අහස සේ නිම් නැති
මෙත දසත පතුරවමු
කෝපන්හේගන් බෞද්ධ
විහාරාධිපති, ශාස්ත්‍රපති
කිරිඳිගල්ලේ
ඤාණරතන හිමි
මෛත්‍රියට ප්‍රතිවිරුද්ධ
සිතිවිල්ල තරහවයි. මේ දෙකම
ජීවත් වන්නේ එකම තැනක ය. එනම් චිත්ත අභ්‍යන්තරයෙහි ය.
මේවා මතුවන අවස්ථා පුහුණු නොකළ සිතකට ඕලාරික ය.
යම් පුද්ගලයකුට අමනාප
වචන වලින් බනිද්දීත්, පහරක්
ගසනතුරුත් නිහඬව සිටින්නට
හැකිනම් ඔහු උපශාන්තයෙකි.
සුවිනීතයෙකි. බෞද්ධ මාර්ගය
අනුගමනය කරන්නෙකි. ඒ සියල්ල
සිනහවෙන් ඉවසිය හැකි නම් එය
මෛත්‍රීයෙහි හාස්කමකි.
පාළි භාෂාවෙන් මෙත්තා යනුවෙන් ද සංස්කෘත භාෂාවෙන් මෛත්‍රී, සාර්වත්‍රික
සෙනෙහස, දයාව, ප්‍රේමය, නුරාව, ඇල්ම, ආදරය, විශ්වව්‍යපී ප්‍රේමය,
සානුකම්පිත දයාව යනුවෙන් ද සිංහල භාෂාවෙන් මිතුරුකම, හිතවත්කම යනුවෙන්ද
ඉංගී‍්‍රසි භාෂාවෙන් Livingkindness, Love,
Univesal love, True Friendship, Compassionate love ආදී සමාන වචන සමුදායකින් ප්‍රකාශ
කිරීමට උත්සාහ ගෙන ඇත්තේ මෙහි විද්‍යාමාන වන ගැඹුරු බව නිසාම ය.
එය වනාහී මනුෂ්‍යයා ගේ චිත්තාභ්‍යන්තරයෙහි ඇති ධනාත්මක සිතිවිල්ලකි.
ආධ්‍යාත්ම සංවර්ධනයේ පරම පූජනීය වූ ස්වභාවික තත්ත්වයයි, මෛත්‍රීය හෙවත්
මිතුරුකම, මේ සැබෑ මිතුරුකම අහස සේ විශාලය. පොළොව සේ ගැඹුරු ය. එබඳු
පළල් හා ගැඹුරු සිතිවිල්ලක් ගොඩනගාගැනීමට නම් විනිවිද දැකිය හැකි මනසක්
තනා ගත යුතුමය.
මෛත්‍රීය ප්‍රතිවිරුද්ධ සිතිවිල්ල තරහවයි. මේ දෙකම ජීවත් වන්නේ එකම
තැනක ය. එනම් චිත්ත අභ්‍යන්තරයෙහි ය. මේවා මතුවන අවස්ථා පුහුණු නොකළ
සිතකට ඕලාරික ය.
“නහි පාපාං කතං කම්මං,
සජ්ජු ඛීරං ච මුච්චති
ඩහන්තං බාල මන්වේති,
භස්මච්ජනෝව පාවකෝ”
යනුවෙන් අළු යට තිබෙන ගිනි මෙන් අවස්ථාව හෙවත් බාහිරින් පැමිණෙන උවදුරු
හේතුවෙන් මතු වේ. බාහිරින් පැමිණෙන අනේකවිධ සම්බාධක හෙවත් කෙලෙස් ධර්ම
නිසා සිත අපිරිසුදු වෙයි.
“බාහිර අරමුණු මඟින් අපේ මනස බාධක හා බලපම් වලට යටත් කරනු ලැබූ ඕනෑම
විටෙක උදාසීනව පැවැති කෙලෙස් ධර්ම වරින් වර ඉස්මතු වන්නට පුළුවන. අපේ
මනස තුළ පහළවන කෙලෙස් ධර්ම එක්තරා ප්‍රමාණයකටවත් පාලනය කළ නොහැකි වන්නේ
ඒවා සාවද්‍ය ඇයුරෙන් මැඩලීමට යත්න දැරීමට යාමෙනි.”
මෙයින් ආනන්ද මෛත්‍රීය හිමියන් ප්‍රකාශ කිරීමට මහන්සි ගෙන ඇත්තේ මනසට
හෙවත් සිතට අප බාහිරින් ගන්නා අමුද්‍රව්‍ය වැඩි බවයි. කවර සිතිවිල්ලක්
නිසා අපේ සිත විපරීත වන්නේ ද කෙලෙස් බරිත වන්නේ ද?
“අභිජ්ඣා විසම ලෝභය, ව්‍යාපාදය, ක්‍රෝධය, බද්ධ වෛරය, ගුණමකුකම, එකට එක
කීම, දරදඬුකම, එකට දෙකක් කීම, මානය, අතිමානය, මදය, පමාදය යන සියල්ල සිත
කිලිටි කරයි.
උක්ත කරුණු වලින් පිරුණු සිතකට යමක් දෙස යථාර්ථයෙන් බැලීමට හෝ විනිවිද
බැලීමට හැකි පසුබිමක් නිරූපණය නොවේ. මෛත්‍රීය නමැති උත්තුංග ක්‍ෂේම
භූමියට ළඟාවිය නොහැකි වන්නේ මේ නිසා ය. මෛත්‍රීය හෙවත් මිතුරුකම
ආයුධයක් හා සමානය.
බුදුන් වහන්සේ ඇතැම් පුද්ගලයන් අභිමුවට ගියේ මෙම ආයුධයත් අතැතිවය.
මෛත්‍රීය පිළිබඳව සූත්‍ර පිටකයේ හමුවන අතිමරණීය සූත්‍රය මජ්ඣිම නිකායේ
කකචූපම සූත්‍රයයි.
මෙම සූත්‍ර දේශනාව ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශවත් මෙන්ම අවවාදාත්මක
සූත්‍රයකි. වර්තමාන කතාව තුළින් මෝලිය එග්ගුන්න තෙරුන් අරබයා දේශනා කළ
බව පැහැදිලි ය.බුදුන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටින
සමයෙහි භික්‍ෂූන්ගෙන් පැමිණිල්ලක් ලැබිණි. ඒ, මෝලියඵග්ගුන්න හිමියන්
සම්බන්ධයෙනි.
ඒ හිමියන් භික්‍ෂූණීන් සමඟ ඉතා ළඟ ඇසුරක් පවත්වන බවත් යම් භික්‍ෂුණියකට
යමෙක් යමක් කී පමණින් කිපී ඒ අයට දොස් නගන බවත්, භික්‍ෂූණීන් ද ඒ
ආකාරයෙන්ම මෝලිය හිමියන්ට ඇලුම් කරන බවත් ප්‍රචලිත වීමෙන් පසු
බුදුරජාණන් වහන්සේ මෙම භික්‍ෂුව කැඳවා එය ගිහිගෙය අතහැර පැවිදි වූ
භික්‍ෂුවකට අශෝභන බවත් එයින් දකින් අහන උදවියට සැක උපදින බවත් අවබෝධ කර
දුන්හ. ඒ සමඟම මෙසේ දේශනා කරන ලදී. ඔබ ආදරය කරන ඔබ කැමති යම්
තැනැත්තෙකුට හෝ තැනැත්තියකට යමෙක් අතින් පහර දුන්නත්, වචනයෙන් පහර
දුන්නත්, දඬු මුගුරුවලින් පහර දුන්නත්, යමෙක් ඔබ ඉදිරියේ ඔබේ ගුණ
කීවත්, ඒ අයගේ දොස් කීවත්, පරුෂ වචනයෙන් බැණ වැදුණත්, ඔබ තරහ නොගත යුතු
යි.
එසේ තරහ නොගන්නට ඔබ පුහුණුවිය යුතුයි. එසේ ඔබට ඉවසා සිටිය නොහැකි නම්
ඔබේ පුහුණුව මදි බවත් තව තවත් පුහුණුවිය යුතු බවත් අවධාරණය කළහ. එවිට
තමන් බුද්ධ ශ්‍රාවකයකු වන බවත් පෙන්වා දෙන ලදී.මෙම සූත්‍රයේම එසේ
මෛත්‍රීය පෙන්වාගෙන, උපදවාගෙන, කීර්ති ප්‍රසංශා ලැබු කාන්තාවකට සිදු වූ
අකරතැබ්බයක් පිළිබඳ රසවත් කතාවක් හමුවෙයි.
සැවැත්නුවර වේදෙහිකා නම් සිටු ළඳක් ජීවත් විය. ඇය ඉතා මෛත්‍රී සහගත හා
යහපත් කාන්තාවකි. ඉතා සන්සුන් වූ අතරම දයා දාක්ෂින්නකමින් ද අනූන විය.
මේ බව තමන්ගේ නිවසේ පමණක් නොව මුළු නගරයේම පැතිරී ගිය මනරම් පුවතක් බවට
පත් වන්නට වැඩි කාලයක් නොගියේ ය.
ඇය ගැන බොහෝ දෙනා කතා කරන්නට වූ අතර ඇගේ කීර්තිය ප්‍රසංශාව තුඩ තුඩ
රැව් පිළිරැව් දෙන්න පටන් ගැනුණි. ඇයට ඉතාම කඩිසර කටයුත්තෙහි මැනවින්
දක්‍ෂ කාලි නමින් දාසියක් සිටියා ය. ගෙදර දොර වැඩ කටයුතු මැනවින් ඉටු
කරන ඇයට බොහෝ දෙනා කතා කරන තමාගේ ස්වාමි දියණිය ගේ මෛත්‍රීය පරීක්‍ෂා
කරන්නට සිත් විය. ඇය හදවතින්ම මෛත්‍රීය දියුණු කළ කෙනෙක් ද මවාගෙන
සිටින කෙනෙක් ද යන්න ඇයට දැන ගැනීමට අවශ්‍ය විය.
ඒ වෙනුවෙන් ඇය එක් දවසක් දහවල් වෙනතුරු නිදා ගන්නට විය. ඒ දුටු සිටු
දියණිය ඈ බොල කාලි දවල් වනතුරු නිදා ගන්නේ මන්දැයි ඇසීය. මොකුත් නැතැයි
කී ඇයට බැණ වදින්නට විය. දෙවන දවසේ ඊටත් දවල් වනතුරු නිදා ගත්තාය. ඒ
මොහොතේ පෙරටත් වඩා තරහෙන් පුපුරමින් බැණ වදින්නට වූ අතර දාසිය ගේ යටි
අදහස ඉටුවන බව පෙනුණි.
තෙවන දවසේ දවල්වනතුරු නිදා සිටිය දාසියට දොර පොල්ලෙන් ගසා ඔලුව පැලීය.
ලේ පෙරා ගෙන එළියට පැන්න දාසිය නුවර පුරාම මෙතරම් මෛත්‍රී සහගත සිටු
දියණියගේ කේන්තියේ තරම බලන්නයැයි කියා ගෙන ගියා ය. වේදෙහිකා චණ්ඩය,
පරුෂය, නපුරු ය, ඈ ලොවට පෙන්වන දෙය නොවෙයි ඇගේ සිත යට ඉන්නේ, මහා දරුණු
අපරාධකරුවෙක් යැයි කියන්නට විය. ඒ ඇසූ බොහෝ දෙනාත් ඇසූ පිරිසත් ඇයගේ
නුගුණ කියන්නට පටන් ගත්හ.
අපගේ හෘදය අභ්‍යන්තරයේ පවත්නා නරක, නපුරු සිතිවිලි මතු වන්නේ අලු යට
ඇති ගිනි පුපුරු මෙනි. මෙම වෙදෙහිකා කාන්තාවටත් සිදු වූයේ එවැන්නකි.
බාහිරින් එකතුවන අරමුණු හේතු කොට ගෙන ලෝභ, ද්වේෂ, මෝහ මූලික කරගත්
ප්‍රපංච පදනම් කර ගෙන සිත් දුෂ්‍ය තත්ත්වයට පත්වෙයි. යම් පුද්ගලයකුට
අමනාප වචන වලින් බනිද්දීත්, පහරක් ගසනතුරුත් නිහඬව සිටින්නට හැකිනම්
ඔහු උපශාන්තයෙකි. සුවිනීතයෙකි. බෞද්ධ මාර්ගය අනුගමනය කරන්නෙකි. ඒ
සියල්ල සිනහවෙන් ඉවසිය හැකි නම් එය මෛත්‍රීයෙහි හාස්කමකි.
මහණනි, යමෙක් හෝ යම් පිරිසක් පැමිණ ඔබලාට දොස් පවරයි ද, පරුෂ වචනයෙන්
බනියි ද, සිත් කෝප කරයි ද, ඒ හැම විටම මගේ සිත විපරිත නොවේවායි සිතන්නට
සිත පුහුණු කර ගැනීම ඉතාම වටින බවත් එසේ කිරීමෙන් තමන් නිවටයෙක් හෝ
අධමයෙක් නොවන බවත් ශ්‍රේෂ්ඨයෙක් වන බවත් පෙන්වා දී වදාළ අතර මෛත්‍රීය
පැතිර විය යුතු ආකාර පහක් මෙම සූත්‍රයේදීම පැහැදිලි කොට ඇත.
1. යමෙක් මහා පොළොව විනාශ කරමියි සිතා උදැල්ලක් රැගෙන කොටා ගෙන කොටා
ගෙන ගියත් එයින් මහ පොළොව විනාශ කළ නොහැකි ය. ඒ මහ පොළොව විශාල වන
බැවිනි. එබැවින් මහ පොළොව සේ සමාන අප්‍රමාණව මෙත් පතුරවාලිය යුතු ය.
2. යමෙක් පාටත් පින්සලුත් ගෙන මේ අහස රූප ඇඳ විනාශ කරමියි පැමිණියත්
ඔහුට අහසෙහි රූප ඇඳිය නොහැකි ය. ඒ මේ ආකාශ ධාතුව අතිවිශාල බැවිනි.
එබැවින් අහස හා සමාන මෙත් සිත පතුරුවාලිය යුතු ය.
3. යමෙක් හුලු එළියකින් ගංගානම් ගඟ උණු කරන්නට උත්සාහ කළත් එය කළ
නොහැකි වන්නේ ගංගානම් ගඟ එතරම්ම දිග බැවිනි. එතරම්ම දිගට මෙත් සිත
පතුරුවාලිය යුතු ය.
4. ඉතාම මෘදු සම් ඇතිරිල්ලක සර සර හඬ නොනගින්නාක් මෙන් මෙත් සිත පවතින
සිත නිහඬ ය.පතුරුවාලිය යුතු ය.
5. පහත් ගති ඇති සොරුන් කියතකින් අතපය සිඳ දැමුවත් එහිදීත් වෛර නොකොට
මෙත් සිත පතුරුවාලිය යුතු ය.
කකචූපම යනු කියත උපමාවට ගෙන කළ දේශනාවයි. එබැවින්, මෙම උපමාව නිතර සිහි
කටයුතු බවත්, එසේ කරන්නේ නම් මහණෙනි, ඔබට ඉවසිය නොහැකි ලොකු හෝ කුඩා
කිසිවක් පැවැතිය නොහැකි බවත් දේශනා කළහ. මෙම කකචූපමය නිතර සිහි
කිරීමෙන් තමාටත් අන් අයටත් හිතසුව සාධනය ඉටුවන බවත් පෙන්වා දී ඇත.
මිතුරුකම හෙවත් මෛත්‍රීය පිළිබඳව තවදුරටත් කරුණු පරීක්‍ෂා කිරීමේ දී
අමතක නොකළ හැකි සූත්‍ර දේශනාවක් ලෙස කරණීය මෙත්ත සූත්‍රය හැඳින්විය
හැකි ය. මෛත්‍රීය පතුරවාලිය යුත්තේ කුමන ආකාරයෙන් ද යන්න මැනවින් එහි
පසක් කර දී තිබේ.
“මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්තමනුරක්ඛෙ
ඒවම්පි සබ්බභුතේසු
මාන සං භාවයෙ අපරිමාණං”
මවක් යම් සේ ආයුෂයෙන් ද තමාගේ එකම පුතා රකින්නේ යම්සේ ද එපරිද්දෙන් හැම
සතුන් කෙරෙහිම අප්‍රමාණ මෙත් වැඩීම කළ යුතු වන්නේ ය. මෙම ආධ්‍යාත්මික
චින්තනය වර්ධනය වීමට නම් පුද්ගල මනසෙහි හට ගන්නා වූ කෙලෙස් ධර්ම එකින්
එන සිඳ දැමිය යුතු ය.
කෙලෙස් ධර්ම එකින් එක සිඳී යන විට සිතට දැනෙන සැහැල්ලු බවින් යුතුව
යමෙක් දෙස යමක් දෙස විනිවිද බැලීමේ හැකියාව පහළ වනු ඇත. එසේ සැහැල්ලු
මනසක් ගොඩනඟා ගැනීමට නම් ‘සන්තුස්සකොච’ සතුට ද සුභර බව ද අල්පේච්ෂ්තාව
ද, අල්ප පරිශ්කාරයෙන් ද, සන්සුන් ඉඳුරන්ගෙන් ද, යුක්ත විය යුතු ය. එබඳු
පරිසරයක මහා මෛත්‍රීය නමැති අති උතුම් පුෂ්පය පිපෙන්නට වටපිටාව
නිර්මාණය වනු නොවනු මානය.
අප මෙත් වැඩිය යුත්තේ කවුරුන් උදෙසා ද? මෙම ප්‍රශ්නයට පිළිතුර කරණීය
මෙත්ත සූත්‍රයේ ම කදිමට විස්තර වේ.
“යෙ කේචි පාණභුතත්ථි
තසා වා යෙ මහන්තාවා
දීඝාවා යෙ මහන්තාවා
මජ්ඣිමා රස්ස කානුකථූලා
දිට්ඨා වා යෙව අදිට්ඨා
යෙ ච දූරේ වසන්ති අවි දූරේ......”
කෙළෙස් ඇති සතුන් ද, නිකළෙස් සතුන් ද, යම් ප්‍රාණයක් ඇත්තවුන් ද, නාග
ආදී යොදුන් ගණනක් දිග සත්හුද, රාහු අසුරේන්ද්‍රයා මෙන් මහත් වූ සත්හු
ද, අශ්ව ගව ආදී මධ්‍යම ප්‍රමාණයේ සත්හු ද, වාමනාදීහුද, මසැසට නොපෙනෙන
සත්හුද, ජලයෙහි උපදින සත්හුද, ආදී වශයෙන් ද එමෙන්ම ඉතාම සිවුම් ශරීර
ඇති සතුන්ටද මෙත් වැඩිය යුතු බව මෙහිම විස්තර වේ.
පරසක්වලාදියෙහි වෙසෙන සත්හුද, තමාගේ ශරීරයෙහි යම් සත්ව කොටසක් වෙත් ද
ඔවුන් ද, ඉන් පිටත වෙසෙත් ද ඔවුන් ද ආදී වශයෙන් සකල විධ සියලු සත්වයෝ
සුඛිත සිත් ඇත්තෝ වෙත්වායි මුළු හදවතින්ම අවංකව ප්‍රාර්ථනා කළ යුතු ය.
මෙම ප්‍රාර්ථනය අවබෝධයෙන්ම කළ යුත්තකි. “මම නිදුක් වෙත්වා නිරෝගි
වෙත්වා සුවපත් වෙත්වා” යනුවෙන් වාක්‍ය ඛණ්ඩ පමණක් මිමිණීමෙන් මෙහි
ගැඹුරු අර්ථසාධනය ඉටු නොවේ.
අහස සේ පළල් වූ පොළොව සේ ගැඹුරු වූ අර්ථයක් මෙහි විද්‍යාමාන ය. දරුණු
නපුරු සිත් පහළ වූ මිනී මරුවන්ට පවා වෙඬරුපිඬක් මෙන් උණුවෙන උපශාන්ත
සිත් පහළ වූ පුවත් බෞද්ධ සාහිත්‍යයෙන් ම හමු වේ. උදාහරණයක් ලෙස චිර
ප්‍රසිද්ධ අංගුලිමාල සූත්‍රය දැක්විය හැකි ය.
“යතොහං භගිනි අරියාය ජාතියා ජාතො නාභි ජානාමි සං විච්ච පාණං ජිවිකා
වෙරො පේතා,
තෙන සච්චේන සොත්ථි තෙ හෝතු සොත්ථි ගබ්භස්සා....”
ආර්ය කුලයෙහි මා උපන් දා පටන් කිසි සත්ව ඝාතනයක් කර නොමැත. ඒ අනුහසින්
සත්‍ය බලයෙන්, විලිරුදාවෙන් තොරව දරුවා බිහි වේවායි ප්‍රාර්ථනා කිරීමට
තරම් මේ දරුණු මනස මටසිල්ටු වූයේ කෙසේ ද? මිනී මරුවෙකු මෛත්‍රී බලයෙන්
උපශාන්තයෙකු කළ බුද්ධ චරිතය එබඳු අය විසින්ම ප්‍රායෝගිකව එය සමාජයට
අනුගත කරවීමට කැපවීම අප ද පුරුදු පුහුණු කළ යුත්තකි. මෛත්‍රී සංකල්පයේ
උදාරත්වය හා ඒ ප්‍රගුණ කිරීමෙන් පුද්ගලයාගේ මෙළොව පරළොව ජීවිතයට
නිරායාශයෙන් ලැබෙන ප්‍රතිඵල අපමණ ය.
ඉන් සමහරක් සිහි ගන්වන්නේ නම් ‘සුඛං සුපති සුඛං පටිඛුජ්ඣති, න පාපාකං
සුපිනං පස්සති, මනුස්සානං පියො හෝති, අමනුස්සානං පියොහොති.... සුවසේ
නින්දයයි. සුවසේ අවදිවෙයි. නපුරු සිහින නොදකියි. මිනිසුන්ට පි‍්‍රය
වෙයි. අමනුෂ්‍යයින්ට ද පි‍්‍රය වෙයි. දෙවියන්ගේ ආරක්‍ෂාව ලැබේ. අවි
ආයුධ ගිනි විපත් වලින් වළකී. චිත්ත සමාධියට පහසු වේ. මුහුණ ප්‍රභාමත්
වෙයි. හොඳ සිහියෙන් කලුරිය කරයි. රහත් බව නොලබන්නේ නම් නිදා පිබිදියාක්
මෙන් මරණින් මතු බඹලොව උපදී...”
ඒ ඒ පුද්ගලයා මුල් කොට ගෙන ද මෛත්‍රීය කළ හැකි ය.
“විරූපක්ඛෙහි ම මෙත්තං
මෙත්තං ඔරාපථෙහි මෙ,
ජඛ්‍යාපුත්තෙහි මෙ මෙත්තං
මෙත්තං කණ්හාගොතමකෙහිච....
මගේ මේ මෛත්‍රීය විරූපාක්ෂ නම් නාග ගුරුලා හාය, මාගේ මේ මෛත්‍රීය ඒරාපථ
නම් අභිරාජ කුලයන් හා ය. මාගේ මේ මෛත්‍රීය ජඛ්‍යාපුත්තනම් නාගරාජ
කුලයන් හා ය. මාගේ මේ මෛත්‍රීය කණ්හාගොතමක නම් අභිරාජ කුලයන් හාය...”
මෙම ප්‍රතිලාභ උදාකර ගැනීමට නම් “භාවිතාය බහුලීකතාය....” බොහෝ භාවිතා
කළ යුතු බවත් බොහෝ කරන ලද යුතු බවත් මෙත්තානිසංස සූත්‍රය තව දුරටත්
විස්තර කරනු ලබයි. පෞද්ගලිකත්වයේ පටන් සමස්ත සත්ව ප්‍රජාවටම එක හා
සමානව මෙත් වැඩීම ප්‍රගුණ කළ යුතු ය. මෙත් සිසිල් සිතිවිලි තමා තුළ
ජනිතවීමෙන් තමාටත් එය පතුරුවාලීමෙන් අනුන්ටත් සැනසුම් සුව අත්වනවා
නොඅනුමානයි.
පාදක සටහන්,
1. ධම්මපදය, බාල වග්ගය,
වැලිගම ඤාණරතන හිමි,
2. බුදුසරණ පුවත්පත, 2009.11.02 සිත කෙළෙසන සිතුවිලි,
බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය නා හිමි.
3. ම.නි. වත්ථූපම සූත්‍රය,
නැදිමාල බෞද්ධ සංස්කෘති සංස්කරණය, 1997 මුද්‍රණය.
4. ම.නි. කකචූපම සූත්‍රය,
නැදිමාල බෞද්ධ සංස්කෘත සංස්කරණය, 1997 මුද්‍රණය.
5. එම, 133 පිටුව
6. කරණීය මෙත්ත සූත්‍රය, පිරිත් පොත් වහන්සේ මකුල් දූවේ පියරතන හිමි,
මුද්‍රණය, 1995
7. එම, 31 පිටුව
8. එම, 322 පිටුව
9. මෙත්තානාසංස සුත්ත, එම, 41 පිටුව
10. ඛන්ධ පරිත්ත, එම, 37 පිටුව |