සතුට ගොඩනගන
සමඟියේ සවිය
බොහෝ විට
මත භේද ඇති වන්නේ අන් අයගෙ අදහස් වලට ඇහුම්කන් නොදීම නිසා. අන් අයගෙ
අදහස්වලට ගරු කරන්න පුරුදු වන්න. අපි කාටවත් තනිවම ජීවත්වන්න බෑ.
අසල්වැසියන් අතර නොයෙක් විවිධත්ව තියෙන්න පුළුවන්. ඒ හැමෝම සමග
මිනිසුන් ලෙස කටයුතු
කරන්න පුළුවන් වන්න ඕනෙ.
බෙලිඅත්ත කහවත්ත
පුරාණ රාජ මහා විහාරස්ථානයේ
විහාරාධිකාරි
නුගේගොඩ සුභද්‍රාරාම
පිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය
ඕමාරේ පුඤ්ඤසිරි හිමි
මං හොඳින් දන්න පවුලක අය්යයි මල්ලියි අතර අමනාපයක් ඇතිවෙලා. අය්ය වස
බීල මිය ගියා. වස බොන්න හේතුව සොයල බැලුවා. මල්ලිගෙ කමිසය අය්ය ඇඳගෙන
ගියා කියල මල්ලි අය්යට පහරක් ගහලා. අය්යට එය දරාගන්න බැරි උණා. එයා
තමන්ගෙ ජීවිතේ නැති කර ගත්තා.
බලන්න, බොහොම සරල ඤාණයක් මුල් කරගෙන ඇති කරගත්ත අමනාපයේ ප්‍රතිඵලය! එය
කෙළවර වුණේ මිනිස් ජීවිතයකට හානි වීමෙන් මේකට හේතුව දරුවන් අතර සමගිය
ඇතිකරන්න වැඩිහිටියන් සමත් වී නැති එකයි.
ඔබ දන්නව අපේ සමාජයෙ කුඩාම ඒකකය තමයි, පවුල. පළමුවෙන්ම සමගිය රැකෙන්න
ඕනෙ පවුල තුළයි. නූතන සමාජයෙ බොහෝ පවුල් බිඳුණු පවුල් බවට පත්වෙලා
තියෙන්නෙ අසමගිය නිසානෙ. අම්ම තාත්තා අතර සමගියක් නෑ. සහෝදර සහෝදරියන්
අතර සමගියක් නෑ.
සමහර පවුල්වල අම්මා වෙනම කෑම සකස්කරගෙන අනුභව කරනවා. තාත්ත වෙනම කෑම
පිළියෙල කරගන්නවා. ඇතැම් පවුල්වල දූ දරුවෝ අම්මයි තාත්තයි බෙදාගෙන .
සමගිව ජීවත්වීමේ ආදර්ශය පළමුව පවුල තුළින් පෙන්වන්න ඕනේ. මවුපියන් දෙන
ආදර්ශ , හොඳ ආදර්ශ වන්න ඕනෙ.
අප දැකල තියනව තවත් සමහර ගෙවල්වල දවස ආරම්භ කරන්නේ අඬ දබරවලින්. උදේ
පාන්දර අම්මයි, තාත්තයි රණ්ඩු වනවා. ඉතින් බලන්න, මේ වගේ තත්වයක් තුළ
දරුවො කොයි තරම් අසරණ වනවද! ඔබේ නිවහන සමහර විට මහ මන්දිරයක් වන්න
පුළුවන්.
එසේ නැතිනම් කුඩා පැල්පතක් වන්නත් පුළුවන්. වැදගත් වන්නේ, නිවසේ
ස්වරූපය නෙවෙයි. සාමකාමී ජීවිතයක් ගත කිරීමයි. සමහර පැල්පත්වල දරුවො
මවුපියො එක්ක එකිනෙකාට ලෙන්ගතුව ආදරෙන් ඉන්නව දකිනකොට මොන දුක් කරදර
තිබුණත් ජිවිතේ මොනතරම් සුන්දරද කියල හිතෙනවා.
වැඩිහිටියන් හැම වෙලාවෙම සෙවිය යුතු වන්නේ, එකතු වෙලා ඉන්න අවශ්‍ය සාධක
ගැන යි. එහෙම වුණත් බොහෝ විට ඔවුන් සොයන්නේ, බෙදිල ඉන්න අවශ්‍ය සාධක,
බොහෝ දැන උගත් අය තුළ පවා මේ ලක්‍ෂණ දකින්නට ලැබීම, කනගාටුදායකයි.
ගෙදර වගේම දරුවන්ට මාර්ගපෝදේශනය සැපයෙන පාසලේ ගුරුවරුන් අතර පවා බොහෝ
විට සමගියක් නෑ. මා දන්නා එක්තරා පාසලක උපාධිධාරී ගුරුවරු වෙනම ම තේ
බොන්නේ ඒ අය ගමන් බිමන් යන්නෙත් එහෙමයි.
පුහුණු ගුරුවරු වෙනම එකතු වනවා. අභ්‍යාසලාභී ගුරුවරු වෙන ම එකතු වනවා.
අභ්‍යාසලාභී ගුරුවරු මේ කණ්ඩායම් දෙකෙන්ම ඈත් වෙලා වැඩ කටයුතු කරන්නෙ.
ඉතින් මෙබඳු ආදර්ශ දෙමින් තමයි, සමගිය ගැන පවා කතා කරන්නේ,, සිසුන්ට
උපදෙස් දෙන්නේ.
පාසලක සිසුන් අතරත් විවිධ භේද උසස් පෙළ සිසුන් සාමාන්‍ය පෙළ සිසුන්ට
පහරදීමට කරුණු කාරණා හොයනවා. වාණිජ විෂය මාලාව හදාරන සිසුන් කලා විෂය
මාලාව හදාරන සිසුන්ට ගහන්න කරුණු හොයනව. බස්රිය දුම්රිය ආදියෙදී පවා
මිනිසුන් ගමන් කරන්නේ, බෙදිලා වෙනත් පාසලක සිසුන් සමග හෝ අරගලයක
පැටලෙන්නම යි, වැඩි පෙළඹවීම, මේ ළඟදී පුවත්පතක තිබුණ, තමන්ගෙ පිටේ තෙල්
ගෑවෙ නෑ කියලා සැමියා බිරියගෙ ගෙල කපා මරා දැමූ බවක් බිරියගෙ වයස
අවුරුදු 72 යි. මේ තරම් වියපත් වූ වැඩිහිටියන්ගේ ක්‍රියා කලාප මෙහෙම
නම්, දරුවන් හිතන විදිය සකස් කරන්න අපට කොතරම් අපහසු වෙයිද? අසමගිවෙලා
බෙදිල ඉන්න අවශ්‍ය සාධක වලට අපි ඉඩ සැලසිය යුතු නෑ. ජාතික වශයෙන් පවා
මහ විපත් ගෙන එන ව්‍යසන පටන් ගන්නෙ, කුඩා කල වැඩිහිටියන්ගෙන් ලැබෙන
වැරැදි ආදර්ශ නිසා බව, අප කවුරුත් වටහාගත යුතුයි.
අපේ දරුවන් තුළ බෙදුම්වාදී ආකල්ප ඇති කරලා තියෙන්නේ අපිමයි. ජීවත් වන
පරිසරයෙන් ම යි. බලන්න, අපි කොයි තරම් නරක සංකල්ප ද ගොඩනගල තියෙන්නෙ
ඕනෙ වුණාම මේ ළමය සිංහලයෙක් වගේ මෝඩයි කියනවා. දකුණේ ගැහැණු ලමයකුට
රිදවන්න ඕනෙ වුණාම ‘මේකි දෙමළ කෙල්ලක් වගේ ‘ කියනවා. මේ වගේ සංකල්ප
කුඩා කාලෙ ඉඳල පැලපදියම් වුණාම එබඳු සිත්වල ජනවාර්ගික සමගියක් ඇතිකරන්න
පුළුවන්ද? බැහැනේ! වියත් සමාජ පවා සමත් වෙලා නෑ. සමගි සම්පන්නව
ජීවත්වීමට අවශ්‍ය සංකල්ප සමාජගත කරන්න.
බොහෝ විට මත භේද ඇති වන්නේ අන් අයගෙ අදහස් වලට ඇහුම්කන් නොදීම නිසා.
අන් අයගෙ අදහස්වලට ගරු කරන්න පුරුදු වන්න. ඔබ ජීවත් වන්නේ, ඔබේ
අසල්වැසියන් සමග ඔබේ ගමේ නැතිනම් නගරයේ ජන සමාජයත් එක්ක. අපි කාටවත්
තනිවම ජීවත්වන්න බෑ. අසල්වැසියන් අතර නොයෙක් විවිධත්ව තියෙන්න පුළුවන්.
කථාබහ , සිරිත් විරිත්, ඇදුම් පැළදුම්, ආගම්, අධ්‍යාපන තත්ත්ව ,
වෘත්තීය තත්ව ආදිය විවිධයි. විවිධ ජන වාර්ගික අය ඉන්න පුළුවන්. ඒ හැමෝම
සමග මිනිසුන් ලෙස කටයුතු කරන්න පුළුවන් වන්න ඕනෙ.
සමගියට මග පෑදිය යුතුයි ඔබෙන් අසල්වැසියාට , ගමට , ප්‍රදේශයට , රටට
ලෝකයට කරදරයක් හිරිහැරයක් නො වන ලෙස ජීවත්විය යුතුයි. සමගිය යම් තැනක
පවතිනවාද? එතැන යි බලය පවතින්නේ, සමගිය නැති තැන බලයකුත් නෑ, අඹු
සැමියන් වෙන් වනවා, දරුවන්ට මවුපියන් අහිමි වනවා, දරුවන්ට සෙනෙහස අහිමි
වී අධ්‍යාපනය පවා කඩා වැටෙනවා. දරුවන් තුළ ආත්ම විශ්වාසය නැති වී
පෞරුෂය බිඳ වැටෙනවා. පවුල් දෙදරා යනවා.
එහෙම වුණාම අපි ජීවත්වීමට සුදුසු ලෝකයක් ගොඩ නගන්නෙ කොහොමද? |