UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

තෝර් දෙවියන් වැඳීම

මේ මස 19 වන දිනට යෙදී තිබුණු දර්ශන විද්‍යාව පිළිබඳ ලෝක දිනයේ තේමාව වූයේ තර්කාන්විත ව සිතීමට ජනතාවට සහාය වෙමු යන්නයි. ලෝකය හා තමා පිළිබඳ යථාර්ථය සොයා ගිය මිනිසා ගේ දැනුම් සම්භාරය මත ගොඩනඟා ඇති දර්ශන විද්‍යාව නමැති විෂය සාමාන්‍ය ජනතාවට සමීප නැති බව එම තේමා පාඨයෙන් ම අපට පැහැදිලි වන කරුණකි. එහෙත්, මානව ශිෂ්ටාචාරය සතු මේ දැනුම් සම්භාරය සාමාන්‍ය ජනතාවට සමීප කළ යුතු ය. බටහිර දර්ශනවාදය හා එහි ඉතිහාසය කුඩා දැරියකට කියා දෙන විලාසයෙන් නෝර්වීජිනායු ජාතික යුස්ටයින් ගෝඩර් විසින් 1991 දී ලියන ලද ‘සොෆී ගේ ලෝකය’ නමැති නවකථාව අපට මෙහි දී සිහිපත් කිරීමට පුළුවන. 1995 වසරේ දී ලොව පුරා වැඩි ම පිටපත් ගණනක් අලෙවි වූ නවකතාව ලෙස වාර්තාවක් තැබූ එය රාණි සේනාරත්න රාජපක්‍ෂ විසින් 2004 වසරේ දී සිංහල භාෂාවට පරිවර්තනය කැර තිබේ. ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ව අතීත මිනිසා ගේ දැනුම කෙසේ වී දැයි කියනු පිණිස එහි සඳහන් කැර ඇති නෝර්වේ රටේ පුරාණ දේවකතාවක් මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමු.

‘ක්‍රිස්තියානි ආගම නෝර්වේ රටට එන්න කලින් මිනිස්සු විශ්වාස කළා, එළුවන් දෙන්නෙක් ඇදගෙන යන රථයකින් තෝර් දෙවියා අහසේ ගමන් කරනවා කියල. එයා කුළුගෙඩිය වනන කොට ගෙරවීම හා අකුණු ඇති වෙනවා. නෝවීජියන් බසින් ‘ගොරවනවා’ කියන වචනය තෝර් – ඩන්. ඒකෙ තේරුම තෝර් ගේ ගෙරවිල්ල. ස්වීඩන් බසින් ගොරවනවාට කියන්නෙ ‘ඔස්කා. ඔස්කා කියන එකේ තේරුම ඔස් - අකා, ඒ කියන්නෙ ‘දෙවියන්ගෙ ගමන’ දෙව්ලොවට උඩින්.’

‘ ගෙරවිල්ලයි විදුලි කෙටීමයි කියන කොට වැස්සත් වහිනවා. ඒක වයිකිං ගොවීන්ට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා සශ්‍රීකත්වයේ දෙවියා හැටියට තෝර්ට වැඳුම් පිදුම් කෙරුවා.මේ නිසා වැස්ස දේවකථාවලින් විස්තර කරන්නෙ තෝර් දෙවියා තමාගෙ කුළුගෙඩිය වැනීමක් හැටියටයි. වහිනකොට ධාන්‍ය පැළවෙනව. කෙත්වතු සරුසාර වෙනව.’

සොබා දහමෙහි ක්‍රියාකාරීත්වය නියමාකාරයෙන් හඳුනාගෙන ඇති වර්තමාන මිනිසාට තෝර් දෙවියන් පිළිබඳ ව කීම විහිළුවක් වැනි ය. එහෙත් සොබා දහමෙහි ක්‍රියාකාරීත්වය දේවත්වයට නැංවීම තවමත් අවසන් වී නොමැත. මේ එ බඳු සිද්ධියක් පිළිබඳ ව පේරාදෙණිය උද්භිත උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර මහතා පසුගිය 8 වන දා ලංකාදීප පත්‍රයට කළ ප්‍රකාශයකි.

‘දෙහිඕවිට මාගම්මන සුගතාරාම විහාරස්ථානයේ බෝධියේ මුලකින් මතු වූ බුදුරුව බලන්න ගියේ ඉකුත් නොවැම්බර් පළමු වන දා. මා එහි ගියේ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා කළ දැනුම් දීමකට අනුව. එහි ගිය මා ඒ බෝ ගසේ මුල සිට පරීක්‍ෂා කළා. හොඳින් පරීක්‍ෂා කළ මට තේරුණා මෙය ස්වභාවික ව මතු වූවක් නො වන බව.’

‘මෙය මීට මාස කිහිපයකට පෙර හෝ වසර කිහිපයකට පෙර, මුලේ කොටසක් තෝරාගෙන කිසිවකු විසින් කැටයම් කැපීමට ගන්නා උපකරණ භාවිතයෙන් කැටයමක් ලෙස කපන ලද දෙයක්. පරිගණකයේ සමීප රූප ගෙන මේ පිළිමය හොඳින් පිරික්සීමේ දී, කැටයම් කපන උපකරණ භාවිතා කර තිබෙන අයුරු හොඳින් පෙනෙනවා. බෝ ගසේ මූලික කොටසකින් පිළිම හිසක් අඹලා පසුව එය මැටියෙන් වසා තිබී තිබෙනවා. මෙය කිසිවකු විසින් කරන ලද දෙයක් ලෙසයි, විශ්වාස කළ හැකි වන්නේ. එය මනුෂ්‍යයකු හරහා සිදුවන්නේ ද අදෘශ්‍යමාන බලවේගයක් හරහා සිදුවූවක් ද යන්න කියන්න දන්නෙ නැහැ. උද්භිද විද්‍යාවට අනුව නම් මෙය ස්වාභාවික ව ඇති වූවක් නො වේ.’

‘මේ සිද්ධිය හරහා සමාජයට පණිවුඩයක් දිය යුතු යි. බෞද්ධ රටක ජීවත් වන අප ශ්‍රී ලාංකිකයන් වශයෙන් මීට වඩා විචාර බුද්ධියකින් කටයුතු කළ යුතු යි. අන්ධ භක්තියකින් වැඩ කිරීමෙන් සිදු වන්නේ බෞද්ධ ආගමට වක්‍රාකාර ව හෝ අයහපතක් වීමට ඉඩකඩ නිර්මාණය වීමයි.’

‘මෙවැනි සිදුවීම් වාණිජ කරුණු බවට පත්කර ගන්න බලා සිටින පිරිසකුත් සමාජයේ සිටිනවා. කියන්න කනගාටුයි, එදා මා දෙහිඕවිට මාගම්මන සුගතාරාමයට යන විටත්, එම පූජා භූමිය ආසන්නයේ කුඩා කඩ ඉදිවෙලා. අන්ධ භක්තිය හරහා බෞද්ධාගම හෝ අප පරිසරය හෝ විනාශ වෙනවා දකින්න ශ්‍රී ලාංකිකයන් වශයෙන් අප කවුරුවත් කැමැති නැහැ.’

‘මීට පෙර මීවැල්ලාව පන්සලේ බෝධියෙන් ප්‍රතිමාවක් මතු වී තිබුණා කියා මහජනතාව වැල නොකැඩී පැමිණියා. තවත් වරක් කොළඹට තදාසන්න ප්‍රදේශයක රබර් ගසක මතු වී තිබූ දේව රූපයක් හේතුවෙන් එම ස්ථානය මිනිසුන් පූජා භූමියක් කර ගැනීමට උත්සාහ ගෙන තිබුණා. මේ සියල්ල ශාකවල මුල් වැඩීම සිදුවන කාලයේ දී වෙන දේවල්. ඒවා දීර්ඝ කාලීන ව පවතින්නේ නැති බවයි අප ගේ හැඟීම. පිළිමතලාව ප්‍රදේශයේ බෝධි වෘක්‍ෂයකින් දුම් පිටවන බවට ප්‍රසිද්ධ වී එය නැරඹීමටත් බොහෝ පිරිසක් පැමිණ සිටියා. මේ පිළිබඳ පරීක්‍ෂණ කටයුතු අවසානයේ ඔප්පු වුණේ ශාකයේ බීජානුහරණය වීමේ දී පිටවන දිලීර වර්ගයකිනුයි එම දුම පිටවී තිබෙන්නේ.’

බෞද්ධයන් ගේ මේ හැසිරීම කනගාටුදායක තත්ත්වයක් නො වේ ද? ලොව මෙතෙක් පහළ වූ මහා දාර්ශනිකයාණන් වන බුදුන් වහන්සේ ගේ දහම පිළිබඳ ව සාමාන්‍ය දැනුමක් හෝ තිබෙන අයකුට මෙ සේ හැසිරිය නො හැකි ය.

උඳුවප් පුර අටවක පෝය

උඳුවප් පුර අටවක පෝය නොවැම්බර් මස 24 වනදා අඟහරුවාදා අපරභාග 01.55 ට ලබයි. 25 වන දා බදාදා අපරභාග 04.13 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 24 වන දා අඟහරුවාදාය.
 
මීළඟ පෝය දෙසැම්බර් 1 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 24

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 01

Second Quarterඅව අටවක

දෙසැම්බර් 09

New Moonඅමාවක

දෙසැම්බර් 15

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]