‘සත්‍යය හෙළි කිරීම
වරදක් නො වේ’
ඉංගිරිය සුදම්පාය ධර්මායතනවාසී
බෝකුන්දර කුසලධම්ම හිමි
‘අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ’ යනුවෙන් පුවත්පතක
ලිපියක් පළ වූ විට, එය තමන් කලින් දැනගෙන
සිටි අදහසට වඩා වෙනස් හෙයින්, කලබල වී ශිෂ්ට ධර්මයන්
ඉක්මවා ආවේගශීලී වී ඊට පහර ගැසීම
බෞද්ධකමට නිගරුවකි. කාලාන්තරයක් තිස්සේ තමන්
පිළිගෙන ඇති දේ ගැන විශ්වාස
කිරීම ඇදහීමක් පමණි.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තෙමසකින්
රජගහ නුවර දී පැවැත්වූ ප්‍රථම ධර්ම
සංගායනාවට ඇතුළත් වූයේ ධර්මය හා විනය යි.
ඊට පනස් වසකට පසුව විශාලා මහනුවර දී පැවැත්වූ
දෙවැනි සංගායනාවට ද භාජනය වූයේ ධර්මය හා විනය යි.
එසේ නම් මේවාට අභිධර්මය නොගත්තේ ඇයි? එකල
අභිධර්මයක් නොතිබූ හෙයිනි.
බෝකුන්දර කුසලධම්ම හිමියන් බුදුසරණ පත්‍රයට ලියූ ලිපියක ‘අභිධර්මය
බුද්ධ දේශනාවක් නො වේ’ යැයි සඳහන් කැර තිබීම ක්‍රිස්තියානිකරණයක් ලෙස
දැක්වෙන ලිපියක් 2009.10.22 වන දින ‘ලක්බිම’ පුවත්පතෙහි පළ විය.
බෝකුන්දර කුසලධම්ම හිමියන් ‘ලක්බිම’ කතුවරයා වෙත යවන ලද මේ පිළිතුරු
ලිපිය එහි පළ නො වීය. එම ලිපිය මෙහි පළ කැරෙනුයේ බෝකුන්දර කුසලධම්ම
හිමියන් ගේ් ඉල්ලීම අනුව ය.
‘අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ’ යනුවෙන් සඳහන් ලිපිය හා ‘කේශ ධාතු
සංකල්පය’ නමින් ලියූ ලිපියක් ද ‘බුදුසරණ’ පුවත්පතේ පළකර තිබීමෙන්
‘බුදුසරණ’ පත්‍රය ද ක්‍රිස්තියානිකරණයට හසු වීමකැයි 2009.10.22 දින
‘ලක්බිම’ පුවතින් ප්‍රකාශ කර තිබිණි. එම ලිපියේ සඳහන් සියලු තොරතුරු වල
වගකීම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සතු බැව් ද එහි පළ කර තිබිණි.
එම ලිපිය ‘ලක්බිම’ පුවත්පතේ පළ කිරීම සම්බන්ධයෙන් ‘ලක්බිම’ පුවත්පතේ
ප්‍රධාන කර්තෘවරයාගේත් අන්‍යාගමිකරණය පිළිබඳ කොමිෂන් සභාවේ
සාමාජිකයින්ගේත් අවධානය සඳහා පහත සඳහන් කරුණු ඊට පිළිතුරු වශයෙන්
ඉදිරිපත් කරමි.
බුදුදහම ගැන නිවැරැදි අවබෝධයක් ජනතාවට ලබාදීමේ දී ගතානුගතික,
ආදානග්‍රාහී, සම්ප්‍රදායික ඉගැන්වීම් වලින් පරිබාහිරව කරුණු ගෙන හැර
විචාරයට ලක්කිරීම සත්‍යාවබෝධයට සම්බාධකයක් නොව උපකාරයකි.
එසේ විචාරාත්මක ලිපි ලිවීම මඟින් අදහස් කරන්නේ සත්‍ය කුමක්දැයි පාඨකයාට
වටහා දීම ය. සියලු දේ විචාරයට ලක්කර සත්‍ය සෙවීම නිරන්තරයෙන් බෞද්ධයකු
තුළ තිබිය යුතු ගුණාංගයකි. එසේ විචාරාත්මක අයුරින් කථා කරන, ලියන
පුද්ගලයින් ක්‍රිස්තියානිකරණයට හසුවූවන් ලෙස හැඳින්වීම බුද්ධිහීන
පුද්ගලයින්ගේ අබෞද්ධ ක්‍රියාවකි.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ වැදගත්ම අංගය විචාර පූර්ව ආකල්පය යි.
විද්‍යාත්මක පදනමක් මත ගොඩනගා ඇති බුදුදහමෙන් උගන්වන්නේ ද සත්‍ය අවබෝධ
කර ගන්නා ආකාරය යි. සැකයක් ගැටලුවක් ඇති තැන දියුණුවක් ප්‍රගතියක්
නොමැති බව සත්‍යයකි. මම විශ්වාස කරමියි කී පමණින්, සත්‍ය වටහාගත් බවක්
හෙළි නොවේ. මම සැක නො කරමියි කී පමණින් සැකය පහ නොවේ. සැකයෙන් නිදහස්
විය හැක්කේ පැහැදිලි ලෙස දැක ගැනීමෙන් පමණි. බුදු දහම ආගමක් නොවන්නේ ද
ඇදහිලි පාදක කොට ගත් ගුප්ත ආගම් සංකල්ප වලින් බුදුදහම වෙනස් වන්නේ්ද
මෙම ‘එහිපස්සික (එව බලව) ගුණය නිසා ය.
බුදුරජාණන් වහන්සේ කාලාමයින්ට දේශනා කළ සූත්‍රයෙන් ද උගත යුතු පාඩම මෙය
යි. මේ ධර්මතාව අනුව සිතන කෙනකුට බෞද්ධ සාහිත්‍යයේ ඇති සිද්ධාර්ථ කුමාර
උප්පත්තියේ සිට මුළු බුද්ධ චරිතයත්, පිටක පොත්වල ලියා ඇති සූත්‍ර
ආදියත් සෑම එකක්ම සත්‍ය දැයි විචාරයට භාජනය කිරීම තුළින් සත්‍ය දැන
ගැනීමට පුළුවන. දහම ගැන පමණක් නොව සෙසු දේවල් ද මෙපරිද්දෙන් තේරුම්
ගැනීමේ සිරිත මෙකලට අවශ්‍ය බව මෙහිලා සඳහන් කළ යුතු ය.
බෞද්ධයන් වෙනත් ආගම් වලට හරවා ගැනීමට පහසු වී ඇත්තේ ඔවුන්ට බුදුදහම
පිළිබඳව නිවැරැදි අවබෝධයක් ලබා නොදීම ය. මීට පිළිමයක් වශයෙන් සමස්ත
ලංකා බෞද්ධ මහා සම්මේලනය කළ යුතු වන්නේ ආර්ය මාර්ගය පිළිබඳව, යටත්
පිරිසෙයින් සම්මා දිට්ඨිය ගැනවත් ජනතාවට අවබෝධයක් ලබා දෙන්නේ කෙසේද
කියා සොයා බැලීමට කොමිසමක් පත් කිරීම ය. එසේ නොකර නාමික බෞද්ධයන්
වෙනත් ආගම් වලට හරවා ගැනීම වළකාලිය නො හැකිය.
‘අභිධර්මය බුද්ධ දේශනාවක් නොවේ’ යනුවෙන් පුවත්පතක ලිපියක් පළ වූ විට,
එය තමන් කලින් දැනගෙන සිටි අදහසට වඩා වෙනස් හෙයින්, කලබල වී ශිෂ්ට
ධර්මයන් ඉක්මවා ආවේගශීලී වී ඊට පහර ගැසීම බෞද්ධකමට නිගරුවකි.
කාලාන්තරයක් තිස්සේ තමන් පිළිගෙන ඇති දේ ගැන විශ්වාස කිරීම ඇදහීමක්
පමණි. නමුත් එය සත්‍ය නොවේ.
තුසිත දිව්‍ය ලෝකයේ කාමභෝගි දෙවියන්ට, අනිත්‍ය දුක්ඛ අනාත්ම
ත්‍රිලක්ෂණය දේශනා කිරීමට බුදුරදුන් තුසිත දිව්‍ය ලෝකයට වැඩම කිරීමේ
කථාව බුදුරදුන්ට ද කරනු ලබන නිගාවකි. වස් කාලයේ තුන්මාසයක් බුදුරදුන්
තුසිත දිව්‍යලෝකයේ වැඩසිටියානම් බුදුරදුන් තවමත් තුසිත දිව්‍ය ලෝකයේ ය.
ඊට හේතුව පොතේ හැටියට අපේ අවුරුදු සියයක් තුසිතයේ එක දවසක් වීමයි.
බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ සම්මුති සමාරොපණයෙනි. ඊට හේතුව
ධර්මය පරමාර්ථ වශයෙන් දේශනා කිරීමට නො හැකිකමය. ධර්මයේ පරමාර්ථය
නිර්වාණය යි. නිවන කෙසේ නම් වාග් පථයට ගොඩනැගිය හැකි ද? මේ සිද්ධාන්තය
අනුව අභිධර්මය පරමාර්ථ ධර්මය වන්නේ කෙසේ ද? ස්කන්ධ, ආයතන, ධාතු පරමාර්ථ
වශයෙන් ගතයුතුª යැයි දේශනා කර ඇත්තේ කුමන සූත්‍රයේ ද?
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු තෙමසකින් රජගහ නුවර දී පැවැත්වූ ප්‍රථම
ධර්ම සංගායනාවට ඇතුළත් වූයේ ධර්මය හා විනය යි. ඊට පනස් වසකට පසුව
විශාලා මහනුවර දී පැවැත්වූ දෙවැනි සංගායනාවට ද භාජනය වූයේ ධර්මය හා
විනය යි. එසේ නම් මේවාට අභිධර්මය නොගත්තේ් ඇයි? එකල අභිධර්මයක් නොතිබූ
හෙයිනි.
දෙවැනි සංගායනාවෙන් පසු තවත් අවුරුදු එකසිය පනහකට පසුව පාඨලී පුත්‍ර
නගරයේ දී පැවැත්වූ තුන්වන සංගායනාවට අභිධර්මය ඉදිරිපත් කළේ සංඝ සමාජය
නිකාය වශයෙන් විවිධ මත ඉදිරිපත් කරමින්, බෙදී සිටි අවධියකය.
ස්ථිවිරවාදීන් විසින් නිර්මාණය කරන ලද අභිධර්මය මෙම සංගායනාවට ඇතුළත්
වූයේ එවන් පසුබිමක් තුළ ය. ඒ අනුව අභිධර්මය ස්ථවිරවාදීන් විසින්
නිර්මාණය කරන ලද ශාස්ත්‍රීය ප්‍රබන්ධනයක් බව වියතුන්ගේ මතය යි. බුද්ධ
දේශනාවේ ශාස්ත්‍රීය වශයෙන් ගතහැකි කිසිවක් නොමැත. බුදුදහම ප්‍රායෝගික
ය. බුදුසමයෙන් අනාවරණය කර ඇත්තේ එක්තරා චරණ පද්ධතියක් හා ධර්ම
පද්ධතියකි.
මෙම කරුණු ගැන අවධානය යොමු කොට බුදුරජාණන් වහන්සේ අභිධර්මයක් දේශනා කර
තිබේ දැයි, කොමිසම හමුවේ සාක්ෂි දුන් පැවිදි උතුමන් හා ගිහි භවතුන්
නුවණින් විමසා බලත්වා.
‘කේශ ධාතු සංකල්පය’ ද වෙනත් පුද පූජා ද නොවියත් ජනතාවගේ සසර ගමන
දිග්කිරීමට සාදා ගත් ව්‍යාපාරික කටයුතු ය. දහමත් සමග මේවායේ කිසිම
සම්බන්ධයක් නැත. බුද්ධ පූජා, ධාතු පූජා, බෝධි පූජා, ඥාන පූජා, දේව පූජා
මේ කිසිවක් ආර්ය මාර්ගයට කිසිම සම්බන්ධක් නැත. මේවා අයත් වන්නේ
සීලබ්බතපරාමාස වලට ය. මෙම පුද පූජා කටයුතු වලට මුල්තැන දීමෙන්, ගිහි
පැවිදි උභය පාර්ශ්වයටම ආර්ය මාර්ග අමතක වී තිබේ. මේ ආකාරයට තව නොබෝ
කලකින් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස ද පූජාවක් හදනවා ඇතැයි සිතීමට
පුළුවන. අමූලිකා දී ශ්‍රද්ධාව හා භක්තිය කරණකොට ගෙන පුද්ගලයාගේ විචාර
බුද්ධිය පරාජයට පත්වනවා ඇත. මේ අනුව සන්තානගත විචාරයෙන් තොර වූ
පුද්ගලයා වහලෙක් බවට පත් වේ. මේ නයින් බලන කල ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව
තුනුරුවන්වත් නිවැරැදි ලෙස හඳුනනවා දැයි සැක සහිත ය.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මේ ගැන සොයා බලා ත්‍රිවිධ ශාසනයේ
ප්‍රගතිය පිණිස වැඩ පිළිවෙළක් ආරම්භ කරන්නේ නම් ඉතා අගනේය. මෙම ලිපිය
අවසාන කිරීමේදී මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා විසින් ලියන ලද ‘බුද්ධ
චරිතය’ නමැති කෘතියේ පෙර වදනින් වාක්‍යයක් ගෙන සඳහන් කිරීම කාලෝචිත
යැයි අදහස් කරමි.
“බුදු සමය නන් වැදෑරුම් රූපයෙන් ගණිකා වෘත්තියේ යෙදවෙන අද දින සැබෑ
බුදුන් වහන්සේ නම් කවර හුදැයි පෙන්වා දීම අත්‍යවශ්‍ය යැයි හැඟුනෙන් මෙය
ලිවීමි”.
මේ ගැන කොමිසම කුමක් කියන්නේ ද? |