පැතුම් සපුරන
පෙරුම් දම්
කොළඹ මාළිගාකන්ද
විද්‍යෝදය පිරිවෙනේ
පිංකන්දේ
දමිතසාර හිමි
බුදු බව පතන්නා වූ
යමෙකු විසින්
පාරමිතා ත්‍රිවිධාකාරයකින්
සපිරිය යුතු ය. එනම්, පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් පෙරුම්දම්
සමතිසක් ඔහු
පූරණය කළ යුතු ය. දාන පාරමී වශයෙන් තම ධන ධාන්‍ය
පරිත්‍යාගයෙන් ද, තම ශරීරාංග පරිත්‍යාගයෙන් ද, තම ජීවිතය ම පරිත්‍යාග
කිරීමෙන් ද පූරණය කළ යුතු ය. සෙසු පාරමී ද
එසේම ය.
ශ්‍රී ඝන සුගත අප තථාගතයාණන් වහන්සේ විසින් කල්ප කෝටි ශත සහශ්‍රයෙහි
සමතිස් පෙරුම් දම් සපුරා ලෝවැසි සකල සත්වයන්ට පතල මහා කරුණාවෙන් දේශනා
කරන්නට යෙදුණා වූ “ධර්මය” පහුරකට උපමා කොට ඇත. එය කර පිට තබා ගෙන යෑමට
නොව, සංසාරය නමැති සාගරයෙන් එතෙර වීම පිණිස ය. (කුල්ලුපමං වො භික්‍ඛවෙ
ධම්මං දෙසිස්සාමී නිත්‍ථරණත්‍ථාය නො ගහණත්‍ථාය) එබැවින් සසර දුකින්
එතෙර වීමට කැමැති නුවණැත්තන් විසින් බුදුන් වදාළ ධර්මය යහපත් ලෙස
පිළිපැදිය යුතු ය. සසරින් එතෙර වීම පිණිස බුදුන් වහන්සේ යම් යම් යහපත්
ක්‍රියා කළ යුතු බව දේශනා කර ඇත.
විශේෂයෙන් උතුම් නිර්වාණයට පැමිණීම පිණිස මූලික වශයෙන් සම්පූර්ණ කළ
යුතු වන්නේ පාරමී දහම් ය. පාරමී යනු බෝධිත්‍රය (සම්බුදු, පසේ බුදු, මහ
රහත්) අතරින් යම් කිසිවක් හෝ සසරේ පරතෙර වූ නිවන පතා කරන්නා වූ කුසලයෝ
ය. තෘෂ්ණා, මාන, දෘෂ්ටි යන තුන් වැදෑරුම් අකුසල් සිතිවිලිවලින් කිළිටි
නොවූ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් මනාව රැක ගන්නා දානාදී ගුණ, පාරමී නම් වන
බව ද සඳහන් ය. (තණ්හා මාන දිට්ඨිහි අනුපහතා කරුණුපාය කොසල්ල දානාදයො
ගුණා පාරමී) ලොව වසන්නා වූ සත්ත්වයෝ බොහෝ දෙනෙකු කැමැති වන්නේ පුණ්‍ය
ක්‍රියා කොට මනුලොව ඉපිද රජකම් සිටුකම් දරා අනන්ත සැප සම්පත් විඳීමට ය.
එවැනි දේ පතා කරන පුණ්‍ය කර්මයෝ පාරමී සංඛ්‍යාවට නො වැටෙයි. නිවන්
දකිනු කැමැති සත්පුරුෂයන් විසින් තාවකාලික සැප සම්පත් ප්‍රාර්ථනා
නොකොට, සදාකාලික සැපත වන නිර්වාණය පතා ම නොපසුබට වීර්යයකින් එය කළ යුතු
ය. බුද්ධ දේශනාවට අනුව පෙර සඳහන් කළ පරිදි මහා බෝධි පාරමීය, ප්‍රත්‍යෙක
බෝධි පාරමීය, ශ්‍රාවක බෝධි පාරමීය යනුවෙන් පාරමී ත්‍රිවිධාකාර වේ. මෙම
බෝධීන් තුනෙන් එකක් වූව ද ලබා ගැනීමට පිරිය යුතු පාරමී දහය, මෙසේ ය.
එනම්,
“දානං සීලඤ්ච නෙක්ඛම්මං
පඤ්ඤා විරියෙන පඤ්චමං
ඛන්ති සච්චමදිට්ඨානං
මෙත්තුපෙක්ඛා’ති මෙ දස”
දාන, ශීල, නෛෂ්ක්‍රම්‍ය, ප්‍රඥා, වීර්යය, ක්‍ෂාන්ති, සත්‍ය, අධිෂ්ඨාන,
මෛත්‍රී, උපේක්‍ෂා යනු එම පාරමි දහම් ය.
බුදු බව පැතීම
බුදු බව ලැබීම සඳහා කොතෙක් කාලයක් පාරමී සම්පාදනය කළ යුතු ද යන්න ආන්ද
තෙරුන් බුදුන්ගෙන් විමසූ කල්හි, යටත් පිරිසෙයින් හතර අසංඛෙය්‍ය කල්ප
ලක්‍ෂයක් පුරා ගණ දම් වැඩිය යුතු අය ප්‍රඥාධික බෝධිසත්වයින් වශයෙන්
සම්බුද්ධත්වයට පත්වන බව ද, මෙකී දස පාරමී දහම් අසංඛෙය්‍ය කල්ප අටක්
පුරා සම්පූර්ණ කළ උත්තමයා ශ්‍රද්ධාධික බෝධිසත්වයන් වශයෙන් බුද්ධත්වයට
පත් වන බව ද, එසේම මෙම ගුණ ධර්ම දහය, දහසය අසංඛෙය්‍ය කල්ප ලක්‍ෂයක්
වැඩූ උත්තමයා වීර්යාධික බෝධිසත්වයන් වශයෙන් සම්බුද්ධත්වයට පත්වන බව ද
උන්වහන්සේ වදාළහ. විශේෂයෙන් බුදු බව ලැබීම පිණිස පැතීම සඳහා සම්පත්ති
අටක් සම්පූර්ණ විය යුතු ය.
මිනිසත් බව ද, පුරුෂ භාවය ද, ඒ ජාතියේ දී උත්සාහ කළහොත් රහත් වීමට
හැකියාව ඇති බවද, ලොව්තුරා බුදුවරයෙකු හමුවීම ද, පැවිදි බව ද,
ධ්‍යානාදී ගුණ ඇති බවද, අධික වූ පරිත්‍යාගය ද, බුදු වීමට මහත් ඕනෑකමක්
තිබිය යුතු බව ද යන සම්පත්ති අට ඒ සඳහා තිබිය යුතු ය. මේ කරුණු අටින්
යුක්ත නොවී බුදු බව පතන්නවුන්ගේ බුදුවීමේ අදහස ස්ථිර නොවේ. ඔවුන්ගේ
බුදුවීමේ බලාපොරොත්තු භවාන්තරයේ දී නැති වී යා හැකි ය. බුදු බව පතන්නා
වූ යමෙකු විසින් පාරමිතා ත්‍රිවිධාකාරයකින් සපිරිය යුතු ය. එනම්,
පාරමී, උප පාරමී, පරමත්ථ පාරමී වශයෙන් පෙරුම්දම් සමතිසක් ඔහු පූරණය කළ
යුතු ය. දාන පාරමී වශයෙන් තම ධන ධාන්‍ය පරිත්‍යාගයෙන් ද, තම ශරීරාංග
පරිත්‍යාගයෙන් ද, තම ජීවිතය ම පරිත්‍යාග කිරීමෙන් ද පූරණය කළ යුතු ය.
සෙසු පාරමී ද එසේම ය.
පසේ බුදු බව පැතීම
පසේ බුදු බව පතන්නා වූ යම් පුද්ගලයකු විසින් පාරමී, උප පාරමී යන
දෙයාකාරයෙන් ම පාරමී දහම් සැපිරිය යුතු ය. පසේ බුදු බව ලැබීම පිණිස
කොතෙක් කල් පාරමී සම්පාදනය කළ යුතු වේ දැයි ආනන්ද තෙරණුවන්ට තථාගතයාණෝ
“ආනන්දය, ප්‍රත්‍යෙක බෝධිය සඳහා කල්ප අසංඛෙය්‍ය දෙකක් හා ලක්‍ෂයක්
පෙරුම් දම් පිරිය යුතුයැ’ යි වදාළහ. පසේ බුදුවරුන්ගේ ප්‍රථම ප්‍රාර්ථනය
කරුණු පසකින් යුක්ත විය යුතු ය. මිනිසත් බව ද, පුරුෂ භාවය ද, බුදු පසේ
බුදු රහත් උතුමන්ගෙන් කවරකු හෝ හමුවීම ද, අධික පරිත්‍යාගය ද, පසේ බුදු
බව ලැබීමට ඇති දැඩි කැමැත්ත යන සම්පත්ති පස පිහිටියේ නම්, කෙනෙකුට පසේ
බුදු බව පැතිය හැකි ය.
මහ රහත් බව පැතීම
ශ්‍රාවක බෝධි පාරමිතා කොතෙක් කාලයක් සැපිරිය යුතු වන්නේ දැයි අනඳ
තෙරණුවෝ විචාළ කල්හි, බුදුන් වහන්සේ “අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනාගේ
පාරමිතාව එක් අසංඛෙය්‍යයක් හා කල්ප ලක්‍ෂයක් ද, අසූ මහා ශ්‍රාවකයන්ගේ
පාරමිතාව කල්ප ලක්‍ෂයක් ද, එපමණම කලක් බුදුරදුන්ගේ මවුපිය බව පිණිස ද,
අග්‍ර උපස්ථායක බව පිණිස ද, පුත්‍ර බව පිණිස ද, පෙරුම් දම් පිරිය යුතු
බව, වදාළහ. බලවත් පරිත්‍යාග ද රහත් වීම සඳහා දැඩි කැමැත්ත ද යන අංග
දෙකෙන් යුක්ත වූ කල්හි එය සමෘද්ධ වන බව දක්වා තිබේ.
බුදුවරුන් ලොව පහළ වීම ද, මිනිසත් බවක් ප්‍රතිලාභය කිරීම ද දුර්ලභ
කරුණු වන බැවින් දුර්ලභයෙන් ලබා ගත්තා වූ මෙම මිනිසත් බව අයහපත් කටයුතු
කරමින් ඉක්ම යන්නට නොදී, මෙම බුද්ධෝත්පාද කාලයෙහි රහත් වීමට
බලාපොරොත්තු වන පින්වතුන් විසින් අනාගත භව ගැන, අනාගත බුදු සසුන් ගැන
බලාපොරොත්තු නොවී, මේ ජාතියේම රහත් වීමේ අදහසින් වහා පෙරුම් දම් සපුරා,
අපමණ දුක් රැසක් ඇත්තා වූ මේ සසර සයුරින් එතෙරව, සකල බෞද්ධ ජනතාව
පතන්නා වූ නිර්වාණ සුවය ලබා ගත යුතු ය. |