අධි වෙසක් පුර පසළොස්වක 2010.04.28
ෂඩ් වර්ණ ධජය
බෞද්ධ කොඩිය ප්‍රථම වරට ඔසවන ලද්දේ අද වැනි දිනෙක ය. එය
උත්සවාකාරයෙන් සැමරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ. එහෙත්,
මෙයට වසර එකසිය විසිපහකට පෙර සිදු වූ එම සිදුවීමෙහි සැබෑ අගය
වත්මන් පරපුරට නිසි ලෙස අවබෝධ කැර ගැනීම පහසු නැත. ඒ සඳහා එම
සිද්ධියට අදාළ කාලය හා අවකාශය දෙස අවධානය යොමු කළ යුතු ය.
එ කල පැවැති තත්ත්වය බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවෙහි මෙ
සේ දක්වා තිබේ.
“එංගලන්ත සභාවේ මිෂනාරීවරු හොඳින් සිංහල භාෂාව ඉගෙනගෙන ඈත
පිටිසර ගම්වල පයින් ඇවිදිමින් ක්‍රිස්තු ධර්මය දේශනා කරන්නට වූ
හ. ඔවුන් ගේ සිත් ගන්නා පැවතුම් හා මනා හැසිරීම නිසා ගම්
වැසියෝ ඔවුන් ගේ ධර්මය වෙත ඇදීයන්නට වූ හ. එහෙත්,
ක්‍රිස්තියානිය වැලඳගත්තේ ඉතා ටික දෙනකු පමණකි. පිටිසර ගම්වල
ක්‍රිස්තු ධර්මය දේශනා කරන මිෂනාරීන් පිළිබඳ ව භික්‍ෂූන්
වහන්සේලා ඉතා පළල් හැඟීමකින් යුක්තව ක්‍රියා කළහ. උන්වහන්සේලා
ස්වකීය පන්සල්වලට පැමිණ භික්‍ෂූන් වහන්සේලා ඉදිරියේ දී මේ
අලුත් ධර්මය විස්තර කර දෙන ලෙස මිෂනාරීන් ගෙන් ඉල්ලා සිටිය හ.
දේශනාවන් අවසන් වූ විට, භික්‍ෂූහු අලුත් ධර්මයෙහි සත්‍යා
සත්‍යතාව ගැන නොයෙක් ප්‍රශ්න විචාළ හ. මේ සාකච්ඡාවන් ගේ
ප්‍රතිඵලය වූයේ සත්‍ය ධර්මය ගැන ප්‍රසිද්ධ විවාද පිළිබඳ යුගයක්
උදා වීම ය. මේ අවස්ථාව වන විට, නිර්භීත තරුණ භික්‍ෂූවරයකු වූ
මොහොට්ටිවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේ, ක්‍රිස්තු ධර්මය මනාව
හදාරා, ක්‍රිස්තු ධර්මයේ මර්මස්ථානයන් පිළිබඳ පැහැදිලි
අවබෝධයකින් යුක්ත ව මිෂනාරීන්ට පිළිතුරු දීමට ඉදිරිපත් වූ හ.
උන්වහන්සේ ගේ විවාද අතුරෙන් විවාද තුනක් ඉතා වැදගත් විය. හතර
කෝරළේ උදන්විට දී එක් විවාදයක් ද, 1871 ගම්පොළ දී තවත්
විවාදයක් ද පවත්වන ලදී. අවසාන මහා විවාදය පැවැත් වූයේ 1873
අගෝස්තු මාසයේ පාණදුරේ දී ය. එය සතියක් මුළුල්ලේ ම පැවැත්විණි.
ගුණානන්ද ස්වාමීන් වහන්සේට සිංහල බෞද්ධයන් විසින් ‘වාදීභ සිංහ’
යන අන්වර්ථ ගෞරව නාමය පුදන ලද්දේ මේ විවාද නිසා ය. මේ විවාදයන්
ගේ ප්‍රතිරාවයන් ඇමරිකාවේ ද ප්‍රචාරය වීම නිසා කර්නල්
ඕල්කට්තුමා ලක්දිවට පැමිණ බෞද්ධ කටයුතු සංවිධානයෙහි
ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කෙළේ ය. ඕල්කට්තුමා බෞද්ධයන් එකමුතු
කොට, බෞද්ධ උසස් පාඨශාලා ආරම්භ කෙළේ ය. ක්‍රිස්තියානි ප්‍රචාරක
පත්‍රිකාවලට පිළිතුරු දීමට බෞද්ධයන්ට ක්‍රමයක් නො වී ය. ඒ සඳහා
පත්‍රයක් අවශ්‍ය වූවත්, මුදල් නො තිබිණ. ඒ නිසා එ වකට සිටි
ප්‍රධාන බෞද්ධ මහ රජු වූ සියම් රජු ගෙන් සිංහල බෞද්ධයෝ ආධාර
ඉල්ලා සිටියෝ ය. ඒ ආධාරය ලැබිණ. එහි ප්‍රතිඵලයක් වශයෙන් 1862
දී ‘ලංකෝපකාර’ නමින් යන්ත්‍රාලයක් බෞද්ධයන් විසින් ගාල්ලේ
පිහිටුවන ලදී.”
බෞද්ධ කොඩිය අපට වැදගත් වන්නේ මෙ බඳු පසුබිමක් යටතේ නිර්මාණය
කළ නිසා ම නො වේ. එයින් සංකේතවත් කැරෙන අරුත ද අපට වැදගත් ය.
මේ පිළිබඳ ව අවබෝධයක් ලබා ගැනීම පිණිස සිංහල විශ්වකෝෂය මෙහි
උපුටා දක්වමු.
“වර්ණ හයකින් යුත් කොඩිය ශ්‍රී ලංකා බෞද්ධයන් ගේ කොඩිය ලෙස
1885 අප්‍රේල් 17 දින භාවිතයට පැමිණි අතර එය පළමුවෙන් ම ඔසවන
ලද්දේ 1885 අප්‍රේල් 28 වන දිනට යෙදුන වෙසක් පුර පොහෝ දිනයෙහි
ය.”
වර්ණ හය නීල, පීත, ලෝහිත, ඕදාත, මාංජිෂ්ඨ හා ප්‍රභාස්වර නම්
වේ. ප්‍රභාස්වර නම් මුලින් සඳහන් වර්ණ පහේ සමාන කොටස් වේ. 1950
වසරේ කොළඹ දී පැවැත් වූ ලෝක බෞද්ධ සංගමයේ ආරම්භක රැස්වීමේ දී
එය ලෝක බෞද්ධ ප්‍රජාවගේ කොඩිය වශයෙන් අනුමත කරනු ලැබී ය. එය
අන්තර්ජාතික කොඩියක් වශයෙන් පිළිගනු ලැබී ය.
“බෞද්ධ කොඩිය සඳහා වර්ණ නිශ්චය කැර ඇත්තේ බෞද්ධ සාහිත්‍ය
පාඨග්‍රන්ථවල සඳහන් විස්තර උපුටා ගැනීමෙනි. මේ ග්‍රන්ථවල
බුදුරජාණන් වහන්සේ ගේ ෂඩ් වර්ණ බුද්ධ රශ්මිය දේශීය වශයෙන්
වැවෙන මල් වර්ගවල වර්ණ සමඟ සන්සන්දනය කිරීමක් දක්වා ඇත.”
මේ කරුණු වලට අමතර ව එදා අධිරාජ්‍යවාදීන් බෞද්ධයන්ට එරෙහි ව
සිදු කළ කුමන්ත්‍රණ පරාජය කිරීම පිළිබඳ සංකේතයක් වශයෙන් ද
බෞද්ධ කොඩිය සැලැකිය හැකි ය. එදා බෞද්ධයන්ට එරෙහි ව
අධිරාජ්‍යවාදීන් ක්‍රියා කළ ආකාරය තේරුම් ගැනීම පිණිස මාතර
ඒජන්ත වෙත මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා 1807/02/28 වන දින යැවූ
ලිපියක කොටසක් මෙහි උපුටා දක්වමු.
“මූකිරිගල පන්සල පිහිටා තිබෙන්නේ තංගල්ලේ සිට හැතැපුම් දහයක්
ගිය තැන ගිරුවා පත්තුවේ ය. එය මේ පළාතේ ඉතා ම පොහොසත් පන්සල ය.
මේ විහාරයට මේ පළාත් වැසියෝත්, උඩරට වැසියෝත්, ලංකාවාසී හැම
දෙනා මත්, විශාල ගෞරවයක් දක්වති. මේ විහාරවාසී සංඝයාට ලංකාවේ
විශාල බලයක් තිබේ. ලන්දේසි ආණ්ඩුව ද ඒ බලයෙන් පහර කෑවේ ය. මේ
බලය දේශපාලන යන්ත්‍රයකි.මේ යන්ත්‍රය කන්ද උඩරට රජු තමා ගේ
වාසිය සඳහා යොදාගෙන සිටී. දැන් අප කළ යුත්තේ, යාප්පුවෙන් එ කී
යන්ත්‍රය අපේ වාසියට හරවා ගැනීම ය. ඒ නිසා, ඔබට හැකි හැම
උපක්‍රමයක් ම යොදා මේ විහාරය අපේ පක්‍ෂයට හරවා ගැනීමට වෑයම්
කරන ලෙස මම තදින් ම කියා සිටිමි.”
මේ සියලු කුමන්ත්‍රණ හා අභියෝග ජයගෙන ගුවනට ඔසවන ලද බෞද්ධ
කොඩිය රැක ගැනීම අප ගේ වගකීමක් නො වේ ද? |