකු වූ දර්ශන සිංහ පෙරමන් නමැත්තා චන්දිගාර් නගරය පංජාබ් ප්‍රාන්තයට පවරන්නැයි ඉල්ලා උපවාසයෙහි යෙදී 74 වන දින (1969.10.27 දින) මිය ගියේ ය.”

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතා විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පත් කළ ත්‍රිපුද්ගල උපදේශක කමිටුව ඉවත් කැර ගන්නා ලෙස බල කිරීම පිණිස ජාතික නිදහස් පෙරමුණේ නායක සහ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා හා නිවාස අමාත්‍ය විමල් වීරවංශ මහතා එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයක නිතරවීම අප සලකා බැලිය යුත්තේ මෙ බඳු පසුබිමක ය. පසුගිය 08 වන දා පෙ.ව. 10.20 ට විමල් වීරවංශ මහතා ආරම්භ කළ මේ උපවාසය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ මැදිහත්වීමෙන් 10 වන දා ප.ව. 4.30 ට අවසන් කළේ ය.

දේශපාලන අරමුණු ඉටු කැර ගැනීමට හෝ විරෝධය දැක්වීම ආදිය සඳහා උපවාසයේ යෙදීම අප සමාජයට අලුත් දෙයක් නො වේ. එහෙත්, මාරාන්තික උපවාසයක් මරණයෙන් කෙළවර වූ අවස්ථාවක් පිළිබඳ අත්දැකීම් අපට ඇත්තේ එකක් පමණි. එම අවස්ථාව වන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ යාපනයේ දේශපාලන අංශ ප්‍රධාන තිලීපන් නල්ලූර් කෝවිල අසල පැවැත් වූ උපවාසයෙන් මරණයට පත්වීම ය. දින 12 ක උපවාසයෙන් පසු තිලීපන් 1987 සැප්තැම්බර් මස 26 වන දා මිය ගියේ ය. තම අරමුණු ඉටුකැර ගැනීම සඳහා ආත්මනාශක හමුදාවක් පවත්වාගෙන ගිය සන්නද්ධ එල්.ටී.ටී.ඊ සංවිධානය එම අවස්ථාවේ දී අවිහිංසාවාදී උපවාසය යොදා ගත්තේ ඉන්දියාව පීඩනයට පත් කිරීමේ උපක්‍රමයක් වශයෙනි.

දැන් අපි සලකා බැලිය යුත්තේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පාලනය කිරීම සඳහා මේ අවිහිංසාවාදී පිළිවෙත වැදගත් වේ ද යන කාරණය යි. මෙහි දී විධිමත් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගයක අවශ්‍යතාව පිළිබඳ ව විවාදයක් තිබිය නො හැකි ය. ඊට අමතර ව දක්වන ප්‍රතිචාර ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිරූපයට හානි නො වන ආකාරයට කළ යුතු බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 18 වන දා ඉරිදා පූර්ව භාග 04.31 ට ලබයි.
19 වන දා සඳුදා පූර්වභාග 02.58 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 18 වන දා
ඉරිදාය.

මීළඟ පෝය ජූලි 25 වනදා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 18

Full Moonපසෙලාස්වක

ජූලි 25

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]