UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගැන අධ්‍යයනයකට රාජකීය දූත පිරිසක් ඉන්දියාවෙන් පැමිණෙයි

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ දකුණු ශාඛාවක් සිංහල දීපයට වැඩමකරවා රෝපණය කිරීමෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ උද්දීපනයක් ඇතිවිය.

අවුරුදු දෙදහස් පන්සියයක දිග ඉතිහාසයක් ඇති අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිළිබඳ අධ්‍යයනය කර ඉන් ශාඛාවක් නැවත දඹදිව බුද්ධගයාවේ රෝපණය කිරීමට සාකච්ඡා කිරීම සඳහා දඹදිව ගයාවේ දිසාපති තැන්පත් සංජය කුමාර් සිංහ ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ඇතුලු දහදෙනෙකුගෙන් යුතු බිහාර් රජයේ රාජකීය දූත පිරිසක් 2010 අපේ‍්‍රල් මස 23 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබිණි.

අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආරාධනාවෙන් පැමිණෙන දූත පිරිස අපේ‍්‍රල් මස 29 දා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී 2011- 2012 වර්ෂය පුරා දඹදිව සිදුවන සිදුහත් බෝසතාණන්ගේ බුද්ධත්ව 2600 සැමරීම පිළිබඳවද සාකච්ඡා කිරීමට නියමිතය.

දූත පිරිස මහනුවරදී ශ්‍රී දන්තධාතුන් වහන්සේ වැඳ පුදාගැනීමෙන් පසු අතිපූජ්‍ය සියම් මහානිකායේ අස්ගිරි සහ මල්වතු මහා නා හිමිවරුන් බැහැ දැකීමට නියමිතය.

සම්බුදු සසුනේ දඹදිව මහානරශ්‍රේෂ්ඨයාණෝ අශෝකාධිරාජයා බව පිළිගත් කරුණකි. කාලිංගයේ අවසන් නර සංහාරයෙන් පසු චණ්ඩාශෝක ධර්මාශෝක වූ බව ඉතිහාසය සඳහන් කරයි. බුදු දහම වැළඳ ගැනීමෙන් අනතුරුව මුළු දඹදිව පුරා අසූහාරදාහක් වෙහෙර විහාර කරවුයේ සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කිරීමෙනි. මහාකාරුණික බුදුරදුන්ගේ සසුන සුරක්ෂිත කර තැබීම සඳහා තුන්වන ධර්ම සංගායනාව කරවන ලද්දේ අශෝකාධිරාජයාගේ රාජ්‍ය සමයේය.

එවකට මගධදේශය නමින් හැඳින් වූ වර්තමාන බිහාර් ප්‍රාන්ත රජයේ අශෝකාධිරාජයාගේ අගනුවර වූයේ පාටලී පුත්‍ර නගරයයි. මගධයේ පාටලී පුත්‍ර නගරය වර්තමාන බිහාර් ප්‍රාන්තයේ පැට්නා නුවර වන අතර අදත් ප්‍රාන්තරාජයේ අගනුවර හැටියට එකී නගරය ප්‍රසිද්ධය.

විජය ශ්‍රී ජය ශ්‍රී මහාබෝධින් වහන්සේ දස බිම්බර මාරසේනාව පරාජය කර බුද්ධත්වය අවබෝධකර වදාළ වජ්‍රාසනය, දුෂ්කරක්‍රියා කළ ස්ථානය වූ ප්‍රාග්බෝධිය, ආටානාටිය සූත්‍රය ආදි සූත්‍ර දේශනා කළ ගිජ්කුලුපව්ව දෙව්දත්තෙරුන් පෙරලූගල වේලුවනාරාමය, තපෝදා නදිය , විඩූභ රජ ඇතුළු පිරිසගේ කරත්ත එරුණු තල්තලාව , අජාසත් විසින් තම පිය කොසොල් මහාරජතුමන් හිරකර මරණයට පත්කල හිරගෙදර

එවකට ලෝකයේ තිබූ සුප්‍රකටම බෞද්ධ විශ්ව විද්‍යාලය වූ නාලන්දා විශ්ව විද්‍යාලය, විශාලා මහනුවර ආදි බුද්ධ චරිතයට සම්බන්ධ අතිපූජනීය සිද්ධස්ථාන රාශියක් ම පිහිටා ඇත්තේ එවකට පාටලී පුත්‍ර නමින් හැදින් වූ අද පැට්නා නමින් හදුන්වන නගරය ආසන්නව සහ දුරින්ය.

දඹදිව සමග සිංහලදීපය පැහැදිලි ධාර්මික සම්බන්ධයක් ඇති වූයේ මහා මහින්ද රහතන් වහන්සේ දේවානම්පියතිස්ස මහ රජතුමාගේ සමයේ බුදුසසුන වැඩම කරවීමෙන් පසුවයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ භික්‍ෂුණී සාසනය සමග දඹදිව බුද්ධගයාවේ ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ දකුණු ශාඛාව සිංහල දීපයට වැඩම කරවීමෙන් අනතුරුව හෙළ සංස්කෘතියේ පූර්ණ උද්දීපනයක් උදාවිය.

අවුරුදු දෙදහස් පන්සීයකට වඩා දීර්ඝ ඉතිහාසය බුදුසසුන නිසා දඹදිව සහ සිංහල දීපය අතර අදත් පවතී.

අවුරුදු අටසියයක් දඹදිව බුදුසසුන මිථ්‍යා දෘෂ්ටිකයින්ගේ ග්‍රහණයට ලක්ව තිබුණ සමයක අනගාරික ධර්මපාල තුමන්ගේ අප්‍රතිහත ධෛර්ය නිසා ගොඩනැගුණ පරිසරයත් බබාසහබ් ඇම්බැට්කාරතුමා ඇතුළු සුළුජාතින් විශාල වශයෙන් බුදු දහම වැළඳ ගැනීම නිසාත් 2500 බුද්ධ ජයන්ති මහා උත්සවය දඹදිව සහ හෙළදිව එකට සම්බන්ධ වී සිදුකල නිසාත් වර්තමාන දඹදිව විශාල වශයෙන් බෞද්ධ ප්‍රබෝධයක් දැකිය හැක.

උතුරු ඉන්දියාවේ වර්තමාන මහ ඇමතිනිය බුදු දහමට ලැදි කෙනෙකි. ඉසිපතන මිගදාය, කුසිනාරා නුවර සැවැත් නුවර, වනගතව තිබූ කොසඹෑ නුවර ආදිය මහාමාර්ග තනා වන්දනා කරුවන්ට දියහැකි සෑම පහසුකමක්ම දීම සඳහා කටයුතු යොදමින් සිටින අතර ඉන්දියානු මුදල් කෝටි පහක් වියදම් කරමින් උතුරු ඉන්දියාවේ අගනුවර වූ ලක්නව් හි විශාල බුද්ධ විහාරයක් සාදා නිමකර ඇත. කර්නාටකයේ ඇමතිවරයකු කෝටි හතක් වියදම් කර කර්නාටකයේ විශාල විහාරයක් ගොඩනගා ඇත. ආන්ද්‍රා ප්‍රදේශයේ ග්‍රාමීය ඇමතිතුමා කෝටියකට වඩා අධික මුදලක් වියදම් කර ආන්ද්‍රා ප්‍රදේශයේ විශාල විහාරයක් ගොඩනගා පසුගියදා සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත උඩුගම බුද්ධරක්ඛිත මහානාහිමියන් අතින් විවෘත කරන ලදී.

බොහෝ සිද්ධස්ථාන ඇති දඹදිව පැට්නා නගරයේ විශාල බුද්ධ උද්‍යානයක් වර්තමාන රජය විසින් නිර්මාණය කිරීම ආරම්භ කර ඇත.

විශාල චෛත්‍යක්, භාවනා ශාලාවක් , බෞද්ධ පුස්තකාලයක් ආදි දෙයින් අංග සම්පූර්ණ බුද්ධ උද්‍යානය, පැට්නා නගරයට පමණක් නොව මුළු දඹදිවටම ශාන්තිය ලබාදෙන පින් බිමක් වනවාට නිසැකය.

මෙකී ස්ථානයේ රෝපණය කිරීමට අනුරාධපුර ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගේ ශාඛාවක් සහ සර්වඥධාතුන් වහන්සේ වැඩම කරවීම සඳහා ගයාවේ මහා දිසාපතිතුමා සංජය කුමාර්සිංහ ඉන්දියානු මහාබෝධි සමාගමේ මහා ලේකම් ආචාර්ය දොඩම්ගොඩ රේවත නාහිමියන් ඇතුළු දහදෙනෙකුගෙන් යුත් රාජකීය නියෝජිත පිරිසක් 2010 අප්‍රේල් මස 23 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.සිදුහත් මහාබෝසත්තුමාගේ බුද්ධත්වය අවබෝධ කරගෙන වසර 2600 පිරෙන 2011 දී දඹදිව සිදුකරන උත්සව සහ පින්කම් මාලාව ගැනද ශ්‍රීලංකා ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා දැනුවත් කිරීමටද මේ පිරිස බලාපොරොත්තු වෙති.

අධි වෙසක් පුර පසළොස්වක

අධි වෙසක් පුර පසළොස්වක අප්‍රේල් 27 වන දා අඟහරුවාදා අපරභාග 07.53 ට ලබයි.
28 වන දා බදාදා අපර භාග 05.48 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වන දා බදාදාය.

මීළඟ පෝය
මැයි මස 06 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 28

Second Quarterඅව අටවක

මැයි 06

New Moonඅමාවක

මැයි 13

First Quarterපුර අටවක

මැයි 21

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]