මැදින් අව අටවක 2010.03.07
වෛතුල්‍යවාදය නම් කිමැයි
පසුගිය ජනවාරි මස 18 වන දා මහනුවර ශ්‍රී දළදා මාලිගය අබියස
පැවැත්වීමට යෝජනා වී තිබුණු සංඝ සම්මේලනය හා ජෙනරාල් සරත්
ෆොන්සේකා මහතා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මහ නා හිමිවරුන්
විසින් නිකුත් කරන ලද ප්‍රකාශය පිළිබඳ ව සාකච්ඡා කිරීමට මල්වතු
මහා විහාරය වෙත වැඩම කළ භික්‍ෂූන් වහන්සේ එහි දී තිබ්බටුවාවේ
ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නා හිමියන්ට තර්ජනය කොට ඇතැයි
විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කැර තිබේ. එ පමණක්
ද නොව විපක්‍ෂ නායකවරයා විසින් එම භික්‍ෂූන් වහන්සේ
වෛතුල්‍යවාදීන් ලෙසින් හඳුන්වා ඇත. විශාල ආන්දෝලනයකට හේතු වී
ඇති මේ ප්‍රකාශය නිසා වෛතුල්‍යවාදය යනු කුමක් දැයි දැන ගැනීමට
බොහෝ දෙනා තුළ උනන්දුවක් ඇති වූ බවට සැකයක් නොමැත. එ බැවින් ඊට
අදාළ ශාසනික ඉතිහාසය ගෙන හැර දැක්වීම අප ගේ යුතුකමකි. 1956
බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභා වාර්තාවෙහි සඳහන් ඡේදයක් ඒ සඳහා
ප්‍රථමයෙන් ම මෙහි උපුටා දක්වමු.
‘ලංකා බුද්ධ ශාසන ඉතිහාසයෙහි වෙන් වශයෙන් සලකන සම්ප්‍රදායක්
ආරක්‍ෂා කළ ස්ථානයක් වශයෙන් අභයගිරි (භගිරිනක) විහාරය ගණන් ගනු
ලැබේ. පාලි සාහිත්‍යයෙහි විශිෂ්ට යුගයක් උදා වූ වළගම්බා රජු ගේ
කාලයෙහි ඒ රජු විසින් මේ විහාරය ගොඩනඟන ලදී. එය ගොඩනඟන ලද්දේ
කලින් තීර්ථකාරාමයක් පැවැති ස්ථානයක ය. අභයගිරි චෛත්‍යය ලංකාවේ
පවතින විශාල ම දාගැබ යි. එය අක්කර අටක භූමි භාගයක පැතිරී ඇති
මළුවක් මත අඩි 400 ක් උසට ගොඩ නඟා ඇත. ලංකා සම්බුද්ධ ශාසනය
පිළිබඳ ඉරණම විසඳන සිදුවීම් හා විශාල සාහිත්‍ය කෘතීන් ද මේ
විහාරයෙන් පසු කලෙක පැන නැංගේ ය. මහා විහාරයෙන් බැහැර කරන ලද
එක්තරා තෙර නමක් මේ විහාරයට පැමිණියේ ය. එ සේ ම කලින් කල
දඹදිවින් පැමිණි ස්ථවිරයන් වහන්සේලා එහි ශක්තිය දියුණු කළ හ.
මේ විහාරයෙහි ආරම්භය ලංකාවේ භික්‍ෂූන් අතර නිකාය භේදයක් ආරම්භ
වීමට හේතු විය. මුල දී පුද්ගලයකුට කරන ලද විනය කර්මයක් නිසා
පටන් ගැනුණු මේ භේදය පසු ව ධර්මය පිළිබඳ මතාන්තර භේදයක් ද
එකතුවීමෙන් වැඩි දියුණු විය.’
මෙය, වෝහාරිකතිස්ස රජ (ක්‍රි.ව.215 – 237) දවස වෛතුල්‍යවාදී
ප්‍රවණතාවක් බවට පත් වු අයුරු. නිවන්දම ශ්‍රී ධර්මකීර්ති
හිමියන් ලියූ ‘ශාසන ඉතිහාසය’ නමැති කෘතියෙහි එය මෙ සේ විස්තර
කැර තිබේ.
‘නිකාය සංග්‍රහය කතුවරයා විස්තර කරන පරිදි ලක්දිව මුලින් ම
වෛතුල්‍යවාදය පිළිගෙන ඇත්තේ අභයගිරි වාසීන් වූ ධර්ම රුචිකයන්
විසිනි. මේ කියන වෛතුල්‍යවාදය නම් කුමක් ද? දඹදිව කාලාශෝක
(ක්‍රි.පූ. 393 – 365 ) රජුගේ අනුග්‍රහය ලැබ පැවැත් වූ දෙවන
සංගායනාවෙන් පසු එතෙක් එකක් ව පැවැති සංඝ සමාජය ප්‍රධාන කොටස්
දෙකකට බෙදිණි. එකී සංගායනාවේ දී දස වස්තුව අකැප යැයි
ප්‍රතික්ක්‍ෂේප කළ භික්‍ෂූ පිරිස පිරිසුදු ස්ථවිරවාදීන් ලෙස ද
දසවස්තුව පිළිගත් වජ්ජිපුත්තක භික්‍ෂූන් ඇතුළු අනික්
විරුද්ධවාදීන් පිරිස මහා සාංඝිකයන් ලෙස ද බෙදී ගියේ ය. මේ අතර
පසු කාලයක දී ලාභ සත්කාර පිරිහුණු තීර්තකයෝ මහා සාංඝිකයන්ගේ
පක්‍ෂයෙහි ඇතුළත් ව වෛතුල්‍යපිටකය නම් අධර්මවාදී ධර්මයක් දේශනා
කළ හ. පසුව ඔවුහු ලක්දිව අභයගිරි විහාරයට පැමිණ එහි වාසය කළ
ධර්මරුචි නිකායට අයත් භික්‍ෂූනට ඔවුන්ගේ වෛතුල්‍ය ධර්මය දේශනා
කළ හ. මෙකී වෛතුල්‍යවාදය වනාහී ධර්මය අධර්මය වශයෙනුත් අධර්මය
ධර්මය වශයෙනුත් බුද්ධ දේශනාව නො පිටට හැර වූ ධර්මයක් බව නිකාය
සංග්‍රහය කතුවරයාගේ පිළිගැනීම විය. කෙ සේ නමුත් එය ‘අධර්ම
වාදයක්’ බව තීරණය කළේ සර්ව ශාස්ත්‍රයෙහි කෙළ පැමිණි කපිල නම්
ඇමැතියා විසිනි. කපිල ඇමැතිතුමා ගේ විනිශ්චය භාරගත්
වෝහාරිකතිස්ස රජතුමා වෛතුල්‍යවාදීන් ගේ පොත්පත් ගෙන්වා ඒ
සියල්ල විනාශ කොට ඒ ධර්මය පිළිගත් පාපී භික්‍ෂූන්ට ද දඬුවම්
කොට බුදු සසුනත් පර්යාප්තියත් රැක ගත් හ. නමුත් මේ තත්ත්වය
ආරක්‍ෂා වී තිබුණේ ස්වල්ප කාලයකට පමණකි. නැවතත් ගෝඨාභය රජු දවස
වෛතුල්‍යවාදය නැඟී සිටියේ ය”.
මේ අනුව බලන කල විපක්‍ෂනායකවරයා විසින් එක්තරා භික්‍ෂූන්
වහන්සේ පිරිසක් වෛතුල්‍යවාදීන් ලෙස හැඳින්වීම කෙ තරම්
වැරැදිසහගත දැයි අප පාඨකයන්ට පැහැදිලි වනු ඇත. මන්ද යත්, එය
ධර්මය පිළිබඳ කාරණයක් මිස විනය පිළිබඳ කාරණයක් නො වන බැවිනි. එ
මෙන් ම වෛතුල්‍යවාදය වැනි ප්‍රශ්නයක දී වූව ද ඊට මැදිහත් විය
හැක්කේ වෝහාරිකතිස්ස රජ දවස සිටි කපිල ඇමැති මෙන් ධර්ම පිළිබඳ
හසළ දැනුමක් ඇති අයකුට ය.
දේශපාලනය නිසා උද්ගත වී ඇති මේ ප්‍රශ්න විසඳා ගැනීම පහසු වනු
පිණිස ‘භික්‍ෂූන් හා දේශපාලනය’ නමැති විද්‍යාලංකාර පිරිවෙන
නිකුත් කළ 1946.02.13 දිනැති ප්‍රකාශයෙහි කොටසක් මෙහි දී උපුටා
දැක්වීමට කැමැත්තෙමු.
‘අද ලෝකයෙහි මනුෂ්‍යයන් ගේ යහපත පිණිස කරන හැම වැඩ පිළිවෙළක් ම
දේශපාලනයට අයත් යැයි අපි විශ්වාස කරමු. ආගම දියුණුවට ක්‍රියා
කිරීම භික්‍ෂුවට අයිති යුතුකමක් බව කවුරුත් පිළිගනිති. ආගම
දියුණු ව පවතින්නේ එය අදහන රටවැසියා ගේ දියුණුව උඩ ම බව
පැහැදිලි ය. සිංහල මනුෂ්‍යයා, බුද්ධාගම්කාරයා යම් කලක දියුණු
නම් බුද්ධාගමේ දියුණුවත් එම කාලයේ ම බව ඉතිහාසයෙන් ඔප්පු වෙයි.
එ බැවින් භික්‍ෂු ජීවිතයට කැළැල් නො වන පරිද්දෙන් අපේ රට
වැසියා ගේ යහපතට හේතුවන යම් වැඩ පිළිවෙළක් වේ නම් එහි නම
දේශපාලනය හෝ වේවා කුමක් හෝ වේවා, එහි යෙදීම භික්‍ෂූන්ට සුදුසු
ම ය.’
‘එ හෙයින් අපේ භික්‍ෂූන් වහන්සේත්, බෞද්ධ ප්‍රභූපක්‍ෂයත් සිහි
බුද්ධියෙන් තොර ව වැඩිදුර කල්පනා නො කොට ඉක්මන් වී ජාතිය හා
ආගම පිරිහීමට මඟ පාදා නො ගත යුතු බව ප්‍රකාශ කරම්හ.’ |