UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය
සදහම් දැනුම

ප්‍රශ්නය
සමස්ත මිනිස් වර්ගයාටම ප්‍රිය ජනක වන්නා වූ කරුණු දහයක් පවතින බව බුදු දහම පිළිගනී. මෙම පොදු පි‍්‍රය මනාප වූ දේ මොනවාද?

පිළිතුර
භොගා (ධනය) වණ්ණො (පැහැය)
ආරොග්‍ය (නීරෝගීකම) සීලං (සීලය)
බ්‍රහ්මචරියං (බ්‍රහ්මචර්යාව) මිත්තා (මිත්‍රයෝ)
පඤ්ඤා (ප්‍රඥාව - නුවණ) ධම්මා බාහුසච්චං බුහුශ්‍රැත බව සවර්ග (විමුක්තිය ස්වර්ගය)

ප්‍රශ්නය
කායගතා සතිය නිතර වඩන – මහණදම් පුරන පැවිද්දන්ගේ හා සිහි නුවණින් විදසුන් වඩන ගිහියන්ගේ ද කාමාදී ආශ්‍රවයෝ නැසීයන්නාහ. මෙම කාමාසව මොනවාද?

පිළිතුර
කාම – භව - මිච්ඡා දිට්ඨි – අවිජ්ජා - යන ආශා හතරයි.

ප්‍රශ්නය
බුදු දහමට අනුව පුද්ගල පැවැත්මෙහි ගති ලක්‍ෂණ හතරකි. එය ‘චත්තාරො වලාහකා’ යනුවෙන් වැහි වළාකුලක ස්වභාවයට සමාන බව දක්වා ඇත. මෙම පොදු ලක්‍ෂණ හතර මොනවාද?

පිළිතුර
පුද්ගල ගති හතරකි. කථාවේ තරමට ක්‍රියාව නැත. සමහර පුද්ගලයෝ කතා කරති. සමහරු වැඩ කරති. හඬක් නැත. තවත් සමහර හඬ, වැඩ දෙකම නැත. සිව්වන ගණයට අයත් වන්නේ හඬ හා වැඩ දෙක්හි සමානව කටයුතු කරන්නෝ ය. මේ හා සමාන වළාකුළු හතරක් ද ඇති බව දේශනා පාඨයෙහි සඳහන්ව ඇත. ගර්ජනාව පමණකි වැසි නැත. වසින නමුත් ගර්ජනාව නැත. ගර්ජනා හා වැසිත් නැති වළාකුළු ඇත. ගර්ජනා මෙන්ම වැසිත් ඇති වළාකුළු ද ඇත.

ප්‍රශ්නය
පුද්ගල ජීවිතය බුදු දහමට අනුව සීලයෙන් පිරිසුදු විය යුතු ය. එය ආකාර හතරකින් සිදු විය යුතු බව චතුපාරිසුද්ධි සීලයෙන් දක්වා තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර
චතු පාරිශුද්ධි සීලය නම්

1. ප්‍රාති මෝක්‍ෂ සංවර ශීලය
2. ඉන්ද්‍රිය සංවර සීලය
3. ආජීව පාරිශුද්ධි සීලය සහ
4. ප්‍රත්‍ය සන්නිශි‍්‍රත සීලය වශයෙනි.

ප්‍රශ්නය
දානය යනු දීමය. තුන්සිත පහදවා දන්දීම දහම් මඟයි. මෙම තුන් සිත යනු කුමක්ද?

පිළිතුර
1. පුබ්බ චේතනා
2.මුංචනචේතනා
3. අපර චේතනා - දීමට පෙර, දෙන අවස්ථාව දීමෙන් පසුවද සිත පැහැදීම පවත්වාගත යුතු ය.

ප්‍රශ්නය
දන් දීම ආමිස හා ධර්මදාන වශයෙන් කොටස් දෙකකි. මෙයින් (සබ්බ දානං ධම්ම දානං ජිනාති) ධර්ම දානය උතුම් බවත් එහි ආනිසංස පහක් බවත් දේශනා පාලියෙහි සඳහන්ව ඇත. ඒ මොනවාද?

පිළිතුර
1. බොහෝ දෙනාට පි‍්‍රය වීම (බහුනො ජනස්ස පියො හොති)
2. සත්පුරුෂ ආශ්‍රය ලැබීම (සප්පුරිසො භජන්ති)
3. කීර්තිය පැතිරීම (කල්‍යාණොකිත්ති සද්දො අභුග්ග චඡති)
4. ගිහි ධර්ම කෙළසා නොගැනීම (ගිහි ධම්මො අන පෙනා හොති)
5. දෙව්ලොව ඉපදීම (පරම්මරණා සුගතිං සග්ගං ලොකං උප්පජ්ජති)

ප්‍රශ්නය
සත්වයා හා ලෝකය පිළිබඳව නිරවද්‍ය දැක්මක්, සම්‍යග් දෘෂ්ටියක් ලැබීම සඳහා ‘ද්වේ පච්චයා සම්මා දිට්ඨියා’ යනුවෙන් කරුණු දෙකක් සපුරාගත යුතු ය. ඒ කරුණු දෙක මොනවාද?

පිළිතුර
සම්මා දිට්ඨිය සඳහා “පරතෝ ඝෝෂය” සහ යෝනිසො මනසි කාරය යන කරුණු හේතු වෙයි. පරතො සොෂය ධර්ම ශ්‍රවණයෙන් ඇතිකරගත යුතු අතර යෝනිසො මනසිකාර නම් අග සිට මුලටත් මුල සිට අගටත් යථාර්ථයෙන් නුවණ මෙහෙයවා ලබා ගන්නා අවබෝධයයි.

ප්‍රශ්නය
බුද්ධ ගුණය ‘අත්තදත්ථ – පරත්ථ’ (ස්වාර්ථ පරාර්ථ) සාධනය කරමින් බුද්ධ චරිතය ආදර්ශමත් වෙයි. මෙම උත්තම ගුණාංග දෙක පැහැදිලි කරන්න.

පිළිතුර
තමන් වහන්සේ සම්බුද්ධත්වය ලැබීම තුළින් ස්වාර්ථය ඉටුකරගත් තථාගතයන් වහන්සේ දෙවනුව පරාර්ථය පිණිස දිවියේ අවශේෂ භාගය කැප කළහ. එහෙයින් ම උන්වහන්සේ ‘අත්තහිත සමාපත්ති සහ පරහිත සමාපත්ති යන ගුණාංග දෙකින්ම සම්පූර්ණ වූහ.

ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ වාණිජ කරණය, වෙළහෙළදාම් පිළිබඳ තයො අපමණික ධම්මා යනුවෙන් අනුශාසනා වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත. පැහැදිලි කරන්න.

පිළිතුර
ආපණික ධර්ම හෙවත් වෙළඳ පිළිවෙත් තුනක් දක්වන භාග්‍යවතුන් වහන්සේ වෙළඳ භාණ්ඩ හා වෙළඳපළ පිළිබඳව මනා දැනුමක් ඇති බව ‘චක්චුමා’ යනුවෙන් හඳුන්වා ඇත. වාණිජ කරණයෙහි දීමනා කළමනා කරණත්වය තිබිය යුතු බව ‘විධුර’ යන නමින් හඳුන්වා ඇත. පාරිභෝගිකයා තුළ විශ්වාසය තහවුරු කර ගැනීම ‘නිස්සය’ සම්පන්න යන නමින් හඳුන්වා ඇත.

ප්‍රශ්නය
කාමරාග - ව්‍යාපාද යන සංයෝජන ඉතිරිවක් නැතිව ප්‍රහීණ වන්නේ කුමන මාර්ග ඵලයට පැමිණීමෙන් ද?

පිළිතුර
අනාගාමී මාර්ග ඵලයට පැමිණීමෙන් කාමරාග හා ව්‍යාපාද සංයෝජන ප්‍රහීණ වෙයි.

ප්‍රශ්නය
උපෝසථාගාරයේ පහන් දල්වමින් සිටියදී දැල්වෙන පහන්සිළුවක් දෙස බලා සිට තේජෝ කසිණ සමාපත්තියට සමවැද සිව්පිළිසිඹියා රහත් ඵලය ලබා ගත්තේ කවුද?

පිළිතුර
උප්පලවණ්ණා තෙරණියයි.

ප්‍රශ්නය
මහණෙනි බල වූ පෙර මහජන තුමු එක් දවසක් වෙනුවෙන් කහවනු දහසක් දී ලබාගත් මැය දැන් නොමිලයේ වත් ගන්නේ නැත. මහජනයාට පි‍්‍රය වූ එබඳු රූපය දැන් ක්‍ෂය වී විනාශයට ගියේ ය. ගිලන් අත් බවෙක සැටි බලව්. යැයි තථාගතයන් වහන්සේ දහම් දෙසූ සේක මේ පුවත හා බැඳුනු කාන්තාව කවරෙක්ද?

පිළිතුර
සිරිමා නම් නගරශෝභිනියයි. ඇය ජීවක වෙදතුමාගේ සොහොයුරියකි. උත්තරාවන්ගේ ගෙයිදී භාග්‍යවතුන් වහන්සේගෙන් දහම් අසා සෝවාන් වූවාය.

ප්‍රශ්නය
ස්වාමි දුවගේ අතරක් නැතිව හිරිහැර නිසා ඇය එක් අදිටනක පිහිටියාය. දිය ගෙනඑනු පිණිස වන රොදකට පිවිස ‘ජීවිතය අමිහිරිය. අනේ මා වගේ කාලකන්නියක්. ජීවත් වන මෙහෙයින් ජීවත්වීම පලක් නැත. දිවි නසා ගනිමි. මෙසේ සිතූ ඇය ලණුවක් ගෙන මල පුටුවක් අටවා බෙල්ලේ වැල ලා ගන්නට සැරසී අවට බලන විට මහා කාරුණිකයානෝ රුකක් මුල වැඩ හිඳ දුව දිවි නසා ගන්නට එපා දුවේ! මෙහේ එන්නැයි වදාළ සේක. ඒ මිහිරි වදනින් ඇගේ සිත නිවී සෝවාන් ඵලයට පැමිණියා ය. මේ තැනැත්තිය කවුද?

පිළිතුර
උරුවෙල් දනව්වේ ගයානුවර බමුණු ගෘහයක මෙහෙකළ රජ්ජුමාලා නම් දාසියයි.

ප්‍රශ්නය
කාම ලෝකයෙහි විපාක දෙන අකුසල කර්ම අතර කාම මිථ්‍යාචාරයද එකකි.පැහැදිලි කරන්න.

පිළිතුර
කාම මිථ්‍යාචාරය සම්පූර්ණ වීම සඳහා කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය. 1. කාම මිථ්‍යාචාරයට සිතක් ඇතිවීම, 2. උපක්‍රමයක් සෙවීම, 3. කාම මිථ්‍යාචාරයට මඟ පාදාගැනීම. 4. එහි යෙදීම කාම මිථ්‍යාචාරයෙහි විපාක නම් බොහෝ සතුරන් ඇතිවීම, පි‍්‍රය නොවන ස්වාමි, භාර්යාවන් ලැබීම විෂම ලිංගිකත්වයක් හෝ නපුංසකයෙකු වීම.

ප්‍රශ්නය
පරමාර්ථ සත්‍යාධි ගමය සඳහා ශ්‍රාවකයාගේ රුචිය පරිදි තෝරාගත හැකි ‘බෝධි’ තුනෙන් ‘සාවක’ බෝධිය එකකි. හැඳින්වීමක් කරන්න.

පිළිතුර
ශ්‍රාවක බෝධිය නම් ශ්‍රාවකයෙකු ලබන සත්‍යාවබෝධයයි. මෙය අරහන්ත පරමාර්ථය ලෙස හැඳින්විය හැකි ය. රහත් වන්නට බලාපොරොත්තු වන අය නිරතුරුවම ප්‍රබුද්ධ ධර්මාචාර්යවරයෙකුගේ ගුරුපදේශය අපේක්‍ෂා කරයි. කාරුණික ගුරුවරයෙකුගේ සුළු මඟ පෙන්වීමක් වූවද පින්මේරු ශ්‍රාවකයෙකු විමුක්තිය කරා යොමුවන්නට ඉඩ තිබේ. සාරිපුත්ත මහ තෙරුන් වහන්සේ අස්සජී මහරහතන් වහන්සේ හමුව මහතෙරුන් සෝවාන් ඵලයට හේතු කාරක විය. ආදරණීයයන් සියලු දෙනම අහිමිව ශෝකාතුරව සිටි පටාචාර සිය පා සේදූ ජලය ගලා යනු බලා සිට රහත් වූවාය. මියගිය බිළිඳාට යළි පණ ලබා ගන්නට බුදුරදුන්ගෙන් බෙහෙත් ඉල්ලීමට තරම් බොළඳ වූ කිසාගෝතමී පහනක් නිවී යනු බලා සිට රහත් වූවා ය. සිව් මසක් තිස්සේ වෑයම් කර ගාථාවක් පාඩම් කිරීමට අසමත් වූ චුල්ල පන්ථක හිරු දෙසට හැරී සුදු රෙදි කඩක් අතගාමින් අනිත්‍යතාවය පිළිබඳ භාවනාකොට රහත් වූහ.


බක් පුර අටවක පෝය

බක් පුර අටවක පෝය මාර්තු 23 වන දා අඟහරුවාදා පූර්ව භාග 05.08 ට ලබයි.
24 වන දා බදාදා පූර්ව භාග 03.43 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම මාර්තු 23 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
මාර්තු 29 වන දා සඳුදා ය
.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 23

Full Moonපසෙලාස්වක

මාර්තු 29

Second Quarterඅව අටවක

අපේ‍්‍රල් 06

New Moonඅමාවක

අප්‍රේල් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]