UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

දුරුතු පුර අටවක 2009 - 12 - 24

වටිනා දෙය අගය කළ යුතු යි

බුදු රදුන් ගේ ජන්ම භූමිය පිළිබඳ ඉතිහාසය විකෘත කොට මෑත දී පළ කළ සිංහල ප්‍රකාශන කිහිපයක් සම්බන්ධයෙන් අප ගේ මතය පැහැදිලි කිරීම පිණිස කතු වැකි ගණනාවක් මෙයට පෙර ලියා ඇත. පාඨකයන් දැනුවත් කිරීමේ එම පිළිවෙතෙහි ම එක්තරා දිගුවක් ලෙස සැලැකිය හැකි දීර්ඝ ලිපියක් ‘බුදු රදුන් ගේ ජන්ම භූමිය මහා භාරතය’ යනුවෙන් කොටස් දෙකකින් යුතු ව උඳුවප් අව අටවක (දෙසැම්බර් 9 වන දා) හා උඳුවප් අමාවක (දෙසැම්බර් 15 වන දා) යන දෙදින පළ කළෙමු. ඉන්දීය භාරතීය කලා කේන්ද්‍රයේ සාමාජිකයකු වන රොහාන් ලලිත් ජයතිලක මහතා විසින් ලියන ලද එම ලිපියෙහි බුදු රදුන් ගේ ජීවන තොරතුරු රාශියක් ඇතුළත් ය. සිදුහත් කුමාරෝත්පත්තිය පිළිබඳ ව එහි මෙ සේ සඳහන් කැර තිබේ.

‘ගැබ් බරින් යුත් කාන්තාවෝ පෙර දවස මෙන් වර්තමානයේ ද සල් වෘක්‍ෂයක් වෙත ගොස් පාවහන් ඉවත් කැර දොහොත් මුදුනේ තබා ගෙන වෘක්‍ෂය වටා හත් වරක් පැදකුණු කැර සිය වම් පාදයෙන් වෘක්‍ෂය සත් වරක් ස්පර්ශ කැරෙති. එ විට තම පපුවේ වම් පස පිහිටි හෘදය වස්තුවට සල් වෘක්‍ෂයට අධිගෘහිත සාලභ ජනිකා යන දෙවියා ද මල්වලට අධිගෘහිත පුෂ්පභජනිකා දේවතාවිය ද අරක්ගෙන දරු ප්‍රසූතිය පහසුවෙන් සිදු වන බැව් විශ්වාස කැරේ. එ වැනි සල් වෘක්‍ෂ අසල පුෂ්පකර්ණී නමැති කුඩා පොකුණක් ද විය.සල් වෘක්‍ෂ වන්දනාවට පසු ඈත අතීතයේ එ වැනි කාන්තාවන් ස්නානය කළ අතර දැනට ජලය පානය කිරීමක් පමණක් සිදු කැරේ.’

‘එ කල පැවැති සිරිත අනුව මහාමයා දේවිය කපිලවස්තු සිට දෙව්දහනුවරට තම මෑණියන් වෙත පළමු දරු ප්‍රසූතියට සුද්ධෝදන රජතුමා විසින් පෙරහරකින් යවන ලදී. මාර්ගය අතරමඟ එ නම් කපිලවස්තු සිට (වර්තමාන නේපාලයේ රුමින්දෙයි) සැතපුම් පනස් හයක් නැගෙනහිරට පිහිටි ලුම්බිණි සාර ප්‍රවර්ධන උද්‍යානයේ සල් වෘක්‍ෂ වන්දනාවට විධි විධාන යොදන ලදී. සිදුහත් කුමරු ලුම්බිණියේ උපත ලැබුවේ ඒ අයුරිනි. එ තැන් සිට බටහිරට වූ දෙව්දහ නුවර වෙත (සැතපුම් පනස් අටක්) යන ගමන අත්හැර පෙරළා මහාමායා දේවිය කපිලවස්තු වෙත පැමිණියා ය. දැනුදු ලුම්බිණියේ ද සල් වෘක්‍ෂ අසල පුෂ්පකර්ණී පොකුණ ඇත. කුසිනාරා සාල ප්‍රවර්ධන උයනේ ද පුෂ්පකර්ණී පොකුණක් තිබූ බවට සලකුණු ඇත.

’මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි’ නමැති කෘතියෙහි ඇති මේ සඳහන සමඟ එය සසඳා බැලිය යුතු ය.

‘ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙ වැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා ‘ජන්බුද්වීපයේ’ සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය - කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත් ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. ළඟදීම මේ ස්ථානය ද මතුකර ගත හැකි බව පෙනේ.’

රොහාන් ලලිත් ජයතිලක මහතා ගේ ලිපියෙහි සඳහන් ව තිබූ මෙහි පහත දැක්වෙන කරුණු ද පාඨක අවධානයට ලක් විය යුතු යැයි සිතමු.

‘භාග්‍යවතුන් වහන්සේ අසූවන වියට පත් ව අවුරුදු හතළිස් පහක් ධර්ම දේශනා පවත්වා මහා පරිනිර්වාණය සඳහා කුසිනාරාවට සැතපුම් 451 ක් පියවි ගමනින් වැඩම කළ හ.’ ‘මේ අනුව පන්සාළිසේ වසක් භාග්‍යවතුන් වහන්සේ වර්තමාන බිහාර් ප්‍රාන්තය, උත්තර් ප්‍රදේශ් ඩැකානය යන අති විශාල ප්‍රදේශයක පියවි ගමනින් වැඩි දුර ප්‍රමාණය සැතපුම් 72, 000 ක් පමණ වේ. (දීඝ නිකාය 16, අංගුත්තර නිකාය 7.20, සංයුක්ත නිකාය 47 – 12 උදාන 8.61 විනය මහාවග්ග 6.28.29)

එම ලිපියේ සඳහන් කරුණු පිළිබඳ ව පාඨකයන් ගේ අවධානය යළි යොමු කිරීම වැදගත් යැයි අප සිතනුයේ අන් කිසිවක් නිසා නො ව සම්ප්‍රදායික ධර්ම ග්‍රන්ථ වලින් ඔබ්බට ගිය දැනුමක් එහි ඇතුළත් ව ඇති බැවිනි. අප මෙහි ඉහත උපුටා දැක් වූ අවස්ථා දෙක පමණක් වූව ද ඒ බව සනාථ කිරීමට ප්‍රමාණවත් ය. බුදුන් වහන්සේ වැඩම කළ ගමන් මාර්ගය ත්‍රිපිටකය අනුව පරීක්‍ෂාවට ලක් කැර ඇති ඔහු එම සැතපුම් ප්‍රමාණය ද ගණන් බලා ඇත. රොහාන් ලලිත් ජයතිලක මහතා ගේ ලිපියට අප මෙ තරම් වටිනාකමක් දීමට හේතුව එය යි.

බුදු රදුන් ගේ ජන්ම භූමිය පිළිබඳ විවාදයට එක්වන ඔහු ඉදිරිපත් කැර ඇති මේ තර්කය ද ඉතා වැදගත් ය.

‘ඉන්දියාවට නිදහස ලද පසු ව්‍යවස්ථා සම්පාදක සභාවට (නවදිල්ලියේ පැවැති) 1947 ජූලි මස 22 වන දා ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා යෝජනාවක් ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ත්‍රිවර්ණ ඉන්දීය ජාතික ධජය මධ්‍යයට අශෝක කුළුනේ ධර්ම චක්‍රය යෙදීම ද ජාතික සංකේතය ලෙස සිංහ මස්ථකය ද ඒකච්ඡන්දයෙන් අනුමත විය. භාග්‍යවතුන් වහන්සේ භාරත පුත්‍රයෙක් නො වේ නම් මෙ වැනි ගෞරවයකට පාත්‍ර නො වන්නේ ය.’

රොහාන් ලලිත් ජයතිලක මහතා ගේ ලිපිය හුවා දක්වා මීවනපලානේ සිරිධම්මාලංකාර හිමියන් ගේ කෘතිය හෙළා දැකීමට හේතුව පෞද්ගලික වෛරයක් නො වේ. ඒ ,සැබෑ ශාස්ත්‍රීය සේවාව ඇගයීමත්, අශාස්ත්‍රීය උත්සාහයන් ගැරහීමත් රට, ජාතිය හා ශාසනය ආරක්‍ෂා කිරීමේ උත්සාහයක් ලෙස අපි සලකන බැවිනි.

දුරුතු පුර අටවක පෝය

දුරුතු පුර අටවක පෝය දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.17 ට ලබයි. 25 වන දා සිකුරාදා අපරභාග 11.40 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 24 වන දා බ්‍රහස්පතින්දාය.

මී ළඟ පෝය දෙසැම්බර් 31 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 31

Second Quarterඅව අටවක

ජනවාරි 07

New Moonඅමාවක

ජනවාරි 14

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]