දුරුතු පුර පසළොස්වක 2009-12-31
සංස්කෘතික දූතයකු ගේ උපන් දිනය
මේ මස 17 වන දා ‘දිනමිණ’ පුවත්තට වසර සියයක් සම්පූර්ණ විය.
විද්‍යුත් මාධ්‍ය ශිෂ්ටාචාරයේ සාමාජිකයන් ලෙස සයිබර් අවකාශයේ
සැරිසරණ තරුණ පරපුරට මෙන් ම රජයේ මාධ්‍ය ව්‍යාපෘතියක් ලෙස
‘දිනමිණ’ බැහැර කළ අයට ද මෙහි කිසිදු වැදගත්කමක් ඇතැයි නො
සිතමු. එ සේ වූව ද 1909 දෙසැම්බර් මස 17 වන දා එච්.එස්. පෙරේරා
මහතා ගේ (1868 – 1914 )කර්තෘත්වයෙන් ‘දිනමිණ’ උපත ලැබීමට
තුඩුදුන් සමාජ පසුබිම හා එය ඉටු කළ සංස්කෘතික දූත මෙහෙවර
පිළිබඳ ව අවබෝධයක් සහිත කිසිවකුට මේ සමාජ සංසිද්ධිය නො සලකා
හැරීම පහසු නැත.
‘දිනමිණ’ බිහි කළ එච්. එස්. පෙරේරා යනු 19 වන සියවසෙහි අග
භාගයේ දක්නට ලැබුණු මෙ රට ජාතිකවාදී ප්‍රබෝධයේ සංකේතයකි.
උපතින් ක්‍රිස්තු ලබ්ධිකයකු වූ ඔහු මහනුවර අධිකරණයේ
ලිපිකරුවෙක් වශයෙන් ජීවිතය ආරම්භ කැර තිබේ. පසු ව ඔහු ලද
ජීවිතාවබෝධය නිසා ම බුදු දහම වැලැඳගෙන ඇත. ඊට බලපෑ සමාජ පසුබිම
මෙහි දී සලකා බැලීම වැදගත් යැයි සිතමු.
ක්‍රි.ව. 1865 සිට 1873 දක්වා කාලය අතරතුර පැවැති බෞද්ධ –
ක්‍රිස්තියානි පංච මහා වාද මඟින් ඇති කළ ආගමික ප්‍රබෝධය නිසා
එච්.එස්. පෙරේරා මහතා වැනි චරිත ගොඩනැඟිණ. 1873 දී පැවැති
පාණදුරා වාදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස 1880 මැයි මස 16 වන දා
ශ්‍රී ලංකාවට පැමිණි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා විසින් පරම
විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටු වන ලදී. එ මඟින් ඇති කළ සමාජ
උත්තේජනය සංකේතවත් කැරෙමින් මහාබෝධි සංගමය (1891) ශෛව පරිපාලන
සභා (1888) තරුණ බෞද්ධ සංගමය (1898) කොළඹ ඥානාභිවෘද්ධි සංගමය,
කොළඹ ඥාන ප්‍රබෝධ සංගමය ආදිය බිහි විය. එම ආගමික - සංස්කෘතික
පුනරුදය ලක්මිණි පහන, ලක් රිවි කිරණ, සරසවි සඳරැස, සිංහල
ජාතිය, සිංහල බෞද්ධයා වැනි පුවත්පත් වල දක්නට ලැබිණ. එ සේ බිහි
වූ සරසවි සඳරැස පත්‍රයේ කතුවරයා ලෙස 1903 සිට 1909 දක්වා කාලය
තුළ එච්.එස්. පෙරේරා මහතා කටයුතු කළේ ය. එහි පාලකයන් සමඟ ඇති
වූ මතභේදයක් නිසා ඔහු එයින් ඉවත් කැර තිබේ.
ඉන්පසු ඔහු ‘දිනමිණ’ දිනපතා පුවත්පත ආරම්භ කළේ ය. සිංහල භාෂාව
හා ශබ්ද ශාස්ත්‍රය පිළිබඳ ව මනා දැනුමකින් හෙබි රත්මලානේ ශ්‍රී
ධර්මාරාම නා හිමියෝ ඊට නම සකසා දුන් හ. ඉතා සාර්ථක ව පවත්වා
ගෙන ආ පත්‍රය කතුවරයා රෝගීවීම නිසා 1914 දී ඩී.ආර්. විජයවර්ධන
මහතාට පවරා දෙනු ලැබිණ. විසිවන සියවසේ මෙ රට පැවැති ජාතික
ප්‍රබෝධය නමැති තිඹිරිගෙය තුළ උපත ලද ‘දිනමිණ’, යටත්විජිත
පාලනය යටතේ මතු වූ නව ව්‍යාපාරික මැදපන්තියේ නියෝජිතයකු වන
ඩී.ආර්. විජයවර්ධන මහතා අතට පත්වීම ඓතිහාසික වශයෙන් වැදගත්
සිද්ධියකි.
යටත්විජිත භාවයෙන් නිදහස්වීම සඳහා දේශීය ප්‍රභූ පන්තිය ගෙන ගිය
දේශපාලන ව්‍යාපාරයේ කොටස්කරුවකු ලෙස හා ජනතාවට මඟ පෙන්වන්නකු
වශයෙන් විජයවර්ධන පාලනය යටතේ ‘දිනමිණ’ විශාල කාර්ය භාරයක් ඉටු
කළ බවට විවාදයක් නොමැත. එහෙත්, ලේක්හවුස් ආයතනයේ හිමිකරුවා ලෙස
ඩී.ආර්. විජයවර්ධන මහතා ගේ භූමිකාව විවාදාත්මක මාතෘකාවකි.
‘දිනමිණ’ සියවස් සමරු කලාපයට ආචාර්ය ටියුඩර් වීරසිංහ ලියූ
ලිපියක එය මෙ සේ සටහන් කැර තිබේ.
‘දිනමිණ’ තුළින් ජාතික, ආගමික, අධිරාජ්‍ය විරෝධී අදහස් හා
මතිමතාන්තර ප්‍රකාශයට පත් කැරෙන අතර ම අධිරාජ්‍යවාදයේ යහපත් දේ
ද සමඟ අධිරාජ්‍යවාදී පාලනයේ තොරතුරු ද ඉදිරිපත් කෙරිණ. එ
බැවින් දිනමිණට පෙර දී තිබුණු යම් පටු සීමාවක සලකුණු මකා සිංහල
පාඨක පිරිස පුළුල් සංවිධානාත්මක ස්වරූපයකට ගෙන ඒම ‘දිනමිණ’ ට
හැකි විය. මේ සඳහා ඩී.ආර්. විජයවර්ධන මහතා ගේ නිදහසට ගරු කරන
ලිබරල්වාදී චින්තනය බලපෑ බැව් කිව හැකි ය. එ සේ වූව ද ඔහු ගේ
ලිබරල්වාදී චින්තනයේ යම් යම් අඩු ලුහුඬුකම් නො තිබුණා ද නො වේ.
ඒ නිසා ම ජනයා ගේ ඇතැම් මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්
දෙස පවා ඔහු වෙනස් දෘෂ්ටි කෝණයකින් බැලූ අවස්ථා ද දක්නට ඇත.
ඩොනමෝර් ආණ්ඩුක්‍රමය යටතේ සර්වජන ඡන්ද බලය යෝජනා වන විට
ඩී.ආර්. විජයවර්ධන මහතා ඊට එරෙහි වීමත්, සී.ඩබ්ලිව්. ඩබ්ලිව්.
කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපන පනත ගෙන ආ අවස්ථාවේ එහි යම් යම්
ලක්‍ෂණවලට එරෙහි වීමත් ඊට නිදසුන් ය.’
මේ ගමන් මඟෙහි අවසාන ප්‍රතිඵලය වූයේ 1973 දී ලේක්හවුස් ආයතනය
රජයට පවරා ගැනීම ය. ‘දිනමිණ’ බිහි කිරීමෙන් අපේක්‍ෂිත සමාජයීය
අරමුණු හා එහි ක්‍රියාකාරීත්වය අතර පසුකාලීන ව නො ගැළපීම් ඇති
බව සත්‍යයකි. එහෙත් එය ‘දිනමිණ’ නාමයට ගරු කිරීමට බාධකයක් කැර
ගත යුතු නැත. |