UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
උට්ඨානවතො සතිමතො
සුචිකම්මස්ස නිසම්මකාරිනො
සඤ්ඤතස්ස ච ධම්මජීවිනො
අප්පමත්තස්ස යසොභිවඩ්ඩති

වාසනාවන්ත පින්වතුනි,

අද ධර්ම දේශනාව සඳහා මවිසින් මාතෘකා කරගන්නා ලද්දේ ධම්මපදයේ ‘අප්පමාද වග්ගයේ’ ගාථාවකි. තිලෝගුරු ලොව්තුරා බුදුරජාණන් වහන්සේ එම ගාථාරත්නය දේශනා කොට වදාළේ සැවැත්නුවර ජේතවනාරාමයේ දී ‘කුම්භඝෝෂක’ නම් සිටුපුත්‍රයා අරභයා ය.

පාරම්පරිකව ඉතා කීර්තිමත් හා ධන පොහොසත්කම්වලින් පිරිපුන් පවුලක ඉපදුනු කුම්භඝෝෂක කුලපුත්‍රයා තරුණ අවධියේ දී අනපේක්‍ෂිත ලෙස එළැඹුනු ස්වාභාවික විපත් හමුවේ ස්වකීය ධනපොහොසත්කම් වලින් හා කීර්තියෙන් සම්පූර්ණයෙන් ම පරිහාණියට පත් වූ ආකාරයකි. කෙසේ හෝ අවසානයේ දී ඔහු නොපසුබස්නා වීර්ය හමුවේ පෙර තිබූ ඉසුරුමත් බවට පියනැඟූ ආකාරයත් මේ කථා පුවතෙන් පැහැදිලි උත්සාහවත් බව, අධිෂ්ඨාන සීලීත්වය හා නොපසුබස්නා වීර්ය හමුවේ කුම්භඝෝෂක කුලපුත්‍රයා රාජ සම්මානයට පවා පාත්‍ර වූ ආකාරය අදාළ නිදාන කථාවෙන් හෙළිදරව් වේ. කෙසේ වෙතත් ඔහුගේ ප්‍රගතියට බෙහෙවින් උපකාර වූ ගුණාංග විශේෂ අවධානයට ලක් කරමින් ලොව්තුරා බුදුපියාණන් වහන්සේ මේ ධර්මදේශනාව පවත්වා වදාළ සේක.

සියලුම සත්වයින් සැපත සතුට සැනසීම බලාපොරොත්තු වන්නා සේම කීර්තිය ප්‍රශංසාව ඇගයීමට කැමැතිවන්නේ ය. එසේ ම අපකීර්තිය, අවමානය, නින්දාවට කිසිසේත් පුද්ගලයා කැමැති වන්නේ නැත. එම නිසා යහපත් කීර්තිරාවයක් යශෝරාවයක් ගොඩනඟා ගැනීමෙහිලා අනුගමනය කළ යුතු චරිතාංග හෙවත් ගුණාංග හතක් මෙම ගාථාව තුළ අන්තර්ගත වේ. ඒ අනුව නොපසුබස්නා වීර්යය ඇති බව, එළැඹ සිටි සිහිය ඇති බව, නිදොස් ක්‍රියා ඇති බව, නුවණින් විමසා බලා තම කටයුතු කරන සුළු බව, කය වචන දෙකින් හික්මුණු බව දැහැමින් දිවි පවත්වන බව සහ අප්‍රමාදීව කටයුතු වල නියැළෙන බව යන කරුණු හත යම් පුද්ගලයෙකුගේ චරිතය තුළ විද්‍යාමාන වේ නම් ඔහු සමාජයේ කීර්තියටත් යසසටත් පත්වන බව එහිදී දේශනා කර ඇත.

බුදුදහමේ සඳහන් වන මෙම කාරක ධර්ම හත මැනවින් අනුගමනය කිරීම කුළ ස්ථාවර හා මනා කීර්ති රාවයක් දීර්ඝකාලීනව පවත්වාගෙන යා හැකි බව තහවුරු වේ. මෙම දේශනාවේ සඳහන් පළමු කාරණය වන්නේ උත්සාහවත් බව හෙවත් නොපසුබස්නා වීර්යයයි. බුදු දහමේ උත්සාහවත් බව ඉතා ඉහළ ඇගයීමකට ලක්කර ඇත. මේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම උත්සාහවන්ත උත්තමයන් වහන්සේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ය. උන්වහන්සේ බෝධි සම්භාර ධර්ම පුරණ සමයෙහි පවා මැනවින් ප්‍රගුණ කරන ලද වීර්යවන්ත භාවය බෝධියංකුර ධර්ම වශයෙන් සැළකෙන දසපාරමිතා වල පස්වැනි වීර්යය පාරමිතාවෙන් පැහැදිලි වේ. ඒ අනුව සසර පුරා ආධ්‍යාත්මික කාලයේ උච්චතම පරමාර්ථය වූ ‘ලොව්තුරා බුද්ධත්වය’ යන ඉලක්කය ඉදිරියේ තබාගෙන අරමුණු කොට වීර්ය දියුණු කිරීම බුද්ධ චරිතය තුළින් දිස්වන අධිෂ්ඨානශීලීත්වයයි. මෙම වීර්ය පාරමිතාවේ තේජස සිද්ධාර්ථ බෝධිසත්වයින් ප්‍රධාන වීර්ය වැඩූ දුෂ්කර ක්‍රියාවේ නිරත වූ වසර හයක් වූ කාලය තුළින් මැනවින් ප්‍රකට වේ.

ඒ අනුව තමන්ටත් සසර ගත සත්ත්වයාටත් විමුක්ති සුවය පරමාර්ථ කරගත් ලොව්තුරා බුද්ධත්වය අරමුණු කොට බෝධි මූලයේ උන්වහන්සේ වැඩසිටියේ දැඩි අධිෂ්ඨානයෙන් යුක්තව ය. ඒ හමුවේ පැමිණෙන සෑම බාධාවක්ම මැඩගෙන ඉදිරියට යෑමේ අධිෂ්ඨාන ශක්තියක් බෝධි සත්ව චරිතය තුළත් බුද්ධ චරිතය තුළත් මැනවින් විද්‍යමාන වේ. එය අධිෂ්ඨාන ප්‍රතිබද්ධ චිත්ත ධෛර්ය’ වශයෙන් හැඳින්විය හැකි ය.

සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයෙක් ම ජීවිතයේ සෑම දවසකම ජීවිතයේ යම්කිසි යහපත් ඉලක්කයක් පවත්වා ගැනීම ඉතාම වැදගත් වේ. ඒ අනුව භෞතික දියුණුව සම්බන්ධයෙන් හෝ ආධ්‍යාත්මික දියුණුව සම්බන්ධයෙන් දියුණුවීමේ කිසියම් යහපත් ඉලක්කයක් ඇතිකරගත යුතු ය. අධ්‍යාපනය හදාරණ සිසුවාගේ පටන් මහල්ලා දක්වා වූ සෑම කෙනෙකුට ම අනුගමනය කළ හැකි කාරණයකි. ඒ අනුව මේ ඉලක්ක තබා ගැනීම විවිධාකාරයෙන් කළ හැකි ය. යම් යම් තරඟ විභාග ඉලක්ක කරගෙන මෙයින් මම අනිවාර්යෙන්ම උසස් ප්‍රතිඵල ලබනවාය යන අධිෂ්ඨානය ශිෂ්‍ය දරුවන්ට ඇතිකරගත හැකි ය. රැකියාවේ මේ මේ ඉලක්කයන් කරා මා ගමන් කරනවාය යන බලවත් විශ්වාසය තවත් අයෙකුට ඇතිකර ගත හැකි ය. ඒ වගේම ජීවිතයේ කර ගැනීමට අපහසු වූ යම් යම් කුසලකර්ම සිදු කර ගැනීමට වැඩිහිටි පින්වතුන්ට කිසියම් ඉලක්කයන් තබාගත හැකි ය.

සතර සම්‍යප්‍රධන් වීර්ය වශයෙන් දැක්වෙන්නේ ද මෙයමය. කෙසේ වෙතත් ජීවිතයේ මේ ආකාරයට යම් යම් ඉලක්ක තබාගෙන එය ඉටු කර ගැනීමේ බලවත් අපේක්‍ෂාවෙන් කටයුතු කිරීම පුද්ගලයාට කායික හා මානසික සංතෘප්තියට මෙන්ම නිරෝගීතාවයට ද මනා පිටුබලයක් වේ. ඉලක්කයක් නොමැතිව නිරායාසයෙන් ජීවිතය ගලායන්නන්ගේ ජීවිත සම්පූර්ණ නැත.

එම නිසා ජීවිතයේ ඉතායහපත් අරමුණක් තබාගෙන ඒ හමුවේ ඉදිරියට ගමන් කිරීමේ දී ඇතිවන සෑම බාධාවක් ම මැඩගෙන අරමුණු සාක්‍ෂාත් කර ගැනීම හා ඒ සඳහා වීර්ය වැඩීම උට්ඨාන වීර්ය වශයෙන් හැඳින්වේ. මෙම ගුණධර්මය ඇගයීමට අවශ්‍ය තරම් දේශනා පෙළ සාහිත්‍යයේ ඇත. “උත්සාහ වඩන්න නො නිදන්න” යන දේශනාවෙන් අසීමාන්තික ලෙස නිදාගැනීම කුසීත බව බැහැර කරන්නා සේම කෙලෙස් නින්දෙන් නිදාගැනීම ප්‍රතික්‍ෂේප කර ඇත. පුද්ගලයා භෞතික හා ආධ්‍යාත්මික දියුණුව ඇතිකර ගැනීමේ දී විෂයෙහි දැන් ඉතා සීතලය. දැන් ඉතා ඌෂ්ණය. දැන් ඉතා සවස් ය, දැන් ඉතා උදේ ය. ආදී වශයෙන් කටයුතු කල් දැමීම පුද්ගලයාගේ පරිහානියට බලපාන බව දේශනා කර ඇත.

දියුණුව, ප්‍රගතිය උදෙසා අද කළ යුතු දේ අද දවසේම කළ යුතු බව ‘අජ්‍රේව කිච්චං ආතප්පං’ ආදී දේශනාවන්ගෙන් ඒ බව පැහැදිලි වේ.

මෙම ගාථාවේ සඳහන් දෙවැනි ගුණධර්ම ‘සතිමතෝ’ හෙවත් මැනවින් සිහිය පවත්වාගෙන යෑමයි. දෛනික ජීවිතයේ දී මෙන් ආගමික ජීවිතයේ දී මැනවින් සිහිය පිහිටුවා ගැනීම බුදුදහමේ උසස් ලෙස අගය කර ඇත.

ඒ අනුව සතර සතිපට්ඨානය තුළින් සම්මාසතිය, විශේෂ අවධාරණයක යොමු කර ඇත. ‘කායානුපස්සනා , වේදනානුපස්සනා, චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනා යන්නෙන් කායික පැවැත්මත්, කයට දැනෙන වේදනා පිළිබඳවත් සිතත් සිතට හැඟෙන සිතිවිලි ධර්ම පිළිබඳවත් මැනවින් සිහිය පිහිටුවාගෙන හා අවබෝධයෙන් කිරීම මෙහිදී දක්වා ඇත.

යෑම්, ඊම්, ඉඳුම්, හිටුම් ඇතුළු සෑම ඉරියව්වකදීම සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම දෙලොව ජීවිතයේ ම ප්‍රගතියට බෙහෙවින් බලපායි. සමාජයේ බහුලව සිදුවන, හදිසි අනතුරු ආදිය අවම කර ගැනීමට සිහිය පිහිටුවාගෙන කටයුතු කිරීම කිසියම් ආකාරයකින් උපකාර වේ.

‘සුචිකම්මස්ස’ යනුවෙන් දක්වා ඇත්තේ සිත, කය, වචනය යන තුන්දොරින්ම පිරිසුදු ක්‍රියාවල නිරතවීමයි. ඒ අනුව සිතෙන් තමන්ටත් අනුන්ටත් යහපත් දේ සිතීම, කයින් තමන්ටත්, අනුන්ටත් ප්‍රයෝජනවත් දේ ක්‍රියාත්මක කිරීම වචනයෙන් ප්‍රයෝජනවත් දේ කථා කිරීම මෙහිදී අවධාරණය කොට ඇත. බුද්ධශ්‍රාවකයන් තුළ මේ ත්‍රිවිධ ද්වාරයෙන් යහපත් සේ කිරීම මැනවින් විද්‍යාමාන වූ බව ථෙරි ගාථා අපදානයේ එන පහත ගාථාවෙන් පැහැදිලි වේ.

කාය කම්මං සුචී නෙසං
වාචාකම්මං තථා විධං
මනසාසම්ප යෙනවා
තෙන මෙ සමණා පියා”

බුදුරදුන් වැඩිහිටි සමයේ රහතන් වහන්සේලා තිදොරින් යහපතෙහි නිරත වූ හෙයින් කාගේත් පැසසුමට ලක් වූ අයුරු මින් කියැවේ.

නිසම්මකාරිනො යන්නෙන් අවධාරණය කරනු ලබන්නේ විමසා බලා කටයුතු කිරීමයි. ඒ අනුව යමක් කිරීමේ දී එහි ඇති අර්ථවත්බව මැනවින් අවබෝධකරගෙන අනුගමනය කිරීම තුළින් බුද්ධිමත් චරිතයක් ගොඩනැඟෙන අයුරු දිස්වෙයි.

“ධම්මජිවිනො” යන්නෙන් ධාර්මිකව ජීවත්වීම දක්වා ඇත. බුදු දහම අනුමත කරනු ලබන්නේ දහඩිය මුගුරු වගුරුවා නැණ නුවණ මෙහෙයවා අතපය වෙහෙසවා සිදුකරනු ලබන කාර්මික ජීවනෝපායයන් පමණි.මෙහි ගාථාවේ සඳහන් අවසාන කාරනය වන්නේ ‘අප්‍රමාදී බවයි’. ඒ අනුව සෑම දෙයකම අප්‍රමාදීව කටයුතු කිරීම කේන්ද්‍රීය සංකල්පය වශයෙන් ගෙන මෙම වටිනා ගාථාව ‘අප්පමාද වග්ගයට’ ඇතුළත් කොට ඇත. ‘බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනයෙන් පවා අප්‍රමාදව කටයුතු කිරීම අගය කර ඇති බව ‘අප්පමාදෙන සම්පාදේ ථ’ යන්නෙත් පැහැදිලි වේ.

ඒ අනුව සාර්ථක කීර්තිමත් ඵලදායී ජීවිතයක් ගොඩනඟා ගැනීමට මෙම ගාථාවෙන් වන දහම් කරුණු අනුගමනය කළ හැකි යි. ඔබ සැම දෙනාටම ධර්මාවබෝධය ලැබේවා.

තෙරුවන් සරණයි.

 

වප් පුර පසළොස්වක පෝය

වප් පුර පසළොස්වක පෝය ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදා පූර්ව භාග 11.21 ට ලබයි.
04 වන දා ඉරිදා අපර භාග 11.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ඔක්තෝබර් 3 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 11

New Moonඅමාවක

ඔක්තෝබර් 17

First Quarterපුර අටවක

ඔක්තෝබර් 25

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]