UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ලියන්නට පෙර සිතා බලනු

බුදු දහම හා බුදුන් වහන්සේ කෙරෙහි සිංහලයා දක්වන අසීමිත ගෞරවය හුදු අන්ධ භක්තිය නිසා ඇති වූවක් නො වේ. වසර දෙදහසකට අධික කාලයක් පුරා සිදු කළ විශිෂ්ට අධ්‍යාත්මික මඟ පෙන්වීම හා සිංහල සංස්කෘතිය පෝෂණය කිරීමෙහි ලා බුදු දහමෙන් ලද ආභාෂය නිසා උපන් ගෞරවයකි, එය. සිංහල ජන ජීවිතය සමඟ බුදු දහම බැඳී පවත්නා අයුරු ‘සිංහල ජන වහර’ නමැති කෘතියෙහි මහාචාර්ය ජේ.බී. දිසානායක සූරීන් මෙ සේ සඳහන් කැර තිබේ.

‘බුදු දහමේ එන ගැඹුරුතම සංකල්පය ‘නිර්වාණය’ හෙවත් ‘නිවන’ යි. මිනිසා විසින් පසක් කොට ගත යුතු අධිමානසික තත්ත්වයක් වන නිවන පිළිබඳ සංකල්පය විස්තර කිරීමට බෞද්ධ ආචාර්යවරුන් පවා තවමත් වෙහෙසෙද්දී සිංහල ගැමියා එය ඉතා සරල ආකාරයකට තේරුම් ගනියි. නිවන යනු තමාට සැනසිල්ලක් ද අප්‍රමාණ සැප සම්පත් ද ගෙන දෙන තැනක් හෙවත් ස්ථානයක් හැටියට ගැමියා සලකයි.’

‘මේ වැඩපල හින්ද මට නිවනක් නෑ’ යයි එක් ගැමියෙක් කියයි. දරු මල්ලන්ගේ කෑ කෝ ගැසීම් නිසා ගෙදර ආ කලටවත් සමහරුන්ට ‘නිවනක් නැතැයි’ කියනු ඇසේ. කරදරකාරී කටයුතු වලින් නිදහසක් ලැබීම ‘නිවනැ’යි ඔවුන් සිතන්නා සේ ය. පෙලවහක් කර ගන්නකං මට නිවනක් නෑ’යි තව එකෙකු කියන්නේ එකී සැනසිලිදායක තත්ත්වය අත් පත් කර ගැනීමට තමා තුළ පවත්නා නොඉවසිලිවන්ත භාවය ද ධ්වනිත කරමිනි.’

පෙලවහක් කර ගන්නකං මට නිවනක් නෑ’යි කියන ගැමියා බුදු දහමට අවමන් කරන්නකු හෝ කිසියම් ලාභ අපේක්‍ෂාවකින් යුතු ව බුදු දහමේ සංකල්ප යොදා ගන්නකු යැයි කිව නො හැකි ය. එහෙත් වත්මන් සමාජයීය හැසිරීම ඊට වඩා වෙනස් ය. බුදු දහමේ පිවිතුරු සංකල්ප පවා විකිණීම අද ඉතා සුලබ දසුනකි. එ බඳු ව්‍යාපාරවලට මාධ්‍ය අනුග්‍රහය ද ලැබේ. ඒ සඳහා උදාහරණ සපයන සිද්ධියක් සැප්තැම්බර් මස 27 වන දා රිවිර ඉරිදා පුවත්පත මෙ සේ වාර්තා කැර තිබිණ.

‘පසුගිය සතියේ මේ අරුම පුදුම මිනිසා ගැන ආරංචිය ලැබුණේ පැල්මඩුල්ලෙනි. පැල්මඩුල්ල බටලන්දේ වෙසෙන මේ අරුම පුදුම මිනිසා සැබවින් ම විස්මිත වැඩකාරයෙකි. තම කටෙන් ඇතුළු කර ගන්නා නාගයා නාසයෙන් පිට කිරීම ඔහු ගේ තවත් එක් පුදුම වැඩක් පමණ යි. චිත්‍රපත්තරගේ සුනිල් ශාන්ත නම් වූ ඔහු හතළිස් හත් හැවිරිදි තිදරු පියෙකි. වසර දොළහක් පුරා හමුදා සේවයේ මන්නාරම, සිලාවතුර, අලිමංකඩ, කිලිනොච්චි වැනි සටන් බිම්වල ක්‍රියාන්විතයේ නිරත ව සිට ඇති සුනිල් ශාන්ත කිසියම් දෛවෝපගත සිදුවීම් පෙළක් නිසා හමුදා සේවයෙන් සමුගෙන සිටියි.’

‘මම උපන්නේ හොරණ රෙමුණ කියන ගමේ. පුංචි කාලෙ බැල්ලපිටිය ඉස්කෝලෙට ගියා. පස්සෙ හොරණ විද්‍යාරත්නෙට ගියා. ඉස්කෝලෙ යන කාලෙ පටන් මගේ හිත තිබුණේ අමුතු අමුතු දේවලට යි. මම හිතන්නෙ මට ඒ පුරුද්ද ලැබුණෙ මගෙ සීයගෙන්. මගේ සීයත් සුවිශේෂී කෙනෙක්. බදුරලිය කළුගල සේනාසනයේ හිටිය ආර්ලිස් සිල්වා සිල්වතා මගේ සීයා. එයා අවුරුදු ගණනාවක් ඒ අරණ්‍යයට වෙලා බණ භාවනා කළා.’

‘එයා කඨින භාවනාව (මෙය කසිණ විය යුතු ය.) වැඩුවා. ඒ තුළින් මගේ සීයා විස්මිත දේවල් කළා. ලෙඩුන් සුවපත් කිරීම ගැන ලොකු ප්‍රසිද්ධියක් ලබා තිබුණා. මා ළඟත් ඉස්කෝලෙ යන කාලෙ ඉඳල ම සීයගෙ ඒ භාවනා වැඩ ගැන ලොකු උනන්දුවක් තිබුණා. අදත් මගේ දින චරියාවෙ අංගයක් භාවනාව. හමුදා සේවයෙන් සමුගන්නත් බොහෝ දුරට බලපෑව ඒ භාවනානුයෝගී ජීවිතය.’

‘භාවනාව නිසා මම මර්දනය කර ගත් චිත්ත ශක්තියෙන් සිදු කරන විස්මිත ක්‍රියා ගණනාවකින් එකක් මේක. භාවනාව තුළින් මම චිත්ත ශක්තිය වර්ධනය කර ගෙන තිබෙනවා.’

‘අරමුණ ගැන මම තර්ක කරන්නෙ නැහැ. ඒත් බුදු හාමුදුරුවොත් යමක මහා ප්‍රාතිහාර්ය පාලා ත්‍රාසය හා භීතිය පෙන්වලා තියෙනවා. මමත් ජනතාව තුළ ත්‍රාසය හා භීතිය සමඟ විනෝදය උපදවනවා. මට ඒක කරන්න සිදු වෙලා තියෙන්නේ දරු පවුල ජීවත් කරවන්නයි.’

භාවනාව යනු කුමක් දැයි අපි දැන් බලමු. එය බුදුන් වදාළ ධර්මය නමැති කෘතියෙහි මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් මෙ සේ විස්තර කැර තිබේ.

‘භාවනා යන වචනයේ සැබෑ තේරුම නම් සිත වැඩීම, සිත දියුණු කිරීම යනුයි. ඒ වනාහි කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා ආදී කෙලෙස් වලින් සිත මුදා පිරිසුදු කර, ඒකාග්‍රතාව, ස්මෘතිය, බුද්ධිය, අධිෂ්ඨානය, වීර්යය, විවේචන ශක්තිය, ශ්‍රද්ධාව, පී‍්‍රතිය, ශාන්තිය ආදී ගුණ දියුණු කර සියල්ල තතු පරිද්දෙන් දක්නා උතුම් ප්‍රඥාව ලබා දී, පරම සත්‍යය හෙවත් නිර්වාණය අවබෝධ කර දීම අරමුණු කර ඇත්තේ ය.’

එහෙත් සුනිල් ශාන්ත මහතා පවසන්නේ කුමක් ද? එ පමණක් ද නො ව ඔහු තම ක්‍රියාව බුදුන් වහන්සේ ගේ යමක මහා ප්‍රාතිහාර්ය සමඟ සන්සන්දනය කිරීම දක්වා දුර ගොස් තිබේ. ජීවත්වීම සඳහා ඔහු දක්වන ප්‍රාතිහාර්ය ගැන අපට ප්‍රශ්නයක් නොමැත.එ සේ වූව ද නයෙකු කටින් දමා නහයෙන් ගැනීම බෞද්ධ භාවනාවේ ප්‍රතිඵලයක් ලෙස දක්වා එය බුදුන් වහන්සේ ගේ යමක මහා ප්‍රාතිහාර්ය සමඟ සැසඳීම අනුවණකමකි. සැබවින් ම මෙ බඳු අනුවණ ප්‍රකාශ වලට මාධ්‍ය මඟින් ප්‍රචාරය ලබාදීම ඊටත් වඩා අනුවණකමකි.

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]