කරන කලට පව් මීරිය මී සේ
විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ
කේ.කේ. සුගතපාල
2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ (ආගමික
කටයුතු හා සදාචාර වර්ධන අමාත්‍යාංශයේ)
සහකාර ලේකම්
ගිජ්ජකූට පර්වතයේ වැඩ සිටි නාරද තෙරුන් වහන්සේ එක් දිනක් සිවුරු සකසා
හැඳ පොරවා පාත්‍රය ගෙන රජගහ නුවරට පිඬු පිණිස වඩින්නේ අතර මඟ එක්
පේ‍්‍රතයෙක් මේ අයුරින් දක්නට ලැබුණි.
ශරීරය සියල්ල රන්වන් ය. සියලු දිසාවන් බබළුවයි. ශරීර ප්‍රභාව බබළවන්නේ
ය. එහෙත් ඔහුගේ මුඛය සූකර මුඛයක්සේය. ඌරු මුවක් බඳු ය.
කායො තෙ සබ්බසොවණේණා
සබ්බා ඔභාසතෙ දිසා
මුඛං තෙ සූකරසේසව කිං කම්මකරී පුරෙති
මේ පේ‍්‍රතයා දුටු නාරද තෙරුණුවෝ ඔහුගෙන් විමසන්නේ ‘‘ඔබ කිනම් පව්කමෙක්
කර මෙසේ වූයේ ද’’ ? එයට පිළිතුරු දෙන පේ‍්‍රතයා ‘‘නාරද ස්වාමීනි, මම
පෙර කයින් සංවර වීමි. එහෙත් වචනයෙන් අසංවර වීමි. එහෙයින් ඔබ දක්නා
පරිදි මෙබඳු ස්වභාව ඇති ශරීරයක් මට හිමිවි ය’’.
කායෙන සඤ්ඤතො ආසිං
වාචායාසිමසඤ්ඤතො
තෙන මෙ තාදිසො වණේණා
යථා පස්සසි නාරද
‘‘තවද නාරද ස්වාමීනි, ඔබ වහන්සේ වෙත අවවාද වශයෙන් මම කියමි. වචනයෙන්
පව් නො කරන්න. (මා මෙන්) හූරුමුව ඇත්තෙක් නො වන්න’’.
තං ත්‍යාහං නාරද බ්‍රෑමි සාමං දිට්ඨමිදං තයා
මාකාසි මුඛසා පාපං මා ඛො සූකරමුඛො අහූ ති
අප ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව මේ මහා භද්‍ර කල්පයෙහිම ඈත
අතීතයෙහි වැඩ සිටි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සාසනයෙහි සිටි එක්
භික්ෂුවක් කායද්වාරයෙන් හික්මීම ඇත්තෙක් විය. එහෙත් ශ්‍රමණ සාරුප්‍යයට
ම අයත් වාක් ද්වාරයෙන් නො හික්මුණේ විය. විහාරවාසී අනෙක් භික්ෂුනට නිතර
ද්වේශයෙන් යුතුව අක්‍රෝශ කරයි. පරිභව කරයි. ඒ භික්ෂුව කාලය ගෙවී ගොස්
කළුරිය කරන්නේ එක් බුද්ධාන්තරයක් මුළුල්ලේ ම නරකයෙහි ඉපිද පැසී එයින්
චුතව මේ බුද්ධෝත්පාදකාලයෙහි දී (අප බුදුරජාණෝ ජීවමාන කල) රජගහ නුවර
සමීපයෙහි ගිජ්ජකූට පර්වත ප්‍රාන්තයෙහි ඔහුගේ ම ක්‍ෂය නොවූ විපාක ඇත්තේ
දුකෙන් හා පිපාසයෙන් පීඩිතව මුලින් කී කයක් ඇතිව පේ‍්‍රතයෙක්ව උපන්නේ
ය.
නාරද තෙරුන් වහන්සේ පිණ්ඩපාතයෙන් පසුව සවස් යාමයේ රජගහ නුවර
වේළුවනාරාමයෙහි දම් සභා මණ්ඩපයේ වැඩ සිටි බුදුරජාණන් වහන්සේ හමුව මේ
කතා පුවත සැළ කළහ. ‘‘නාරදය, මම ද පෙර මේ සූඛර මුඛ පේ‍්‍රතයා දක්නා
ලද්දෙමි’’ යි වදාළ සේක. නොයෙක් ආකාර වූ වාක් දුශ්චරිතයන්හි ආදීනව
පෙන්නා වාක් සුචරිතයෙහි ආනිසංස ප්‍රකාශ කරමින් පළමු කී ගාථා මුල්කොට
බුදුරජාණන් වහන්සේ කළ දේශනය බොහෝ පිරිසට මහත් ඵල වූ සේක.
පේතවත්‍ථු පාලි 1. 2 සූකරමුඛ
පේ‍්‍රත වස්තුව
සටහන - බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන හා නිෂ්ඵල වචන කීම වාක්
දුශ්චරිතයෝ ය. සත්ත්වයා කුසල් හෝ අකුසල් කරනු ලබන්නේ් කාය ද්වාරය -
වාක් ද්වාරය හා මනක් ද්වාරය යන මේ තුන් දොරින් ය. එයිනුත් පෘථග්ජන අපි
බොහෝ අකුසල් කරගනු ලබන්නේ වාක් ද්වාරයෙන් නොහොත් වචනයෙන් වෙමු. මෙයින්
ද නිෂ්ඵල වචනයෙන් හා බොරු කීමෙන් බොහෝ පව්කර ගනිති. බුදු දහමේ සංවර කර
නොගත් කට හඳුන්වා දී ඇත්තේ කෙටේරියක් ලෙස ය. කටින් පිටවෙන ඉහත කී සතර
ආකාර අමිහිරි වචන භාවිත කළෝ එවැනි ආයුධයකින් දුන් පහර වැනි ය. එවැනි
වචන භාවිතායෙන් ඉතා දිගුකලක් දුකට හා මහත් විපතට පත්වන බව මෙවැනි කතා
පුවත් අනුව වැටහේ. කතා කරතොත් සත්‍යය ම පමණක් කථා කළ යුතු ය. නැතහොත්
නිහඬව සිටීම ඉතා වටී. සත්‍ය කතාකරන්නා කෙරෙහි සමාජයෙහි ඇති පිළිගැනීම
අප වටහා ගත යුතු ය. නව අරහාදී බුදු ගුණයන්හි සතර වැන්න ‘සුගතො’ ගුණය
වේ. ‘සුගතො’ ගුණයට ඇති අර්ථ ගැන්වීම් අතර තථාගත බුදුරජාණන් වහන්සේ
‘මිහිරි මුදු මොළොක් සත්‍ය’ වචනම කතා කිරීම එක් ගුණයක් ලෙස විස්තර වේ.
බුදුරජාණන් වහන්සේ සරණ යන අපි ද වචනයෙන් කෙරෙන සතර අකුසලයෙන් මිදෙමු.
කරන කලට පව් මීරිය මීසේ
විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ
ඇඳින එපව් දුරලන උපදේසේ
නුදුන මැනවි තුන්දොර අවකාසේ
(ලෝවැඩ සඟරාව - 37)
|