දහමෙන් බැබළුණු මිනිස්කමේ අගය
එස්. ඩබ්ලිව්. ගුණරත්න
බුදුදහම අනුව මිනිසුන් අතර ජාති, කුල, වර්ණ, උස් මිටි, දුප්පත් පොහොසත්
ආදී කිසිම භේදයකට ඉඩ නැත. භාග්‍යවතුන් වහන්සේ සමස්ත මානව සංහතිය තුළ
සහෝදරත්වය ව්‍යාප්ත වන; තහවුරු වන පරිද්දෙන් සියලු උස් පහත් භේද බැහැර
කොට ධර්මය දේශනා
කළ සේක.
බුදු දහම පෙන්වා දෙන අන්දමට මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබීම අතිශය
දුර්ලභවූත්, දුෂ්කර වූත්, සිද්ධියකි. ඒ බැව් ‘කිච්චෝ මනුස්ස පටිලාභෝ’
ආදී වශයෙන් දැක්වෙන බුද්ධ වචනයෙන් පැහැදිලි වෙයි. සසර සැරිසරන
මනුෂ්‍යයා පෙර ආත්ම භවයන්හිදී කළ කුසල කර්මවල ප්‍රතිඵලයක් ලෙස, මනුෂ්‍ය
ආත්මභවයක් ලැබීම මහා භාග්‍යයකි. මනුෂ්‍යයාට ස්වකීය මනස දියුණු කර ගැනීම
තුළින් උත්තරීතර පුද්ගලයකුව සමස්ත සත්ත්ව සමූහයාටම විමුක්ති මාර්ගය
පෙන්වා දෙන්නා වූ ලොව්තුරා සම්මා සම්බුද්ධත්වයට පත්වීමේ හැකියාව ඇති බව
බුදුදහම පෙන්වා දෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාළේ තමන් වහන්සේ ස්වකීය
මනුෂ්‍ය බුද්ධියෙන්ම උත්තරීතර ලොවුතුරා බුද්ධත්වය ලබාගත් බවය. ලොවුතුරා
බුද්ධත්වය ලැබීමේ භාග්‍යය ඇත්තේ මනුෂ්‍යයකුටම පමණක් වන අතර ඒ සඳහා
අවශ්‍ය වන්නේ වීර්යය, අධිෂ්ඨානය, හික්මීම, ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී
ගුණධර්ම වැඩීම ය. තමාගේ ස්වාමියා තමා වන අතර, තමන්ගේ ඉරණම විසඳීමේ ලා
පෙනී සිටින දෙවියකු හෝ අදෘශ්‍යමාන බලවේගයක් නැති බව දේශනා කර වදාළහ.
මනුෂ්‍යයා ස්වකීය අයිතිවාසිකම් දෙවියකු හෝ අදෘශ්‍යමාන බලවේගයකට පවරා
දී තමා එහි වහලකු ලෙස ජීවත්වීම බරපතල මෝඩකමකි. මනුෂ්‍යයාට උපතින්ම
විශ්වය තුළ අන් කවර සත්ත්වයකුටවත් නැති තරමේ නිදහසක්, චින්තන ශක්තියක්
හා ස්වඡන්දතාවක් ලැබේ. ඒ තව තවත් වර්ධනය කර ගනිමින් විමුක්තියේ ආලෝකය
කරා පා නැගීමේ වගකීම පෞද්ගලිකව ඔහු සතු වෙයි.
මෙලොව සියලු සත්ත්ව කොට්ඨාස අතරින් මනුෂ්‍යයාට ලැබෙන්නේ උසස්ම තැනයි.
මේ නිසාම, බෝසත්වරු ලොවුතුරා බුද්ධත්වය ලබනු පිණිස, මනුෂ්‍ය ලෝකයේ උපත
ලබති.
එසේ මනුෂ්‍ය ලෝකයෙහි ඉපිද ලොවුතුරා බුද්ධත්වයට පත් වූ භාග්‍යවතුන්
වහන්සේගේ පරම හා ඒකායන උත්සාහය වූයේ, සත්වයා සසරින් එතෙර කරවීමයි. ඒ
සඳහා මූලික පුහුණුවක් ලෙස සමස්ත ලෝකය පුරා සාධු ශීල, සත්පුරුෂ, ජන
සමාජයක් ගොඩනැගීම උදෙසා ඇපකැපවීමෙන් ක්‍රියාකළ සේක. මෙම වැඩ පිළිවෙළේදී
එක් එක් පුද්ගලයා තමා තමාගේම ගැලවුම්කරු වන අතර, වෙනත් කවරෙක් හෝ පිහිට
නොවන බැව් ප්‍රත්‍යක්ෂ කර ෙපන්වා දුන්හ. එය ධම්මපදයේ සඳහන් වන්නේ
මෙලෙසිනි.
අත්තාහි අත්තනො නාථො
කොහි නාථො පරොසියා
අත්තනාච සුදත්තෙන
නාථං ලසාති දුල්ලභං
(ආත්ම වර්ගය)
(තමාට පිහිට තමාම ය. වෙන කවරෙක් තමාට පිහිට වේද? තමා මනාව දමනය වූ
කල්හි දුර්ලභ වූ නිවන ද ලබාගත හැකි ය.)
මේ උතුම් බුද්ධ වචනය අනුව, කිළිටි ස්වභාවයට පත් නොවී පාරිශුද්ධත්වයට
පත්වීම, සසරින් ගැළවීමේ වගකීම, ශක්තිය හා හැකියාව ඇත්තේ ‘පෞද්ගලිකවම තම
තමන්ට’ මිස අන්‍ය කෙනකුට නොවන බව පැහැදිලි වෙයි. මිනිස් බුද්ධියේ හා
ශ්‍රමයේ වටිනාකම නොදැන, අදෘශ්‍යමාන බලවේග ඉදිරියේ වැඳ වැටෙන යාඥා කරන
හීනදීන හැඟීම් ඇති අයට මේ බුද්ධ වචනය හොඳ පාඩමකි. මේ අනුව ඉතා දුක සේ
ලබාගත් උත්තරීතර මනුෂ්‍ය ආත්මය අබල දුබල තත්ත්වයට පත්කර ගැනීමට හෝ
විනාශකර ගැනීමට ඉඩ ප්‍රස්ථා ඇතිකර නොගත යුතු ය.
වෙනත් වචනවලින් පවසතොත් මෙහි අවධාරණය කරනු ලැබ ඇත්තේ, භාග්‍යවතුන්
වහන්සේ යා යුතු මඟ පෙන්වා දෙන මාර්ගෝපදේශකයකු, ගුරුවරයකු මිස,
ගැලවුම්කරුවකු නොවන බවත්, තමන් වහන්සේ පෙන්වා දෙන ධර්ම මාර්ගය බුද්ධිය
මෙහෙයවා අවබෝධ කරගෙන ඊට අනුකූ®ලව ක්‍රියාත්මකව තමාගේ දියුණුව ඇති කර
ගැනීම,ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික වගකීම වන බවත් ය.
බුදුදහම පෙන්වා දෙන අන්දමට සකල සත්ත්ව වර්ගයාටම නිදහසේ ජීවත්වීමේ
අයිතිවාසිකම ඇත. ඒ සඳහා ඉඩකඩ සලසා ගැනීමේදී සම්මා දිට්ඨියේ පිහිටා
ක්‍රියා කිරීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ පැහැදිලි කරනු ලැබ ඇත. සම්මා
දිට්ඨිය හෙවත් යහපත් දැක්ම නම්, කිසියම් දෙයක් මනාව අවබෝධ කර ගනිමින්
යථාභූත ලෙස දැන ගැනීම ය. මෙහිදී ප්‍රඥා සම්පන්න පුද්ගලයා යම් දෙයක නමට
මුලා නොවී, යථා පරිද්දෙන් දැක ගනියි. එහිදී සෑම පුද්ගලයෙක්ම තමාගේත්,
සකල සත්ව සමූහයාගේත් යහපත උදෙසා ප්‍රඥප්ති පහක පිහිටා ක්‍රියා කළ යුතු
බව දැක්වෙයි. ‘පංච ශීල ප්‍රතිපත්තිය වශයෙන් බුදුදහමේ සඳහන් කරනු ලැබ
ඇත්තේ එයයි.
එසේම සකල සත්ව සමූහයා කෙරෙහි කාරුණික හැඟීමෙන් යුතුව මෙත්තා, කරුණා,
මුදිතා, උපේක්ඛා යන සතර බඹ විහරණ හෙවත් උත්තරීතර හැසිරීම් ඇතිකර ගැනීම,
දානය, පි‍්‍රයවචනය, අර්ථචර්යාව සමානාත්මතාවය යන සතර සංග්‍රහ වස්තූන්හි
පිහිටා ක්‍රියාකිරීම, උත්තරීතර පුරුෂාර්ථ ලෙස දක්වනු ලැබ ඇත.
බුදුදහම අනුව මිනිසුන් අතර ජාති, කුල, වර්ණ, උස් මිටි, දුප්පත් පොහොසත්
ආදී කිසිම භේදයකට ඉඩ නැත. භාග්‍යවතුන් වහන්සේ සමස්ත මානව සංහතිය තුළ
සහෝදරත්වය ව්‍යාප්ත වන, තහවුරු වන පරිද්දෙන් සියලු උස් පහත් භේද බැහැර
කොට ධර්මය දේශනා කළ සේක.
ඒ සඳහා තම ශාසනයේ භික්ෂූ සමාජය ආදර්ශ කර පෙන්වා වදාළහ. මහා භාරතය හරහා
ගලාවිත් මහ මුහුදට එක්වන ගංගා, යමුනා, අචිරවතී, සරගු යන මහා ගංගාවන්හි
ජලය මහ මුහුදට එක් වූ සැණෙකින් ලුණු රසයෙන් යුක්ත වන්නා සේ කුමන රටක,
කුමන කුලයකින් ජාතියකින් පැවතෙන්නේ වී නමුදු, බුද්ධ ශාසනයට ඇතුළුවූ විට
ආර්ය වූ එකම කුලයකට අයත්වන බව පැහැදිලි කර වදාළහ. ගිහියනට භික්ෂූ සමාජය
තුළින් ලබාගත හැකි ආදර්ශ වටහා දුන් සේක.
මිනිසා උස් පහත් වන්නේ උපත අනුව නොව ඔහු කරන ක්‍රියාව මගින් බව, දේශනා
කර වදාළහ. එකම මිහි තලය මත, එකම මිනිස් පවුලකින් පැවත ගෙන එන්නා වූ
මිනිස් වර්ගයා රැකියාව හෝ භූගෝලීය හේතූන් නිසා හටගත් ශාරීරික විසමතා
ආදිය මුල් කොට මූලික මිනිස් අයිතිවාසිකම් පසෙකට දමා පටු ආකල්පවලින්
වෙලී කුල හා ජාති වශයෙන් බෙදී ක්‍රියාකිරීම, බුදුදහම සම්පූර්ණයෙන්ම
බැහැර කරයි.
ජන්මයෙන් කිසිම තැනැත්තෙක් බ්‍රාහ්මණයකු හෝ වසලයකු නොවන අතර, ඔහුගේ
ක්‍රියා පටිපාටිය අනුව පමණක් බ්‍රාහ්මණයකු හෝ වසලයකු වන බවත් වසල
සූත්‍ර දේශනාවේදී පැහැදිලි කර වදාළහ.
මහබඹුට දෙවි දේවතාවුන්ට මැවුම්කරුවන්ට ගස්, ගල්, ගිනි ආදියට වැඳුම්
පිදුම් කළ රටක සිටි මනුෂ්‍යයකු වන භාග්‍යවතුන් වහන්සේ, වීර්යය,
අධිෂ්ඨානය. ශ්‍රද්ධාව, ප්‍රඥාව ආදී ගුණධර්ම පුරා ගුණවත්කමෙන්,
සිල්වත්කමෙන් අගතැන්පත්ව මිනිසුන් බලා සිටියදීම දෙවියන්ගෙන්, බඹුන්ගෙන්
යකුන්ගෙන් වැඳුම් පිදුම් ලැබූහ.
භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයකු වුවද ආශ්චර්යමත් මනුෂ්‍යයෙක් වූහ. උන්
වහන්සේ මනුෂ්‍යත්වයෙන් කොතරම් පරිපූර්ණවී ද යත් ‘අති මානුෂ’ ලෙස සලකනු
ලැබූහ. මෙවැනි ආශ්චර්යයක් ලොව කොතැනක හෝ සිදුවී තිබේද? මනුෂ්‍යත්වයේ
අගය යථා පරිදි වටහා ගනිමින් ගුණවත් වූ සිල්වත් වූ මිනිසාට දෙවියන්ගෙන්
පවා ගරු බුහුමන් ලැබීමේ ශක්තිය ඇතිබව මින් සනාථ වේ. තමන්ට නොවැටහෙන,
නොපෙනෙන සෑම දෙයක්ම දෙවියන් පිට නොපවරා, ඒ තමන්ගේම බුද්ධිය, ශ්‍රමය
තුළින් ලබා ගන්නා ලෙස ‘අත්තදීප විහරථ - අත්ත සරණා න අඤ්ඤ සරණා’ යන බුදු
ඔවදන තුළින් පැහැදිලි කර දී වදාළහ. මේ අනුව තම ආත්ම ශක්තිය හා ආත්ම
විශ්වාසය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ස්වකීය විර්යය, අධිෂ්ඨානය,
ශ්‍රද්ධාව, ප්‍රඥාව බුද්ධිමත්ව ක්‍රියාවට පරිවර්තනය කිරීම මනුෂ්‍යත්වය
උතුම් ලෙස අගය කිරීමකි.
එසේම ලොව සත්කාර, කීර්ති ප්‍රශංසා බලකාමය, ධන කාමය, තනතුරු ගිජුකම
නම්බුනාම, ප්‍රසිද්ධිය පැතීම ආදී මනුෂ්‍යත්වයට විපත්තිකාරී වූ දේවල
ස්වභාවය ලොවට පහදා දුන්හ.
ඉතා දුක සේ ලබාගත් මනුෂ්‍ය ආත්මය කාලයත් සමග වේගයෙන් ගෙවී යයි. එබැවින්
මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණව සැමදා සැමවිට හොඳ වැඩ කළ යුතුය. මනුෂ්‍යත්වයේ
යථාර්ථය නම් තමන්ටත් අනුන්ටත් යහපත කිරීම ය. මිනිස් සිරුර පොළවට පස්ව
යද්දී කළ හොඳ දේ පමණක් ඉතිරිවෙයි.
මෙම කරුණු අවධානයට යොමුකර දුර්ලභවූත් දුෂ්කරවූත් මනුෂ්‍යත්වය ලැබූ
ප්‍රඥාවන්තයා ලෝභ, දෝස, මෝහ දුරලා මනුෂ්‍යත්වයේ අගය මනාව වටහාගෙන
ක්‍රියාකිරීම තුළින් මෙලොවත්, පරලොවත් ආලෝකවත් කර ගන්නවා ඇත. |