Mahabodhi Centenary
Commemorative Volume - SAMBHASHA The Message of the Buddha නම් වූ
සඟරාවේ පළ කරන ලද
ආචාර්ය එස්. රාධාක්‍රිෂ්ණන්ගේ
ලිපියේ පරිවර්තනයකි
පරිවර්තනය - නාරාවිල පැට්රික්
මහාබෝධි සමාගමේ දියමන්ති ජුබිලිය විෂයයෙහි සැලසුම් කරන ලද අන්තර් ජාතික
බෞද්ධ සංස්කෘතික සම්මන්ත්‍රණයේ මූලාසනය සඳහා ආරාධනය කරනු ලැබීමෙන් මම
මහත් සේ ගෞරවයට පාත්‍රව සිටිමි. එපමණකුත් නොව බුදුන් වහන්සේගේ
අග්‍රශ්‍රාවක සාරිපුත්ත හා මොග්ගල්ලාන හිමිවරුන්ගේ ධාතූ®න් වහන්සේ
තැන්පත් කිරීමටත් ආරාධනා ලැබ සිටිමි. ඒ ධාතූන් වහන්සේ මේ කීර්තිමත්
ඓතිහාසික බෞද්ධ මධ්‍යස්ථානයේ තැන්පත් කරන්නට සූදානම් කරනු ලැබ සිටිති.
මේ වන විටත් ආචාර්ය මුකර්ජි සාංචියේ කීර්තිමත් යුගය ගැන ඔබට කියා ඇත.
එහිදී ඉන්දියාවේ සියලු පෙදෙස් වලින් පමණක් නොව, ආසියාවේ හැම දිසාවකින්ම
දහස් ගණනින් හික්ෂූන් වහන්සේ මෙතැනට එක්රොක් වීම ගැනත් එතුමා සඳහන්
කළේය. මෙහි අශෝක අධිරාජයා විසින් පිහිටුවන ලද ටැම්ලිපි නියෝගයක් ඇත.
එහි මෙතැනට රැස් වූවනට සංඝ භේදයෙන් වළකින්නට, ධර්මය පිළිබඳ මතභේද වලින්
තොර වන්නට, ශාස්තෘන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මයෙහි හැසිරෙන්නට
සහ මුසාබස් දෙඩීමෙන් හා නොමඟ යැවීම් වලින් මිදෙන්නට අවවාද කරනු ලැබේ.
එයින් පෙනෙන්නේ එවක පවා, යමකු ක්‍රමෝපායික ලෙස තමා විසින් ම තමන් නොමඟ
යවා ගැනීමට හේතුවන පරිදි ආධ්‍යාත්මික ගූඨවිද්‍යාව පිළිබඳ කලාව සැකසී
තිබුණා සේ පෙනෙන බව යි. එදා බුදුන් වහන්සේත්, ඒ අනුව ම අශෝක අධිරාජයාත්
ඉහත දැක්වුණු පරිදි ජනතාවට අවවාද කළේ ඒ නිසා යි. ඒ අවවාදයේ හරය වන්නේ
බුදුන් වහන්සේගේ ඉගැන්වීම්හි සාරාර්ථය කෙරෙහි සාවධානගත වීමේ වැදගත්කම
යි. සැබවින් ම කළුගල් වලට කතා කළ හැකි නම්, ඉන්දියාවේ සමෘද්ධිමත් සමයේ
මෙහි සිදුවූ අපමණක් දේ ගැන ඔබට කියනු නියත ය. ඒ අනුව ඇතැම් විට
ඉන්දියානු ඉතිහාසයේ සාරාර්ථ සංග්‍රහය වන්නේ සාංචියේ ඉතිහාසය යි.
දහස් වසරකට ආසන්න සමයක් තුළ භාරත මාතා තොමෝ ඇගේ ඉරණමේ අවනතිය අත්දුටුවා
ය. වර්තමානයේ සාංචිය යළිත් අධිෂ්ඨානයේ සහ පුනර්ජීවනයේ මල්පල දරන යුගයකට
පිය නඟා ඇත. අප දේශපාලන නිදහස සාක්ෂාත් කර ගෙන ඇති බවට සැකයක් නැත. ඒ
නිදහස කැප කළ යුත්තේ හුදෙක් ආර්ථික හා සමාජයීය අරමුණු සඳහා පමණක් නොවේ.
සාංස්කෘතික පුනරුදය ලෙස සැලකිය හැකි යමක් වේ ද, එය ස්ථාපනය සඳහාත් කැප
කළ යුතුය. අපේ ජාතික ධජයේ අශෝක චක්‍රයත් සමඟ බුදුදහමට එහි උරුමය යළිත්
පැවරී ඇති බවට හැම අතින් ම සංඥා කරනු දැනෙයි. එහිලා කිසිත් සැකයක් ජනිත
වන බවක් නොපෙනේ.
ආචාර්ය ශ්‍යාම් ප්‍රසාද් මුකර්ජි, අනගාරික ධර්මපාලතුමා ගැන කතා කළේ ය.
එතුමාගේ ජීවිතයේ අවසන් සමයේ, එතුමා කල්කටාවේ සිටියදී මම එතුමන් හඳුනා
ගැනීමේ සොම්නස අත්දිටිමි. මේ සමාගමත්, එය විසින් ඉටු කරන ලද සේවාවත්,
අනගාරික ධර්මපාලතුමාගේ නොපසුබට උද්යෝගයට, කැපවීමට සහ අධිෂ්ඨානයට මහත්
සේ ණයගැති ය. නියතයෙන් ම අද අප එතුමන් සිහිපත් කළ යුත්තේ කෘතවේදී මතකය
ඔස්සේ ය. අද අප වාසනාවන්තයන් වන්නට හේතුවන තවත් කරුණක් ද සඳහන් කළ යුතු
යැ යි සිතමි. එනම් ඉන්දියානු සංස්කෘතිය මැනවින් හඳුනන ආචාර්ය ශ්‍යාම්
ප්‍රසාද් මුකර්ජි දැනට මේ සමාගමේ සභාපති තනතුර දැරීම සහ ශ්‍රී
දේවප්‍රිය වලිසිංහ ලේකම් තනතුර දැරීමත් ය. ශ්‍රී දේවප්‍රිය වලිසිංහයෝ
උද්යෝගීමත් ද , කාර්යශූර ද වන්නෝ ය.
ඉන්දියාවට එහි ආරම්භයේ සිට ම, ඇගේ ආධ්‍යාත්මික දිවි පෙවෙතේ උදාරතම
පරමාර්ථයන්ගෙන් ලෝක ජනතාවගේ අධ්‍යාත්මය පෝෂණයේලා සුවිශේෂ උරුමයක් තිබී
ඇත. ඉන්දියාවේ හඬ බුදුන් වහන්සේ තුළ පිළිරැව් නංවයි. උන්වහන්සේ තුළ
ආසියාවේ ආධ්‍යාත්මික චෛත්‍යය හමු වෙයි.උන්වහන්සේ ලෝකයේ හෘද සාක්ෂිය
නියෝජනය කරති. උන්වහන්සේගේ බලපෑම ප්‍රාචීන ලෝකයට පමණක් සීමාවී ඇතැ යි
කියතොත් එය ඇත්ත නොවේ. බුදුන් වහන්සේගේ හඬට ප්‍රතිචාර දක්වන දැන උගත්
සහ අගති විරහිත ශිෂ්ට සම්පන්න ජනතාව කොතෙකුත් අපරදිග ලෝකයේත් සිටිති.
ශෝපන්හවර්, බුදුන් වහන්සේගේ රන් පිළිමයක් සිය නිදන කාමරයේ තැන්පත් කර
තබා ගන්නට පුරුදුව සිටි බව ඔබ දනිති යි සිතමි. ඇනටෝල් ෆ්‍රාන්ස් වරක්,
බුදුන් වහන්සේ දුක් විඳින මානව සංහතියට මිහිරිතම සැනසිිලි දායකයා සහ
විශිෂ්ටතම අනුශාසකයා වන බව සඳහන් කර ඇත. ඔහු 1890 මැයි 01 වැනිදා සිය
චරිතාපදානයේ මෙසේ ලියයි: “මම අහඹුවකින් මෙන් සියුම් සංගීත රාවයක්
විනිවිද ගිය සාමකාමී ශාලාවකට මෙහෙයවනු ලැබීමි. ධ්‍යානයකදී බඳු
නිහඬතාවක් හා සෙවණක් බඳු යන්තම් අඳුරක් තුළ ආසියාවේ නොයෙක් දෙවිවරුන්
අතර මම හුදකලා වීමි . මේ වන විට ලෝකයෙන් මිලියන 400 කට වැඩි ජනතාවක්
අසනු ලබන දහම දෙසූ ඒ ඓතිහාසික මුනිවරයාණන්ගේ පිළිරුව ඉදිරිපිට රැදී සිට
මම බෙහෙවින් අදිමදියෙන් සිතන්නට වීමි. එවිට උන්වහන්සේට දෙවියකුට සේ
යදින්නට මා දිරි ගන්වන බවක් දැනිණ. ඒ කුමක් සඳහා ද යත්, ලෝකයේ නොයෙක්
ආණ්ඩු සහ ජාතීන් ජනතාව ජීවත් කරවීම සඳහා මෙතරම් කුළල් කා ගනිමින්
නිරර්ථක ලෙස ක්‍රියා කරන්නේ කුමක් නිසා ද යන්නේ රහස අපට කියා දෙන්නට
ඉල්ලා සිටිනු පිණිස ය. එවිට මට පෙනුණේ කාරුණ්‍යය උතුරා ගිය, සදහට ම නව
යෞවනයෙන් සපිරි, පවිත්‍රත්වයට සංකේතයක්වූ පද්මාසනය මත පා හරස් කොට වැඩ
සිට මෛත්‍රී පෙරදැරිව දකුණත ඔසොවා මෙසේ පිළිතුරු දෙන ඒ මහා මුනිවරයාණෝ
ය. එනමි, ‘ඔබ බියෙන් තැති ගෙන, දුකින් පෙළීමෙන් නිදහස් වන්නට නම්,
කරුණාව හා ප්‍රඥාව වඩන්න” යනු යි.
එදා 1890 දී ඇනටෝල් ෆ‍්‍රාන්ස් ලියන ලද්දේ එසේ ය. වරක් යුනෙස්කෝ
සම්මන්ත්‍රණයකට නිරීක්ෂකයකු ලෙස මෙක්සිකෝවට ගිය කල්හි එහි අධ්‍යාපන
අමාත්‍යාංශයේ ගොඩනැඟිල්ලක හතර කොනේවූ පිළිරූ හතරක් මම දිටිමි. ඉන් එකක්
මෙක්සිකෝවේ ජනනායකයකුගේ ය. දෙවැන්න කතෝලිකාගමේ සාන්තුවරයකුගේ ය.
තුන්වැන්න ප්ලේටෝගේ ය. සිවුවැන්න බුදුන් වහන්සේගේ ය. මානව ශිෂ්ටාචාරයට
විශිෂ්ටතම දායකත්වය සැපයූවන්ගෙන් කෙනෙකු ලෙස සලකා බුදුන් වහන්සේගේ
පිළිරුවක් මෙක්සිකෝවේ ඈත කෙළවරක පිහිටුවා ඇත. ටී.එස්. එලියට්, බර්ටන්ඩ්
රසල් වැනි නූතන මහා දාර්ශනික ලේඛකයන්ගේ කෘති ඔබ කියවන බව මම දනිමි.
තවත් එවැනි ලේඛකයන්ගේ නම් සඳහන් නොකළත්, ඔවුන්ගේ කෘති කෙරෙහි බුදුන්
වහන්සේගේ ඉගැන්වීම් බලපා ඇති බව ඔබට දකින්නට ලැබෙයි. එපරිදි බුදුන්
වහන්සේගේ පණිවිඩය සියලු චින්තනශීලී සිත් සහ කුලුණුබර හදවත් ඇති ඕනෑ ම
තැනකදී ඒවාට ආමන්ත්‍රණය කරනු නියත ය.
ඇතැම් දේශනවලදී අසමානතාව හා එවන් වෙනත් දේත්, ශිෂ්ටාචාරය පිළිබද මූලික
වටිනාකම් හෝ මානව අධ්‍යාත්මයේ විශිෂ්ටත්වය සහ පතිරූප දේශවාසයක
ජීවත්වීමේ වුවමනාවක් විමර්ශනයට ලක් කරනු මා අසා ඇත. තවද හොඳ
අසල්වැසියන් ලෙස හැසිරෙන හැටිත්, සමානාත්මතාවෙන් සහ අපක්ෂපාත
දෘෂ්ටියෙන් අනෙක් අයට සලකන හැටිත්, බුදුන් වහන්සේ අපට උගන්වා තිබේ.
එහිලා කිසියම් අඩුපාඩුවක් ඇතොත් ඒවා හැකි තරම් ඉක්මනින් නිවැරැදි කර
ගන්නට නොහැකි නොවේ. බුදුන් වහන්සේ වරක් මෙසේ වදාරති:
”තුම්හේ හි කිච්චං ආතප්පං - අක්ඛාතාරෝ තථාගතා
පටිපන්නා පමොක්ඛන්තී -
ඣායිනෝ මාරබන්ධනා”
- ධම්මපදය 276
”ඔබ විසින් කෙලෙස් තවන වෙර වැඩිය යුතු ය. බුදුවරු නිවනට මඟ කියා දෙති.
ඒ මඟට බැස දැහැන් වඩන්නෝ මර බැඳුමෙන් මිදෙත්, එනම් නිවන සාක්ෂාත්
කරත්.” ඒ නිසා හුදෙක් අවවාදයට ඇහුම්කන් දීමෙන් පමණක් ගැටලුව නිරාකරණය
වීමෙන් සැනසීම නොලැබේ. අවවාදය අසාගෙන ආපසු ගොස් අවබෝධය කල් තැබීම
ප්‍රමාණවත් නොවේ. අප සැබෑ බෞද්ධයන් වීමට නම් ඊට වැඩි යමක් කළ යුතුය.
එනම් ප්‍රෝත්සාහයෙන් කැපවීම යි. අපේ ප්‍රයත්නයේලා අපි කෙතරම් වගකීමෙන්
බැඳී සිටිමු ද, එපමණට බුදුන් වහන්සේ මඟ පෙන්වූහ. යායුතු මඟ කියා දුන්හ,
අප කළ යුත්තේ කුමක් දැ යි කීහ. එසේ තිබියදී උත්සාය නම් තමා සතු වන්නේ ම
ය. එබැවින් මේ සැඳෑ සමයේ මේ සම්මන්ත්‍රණය නිමාවට යන කල්හි අප දැරිය
යුතු ප්‍රයත්නය විය යුත්තේ තම තමන් විසින් ඒ ප්‍රයත්නයේ වගකීම බාරගැනීම
යි.
|