UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

‘මිරිස්සේ රත්නගිරි විහාරය රැක ගත යුතු යි’

වැලිගම් පුරවරයේ ඉතිහාසයේ දීප්තිමත් රාජ යුගය දෙවැනි දප්පුල රජ සමයයි. මිරිස්සේ රත්නගිරි රජමහා විහාරය රාජ අනුග්‍රහයෙන් ඉදි කරන ලද්දේ මෙම රජුගේ කාලයේ බැව් මහා වංශය අනුව පෙනී යයි.

ඓතිහාසික වැලිගම පුරවරය වඩාත් ප්‍රසිද්ධියට හා පොදු මහජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ යුගය ලෙස කෝට්ටේ යුගය හැඳින්විය හැකිය. එයට දියහැකි එක් සාක්ෂියක් නම් පුරාණ සන්දේශ කාව්‍ය කීපයක වැලිගම් පුරය පිළිබඳ විසිතුරු වර්ණනා තොරතුරු අපට හමුවීමයි.

කෝට්ටේ යුගයේ 6 වන පරාක්‍රමබාහු රජතුමාගේ පාලන සමයෙහි ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල නාහිමියන් විසින් රචිත පරෙවි සන්දේශය හා කෝකිල, මයුර, තිසර යන සන්දේශ වල කරන ලද වැණුම්වලින් ගරාඩුව, කඹුරුගමුව, මිරිස්ස, වැලිගම යන ග්‍රාමවල ඉපැරණි සෞභාග්‍යය පිළිබඳ පැහැදිලි කර ඇති අතර තොටුගමුවේ ශ්‍රී රාහුල නාහිමියන් පරෙවි සන්දේශය ලියුවේ කඹුරුගමුව ගොඩකන්දේ පුරාණ රජ මහා විහාරයේ වස් වැසීමට වැඩමවා ඉහත කී ප්‍රදේශවල සංචාරය කරමින් හා ගවේෂණ චාරිකාවක යෙදෙමින් බව කෝට්ටේ යුගයේ වංශකථාවල සඳහන් වේ. ගාල්ල - මාතර මහා මාර්ගයට සමුද්‍රාසන්නව, දර්ශනීය උස් කඳු මුදුනක මිරිස්සේ සුන්දර කපුහේනේතැන්න නම් ගම් පියසකින් හා පර්වතයකින් ද හෙබි අක්කර 5 ක් පමණ භූමි භාගයක ජෛව විවිධත්වය සහිත පරිසර පද්ධතියක් තිබීමද සුවිශේෂ වූ දෙයකි.

වැලිගම් පුරවරයේ ඉතිහාසයේ දීප්තිමත් රාජ යුගය දෙවැනි දප්පුල රජ සමයයි. මිරිස්සේ රත්නගිරි රජමහා විහාරය රාජ අනුග්‍රහයෙන් ඉදිකරන ලද්දේ මෙම රජුගේ කාලයේ බැව් මහාවංශය අනුව පෙනීයයි.

ලංකාවේ රජකළ දප්පුල රජ පරපුර ඓතිහාසික වැලිගම්පුර රාජධානියට ඉතා සම්බන්ධය. රාජධානියක් වශයෙන් වැලිගම්පුරය ගොඩනගා ඇත්තේ දෙවන දප්පුල රජතුමා විසිනි. දාපුළුසෙන් නමින් ද, සංමි දප්පුලු නමින්ද, මේ රජ හඳුන්වා ඇත. සිව්වන අක්බෝ රජු ද, සවන පැරකුම්බා රජු ද ඓතිහාසික වැලිගම්පුරයේ කීර්තිය පැතිර වූ රජවරු අතර වූහ.

දාපුළුසෙන් රජතුමා විසින් මිරිස්සේ කපුහේන්තැන්න සුන්දර ගම්පියසේ රත්නගිරි පුරාණ රජ මහ විහාරය ඉදිකරන ලද්දේ මිරිස්ස ප්‍රදේශයට නුදුරුව පිහිටි වැලිගම ප්‍රාදේශීය සභාවට අයත්, කඹුරුගමුව ගරාඬුව ය.රමණීය කඳු වැටියක් මුදුනක ගරාඩුවදූවේ උමං මාලිගාවක් කරවා එහි වැඩ වාසය කරමින් මෙම පුරාණ විහාරය ඉදිකළ බැව් ඉතිහාසයේ සඳහන් වේ.

මේ පුරාණ විහාරය අති රමණීය පරිසරයක් මධ්‍යයේ ඉදිකර ඇත. දැනට මෙම විහාරස්ථානයේ ගලින් නෙලූ ගල්කනු , කැඳ භාජන, කැලෑවෙන් යට වී ඇත. ශිලා ලේඛන පොකුණු වට ප්‍රමාණය මීටර් 50 ක් පමණ ගරාවැටුණු පෘතුගීසින් විසින් විනාශ කොට චෛත්‍ය රාජයාණන් වහන්සේ ද රමණීය පරිසරයක් මධ්‍යයේ පිහිටා ඇති කඳු ගැටය මත පුරා වස්තු ඒ මේ අත පැතිර පවතී. ලොකු කලුගල් යොදා ඇති අත්තිවාරමක නටඹුන් ද මෙහි ඇත. මෙය ආවාස ගෙයක් බවටද විශ්වාස කිරීමට පුළුවන. වටිනා ඉතිහාස උරුම විනාශ වී ඇති බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් විධිමත් පශ්චාත් ගවේශණයක් කළ යුතුව තිබේ. සම්පූර්ණ විහාරස්ථානය ගල් තලාව මත එකල පිහිටා තිබුණු බව සනාථ වන බව පෙනීයයි.

පෘතුගීසි, ලන්දේසි, ඉංගී‍්‍රසි ආක්‍රමණ වලින් මෙම විහාරස්ථානයට සිදුවූ විනාශය අතිමහත්ය. කෝට්ටේ රාජධානියේ පරිහානියත් සමග පෘතුගිසීන්ගේ ආක්‍රමණවලට මුහුදුබඩ ප්‍රදේශ නතුවිය. එහිදී සිදුවූ ආක්‍රමණ හා සමාන වූ විනාශය නම්, ආගමික සිද්ධස්ථානවල තිබූ වටිනා දේපල හා වස්තුව මංකොල්ලකෑමයි.

ඊට නායකත්වය ගෙන කටයුතු කොට ඇත්තේ කොම්දශෞෂා නම් පෘතුගීසි සෙන්පතියාය. මෙම විනාශයට මිරිස්සේ කපුහේන්තැන්නේ පිහිටි රත්නගිරි පුරාණ රජමහ විහාරයද හසුනොවූවායයි කාට කිව හැකිද? එම ආක්‍රමණවලින් පසුව අයිතිකරුවන් නොමැති දේපලක් බවට පත් වූ මෙම ස්ථානය ඉංගී‍්‍රසි ආණ්ඩුව මගින් රජයට පවරා ගෙන තිබේ.

1796 දී එතෙක් කල් මුහුදු බඩ පළාත්වල අයිතිය තබාගෙන තිබූ ලන්දේසීහු පන්නා දමා ඉංගී‍්‍රසිහු සිය බලය තහවුරු කර ගත්හ. ඔවුහු 1810 දී එම ප්‍රදේශවල ඉඩම් මැනීමෙන් ප්‍රතිසංස්කරණයක් කළහ. ඉන්පසු ගාල්ලේ මහ ඒජන්ත දිසාපතිවරයා වශයෙන් කටයුතු කළ ස්ටීල් නම් ඉංගී‍්‍රසි ජාතික මහ ඒජන්තවරයා විසින් මිරිස්ස කපුහේන්තැන්න රත්නගිරි පුරාණ පන්සල්වත්ත සඳහා ඉඩම් අක්කර 5ක් වෙන්කරවා තිබේ.

මිරිස්සේ රත්නගිරි රජමහා විහාරය 1810 වසරෙන් පසු නැවත ප්‍රතිසංස්කරණය කරනු ලැබූ විහාරස්ථානයක් ලෙස සඳහන් වේ. අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර (මිහිරිපැන්න) මහ නිකායේ මහා නායක රාජකීය පණ්ඩිත වේරගම්පිට සිරි රේවත නාහිමියන්ගේ හා පැලෑනේ ශ්‍රී වජිරඤාණ මහ නාහිමියන්ගේ ශිෂ්‍යයෙක් වූ රාජකීය පණ්ඩිත, පුරා විද්‍යා ගවේෂක අහංගම විජයවංශාභිධාන නාහිමියෝ මෙම පුරාණ විහාරස්ථානයේ ආදි කර්තෘවරුන්ය.

මිරිස්ස රත්නගිරි රජමහා විහාරය ඕලන්ද පාලන කාලයේදී සම්පූර්ණයෙන්ම කඩාබිඳ දමා තිබිනි. වල්බිහි වූ චෛත්‍යය මිරිස්ස, උඩුපිල, කපුහේනතැන්න බණ්ඩාරමුල්ල, තල්අරඹ, කඹුරුගමුව, අහංගම, සැදැහැතියෝ මිරිස්ස රත්නගිරි රජමහා විහාරයේ අලුතෙන් චෛත්‍යරාජයාණන් වහන්සේ සහ වෙහෙර ප්‍රතිසංස්කරණය කරනු ලැබූහ. මෙම විහාරස්ථානයේ වැඩ විසු අහංගම විජයවංශාභිධාන නාහිමියන් විසින් වත්මන් තත්ත්වයට ගෙනවිත් ඇත.

ඓතිහාසික රත්නගිරි පුරාණ විහාරස්ථානයේ අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ වටා ඇත් පවුරක් ද දර්ශනීය මලසුන් ගෙවල්ද ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් හටගත් දෙතිස්ඵල බෝධිවලින් එක් බෝධීන් වහන්සේ නමක් ද රෝපණය කර බුදු මැදුරක් ද ඉදිකර ඇත.

මෙම පූජනීය ස්ථානයේ රෝපණය කරන ලද බෝධීන් වහන්සේට බෝධිපූජා පින්කමක් කොට තමන්ගේ කරදරයට පිහිටක් ඉල්ලූ විට, එම කරදරය මග හැරෙන බව විහාරාධිකාරී කතරගම රාහුල හිමියෝ සහ විහාරස්ථ දායක සභාව ප්‍රකාශ කරති.

2004.12.26 දින මහ මුහුද ගොඩ ගැලීමේ ඛේදවාචකයෙන් විහාරස්ථ දායක සභාවේ ඇතැම් දායක දායිකාවන් මියගිය අතර, අවතැන් වූ පිරිස් සඳහා අනාථ කඳවුරක් කතරගම රාහුල හිමියන්ගේද උපදෙස් පරිදි මාස 3 ක් පමණ අවතැන් වූ පිරිස්වලට විදේශිකයින්ගේ ආධාර මත දෙපයින් නැගී සිටීම සඳහා පුනරුත්ථාපන කඳවුරක් පැවැත්වූ බව අතිශයෝක්තියක් නොවේ.

වසර 500ක ඉතිහාසයක් දරා විරාජමානව සිටින මිරිස්ස රත්නගිරි පුරාණ රජමහා විහාරය වැඳපුදා ගැනීමට එම පින්බිමට ගොඩ වෙන්නැයි වැලිගම්පුර වැලලී යන ඓතිහාසික උරුමය රැක ගැනීමේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක්ද කැරේ.

මිරිස්ස රත්නගිරි පුරාණ රජමහ විහාරය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තැබීම, පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ යුතුකමක් බවද එම සංගමය කියයි.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]