සසර දුක නිම කරන
විරාගී ජීවන දැක්ම
සාලිය මනෝජ් ලියනගේ
නිවැරැදි දෘෂ්ටියකින් කටයුතු කරන විට ඔහුගේ චරණය විරාගී වෙයි. ඒ අනුව
සම්මා දිට්ඨිය නියෝජනය කරන්නේ විරාගී දර්ශනය යි. ඉතිරි අංග හත නියෝජනය
කරන්නේ විරාගී චරණය යි.
විවිධ කායික මානසික තත්ත්ව වලින් සමන්විත මහා සමාජයක් නිවැරැදි මාවතකට
යොමු කිරීමෙහිලා බුදුරජාණන් වහන්සේ ද ශ්‍රාවක ශ්‍රාවිකාවෝ ද දැඩි
වෙහෙසක් ගත්හ. ඒ සෑම අයකුගේ ම එකම ප්‍රයත්නය වූයේ සසර අනන්ත දුක් විඳින
මිනිසුන් වෙත සදාකාලික සැපත උරුමකර දීමයි. මේ සඳහා කදිම නිදසුන වන්නේ,
ප්‍රථම රහත් හැට නම අමතා බුදුරදුන් කළ අවවාදය යි.
කාමභෝගී මහජනතාව විරාගී දර්ශනයක් වෙත නැඹුරු කරවීම පහසු කාර්යයක් නොවේ.
බුද්ධ කාලීන භාරතයේ පැවැති ව්‍යාකූල සමාජ වාතාවරණය හමුවේ ජීවිතය
සැබැවින්ම දුකක් ලෙස තේරුම්ගත් පිරිස මෙම ඓතිහාසික පර්යේෂණයේ නියමුවෝ
වූහ. සිද්ධාර්ථ ගෞතමයන් වහනසේ ඔවුන් අතර ප්‍රමුඛත්වය හිමිකරගත්තේ
උතුම් වූ බුද්ධත්වය පසක් කර ගැනීමත් සමගයි.
උන් වහන්සේ අවබෝධ කරගත් උත්තරීතර දහම විරාගී දර්ශනයකි. එය අවබෝධ කළ
භික්‍ෂු භික්‍ෂුණී, උපාසක, උපාසිකාවෝ අති විශාල සංඛ්‍යාවක් සසර ගමන නිම
කළහ. ඔවුන් තුළ වූ දර්ශනය හා චරණය කුමක් දැයි සොයා බලා වටහා ගැනීම,
මෙහි අරමුණයි.
බුදු සමය අකාලික දහමකි. එබැවින් ප්‍රතිඵල භුක්ති විඳීමට කල් බලා සිටිය
යුතු නැත. වර්තමානය වන විට බොහෝ බෞද්ධ ජනතාව බුද්ධ දේශනාවල ප්‍රඥප්ති
හා ශික්‍ෂාවන්හි බරපතල බව හා සීමා පිළිබඳ අනවබෝධයෙන් ක්‍රියා කරනු
පෙනෙයි. විශේෂයෙන් පස්කම් සැප සම්බන්ධයෙන් පවත්නා වූ අනවබෝධය මේ අතර
ප්‍රධාන වෙයි.
පංචසීල ප්‍රතිපදාවේ සිට සාමණේර දස සීලය දක්වා වූ ශික්‍ෂාපද සමූහය තුළ
හික්මෙන පුද්ගලයකු තුළ විවිධ වෙනස්කම් සිදුවන දැකිය හැකි ය. මෙම වැළකී
සිටීමේ (විරමණ) ප්‍රතිපත්තිය, ලෞකිකත්වය ඉක්මවා, ලෝකෝත්තර තත්ත්වයට පත්
වීමට අවශ්‍ය ප්‍රධාන සාධකයයි.
වෙනත් අයුරකින් සඳහන් කරන්නේ නම් ආර්ය මාර්ගයේ පළමු පියවර, සීල
ප්‍රතිපදාවයි. එම ප්‍රතිපදාව පුරාම විරමණ පිළිවෙත දක්නට ලැබෙයි.
ගිහි, පැවිදි කාහටත් පොදු ඉගැන්වීමක් වන විරාගී දර්ශනයට හා චරණයට අදාළව
බුදුරදුන් විසින් දේශනා කොට ඇති කරුණු ඇතුළත් මූලාශ්‍ර ගණනාවකි. ඒ අතර
විරමණ සංකල්පය එළිදැක්වෙන මූලාශ්‍ර ලෙස මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය
සූත්‍රය සහ මහාහත්ථි පදෝපම සූත්‍රය දැක්විය හැකි ය. එමෙන්ම විරාගී
දර්ශනය කොතෙක් දුරට කාමභෝගී ගිහි ජනතාවට ගැළපෙන්නේ ද, නොගැළපෙන්නේ ද
යනුවෙන් සාකච්ඡාවට ලක් වී ඇති මූලාශ්‍රයක් ලෙස මඣිම නිකායේ අරිය
පරියෙසන සූත්‍රය දැක්විය හැකි ය.
අංගුත්තර නිකායේ 6 වන නිපාතයේ එන මිගසාලා සූත්‍රයේ දී සෝවාන්,
සකෘදාගාමී, තත්ත්ව වලට පත් වූ පුද්ගලයන්ට පවා කාමභෝගී ගිහි ජීවිත ගත
කිරීමට හැකියාවක් ඇති බව, බුදුරදුන් විසින් දේශනා කොට ඇත. එහෙත් අප
අතරේ පවත්නා සාමාන්‍ය පිළිගැනීම වන්නේ සෝවාන් මාර්ගය තබා දස සිල්
රැකීමේ දී පවා පංචකාම ගුණයෙන් මුළුමනින්ම බැහැර විය යුතු බවකි.
එහි යම් වරදක් ඇති බව පෙනෙන්නට තිබෙන අතර නිගමනයකට එළඹිය යුතු වන්නේ
දිගින් දිගට ම කරුණු සොයා බැලීමකින් අනතුරුව යි. ශාසන ඉතිහාසයේ දැක්වෙන
ආකාරයට කම්සැප විඳිමින් ව්‍යාපාර කටයුතු වල නිරත වෙමින් සිටි අනාථ
පිණ්ඩික සිටුවරයා, සෝවාන් වූ අයෙකි.
මෙම තොරතුරු ගවේෂණයේ දී ගිහි – පැවිදි උභය පක්‍ෂයම මේ සම්බන්ධයෙන් පනවා
ඇති සීමා පිළිබඳ දැනුවත් වීම, අවශ්‍ය ය. ඕනෑම ගිහියකුට සකෘදගාමී වන
තෙක් සැප සම්පත් විඳීමට හැකියාව තිබෙන බව, බුද්ධ දේශනාව යි. සංයුක්ත
නිකායේ රාසිය සූත්‍රය තුළ කාමභෝගී තැනැත්තෙකු විරාගී දර්ශනයකට සහ චරණයට
නැඹුරු විය යුතු අයුරු මැනවින් පැහැදිලි දී කොට තිබේ.
කාමභෝගී පුද්ගලයන් විරාගී දර්ශනයක් වෙත නැඹුරු කරවීමට බලපාන මූලධර්මය
සංයුක්ත නිකායේ රාසිය සූත්‍රයෙහි දැක්වෙයි. ඒවා නම්,
01. ගිජු නොවීම.
02. මුළා නොවීම.
03. සිතින් සතු කර නොගැනීම.
04. ආදීනව දැකීම.
05. අත්හළ යුතු බව දැනගෙන පරිභෝග කිරීම.
මිනිසා උපතින්ම සැප කැමැති, දුක පිළිකුල් කරන පුද්ගලයෙකි. ඔහු සැප ලෙස
තීරණය කරන්නේ පසිඳුරන් වෙත ලැබෙන අරමුණු වලින් ලබන වින්දනය යි. චක්‍ඛු,
සෝත, ඝාණ, ජීව්හා, කාය යන ඉඳුරන් වෙත ගෝචර වන අරමුණු වන්නේ රූපය,
ශබ්දය, ගන්ධය, රසය හා ස්පර්ශය යි.
ඇසට පි‍්‍රය ජනක රූපයක් අරමුණු වීමෙන් පුද්ගල සන්තානගතව ඇතිවන්නේ සුඛ
වේදනාවකි. ඇසට අපි‍්‍රය රූපයක් ගැටීමෙන් දැනේනේ, දුක්ඛ වේදනාවකි. දුකට
අකමැති, සැපට කැමැති පුද්ගලයෝ සුඛ වේදනාව දීර්ඝකාලීනව පවත්වාගෙන යෑමට
විවිධ ක්‍රියාමාර්ග ගනිති. එහෙත් සැප අපේක්‍ෂා කරන කාමභෝගී ගිහියාට
බුදු සමය කම් සැපත තහනම් කර නැත. එහෙත්, විඳින සුවය, ලබන සතුට, හුදෙක්
තාවකාලික බව අවධාරණය කරන බුදුසමය ඔහුට ඒ සම්බන්ධයෙන් පනවා ඇති සීමා
පහයි, ඉහත දැක්වූයේ.
රූප නමැති අරමුණු චක්‍ඛු නමැති ඉන්ද්‍රියයෙහි ගැටෙන විට එම අරමුණ
කෙරෙහි ගිජු නොවිය යුතු ය. මුළා නොවිය යුතු ය. එය තමාගේ යැයි සිතින්
සතු කරගත යුතු නැත. දිගින් දිගටම ඇස සතුටු කිරීමට යෑමෙන් ලැබිය හැකි
ආදීනව සැලකිල්ලට ගත යුතු ය.
එමෙන්ම ඕනෑම මොහොතක එම අරමුණ අපට අත හැරීමට සිදුවිය හැකි බව දැනගෙන
ක්‍රියා කළ යුතු ය.
බුදු සමය කල්යල් බලමින් හිඳ ප්‍රත්‍යක්‍ෂ කරගත යුතු දර්ශනයක් නොවෙයි.
අකාලික දහමකි. සිවුසස් මාතෘකා කොටගෙන පවත්වන දම්දෙසුම් සීමා රහිත වූව ද
එමඟින් ඵල ලබන්නෝ අතිශයින් අල්ප ය. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැනි බුද්ධ
දේශනා පරලොව ජීවිතය සඳහා යැයි සිතීමට, කල්පනා කිරීමට මිනිසා පෙළඹී
සිටින්නේ බෞද්ධ ආර්ය මාර්ගයෙහි අර්ථය නොහඳුනන බැවිනි. අරි අටගි මඟ
ජීවිතයට සම්බන්ධ කර ගැනීම අපහසු කරුණක් නොවෙයි. ඒ සම්බන්ධයෙන් අප තුළ
පවත්තේ ස්වල්ප වූ අවබෝධයකි. පස්කම් සැප විඳින පෘථග්ජන පුද්ගලයකු හට සං.
රාසිය සූත්‍රයෙන් කෙරෙන ධර්ම විවරණය පැහැදිලි කරගත් කල්හි ඔහු පංච කාම
වස්තූන් සම්බන්ධයෙන් ගිජු නොවී, මුළා නොවී, සිතින් සතු කර නොගෙන, ආදීනව
දකිමින්, වෙන් විය යුතු බව, අත්හළ යුතු බව තේරුම් ගෙන, ක්‍රියාත්මක
වෙයි. එවිට, ඔහු තුළ පවතින්නේ, සම්මා දිට්ඨියයි.
නිවැරැදි දෘෂ්ටියකින් කටයුතු කරන විට ඔහුගේ චරණය විරාගී වෙයි. ඒ අනුව
සම්මා දිට්ඨිය නියෝජනය කරන්නේ විරාගී දර්ශනය යි. ඉතිරි අංග හත නියෝජනය
කරන්නේ විරාගී චරණය යි. ඒ අනුව විරාගී දර්ශනය සහ චරණය මැදුම් පිළිවෙත
පදනම්කොට ඇත. බුදු සමයෙහි හරය වන්නේ සිවුසස් දේශනාව ප්‍රමුඛ මැදුම්
පිළිවෙතයි.මේ තොරතුරු අනුව පසක් වන්නේ සෑම බෞද්ධයකුටම, සුළු
කැපකිරීමකින් සැබෑ බෞද්ධ අරමුණු කරා, සාරධර්ම කරා යා හැකි බව යි. එසේ
කරන්නේ නම්, සත්‍යය පසක් කර ගැනීම, නිර්වාණාවබෝධය මෛත්‍රී බුදුරදුන්
පහළ වන තෙක් කල් තැබීමට අවශ්‍ය වන්නේ නැත.
|