බක් පුර අටවක 2010.03.23
ජිගච්ඡා පරමා රෝගා
උත්තරීතර මවු පදවිය හැඳින්වීම පිණිස ගෙදර බුදුන් යැයි කීම
අසමසම බුදුන් වහන්සේට අගෞරව කිරීමක් ලෙස සිංහලයෝ නො සලකති.
මන්ද යත්, මවුගුණ එ තරම් ම පවිත්‍ර ය. මහා සාගරය මෙන් අපරිමිත
ය. අප මහ බෝසතාණන් වහන්සේ බුදුවීම සඳහා සිය මෑණියන් ගෙන් නියත
විවරණ ලැබීම, මවුගුණ මෙන් ම බුදු බව පිළිබඳ ව ගැඹුරු හැඟීමක්
ජනිත කැරෙන සිද්ධියකි. මේ නිසා මවුගුණ හා දරු සෙනෙහස ගැන කතා
කිරීමට අප සියලු දෙනා තුළ කැමැත්තක් තිබේ. එ පමණක් නො ව මවුගුණ
නොමැති මවුවරුන් ගැන කතා කිරීමට ඊටත් වඩා සමාජ නැඹුරුවක් දක්නට
ඇත.
කෙ සේ වූව ද පසුගිය 11 වන දා මව විසින් ම දරුවකු කළුගඟට විසි
කිරීම සාකච්ඡා කළ යුතු සිද්ධියකි. මෙය ලියන මොහොත වන විටත් ඉතා
අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර
ඒකකයේ ප්‍රතිකාර ලබන සෙල්ලගේ අමිල සඳරුවන් ප්‍රනාන්දු නමැති
අවුරුදු 2 යි මාස 8 ක් වයසැති පිරිමි දරුවා මෙ සේ ගඟට විසිකැර
තිබේ. පාණදුර මෝදරවිල සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි අමිල
සඳරුවන් දරුවා කළුතර මහ පාලම උඩ දී කළුගඟට දමා ඇත්තේ ඔහු ගේ ම
මව විසිනි. මානෙල් පුෂ්පලතා නමැති තිස් හැවිරිදි ඇය දරුවන් පස්
දෙනකු ගේ මවකි.
සැමියා හැරගොස් සිටින තමාට ජීවත් වීම සඳහා කිසිදු ආදායම්
මාර්ගයක් නොමැති බැවින් එම දරුවා කළුතර බෝධිය අසල රඳවා යෑමට
උත්සාහ කළ ද දරුවා හඬමින් තමා පසුපස පැමිණි නිසා කළුගඟට වීසි
කළ බව දැනට පොලිස් අත්අඩංගුවේ පසුවන ඇය ප්‍රකාශ කැර තිබේ.
ලොතරැයි පත් අලෙවි කොට දරුවන් ජීවත් කිරීමට දැරූ උත්සාහය
අසාර්ථක වී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටි තමා, මේ දරුවා ළමා
නිවාසයකට බාර දීමට තීරණය කළ ද, දරුවා බාර ගැනීම ළමා නිවාස
වලින් ප්‍රතික්ක්‍ෂේප වූ බව ද ඇය පවසා ඇත.
ගඟට වීසි කළ මේ දරුවා ගඟේ පාවෙමින් සිටිනු දුටු ලොරි රථ
රියැදුරකු ලොරිය නවතා ගඟට පැන දරුවා ගොඩට ගෙන තිබේ. ඉන්පසු
කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ දරුවා ගේ තත්ත්වය අසාධ්‍ය බැවින්
කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර එවනු ලැබිණ. ප්‍රදේශවාසීන්
ගේ දැනුම් දීම මත පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මව මේ මස 26
වන දා තෙක් රිමාන්ඩ් භාරයට පත් විය.
ඇය විසින් සිදු කරන ලද මේ වරද ඉතා බරපතළ ය. මේ අපරාධයට මුළු
මහත් සමාජය ම අවසාන වශයෙන් වගකිව යුතු ය.
මෙහි දී අපට සිහිපත් වනුයේ අපරාධ කරුවකු නිදොස් කිරීමට උපයෝගී
වන අවශ්‍යතාව නමැති නීතිමය මූලධර්මය යි. ඒ සඳහා ප්‍රකට
නිදර්ශනයක් වන එංගලන්ත රජුට එරෙහි ඩඩ්ලි සහ ස්ටීවන්ස් (1884
දී) නඩුවේ සිදුවීම මෙහි ගෙනහැර දක්වමු.
ඈත මුහුදේ දී විනාශ වූ නැවක සිටි මිනිසුන් තිදෙනකු හා පිරිමි
ළමයෙක් දිවි ගලවා ගැනීමට බෝට්ටුවකට නැඟ දින 18 ක් පාවෙමින්
සිටිය දී ආහාර හා ජලය අවසන් විය. එම නඩුවේ චූදිතයන් දෙදෙනා
තුන්වන පුද්ගලයාට කතා කොට ඒ වන විටත් ඉතා දුර්වල තත්ත්වයේ සිටි
පිරිමි ළමයා මරා ඔහු ගේ මස් කෑමට යෝජනා කැර ඇත. එම තුන්වන
පුද්ගලයා ඊට අවනත නො වූ නමුත් දින දෙකකට පසු චූදිතයන් දෙදෙනා
විසින් ළමයා මරා දැ මූ අතර, තිදෙනා ම ළමයා ගේ මස් කා දින හතරක්
ජීවත් වූ පසු වෙනත් යාත්‍රාවක් පැමිණ තිදෙනා බේරා ගෙන තිබේ.
එම ළමයා මරා මස් කෑම පිළිබඳ ව පැවැති නඩුවේ දී ඔවුන් දෙදෙනා
වරදකරුවන් බවට අධිකරණය තීරණය කළේ ය. ඊට හේතු වූයේ ඇතැම් විට එම
ළමයා මැරීමට යෝජනා කළ දිනට පසු දින වූව ද යාත්‍රාවක් පැමිණ
ඔවුන් බේරා ගැනීමට ඉඩ තිබීම ය. එ සේ නැතහොත් ඔවුන් කිසි දිනෙක
බේරා නො ගැනීමට ද ඉඩ තිබිණ. එම අවස්ථා දෙකෙහි දී ම ළමයා මරා
දැමීමට අවශ්‍යතාවක් ඇති නො වේ.
මේ අනුව අවශ්‍යතාව පිළිබඳ මූලධර්මය නිදහසට කරුණක් ලෙස ඉදිරිපත්
කිරීමට නීතියෙන් ලැබෙන අවකාශය පැහැදිලි ය. වෙනත් විකල්පයක්
නොමැති නිසා අසරණ වී ගනු ලබන පියවරක දී වූව ද මනුෂ්‍යත්වයේ අගය
ආරක්‍ෂා කිරීමට සියලු මනුෂ්‍යයෝ බැඳී සිටිති. එහෙත් බඩගින්න
නමැති රෝගය නිසා සියලු මානව ගුණ ධර්ම විනාශ වන බව අප තේරුම් ගත
යුතු කරුණකි.
අලව්රට දී එක්තරා උවසුවකු අරබයා බුදුරදුන් වදාළ ජිගච්ඡා පරමා
රෝගා නමැති ගාථාව (ධම්මපදය - සුඛ වග්ගය) මෙහි දී සිහිපත් කිරීම
වැදගත් ය. කුසගින්න නමැති රෝගය තරම් බරපතළ රෝගයක් තවත් නැත.
ආහාර වලඳනු කැමැත්ත නම් වන ජිගච්ඡාව එක් වරක් ආහාර වැලඳීම
නමැති පිළියමෙන් නො සන්සිඳෙ යි. උත්පත්තියේ සිට මරණය දක්වා ම
එම රෝගය පවතී. නිසිකල ඊට පිළියම් යෙදිය යුතු ය. එහෙයින්
බඩගින්න සියලු රෝගයන්ට වඩා බරපතළ ය.
අප මෙහි දක්වන ලද නඩුවේ සිද්ධියේ දී මෙන් ම අමිල සඳරුවන් දරුවා
ගඟට දැමීම සඳහා ද බඩගින්න නමැති දරුණු රෝගය බලපා තිබේ. එ
බැවින් මානෙල් පුෂ්පලතාට දඬුවම් කිරීමට වඩා අප ගේ අවධානය යොමු
විය යුත්තේ අමිල සඳරුවන් ලා රැක ගැනීම කෙරෙහි ය. |