ඒ.එම්. ප්‍රේමරත්න
විශ්‍රාමික ගුරු උපදේශක
වත්මන් යුගයෙහි අප රටේ බොදුනුවන් අතර ඉතාමත් ප්‍රකට වූ ද බහුල වශයෙන්
පැවැත්වෙන්නා වූද ප්‍රධාන පූජාවක් ලෙස බෝධි පූජාව හැඳින්විය හැකි ය.
පන්සලේ චෛත්‍යය හා බුදු ගෙය අබිබවා බෝධි පූජාව මුල් තැනට පත් වූයේ මෑත
භාගයේ දී ය. පන්සලෙන් පරිබාහිරව ඇති ඇසතු වෘක්‍ෂ වලට හෝ මහමෙවුනාවේ
ජයසිරි මහා බෝ සමිඳුන් වටා ඇති පරිවාර ඇසතු වෘක්‍ෂවලට හෝ පුද පූජා
නොපැවැත්වේ. ඒ අනුව ද පෙනී යන්නේ බෝධි වන්දනාව වනාහි වෘක්‍ෂ වන්දනාවක්
නොවන බවයි. වෘක්‍ෂ වන්දනාව වනාහි බියෙන් තැති ගත් මිනිස්සු මුලාවෙන්
කරන එකක් බවත් එයින් කිසිදු විමුක්තියක් නොලැබෙන බවත් අග්ගිදත්ත බමුණාට
බුදුරජාණන් වහන්සේ වදාළහ. (ධම්ම පද – බුද්ධ වග්ග 10, 11 ගාථා) එසේ නම්
බෝධි වෘක්‍ෂය අබියස කෙරෙන බෝධි පූජාවේ උතුම් අරුතක් තිබිය යුතු ය.
ලෝක සත්ත්වයා සංසාර සාගරයෙන් එතෙර කරවීම සඳහා, සිද්ධාර්ථ බෝධි
සත්ත්වයන් වහන්සේ චතුරංග සමන්නාගත ප්‍රධන් වීර්යයෙන් වාඩි වී, ශත
සහස්‍ර ලෝක ධාතුව කම්පාකරවමින් සම්‍යක් සම්බෝධිය ක්‍ෂාත් සාත් කර ගත්තේ
ද, අනන්ත ඥාන, අනන්ත සීල, අනන්ත සමාධි, අනන්ත බල, අසම ගුණ සහිත
සර්වඥතාඥානය උපදවා ගත්තේ ද ඇසතු වෘක්‍ෂ මූලයකදී ය. කල්පාන්තරයක් ලෝකයට
විවෘත නොවී වැසී තිබුණු පරම ආර්ය සත්‍යය, ගුරු උපදේශ රහිතව මිනිස්
මොළයකින් ප්‍රථම වරට අවබෝධ කරගත්, තුන්ලෝකාග්‍ර වූ අනුත්තර මනුෂ්‍යයා
බිහිවූයේ එතැන ය. සම්මා සම්බුද්ධත්වය ලබා ප්‍රථම සතිය පර්යංකයෙන් වැඩ
වසමින්, බුදුරජාණන් වහන්සේ ප්‍රථම වරට යමක මහා ප්‍රාතිහාර්ය පා වදාළේ
ඇසතු වෘක්‍ෂ මූලයේ දී ය. ගෞතම බුද්ධෝත්පාද කාලයේ ආරම්භයද එතැනම ය.
සම්මා සම්බුද්ධත්වය සමග මෙම වෘක්‍ෂ මූලයේ දී සිදු වූ සිද්ධි කිසිවක්
සමස්ත විශ්වයේ කොතැනකවත් සිදු වී නැත. කෙටියෙන් කිවහොත් අවිද්‍යා
අන්ධකාරය පහකරමින් විද්‍යා ආලෝකය සමස්ත ලෝක ධාතුව පුරා විහි දී ගියේ
මෙම වෘක්‍ෂ මූලයේ සිටය. මේ අනුව පැහැදිලිව පෙනී යන්නේ බෝධි පූජාව යනු
බුදුරජාණන් වහන්සේ සහ සම්‍යයක් සම්බෝධිය පිළිබඳව ප්‍රමාණවත් වැටහීමක්
ඇති අයගේ ම පූජාවක් බවයි.
එබැවින් ඇසතු වෘක්‍ෂය පූජාර්හ වස්තුවක් ලෙස ගෙන පුද පූජා පැවැත්වීම
නිර්දේශිත වන්නේ ගෞතම බුදුරදුන් උදෙසා පමණි. බුදුරදුන් ජීවමාන කාලයේ
දී, උන්වහන්සේ ජේතවනාරාමයේ වැඩ නොසිටි දිනවලදී එහි එන සැදැහැවතුන්ට
වැඳුම් පිදුම් කිරීමට ආනන්ද බෝධි වෘක්‍ෂය (ඇසතු) රෝපණය කරනු ලැබුවා සේ
බුදුරදුන් ජීවමාන නොවන මෙකල ඒ ගෞරවනීය බුද්ධාභිවාදන අරමුණ ඉටුකරගැනීම
සඳහා අද ඇසතු වෘක්‍ෂය නිමිත්ත ලෙස පවතී.
එසේ නම් මෙම වෘක්‍ෂය වෙතට බෝධි පූජාව සඳහා පිවිසෙන බෞද්ධ
ශ්‍රද්ධාවන්තයා කෙසේ පිළිපැදිය යුතු ද යන්නට ද නිශ්චිත පිළිතුරක් ඇත.
එහෙත් ඉහතින් සඳහන් කළ පරිදි බෝධි වෘක්‍ෂය යනු කුමක්ද යන්න ගැන
ප්‍රමාණවත් වැටහීමක් නැතිව ඒ පිළිතුර සොයා ගියහොත් ලැබෙන්නේ වැරැදි
පිළිතුරු ය.
මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයේ දී ඔවුනට උදාවන නොයෙකුත් අතුරු ආන්තරා අපල
ආදී දිසි අදිසි සම්බාධක මඟහරවා සෙතක් ශාන්තියක් ලබා ගැනීමට බෝධි
වෘක්‍ෂයට පුද පූජා පැවැත්වීමෙන් හැකිවේය යන බලවත් විශ්වාසයක් හා
පිළිගැනීමක් අද බොදුනුවන් තුළ මුල් බැසගෙන ඇත. කායික මානසික දුක් පීඩා
වලින් මිදී සුවසේ වාසය කිරීමට අකැමැති කෙනෙක් නැත්තේ ය. ඒ සඳහා කවර
ආකාරයකින් හෝ පිහිටක් ලබා ගැනීමට පෙළඹීම අතිශයින් ස්වාභාවිකය. එහිදී
අනුගමනය කෙරෙන ක්‍රියා පිළිවෙත හරිද වැරැදිද යන්න විභාග කර බැලීමට ද
පූජාව කරන්නාට අවශ්‍යතාවයක් ද නොයෙදේ. කෙනෙකුට අදිසි අනිටු විපාක ඇති
කරවන බලවේගයක් ඇතැයි යන දෘෂ්ටියෙහි පිහිටි විට හෝ වෙනත් ශාස්ත්‍රධරයෙකු
විසින් පිහිටවනු ලැබූ විට හෝ ඒවා මඟ හරවා ගැනීම සඳහා මිනිසා පෙළඹුනේ අද
ඊයේ නොවේ. ඒ සඳහා මෑතක් වන තුරුම පැවති බලි තොවිල් ශාන්තිකර්ම අද බොහෝ
දුරට ඉවත් වී ගොස් තිබේ. ඒවා කෙරෙහි විශ්වාසය තැබුයේ ද සිංහල
බෞද්ධයාමය. ඒවායින් සෙතක් ශාන්තියක් වේද නොවේ ද යන්න ගැන සාකච්ඡා කිරීම
මෙම ලිපියේ අරමුණ නොවේ. නමුත් එකළ ඒ ක්‍රම මගින් පුද්ගලයා අපේක්‍ෂා කළ
අරමුණු ඉටු කරගැනීමට අද විකල්ප ස්ථානයක් හැටියට බෝධි වෘක්‍ෂය තෝරාගෙන
තිබේ යයි සඳහන් කිරීම සමාජ විද්‍යාත්මක වෙයි. වෙනසකට ඇත්තේ යන්ත්‍ර
මන්ත්‍ර ස්තෝත්‍ර වෙනුවට බෞද්ධ පිළිවෙත් ආදේශ වී බෝධි පූජා නමින්
ක්‍රියාත්මක වීමයි.
අද යුගයේ අප රටේ බොහෝ සෙයින් මෙවැනි ආකාරයේ බෝධි පූජා දක්නට ලැබේ.
ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය හා තදානුබද්ධ සංස්කෘතිය පිළිබඳ උසස්
පර්යේෂණ ග්‍රන්ථයක් කළ පූජ්‍ය වැලමිටියාවේ ධම්මරක්ඛිත හිමියෝ, වෘක්‍ෂ
වන්දනාව පිළිබඳ පෙර දැනුමක් ලබා ඇති, මේ රටේ සංස්කෘතික පදනම හරිහැටි
වටහා නොගත් බටහිර හෝ යුරෝපීය විචාරකයෙකුට මෙයත් වෘක්‍ෂ වන්දනාවේම තවත්
අවස්ථාවකියි පහසුවෙන්ම අර්ථකථනය කළ හැකි බව පවසත්. එහෙත් බෝධි පූජාවේ
යෙදෙන සැදැහැවතාගේ අවධානය වඩාත් බර වන්නේ ගසකට වැඳීමට නොව බුදුරදුන්ගේ
අනන්ත වූ බුදුගුණ මනසිකාරයටත් ඒ බුදුගුණ පූජාවටත් බව එහිලා උපයුක්ත වන
ක්‍රියා පටිපාටිය හා සජ්ඣායනා කරන ගාථා හා කවිද විමසීමෙන් පෙනේ. (පිටුව
278) විදේශිකයාගේ දෘෂ්ටි කෝණයෙන් නොබැලුවත්, බුදුරජාණන් වහන්සේ සහ ඇසතු
වෘක්‍ෂයේ සෙවණේ දී සිදු වූ මහානර්ඝ සම්බුද්ධ ප්‍රාප්තිය පිළිබඳව
ප්‍රමාණවත් වැටහිමක් ඇති ස්වදේශිකයෙකුට වුවද, අද බෝධි වෘක්‍ෂය අබියස
කෙරෙන බොහෝමයක් පූද පූජාවල ස්වභාවය අනුව, ඒවා බුද්ධ පූජා නොව ලෞකික
පංචකාම සුඛ වින්දනය විපුල කර ගැනීම සඳහා වූ වෘක්‍ෂ පූජා බව පෙනී යනු
ඇත.
හින්දු සාම්ප්‍රදායික පුද පූජා සමඟ පවතින පඬුරු, පූජා වට්ටි, භාර හාර
ආදිය ක්‍රම ක්‍රමයෙන් බෝධි වෘක්‍ෂය හමුවට ප්‍රවේශ වෙමින් පවතින බව
දැකිය හැකි ය. ගිහි හෝ පැවිදි උපදේශකවරයෙකු විසින් නියම කරනු ලබන
ආකාරයට සකස් කරගත්, විවිධ වර්ණ මල් වට්ටි, කාසි පඬුරු තැබූ බුලත්, මල්
මාලා ආදිය රැගෙන කෙරෙන මේ පූජා, එක් අතකින් බලන විට බෝධි යාග විශේෂයක්
සේ පෙනේ. අපල උපද්‍රව වලට ලක් වී ඇතැයි ඒ අය විසින් ම නිර්දේශ කෙරෙන
අයගේ (විශේෂයෙන් දරුවන්ගේ) නම් ලියූ කොඩි ද බෝධි වෘක්‍ෂයේ අතුවල
එල්ලීමෙන් උතුම් වූ බෝධි වෘක්‍ෂයට අගෞරවක් කරනු මෙන්ම දිට්ඨි
සම්ප්‍රයුක්ත අකුසලයක් ද සිදු කරගන්නේයි සිතමි. මේ කටයුතු වල යෙදෙන
අහිංසක බොදු පිරිස පිටුපසින් සිටින්නේ ඊනියා නැකැත් කරුවෝ ය. නැතහොත්
නිමිති කරුවෝ ය. මෙහිදී මා උත්සාහ කරන්නේ ඒ අය ගර්හාවට ලක් කිරීමට හෝ
දෝෂ දර්ශනයට ලක් කිරීමට නොව, ඉහතින් සඳහන් කළ පරිදි සම්මා සම්බුද්ධත්වය
නමැති උත්තරීතර ප්‍රාප්තිය සංකේතවත් කෙරෙන බෝධි වෘක්‍ෂය වෙත පැමිණ කරනු
ලබන එවැනි පූජා මගින් මාගේ ස්වාමී වූ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට
බලවත් අගෞරවයක්ම කෙරෙන බව මතු කර දැක්වීමට ය. බෝධි වෘක්‍ෂය, එවැනි
ලෞකික අපේක්‍ෂා සඳහා ප්‍රාර්ථනා ස්වරූපයෙන් කන්නලව් කරන තැනක් නොවේය
යන්න මගේ විශ්වාසයයි. අනන්ත සීල, සමාධි, ප්‍රඥා, ඥාන, විමුක්ති, බල,
ගුණ උපදවාගත් සම්මා සම්බුදුවරයෙකුගේ බුද්ධෝත්පත්තිය සිදු වූ බෝධි
වෘක්‍ෂය වෙත එළඹෙන බුද්ධානුගාමිකයා, මලින් පහනින් ගිලානුප්‍රත්‍යයෙන්
බුදුන් පුදා උතුම් ආමිෂ පූජාවක් කරනු වෙනුවට, ඊටම එකතු කරගෙන, කාසි
පඬුරු අතුරා මල්මාලා එල්ලා එම බුද්ධ පූජාව අපිරිසුදු කරගන්නවා පමණක්
නොව, ලෞකික ශාන්තිය යදින්නෙකු වී අපගේ ශාස්තෘවරයාණන් වහන්සේට අගෞරවයක්
ද කරයි. මා සඳහන් කරන්නේ ලෞකික ජීවිතයේ උදාවන දෘෂ්‍ය හෝ අදෘෂ්‍ය අපල
උපද්‍රව වලින් සහනයක් ලබා ගැනීම සඳහා පූජා ශාන්ති කර්ම අර්ථ ශූන්‍ය
නිශ්ඵල ක්‍රියාවන් බව නොවේ. ඒ සඳහා බෝධි වෘක්‍ෂ මූලය තෝරා ගැනීම අනුචිත
බව පමණි. බෝධි වෘක්‍ෂය අබියස මල් පැල් සාදා, කිරි මුට්ටි උතුරවා
සෙත්කවි කරන ලද අවස්ථා මා දැක ඇත.
මේ ගෞතම බුද්ධ ශාසනයෙහි පූජ්‍ය පක්‍ෂයක් මිස පූජක, පක්‍ෂයක් නැත. උතුම්
වූ, වන්දනීය වූ, ගෞරවනීය වූ මෙන්ම සිව්වනක් ශ්‍රාවක පිරිසෙන් ජ්‍යෙෂ්ඨ
වූ, පූජ්‍ය පක්‍ෂයට අයත් වන භික්‍ෂුව, බෝධිය අබියසදී පූජකවරයෙකු බවට
පත් නොකිරීමට ද, සංඝරත්නයට ගරු කරන පුදන බෞද්ධ පිරිස ප්‍රවේශම් විය
යුතුය යන්න මගේ හැඟීමයි. බෝධි වෘක්‍ෂයේ ආගමික වැදගත්කම අනුව බෝධි පූජාව
ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් දැක්විය හැකි බව පෙනේ. බුදුරදුන් ජීවමාන
නොවන මෙකල කළ හැකි උතුම්ම බෝධි පූජාව බුද්ධානුස්සති බෝධි පූජාවයි. එය
එක එල්ලේම බුදුන් පුදන පිළිවෙතකි. සුදු වතින් පමණක් සැරසී බෝ මලුවට
පැමිණ එය ඇමද පිරිසුදු කිරීම හා මලසුන්, පහන් ආදිය පිරිසුදු කිරීම
පූජාවේ පළමුවැනි කෘත්‍යයයි.
ඉතා කෙටි කාලයකින් මල් පහන් ආදිය පූජා කර, වැඩි කාලයක් යෙදවිය යුත්තේ
නව අරාහාදී බුදුගුණ හා බුද්ධඥාන තුදුස සජ්ඣායනා කරමින් බුද්ධානුස්සතියේ
යෙදීමයි. බුදු ගුණ අතුරින් එක් එක් ගුණය ගනිමින් අර්ථ සහිතව සජ්ඣායනා
කිරීම මහානිශංස වූ උතුම් බුද්ධ පූජාවකි. අසවල් අසවල් ප්‍රතිඵල මට
ලැබේවා යනුවෙන් හෝ නවග්‍රහ ආදී අපල දුරුවේවා යනුවෙන් වූ ප්‍රාර්ථනා
මෙහි නැත. පුණ්‍යානුමෝදනයෙන් ඕනෑම කෙනෙකුට ආශිර්වාද කළ හැකි බැවින් මය
ආශිර්වාද පූජාවක් ද වෙයි. ලිපිය දීර්ඝ වන බැවින් සවිස්තර නොකරමි.
මෙත්තාශීර්වාද බෝධි පූජාව අනෙක් ආකාරයයි. ඉහතින් සඳහන් කළ පරිදි
පිරිසුදු කිරීම් හා ආමිෂ පූජාවන් කෙටියෙන් නිමකර වැඩි කාලයක් මිඩංගු කළ
යුත්තේ බුදු ගුණ වන්දනාවට අනතුරුව ප්‍රවේශ විය යුතු මෛත්‍රී චින්තාවෙහි
යෙදීමට ය. බුදුරජාණන් වහන්සේ මහා කරුණාව උපදවා ගත් බෝ සෙවණ වනාහි අපට ද
මෛත්‍රීය මුදා හැරීමට ක්‍ෂේම භූමියකි. රෝගී තත්ත්වයකට හෝ වෙනත්
ව්‍යසනයකට පත්ව සිටින කෙනෙකුගේ රූප කාය හෝ නාමය අරමුණු කරගෙන, අනන්ත වූ
බුදු ගුණ බලයෙන් සුවපත් වේවා! සුඛිත මුදිත වේවා! යන චින්තනයෙහි
සජ්ඣායනාවෙන් හෝ නිහඬ මෙත්තානුස්සතියෙන් මෙත් සිත පැතිරවීම උතුම්ම
ප්‍රතිපදාමය බුද්ධ පූජාවකි. සෙත් පිරිත් ද එකතු කර ගැනීමෙන් මෙය මහත්ඵල
වෙයි.
|