නොමඟ යන දරුවන් සුමඟ රඳවන පුහුණුවක්
කොබ්බෑවල
සුමනදාස වීරසිංහ
වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ ඉගෙන ගන්නා බොහෝ දූ දරුවන්ට
සුන්දර ළමා කාලය හා ළමා ලෝකය සිහින ලෝකයට පමණක් සීමා වී ඇත. මන්ද වෙල්
එළියේ දුව පනිමින් ළඳු කැළෑවලට රිංගා දං හිඹුටු වෙරළු ආදී ඵල වැල
කඩාගෙන කෑමට ඔවුනට වේලාවක් නැති බැවිනි. දිය කඩිති, ඇළ දොළ, ගංගාවල දිය
බුං ගසමින් පීනා සෙල්ලම් කිරීමටද කාලයක් නැත. සීයලා, ආච්චිලාගේ තුරුලට
වී කවියක්, කතන්දරයක් අසාගෙන සිටීමට ද වේලාවක් නැත.
ස්වභාව ධර්මය සමග මුසු වී සිටීමට වරම් නොලබන වර්තමාන මානව දරුවන්ගේ
මනසට සතා සීපාවුනගේ සිතුම්, පැතුම්, ගස් වැල්වල ස්වභාවික ගති ලක්‍ෂණ
ගැන හැඟීමක් දැනීමක් නැති නිසා එය අවු වැසි, සුළං නොවදින කෘතිම
ටැංකියක් බවට පත්ව ඇත. ස්වභාවික ජල උල්පත් වලින් ගලාගෙන එන වතුරින්
පිරී ඇති ළිඳක ඇති ජලයේ සිසිලස හා ගුණය, කෘත්‍රිම ජලය ඇති ටැංකියකින්
නොලැබෙයි.
එපරිදි අද බොහෝ දරුවන්ගේ සිත් තුළ සිසිල් ගුණය වෙනුවට වර්ධනය වන්නේ,
දිනෙන් දින රත් වී උණුසුම් වන ගති ලක්‍ෂණ ය. දරුවන්ගේ සිත් එසේ රත්වන
විට රත්වන කබලට වැටෙන දියබිඳු වහා වාෂ්ප වී යන්නා සේ දරුවන්ගේ සිත් තුළ
මතකයේ රඳවා ගත යුතු ශිල්ප ශාස්ත්‍ර මෙන්ම දැනමුතුකම් ද හොඳ නරක ද මතකයේ
රඳවා ගැනීමට බැරි තත්ත්වයකට පත්ව ඇත.
එම නිසා පවතින ජීවන රටා පරිවර්තනයට සමාගාමීව විකල්ප ක්‍රම වේද තුළින්
දු දරුවන්ගේ සිත් ඒ අනුව රත්වන්නට නොදී, මෘදුව තබා ගැනීමට, වැඩිහිටියන්
වශයෙන් දෙමව්පියන් හා ගුරුවරුන් දැන සිටීම, ඉතා වැදගත් ය. මේ සඳහා
බෙහෙවින්ම ඵල දායක ක්‍රම වේද ලෙස, බුදු දහමේ ඉගැන්වෙන බුද්ධානුස්සති
භාවනාව යොදාගත හැකි ය. යමෙක් නොකඩවා ටික කලක් බුද්ධානුස්සති භාවනාව වඩන
විට මෙහි ඇති සත්‍යය අත්දැක ගැනීමට හැකි වෙයි.
තිලොව තිලක වූ බුදුරජාණන් වහන්සේ තරම් බුද්ධිමතෙක් මෙතෙක් ලොව පහළ වී
නැත. බුදු නුවණ අසම සමයි. අචින්ත්‍යයි. දෙවියන් හා මනුෂ්‍යයන් අතර
ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරන විට, බුද්ධ චරිතයේ එම
උතුම් ගුණාංග සිහි කරන්නාගේ චරිතය තුළට ද ටිකෙන් ටික මුසු වන්නට පටන්
ගනියි.
එය පුදුමයක් නොව, ස්වභාවික ලක්‍ෂණයකි. අද සමහර දරුවන්ගේ චරිත හැඩ
ගැසෙන්නේ ප්‍රසිද්ධ නළු නිළියන්, ගායක ගායිකාවන්, ක්‍රීඩක
ක්‍රීඩිකාවන්, නිරූපිකාවන්ගෙන් ජූඩෝ කරාතේ කුංපු වැනි සටන්කාමී චරිත
පිළිබඳ අනුස්සතියෙනි. චිත්‍රපට, සඟරා, පුවත්පත් ආදී නොයෙක් ජනමාධ්‍යය
තුළින් කලින් කලට විවිධ චරිත මතු වෙයි.
ඒවා දකින දරුවෝ ද ඔවුන්ගේ සිතුම් පැතුම්, ඇඳුම් පැළඳුම්, ගමන් බිමන්,
කෑම බීම, කථා බහ ආදී සිරිත් විරිත් එම චරිත ලක්‍ෂණ වලට අනුකූල කර
ගැනීමට උත්සාහ දරති. දරුවන්ගේ පොත්පත්, බෑග්, පර්ස් ආදිය පරීක්‍ෂා කර
බැලුවොත්, ඔවුන් අනුස්සතියට ගන්නා අයගේ පින්තූර ආදී තොරතුරු සොයාගත
හැකි ය.
අපේ අතීත මුතුන් මිත්තන් බෞද්ධ සංස්කෘතිය හැඩ ගසා තිබුණේ, සමාජයේ සෑම
දෙයක්ම බුද්ධානුස්සතියට අවධානය යොමු කරන විදියටය. මේ සඳහා ඇති ප්‍රබලතම
සාධකය බුදු පිළිමය යි. නොයෙක් ප්‍රමාණයේ නා නා ඉරියව් හා මුද්‍රා අනුව
නිර්මිත බුදු පිළිම, ලක්‍ෂ සංඛ්‍යාත ගණනක් නෙළා ඇත්තේ ඒ සඳහා ය. එම
පිළිම දෙස බලා බුදු ගුණ සිහිකර ගැනීම පිණිස ය. එසේම බුද්ධ චරිතය හා
ජාතක කථා සිතුවමට නගන ලද්දේ ද ඒ තුළින් ද බුද්ධ චරිතයේ ආභාෂය ලබා
ගැනීමට ය. ගෙවී ගිය ශත වර්ෂයේ මුල් යුගයේ චාර්ලිස් නමැති ප්‍රවීණ
චිත්‍ර ශිල්පියා විසින් සිතුවමට නගන ලද බුද්ධ චරිතයේ විවිධ අවස්ථා
නිරූපිත චිත්‍ර, පැරැණි සෑම නිවසකම පාහේ දකින්නට තිබුණි. නමුත් අද
එවැනි චිත්‍ර කලාතුරකින් හෝ දක්නට නැති නරම් ය.
නැවතත් එම ප්‍රවණතාව සෑම නිවසක් තුළම ඇති කර ගත යුතු ය. දරුවකුගේ
ජීවිතය තුළට බුදුරජාණන් වහන්සේගේ ගුණ බිඳක් හෝ මුසු වේ නම්, ඔහුට සෙතක්
ශාන්තියක් මිස අවැඩක් අනර්ථයක් කිසි විටෙකත් සිදු නොවෙයි. අරහං බුදු
ගුණ සිහි කරන දරුවන් තුළ සියලු ආශා එකවර බැහැර නොවෙතත් ග්‍රාම්‍ය වූ,
පහත් ආශා හැඟීම් පාලනය කර ගැනීමට හැකි ශක්තියක් පහළ වෙයි. එය අශෝබන
පහත් කල් කිරියාවන්ගෙන් වැළැකී සිටීමට හේතුවක් වෙයි. සම්මා සම්බුදු ගුණ
සිහි කරන විට බුදුවරයකු සතු සුවිශේෂ බුද්ධිය කුමක් ද යන්න පිළිබඳ පහළ
වන විමසුම් නුවණ දරුවන්ගේ සිතීමේ හැකියාව වර්ධනය කරයි. චතුරාර්ය සත්‍ය
පිළිබඳ දැනුම එම වචන වල සීමාවෙන් ඔබ්බට යන අවබෝධයක් බවට පත් වෙයි.
විද්‍යා චරණ සම්පන්න ගුණය ගැන සිතන විට, ත්‍රිවිද්‍යා සහ පසළොස් චරණ
ධර්ම පිළිබඳ අවධානය යොමු වෙයි. නවීන විද්‍යා හා බුදු දහමේ ඉගැන්වෙන
විද්‍යාවන්ගේ සම අසමකම් පිළිබඳ ඤාණයක්, දැනීමත් ඇති වෙයි. සුගත ගුණය
ගැන සිතීමෙන් බුදු දහම තුළින් සිය ජීවිතයට සුගතියක් මිස දුගතියක් ඇති
නොවන බව තේරුම් ගනී.
ලෝකවිදූ බුදු ගුණය ගැන සිතීමෙන් බුදුවරයන් තුළ ලෝකය ගැන ඇති අවබෝධය
තේරුම් ගනියි. එය වර්තමානයේ පවතින භූගෝල විද්‍යාව, තාරකා විද්‍යාව,
සාගර විද්‍යාව, අජටකාශ විද්‍යාවට වඩා පුළුල් බව හඳුනාගනියි. අනුත්තරෝ
පුරිස ධම්ම සාරථී යන්නෙන් බුදුවරයකු තුළ පවතින පුද්ගලයන් අවනත කර
ගැනීමේ අනුත්තර හැකියාව සහ ධර්මයේ වටිනාකම අවබෝධවෙයි. බුදුවරයෙකු යනු
දෙවියන් හා මනුෂ්‍යයන් අතර බිහි වූ ශ්‍රේෂ්ඨ ආදර්ශයට ගත යුතු උතුම්
ආදර්ශවත් චරිතයක් බව වටහා ගනියි. ඒ අනුව තමාගේ චරිතය ද බුදු සිරිතට
අනුව හැඩ ගස්වා ගැනීමට පෙළඹවීමක් ඇති වෙයි.
මේ නිසා සෑම මවුපියෙක්ම, වැඩිහිටියෙක්ම, ගුරුවරයෙක්ම තමන්
බුද්ධානුස්සතිය වඩන ගමන් තම දූ දරුවන් ද එම මාර්ගයට නැඹුරු කර ගතහොත්,
මේ ජීවිත කාලයේ දීම විඳින්නට සිදුවන බොහෝ චිත්ත පීඩාවන්ගෙන් තොරව
සිටීමට හැකියාව ලැබෙන්නේ ය.පාසල්, දහම් පාසල් වල දරුවන් බුද්ධානුස්සති
භාවනාව වැඩීමට යොමු කිරීම තුළින්, මතක ශක්තිය මෙන්ම බුද්ධිය ද වර්ධනය
කර ගැනීමට ඔවුනට හැකියාව ලැබෙනු ඇත. |