UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

බිනර පසළොස්වක පොහෝ දා 2009-09-04

පෝරකයට නැඟීම

සංවිධානාත්මක අපරාධ යනුවෙන් හඳුන්වනු ලබන පාතාල ක්‍රියාකාරකම් හා ම්ලේච්ඡ මිනිස් ඝාතන මැඬලීමට මඟක් ලෙස එල්ලුම් ගස යළි ක්‍රියාත්මක කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි පසුගිය 24 වන දා “දිනමිණ” වාර්තා කැර තිබිණ. දැනටමත් මරණ දඬුවම නියම වූ පුද්ගලයන් හත්සියයකට අධික පිරිසක් සිරගෙවල් තුළ සිටින බව ද එහි සඳහන් ය. එල්ලුම් ගස යළි ක්‍රියාත්මක කිරීම අප සමාජය ලැබූ ජයග්‍රහණයක් ලෙස සලකන පිරිසක් ද සිටිති. මෙය අප සමාජය ලැබූ ජයග්‍රහණයක් ද යන්න සලකා බැලීමට පෙර එල්ලුම් ගස පිළිබඳ ඉතිහාසය දෙසට අවධානය යොමු කිරීම මැනවැයි සිතමු. ඒ සඳහා සිංහල විශ්ව කෝෂයේ එල්ලුම් ගහ (පෝරකය) ගැන සඳහන් ඡේදයක් මෙහි පහත උපුටා දක්වා තිබේ.

“එල්ලා මැරීමේ දඬුවම පැමිණවීම සඳහා වෙන්වුණු එල්ලුම් ගසක් යුරෝපීය ආගමනයට ප්‍රථම මෙ රට පැවැති බවට සාක්ෂ්‍ය අවිද්‍යමානය. පෝරකය හා අලුගෝසුවා යන වචන පවා පෘතුගීසි තත්සම ශබ්දයෝ යි. වරදට දඬුවම් වශයෙන් පමණක් නො ව එ බඳු වරදවලට පෙළඹිය හැකි අන්‍යයන් තුළ දඬුවම් පිළිබඳ බියක් ඇතිකොට ඔවුන් වළක්වා ගැනීම පුරාතනයේ දී රාජදණ්ඩනයෙන් මූලික වශයෙන් අපේක්‍ෂිත වූයේ ය. සෑම දඬුවමක් ම ප්‍රසිද්ධියේ කරන ලද්දේ එ හෙයිනි.අපරදිග රටවල ද මුල දී දඬුවම් පැමිණවීම කැර ඇත්තේ ප්‍රසිද්ධියේ ය. එංගලන්තයේ එල්ලා මැරීම 1868 වන තුරු ප්‍රසිද්ධියේ කරන ලදී. මෙය ඉතා පහත් මරණ ක්‍රමයක් සේ සලකන ලදින් එය වඩා මානුෂික ව හා ශිෂ්ට ලෙස කළ යුතු යැයි කල්පනා කරන ලදී. ඒ අනුව දඬුවම් ලබන්නා ගේ වේදනාව හැකි තරම් අඩු වන පරිදි ද ඔහුගේ ආත්ම ගෞරවය ආරක්‍ෂා වන පරිදි ද එල්ලා මැරීම ඉතා අප්‍රසිද්ධියේ කිරීමට පටන් ගන්නා ලදී. “ඉංගී‍්‍රසින් මෙ රට පැමිණ දඬුවම් ක්‍රම අහෝසි කිරීමෙන් පසු එල්ලා මැරීම මෙ රට පිළිගත් මරණ දණ්ඩන ක්‍රමයක් විය. ඊට කලින් ලන්දේසින් ද එල්ලා මැරීම කළ බවට සාධක බාල්දියස් ගේ විස්තර වලින් පෙනේ.”

මේ ආකාරයට අප රටේ ක්‍රියාත්මක වූ මරණීය දණ්ඩනය 1958 දී අත්හිටුවා තිබිණ. අප රටේ නීතිපොතට එල්ලුම් ගහ හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය 1965 දී මරණීය දණ්ඩනය අහෝසි කළ බව ද කිව යුතු ය. අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කිරීම නිසා ඇති වූ සමාජ කම්පනය හමුවේ 1959 දී පෝරකයට යළි පණ දුන් නමුදු පසුගිය දශක තුනක කාලය පුරා එය ක්‍රියාත්මක වී නොමැත.

ම්ලේච්ඡ ඝාතකයන් හා පාතාල ක්‍රියාකාරිකයන් සැඟ වූ ආයුධ පෙන්වීමට ගොස් පොලීසියට ප්‍රහාර එල්ලකොට පොලීසියෙන් වෙඩි කා මිය යෑමේ අපරාධ මර්දන සූත්‍රයට වඩා එල්ලුම් ගහ ශිෂ්ටසම්පන්න ය. එහෙත් එම අපරාධ මර්දන සූත්‍රය ක්‍රියාත්මක වූයේ ද සමාජයීය ඉල්ලුමක් සපුරාලීමට බව කිව යුතු ව තිබේ. එ නම්, සෑම කුරිරු අපරාධයක ම පාහේ සැකකරුවන් ගේ නිවාස ගිනි තැබීම හෝ ඔවුන් ඝාතනය කිරීම වැනි “ මහජන දඬුවම් “ මගින් ප්‍රකාශ කැරෙන සමාජ විඥානයට අනුකූ®ලත්වය දැක්වීමයි.

දරුණු අපරාධකරුවන්ට අධිකරණමය ක්‍රියා මාර්ග ඔස්සේ දඬුවම් ලබාදීම වෙනුවට ජිවිතය නිහඬ කොට සමාජය තෘප්තිමත් කිරීමේ කලාව අඟුලාන සිද්ධිය නිසා අර්බුදයකට ගොදුරු විය. කාන්තාවකට විහිළු කළ බවට ලද පැමිණිල්ලක් අනුව අඟුලාන පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක උදයකාන්ත හා දිනේෂ් තරංග යන තරුණයන් දෙදෙනා පාතාල සාමාජිකයන් ලෙස හැඳින්වීම හා වෙඩිතබා ඝාතනය කිරීම නිසා කුපිත වූ ප්‍රදේශවාසීහු පසුගිය 13 වන දා අඟුලාන පොලිස් ස්ථානයට ගල් මුල් ගසා විරෝධය පළ කළ හ. මේ නිසා පාතාලය මර්දනය කිරීමේ දී පොලීසියට ලැබුණු ජනතා ආශිර්වාදය අහිමි වූ බව පෙනේ.

කෙ සේ වුව ද මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම අප සමාජය ලැබූ ජයග්‍රහණයක් යැයි කිව නො හැකි ය. බොහෝ රටවල් විසින් බැහැර කැර ඇති මේ අශිෂ්ට පිළිවෙත ශ්‍රී ලංකාව වැනි බෞද්ධ රටක ක්‍රියාත්මක වීම විශාල අගෞරවයකි. ඊට අමතරව ඒ සඳහා අනුගමනය කැරෙන ක්‍රමවේදයෙහි දුබලතා රාශියක් දක්නට ලැබේ. ඒවා මෙ සේ පෙළ ගැස්වීමට පුළුවන.

1. වැරැදිකරු හෝ නිවැරැදිකරු පිළිබඳ තීරණය හුදෙක් තර්ක මත රඳා පැවැතීම.

2. දක්‍ෂ නීතිඥයන් ගේ සහාය ලබා ගැනීම ආදී ක්‍රම මඟින් සමාජයේ වරප්‍රසාද ලත් සුළු කොටසකට වාසිසහගත තත්ත්වයක් නිර්මාණය වී තිබීම.

3.පොලීසියේ ආකර්යක්‍ෂමතාව හෝ පක්‍ෂග්‍රාහී බව නිසා සැබෑ අපරාධකරු වෙනුවට අහිංසකයකු දඬුවම් ලැබිය හැකි වීම.

4. අපරාධකරුවකු ගේ ජීවිතය පැහැර ගත් පමණින් අපරාධ සිදුවීමට බලපාන සමාජ සාධක අහෝසි නො වීම.

5. තම නිර්දෝශී භාවය ඔප්පු කිරීමට අසමත් වීම නිසා දඬුවම් විඳි අහිංසක පුද්ගලයන් පිළිබඳ ව බොහෝ තොරතුරු අනාවරණය වී තිබීම.

6. මරණීය දණ්ඩනයට නියම වූ ඇතැම් අයට සමාවදීම සඳහා නෛතික ක්‍රමවේදයක් තිබීම.

7.දරුණු අපරාධකරුවන් යහපත් පුද්ගලයන් බවට පත් වූ අවස්ථා බොහෝ තිබීම.

මේ අනුව බලන කල මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීම ගැන අපට සතුටු විය නො හැකි ය. අපරාධ අවම කැර ගැනීම සඳහා මරණීය දණ්ඩනය අත්‍යවශ්‍ය සාධකයක් යැයි බොහෝ විට නැඟෙන තර්කයකි. එ සේ නම් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නො වන රටවල මනුෂ්‍ය ඝාතන අධික විය යුතු ය. එහෙත් සැබෑ තත්ත්වය ඊට වඩා වෙනස් බව අපි දනිමු.

මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කොට අපරාධ අවම කිරීමට උත්සාහ දැරීම සමස්ත සමාජයේ ම නො හැකියාව පිළිගැනීම මිස අන් කිසිවක් නො වේ.

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 03 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 07.54 ට ලබයි.4 වන දා සිකුරාදා අපර භාග 09.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 12 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]