විශ්‍රාම ලත් පාඨශාලාචාරිනී,
එම්.එම්.සී.රත්නාවලී මැණිකේ එසවීම, ගෙන යෑම, තැබීම, යනාදි වශයෙන් වූ සම්මුතිය විනිවිද ගොස්, එසවීමේ
සිත, එසවෙන රූප ධර්‍ම ගෙනයාමේ සිත, ගෙන යන රූප ධර්‍ම එසේම තබන සිත,
වශයෙන් වැටහීමක් ඇති වේ. එසවීමේ සිත ද, එසවෙන රූප ද, ඇති වී, නැති වන
බවත්, ඊළඟ අවස්ථාවට ඒවා නොපැමිණ, ඇති වූ තැනම ඒවා නිරුද්ධ වීමත්
පැහැදිලි වෙයි. මේ තත්ත්වයේ දී, පළපුරුදු ගුරු ඇසුරක් ලැබේ නම් සුදුසු
ය. එයට හේතුව වන්නේ පොත පතින් ලැබෙන සාමාන්‍ය දැනීමෙන්, ගැඹුරු පරමාර්ථ
ධර්‍ම ස්වභාව ගැන නොමඟ යෑම් සිදුවීමට ඉඩ තිබීම ය.
සියලු භාවනානුයෝගීහු අතිරේක භාවනාවක් වශයෙන්, සක්මන් භාවනාව පුරුදු
කරති. පැරැණි විහාරාරාම අසල සක්මන් මළුවක් පිහිටා තිබීම අනිවාර්ය
අංගයක් වීය. බුදු රජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වූ ආනන්ද හාමුදුරුවෝ
ප්‍රථම ධර්‍ම සංගායනාවට පළමු රාත්‍රිය තුලදී සක්මන් භාවනාව වැඩූ බව
කියැවේ. අර්හත් භාවය ලැබීමට ආසන්න අවස්ථාවේදී ද උන්වහන්සේ සක්මනේ නිරත
වූ බවද, ඉන්පසුව සතර ඉරියව්වෙන්ම තොරව, සයනයට ඇලවන විටම රහත් බව ලැබූ
බවද සඳහන් වේ.
මෙය ඕනෑම අයෙකුට පහසුවෙන් ප්‍රගුණ කල හැකිය. හිඳීමේ ඉරියව්වෙන් බොහෝ
වේලාවක් භාවනා කරන විට ථින - මිද්ධ නීවරණ ඇති වී, නිදිමත අලස බව ඇතිවන
අවස්ථාවලදී මෙම භාවනාවේ යෙදීම උචිත වේ. එසේම භාවනානුයෝගී අයෙකුගේ රුධිර
ධාවනය ක්‍රමවත් වීම උදෙසා සරල ව්‍යායාමයක් වශයෙන්ද මෙහි යෙදීම
ප්‍රයෝජනවත්ය.
සක්මන් භාවනාවේදී චිත්ත සමාධිය ක්‍රමයෙන් ඇති වී දීර්ඝ වේලාවක්
පැවතීමද, සති චෛතසිකය වර්ධනය වී විපස්සනා වශයෙන් නාම-රූප අවබෝධයටද
පහසුවක් වීම මෙහි විශේෂ ලක්‍ෂණයන්ය. සරල කාය සංඛාරයක් වන සක්මන තුලින්
ශරීරයේ රූපමය ස්වභාවය පහසුවෙන් වැටහේ.
ආධුනික යෝගාවචරයාට දුෂ්කර වනුයේ මෙම නාම-රූප අවබෝධයයි. මෙය දෘෂ්ටි
විශුද්ධිය නම් වේ. සිත සහ කය තුළ ඇති ඒකීයභාවය විභේදනය කර නාම ධර්මයන්,
රූප ධර්‍මයන්ගෙන් වෙන් කර හඳුනාගැනීම මෙයින් අදහස් වේ. නමුත් විපස්සනාව
දියුණු කර ගැනීමට නම් මේ අවබෝධය ලැබිය යුතුමය. ත්‍රිලක්‍ෂණය හෙවත්
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, යන සත්‍යය අවබෝධ කර ගැනීමට නම් පරමාර්ථ සත්‍යය
දැකිය යුතුය. ත්‍රිලක්‍ෂණය ඇත්තේ ප්‍රඥප්තිය හෙවත් සම්මුති සත්‍යය තුල
නොව පරමාර්ථ සත්‍යය තුලය.
සම්මුතිය හෙවත් ප්‍රඥප්තිය අපි සහ අප වටා ඇති සියල්ල හඳුනා ගැනීම උදෙසා
අප විසින් නිර්මාණය කර ගත් සංකල්ප මාත්‍රයෝය. ඇවිදීම හෝ සක්මන් කිරීම
යන්නද, එම ක්‍රියා පද්ධතිය හඳුනා ගැනීම උදෙසා අප විසින් පනවා ගත්
සම්මුතියකි. ඒ තුල ඇති කුඩා කුඩා ක්‍රියා සමූහයන් වෙන් කර හඳුනා ගැනීම
උදෙසා ඒවාටද යම් යම් සම්මුති හැඳින්වීම් භාවිතා කෙරේ. සක්මන් කිරීම
තරමක ඕලාරික ස්වභාවයේ ක්‍රියා පද්ධතියකි. මේ තුල සත්‍ය වශයෙන්
ක්‍රියාත්මක වන්නේ පරමාර්ථ ධර්‍ම ස්වභාවයයි. පාදවල ඇති රූප කලාපයන් සිත
සහ චේතනාව ප්‍රමුඛ නාම ධර්‍මයන්ට අනුරූපව පෙර පසු නොවී වේගයෙන්
ඇතිවෙමින් බිඳෙමින්,, ඉදිරියට තල්ලු වෙමින් මෙහිදී ක්‍රියාත්මක වේ.
සාමාන්‍ය ඇවිදීමකදී තෘෂ්ණා මූලික සිතක්ම ඇති වේ. ඇස, කණ, නාසය, දිව,,
ශරීරය, යන පංචේද්‍රියන්ට ගොදුරු සොයා දීමටද, බිය නිසාද,, සිදු වන
නොනවතින උත්සායක් ඒ තුල විද්‍යාමාන වේ.
බොහෝ විට මනුෂ්‍යයෝ තමන් ඇවිදින විට ඒ බව නොසලකති. ගමන් කරන්නා වට පිට
බලමින්, කථා කරමින්, කල්පනා කරමින් ගමන් කරයි. එවිට සාමාන්‍ය
මනුෂ්‍යයකු තුල ඇත්තේ,, “මම යමි”, “මම ඇවිදිමි”, යනාදී ආත්ම සංකල්පයෝය.
‘මම’ නම් වූ ආත්ම දෘෂ්ඨියෙන් ඔහුගේ ක්‍රියාකාරිත්වය ආවරණය වී ඇත. එසේම,
සන්තති, සමූහ, කෘත්‍යය යනාදීයෙන් එහි පරමාර්ථ ධර්‍ම ස්වභාවය මුළුමනින්ම
වැසී පවතී. ඔහු ගමන් කරන්නේ යම් කිසි තෘෂ්ණාවක් මුල් කර ගෙනමය. ඔහුගේ
ගමනේ ඉලක්කය ඇත්තේ තමාට ඉදිරියෙන් ඈතීන්ය. ඒ උදෙසා ඇදී යාම මිස, ඇවිදීම
නම් වූ ක්‍රියාව ඔහුට වැදගත් නැත.
නමුත් යෝගාවචරයෙකුට එවැනි තෘෂ්ණා මූලික ඉලක්කයක් නොමැත. ඔහුගේ ඉලක්කය
ඇත්තේ තමා තුළමය. ඔහු තම ජීවිත ස්වභාවය විශ්ලේෂණය කරන්නෙකි. ඒ උදෙසා
ඔහු උපයෝගි කර ගන්නේ, එම ක්‍රියාකාරිත්වය තුලින්ම දියුණු කර ගන්නා සිහිය
හෙවත් සති චෛතසිකයයි. ඒ අනුව මේ සක්මන් භාවනාවද, කායානුපස්සනාවකි.
යෝගාවචරයා පහත දැක්වෙන ප්‍රශ්න තුන ඔහුගේ සක්මන මගින් මතුකර ගනී. එනම්:
1. කො ගච්ඡති? – කවරෙක් යයිද?
2. කස්ස ගමනං?- ගමන කාගේද?
3. කිං කාරණා ගච්ඡති? – යෑම සිදුවන්නේ ඇයි?
මේ උදෙසා ඔහු ගමන ඉතා සෙමින් සිදු කරයි.
වේගයෙන් කැරකෙන විදුලි පංකාවක් දෙස බලන්නෙකුට පෙනෙන්නේ කැරකෙන
චක්‍රයකි. නමුත් එහි වේගය අවම කල විට, එහි චලනය වන්නාවූ කොටස් දිස්වේ.
ගමන් කිරීමේදී හෝ සක්මනේදී, එක පයක් පොළොවේ ස්ථිරව පිහිටුවාගෙන,, අනෙක්
පාදය ලිහිල් කර ඔසවා ඉදිරියට යැවීම මාරුවෙන් මාරුවට සිදුවේ.
යෝගාවචරයෙක් පහත දැක්වෙන අනු කොටස් ගැන තම සිහිය යොදයි. එනම්:-
1. උද්ධරණ – පය එසවීම
2. අතිහරණ – පය ඉදිරියට යැවීමේ ප්‍රයත්නය
3. වීතිහරණ – එම පය ඉදිරියට හැකි තරම් විස්ථාපනය
4. වොස්සජ්ජන - ගෙන ගිය පාදය පහත් කිරීම,
5. සන්නික්ඛෙපන – පහත් කළ පය පොළොවෙහි තැබීම,
6. සන්නිරූමහන – පාදය පොළොවෙහි තද කිරීම,
පාදය පොළොවෙහි තැබීමට පෙර පයෙන් පොළොව ස්පර්ශ කර බැලීමේ සියුම්
අවස්ථාවක්ද මෙයට අමතරව ඇත. තියුණු යමක්, ගලක්, වැනි දෙයක් යාම්තමින් හෝ
පාදයේ ස්පර්ශ වුවොත් ක්‍ෂණයකින් පාදය ඉවතට ගැනේ. සිතේ සහ කාය ප්‍රසාද
රූපයේ වේගවත් බව මෙයින්ම සිතා ගැනීමට පුළුවන් වේ. මෙහිදීද ඇති වන්නේ
කාය විඤ්ඤාණ සිතකි. චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණාදී සිත් වනාහි කෙනකුට
දැකීමක්, ඇසීමක් වශයෙන් පහසුවෙන් වැටහේ. කාය විඤ්ඤාණ සිත් වැටහීම ඉබේ
මෙන් සිදුවේ. මෙසේ වන්නේ සිහිය යෙදීම දුර්වල නිසාය. සක්මන් භාවනාවේදී
ඉහත විස්තර කළ චලන කොටස් සියල්ලම දැන ගන්නේ කාය විඤ්ඤාණ සිත් වලිනි.
මෙම සිතේ අරමුණ කුමක්දැයි සිතා බලමු. එම සිතට අරමුණු වන්නේ, පඨවි,
තෙජො, වායො යන මහා භූ®ත රූප තුනයි.
සක්මන් භාවනාවේදී සිත පිහිටුවා ගත යුත්තේ යටි පතුල්වලය. ඇසින් පාද දෙස
නොබැලිය යුතුය. ඇසට පාදයේ වර්ණ රූපය සහ සන්ඨාණ හෙවත් සටහන පෙනීමෙන්
අපේක්‍ෂිත අවබෝධයට බාධා සිදුවේ. මෙහිදී කාය විඤ්ඤාණයම ප්‍රධාන කොට
විමසිය යුතුය. එමනිසා දෙනෙත යොමු කළ යුත්තේ තම පාද නොපෙනෙන සේ,, තරමක්
ඉදිරියේ ඇති ස්ථානයකටය. බෙල්ල නොනැමිය යුතුය. තරමක සෘජු සුනම්‍ය,
ආකාරයක් කයේ පවත්වා ගත යුතුය. දෙඅත් ඉදිරියෙන් තබා ගැනීම උචිතය.
භාවනාවට පෙර තමාගේ ශීලය මෙනෙහි කර, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිවන
ආකාරයේ සරල පුර්ව කෘත්‍ය ක්‍රමයක් සෑහේ. ආරම්භක අවස්ථවේ දී බලාපොරොත්තු
විය යුත්තේ, හුරුපුරුදු වීමත්, චිත්ත ඒකාග්‍රතාව සහ සිහියේ ක්‍රමවත්
වර්ධනයත්ය. ආරම්භයේ දී සරලව පටන් ගෙන, ටිකෙන් ටික වැඩි දියුණු කර ගත
යුතු ය. දකුණු පය, වම් පය ආදී වශයෙන් සිතා ගෙන, මාරුවෙන් මාරුවට චලනය
වන පාදයේ, යටි පතුලටම සිත යොමු කළ යුතු ය.
මෙසේ නොවරදවා පයේ හැසිරීම් රටාව කෙරෙහි සිත පහසුවෙන් යොමු වී තිබේ නම්
ඊළඟ අවස්ථාව පුහුණු වීම සුදුසුය. මෙම අවස්ථාවන් යොදා ගැනීම භාවනා ගුරු
කුලයන් අනුව තරමක විවිධත්වයක් උසුලයි. බොහෝ භාවනා ගුරුවරුන් උපදෙස් දෙනු
ලබන්නේ, පය පොළොවෙහි තැබීම පුහුණු වන ලෙසටය.
මෙම අවස්ථාව තුළද සිහිය සහ ඒකාග්‍රතාව හොඳින් පිහිටයි නම්, පය එසවීම,
ගෙනයාම, තැබීම යන ත්‍රිවිධාකාරයෙන් පුහුණු වීම සුදුසුය. සෙමින් සිදුවන
පාදයේ චලනයන් ගැන සිතෙහි අවධානය තිබිය යුතුය. ඇසට පෙනෙන කිසිවක් ගැන
වැඩිදුර නොගොස් ආපසු තම අරමුණටම වහා සිත ගෙන ආ යුතුය. දින කිහිපයක් යන
විට එම රූප ගැන විඤ්ඤාණ පහළ වීම කෙමෙන් දුර්වල වේ. ශබ්ද යනාදියෙන් දැඩි
බාධාවක් සිදු වේ නම්, ඇසීමක් වශයෙන් මෙනෙහි කරමින් නැවතී සිටිය යුතුය.
මෙසේ වරකට විනාඩි 30 ක් හෝ විනාඩි 45 ක් කාලය යෙදීම සුදුසුය. (වලළුකර
ආබාධ වැනි දේ ඇති අයට දීර්ඝ භාවනාව අහිතකර විය හැකිය.)
මෙහිදී සිහිය පිහිටුවීම කෙසේ විය යුතුද? විවිධ කල්පනා සහ අතීත මතකයන්
මතුවීම ස්වභාවිකය. එම කල්පනා සහ මතකයන් සිතෙන් මතුවන විටම තම සිතට ඒ බව
දැනේ නම් එය සිහියේ වර්ධනයකි. ඒ ක්‍ෂණයකින් තම භාවනා කර්‍මස්ථානයට
පැමිණිය යුතුය. මේවාට විතර්ක යයි කියනු ලැබේ. මතුවන විතර්කයන් පසු පස
සිත ගමන් කර ටික වේලාවකට පසුව ඒ බව දැනීමෙන් වැටහෙන්නේ තමාගේ සිහිය
කොහෙත්ම නොතිබූ බවයි. විතර්ක මතුවන මුල් අවස්ථාවේදීම එය හඳුණා ගැනීමටත්
සක්මන් අවස්ථාවට ආපසු සිත ගෙන ඒමටත් අසීරුවෙන් වුවද පුහුණු විය යුතුයි.
මෙම තත්ත්වයන් අනෙකුත් සමථ භාවනා ක්‍රමයන්ට සමගාමී වේ. විතර්කයන් උදෙසා
මූලික වශයෙන් කළ යුත්තේ,, තමා ජීවත් වන්නේ මේ දැන්, වර්තමාන මොහොතේ බව
හොඳින් තේරුම් ගැනීමයි. “ මේ මොහොතේ සිදු වන්නේ තමාගේ පාද චලනය පමණකි”
, යන අර්ථය වටහා ගත යුතුය.
මේ පාදවල චලනය යනු , කාලයට අනුරූපව සිදු වන්නකි. පාදයේ ඉතා කුඩා චලනයක්
යනු මේ මොහොතයි. තම සිත ඇත්තේ එතැනයි. එම ක්‍ෂුද්‍ර චලනය තුළ සිහිය
සහිත වූ සිතේ ඒකාග්‍රතාව ඇත්නම්, එතැනදී අදාළ යෝගාවචරයාට තම විදර්ශනා
ඤාණය එහි හැසිරවිය හැකිය. “සිත විසින් තම පාද දෙක ක්‍රියාත්මක කරනවා”,
යන පොදු සම්මුතිය බැහැර කළ යුතුය. එසේ නොවන බවට දැන් අදාළ පුද්ගලයාට
යම් වැටහීමක් ඇතිවී තිබේ. විපස්සනා භාවනානුයෝගියාගේ අපේක්‍ෂාව වනුයේ
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම, ලක්‍ෂණයන් තේරුම් ගැනීමය. මෙම ත්‍රිලක්‍ෂණය
ඇත්තේ, චිත්ත, චෛතසික, රූප, යනාදිවූ පරමාර්ථ ධර්‍මයන්හිය. සක්මන්
භාවනාවේදී පාදයට දැනෙන තද ගතිය පඨවි ලක්‍ෂණ යයි.
පාදය ඔසවන විට සහ ඉදිරියට ගෙන යන විට දැනෙන සැහැල්ලු ස්වභාවය ‘වායෝ’
ධාතු ලක්‍ෂණයයි. ‘තෙජෝ’ ධාතුවද සැහැල්ලු ස්වභාවය තුළම පවතී. පරමාර්ථ
ධර්‍මයන් නම් වශයෙන් සහ ඒවායේ විස්තර වශයෙන් ලබා ගෙන ඇති විෂය දැනීම
පමණක් සත්‍යාවබෝධයට නොසෑහේ. තමා විසින් තම ශරීරය තුළින්ම අවබෝධ කර ගත
යුතුය. ඒවායේ සමුදය – වය හෙවත් ඇතිවීම, බිඳීම ප්‍රත්‍යක්‍ෂ විය යුතුය.
මේ ප්‍රත්‍යක්‍ෂ ඥාණය ලැබීමට නම් ප්‍රායෝගිකව, භාවනාවේ යෙදිය යුතුය.
සක්මන් භාවනාවේ යෙදීමට, එයට යම් ඉඩ ප්‍රමාණයක්ද, නිසල පරිසරයක්ද
අවශ්‍යය. ඉතාම සුදුසු වනුයේ වැලි ඇතිරූ සක්මන් මළුවකි. විහාර මළුව,
ශාලාවක්, තරමක දිගක් ඇති ගෙබිමක්ද සුදුසුය. සමූහයක් සිටී නම්, අවහිර
නොවන සේ,ක්‍රමයක් සැලසුම් කරගෙන, නිශ්චිත කාලයක්ද නිගමනය කර ගත යුතුය.
මේ නිශ්චිත කාලය තුළ ස්වයං විනයක් තිබිය යුතුය. අනෙක් අය ඇසට ලක් වුවත්
එය නොසලකා හැරිය යුතුය. තමා වෙතටමත්, තම සක්මනටත්, සිතටත්, පූර්ණ
අවධානය යොමුකරගෙන, උනන්දු සිතකින්, “පියවරෙන් පියවරට” යන ක්‍රමවේදය
අනුගමනය කළ යුතුය.
මේ අවස්ථාව වන විට පාදයේ දැනීම් ස්වභාවයන්හි යම් ආකාර වූ වෙනසක් සිතට
දැනේ. එසවීම, ගෙන යෑම, තැබීම, යනාදි වශයෙන් වූ සම්මුතිය විනිවිද ගොස්,
එසවීමේ සිත, එසවෙන රූප ධර්‍ම ගෙනයාමේ සිත, ගෙන යන රූප ධර්‍ම එසේම තබන
සිත, වශයෙන් වැටහීමක් ඇති වේ. එසවීමේ සිත ද, එසවෙන රූප ද, ඇති වී, නැති
වන බවත්, ඊළඟ අවස්ථාවට ඒවා නොපැමිණ, ඇති වූ තැනම ඒවා නිරුද්ධ වීමත්
පැහැදිලි වෙයි. මේ තත්ත්වයේ දී, පළපුරුදු ගුරු ඇසුරක් ලැබේ නම් සුදුසු
ය. එයට හේතුව වන්නේ පොත පතින් ලැබෙන සාමාන්‍ය දැනීමෙන්, ගැඹුරු පරමාර්ථ
ධර්‍ම ස්වභාව ගැන නොමඟ යෑම් සිදුවීමට ඉඩ තිබීම ය. එසේම පුද්ගලයාගෙන්
පුද්ගලයාට, අවබෝධ ලැබීමට නම් සෑහෙන කාලයක් පසු කළ යුතුය.
මෙය රඳා පවත්නේ දිනකට භාවනාව උදෙසා යොදාගනු ලබන කාල සීමාවන්ට අනුරූපවය.
ඉඳහිට අතරින් පතර කෙරෙන භාවනා වලින් සමථ හෝ විපස්සනා වශයෙන් සැලකිය
යුතු ප්‍රගතියක් ලැබීමට දිගු කාලයක් ගතවේ. කෙසේ හෝ භාවනාවේ නිමග්න වීම
මහඟු පුණ්‍ය කර්‍මයක්ම වේ. භාවනා කරන විට ඇතිවන්නේ කුසල් සිත්
පරම්පරාවක් නිසාත්, ලෞකික වශයෙන් මාර්ගාංගයන්හි යෙදීමක්ද සිදුවන බැවින්
නොපසුබට විය යුතුය.
භාවනා ගුරු ඇසුරක් ලබන්නාට වුවද, මූලික විෂය දැනීමක් ධර්‍ම කාරණා ගැන
තිබිය යුතුය. විශේෂයෙන්ම නාම-රූප ධර්‍මයන් ගැනය. පාදය පොළොවේ ගැටෙන විට
පෘථිවි ගුණයට සාපේක්‍ෂ වූ පඨවි ස්වභාවයක් පාදයේද ඇතිවේ. මේ ස්වභාවය සිත
හඳුනා ගනී. පාදය සහ පොළොව එකිනෙක ස්පර්ශ වන විට, පාදයේ කාය ප්‍රසාද
රූපයද, අදාළ බාහිර රූපයද, කාය විඤ්ඤාණ සිතද, යන ත්‍රිවිධ ධර්‍මයෙන්
එක්වන්ව පෙර පසු නොවී ක්‍රියාත්මක වේ. පෙරදී එසවීම, ගෙනයාම, තැබීම,
යනාදි වූ (එයට වඩා නම් කර ගන්නාවූ අවස්ථාවන් වුවද) සම්මුති නාමයන්
අභිභවා, චිත්ත පරමාර්ථය සමඟ ඇතිවන්නාවූ ඵස්ස, වේදනා, සංඤ්ඤා, චේතනා,
මනසිකාර, නම්වූ නාම ධර්‍ම පඨවි, ආපො, තෙජො, වායො සහ උපාදාය රූප
ධර්‍මයන්ට සම්මුඛ වෙන බව අවබෝධ කර ගැනීමට මේ සක්මන් භාවනාව තුළින්ද
අවස්ථාවක් සැලසේ. එසේම තමාගේ ප්‍රධාන භාවනා කර්‍මස්ථානය අනුව උත්සාහ
කරන්නාවූ භාවනානුයෝගියාට තම අපේක්‍ෂිත අරමුණු කරා ළඟා වීමටද සහයෝගයක්
මෙයින් ලැබෙන නිසා සක්මන් භාවනාවේ ඇති වැදගත්කම අති විශාලය.
|