බත්මූණෙන් ඇත්මූණ බිඳීම
ලෝකයේ මහා ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලැකෙන ඔලිම්පික් උළෙල තම
රටෙහි පැවැත් වීම සඳහා අවස්ථාව ලබා ගැනීමට බලවත් රටවල් ගන්නා
වෙහෙස අපමණ ය. එය හුදු ආර්ථික වාසිය තකා කැරෙන උත්සාහයක් ම නො
වේ. තම රටේ ප්‍රෞඪත්වය හා ශක්තිය සමස්ත ලෝකවාසීන් වෙත කියා
පෑමට මෙය මහඟු අවස්ථාවක් වීම එයට ප්‍රධාන ම හේතුවයි. පසුගිය
වසරේ පැවැති බීජිං ඔලිම්පික් උළෙල චීනයේ ප්‍රෞඪත්වය, විශිෂ්ට
සංස්කෘතික උරුමය හා තාක්‍ෂණික ජයග්‍රහණ ලෝකය හමුවේ ප්‍රදර්ශනය
කළ මහා මංගල්‍යයක් බව එය නැරැඹූ සියලු දෙනා පිළිගනිති. 2008
බීජිං ඔලිම්පික් සමාරම්භක උළෙලේ දී චීන නර්තන කණ්ඩායමක් අත්
දහසකින් නිරූපණය කළ අවලෝකිතේෂ්වර බෝසත් රුව ඊට කදිම නිදසුනකි.
මේ අනුව බලන කල අන්තර්ජාතික ක්‍රීඩා තරගයක් පැවැත්වීම ක්‍රීඩා
කෞශල්‍යය පිළිබඳ කාරණයක් ම නො වේ. මෙය ඉන්දියාව මැනවින් දැන
සිටින බව ‘පි‍්‍රමියර් ලීග්’ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය
සංවිධානයේ දී අනුගමනය කළ වැඩ පිළිවෙළ මඟින් සනාථ කැර ඇත.
පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දැන් නිරත ව සිටින ශ්‍රී ලංකා තරග
සංචාරය දෙස අප බැලිය යුත්තේ මෙ බඳු ආකල්පයකින් යුක්ත ව ය.
මොබිටෙල් කුසලානය සඳහා ශ්‍රී ලංකාව හා පාකිස්ථානය අතර පැවැති
ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙහි සජීවී විස්තර විචාරය අතරතුර
ඓතිහාසික වටිනාකමකින් යුතු ස්ථාන ආදිය ප්‍රදර්ශනය කළ බව ඇත්ත
ය. එහෙත් එය අවිධිමත් හා හානිදායක අයුරින් යොදා ගැනීම ගැන කදිම
උදාහරණයක් කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයෙහි පැවැති (ජූලි 12
දා ආරම්භ වී 14 වන දා ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමි කැර දෙමින්
නිමාව දුටු) තරගයේ සජීවී විස්තර විචාරය අතරතුර දක්නට ලැබිණ. එම
අවස්ථාවේ විස්තර විචාරයේ යෙදී සිටියේ පාකිස්ථානයේ හිටපු
ක්‍රිකට් ක්‍රීඩක රමේෂ් රාජා හා ශ්‍රී ලංකාවේ රංජිත්
ප්‍රනාන්දු යන මහත්වරුන් ය.
බුද්ධ ප්‍රතිමා ඇතුළු බෞද්ධ ශිෂ්ටාචාරයේ අගය කියා පෑ
රූපාවලියක් විකාශය කැර අවසන් වනවාත් සමඟ ම ලෝහ තැටියකට බිත්තර
කිහිපයක් කඩා දමන අයුරු සමීප දසුනකින් දැක්විණ. ශ්‍රී ලාංකේය
බෞද්ධ ශිෂ්ටාචාරයේ අගය කියන රූපාවලිය අවසානයට ක්‍රීඩාංගණයේ
කොණක කොත්තු රොටි සකසන්නෙකු විසින් බිත්තර කඩන සමීප දර්ශනයක්
වෙත යොමුවීම කැමරාකරුවන් ගේ අසංවේදී භාවය පිළිබඳ කතාවක් නො වේ.
අවිහිංසාවේ අගය කියන බුදු දහමේ සංකේත ඇතුළත් රූපාවලියක්
අවසානයේ ඊට පටහැනි සමීප දසුනක් යෙදීම සංස්කෘතික ප්‍රහාරයකි. එ
සේ නොමැති ව එය අහම්බයක් විය නො හැකි ය. විදේශීය කැමරාකරුවන්
විසින් රූගත කැරෙන මෙ බඳු සජීවී විකාශයකට ඕනෑම දෙයක් ඇතුළත් කළ
හැකි නම් එය බරපතළ ප්‍රශ්නයකි. වරක් ඉන්දීය ක්‍රිකට්
ක්‍රීඩකයන් ගේ නම් වැරැදි අයුරින් උච්චාරණය කළ ඉංගී‍්‍රසි
ජාතික විස්තර විචාරකයකු වහා ම රටින් පිට කැරෙන බවට අනතුරු
ඇඟවීමට තරම් ඉන්දීය බලධාරීන් සංවේදී වූ පුවත ද මෙහි දී සිහිපත්
කළ යුතු ය. එ බැවින් මෙය සුළු සිද්ධියක් ලෙස සලකා ඉවත දැමීමට
පුළුවන්කමක් නැත.
ගාල්ලේ දී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙහි දෙවන දින (ජූලි
මස 05 වන දා පෙ.ව. 10.30 පමණ) උදෑසන සිංහල තරුණියක් ක්‍රීඩා
මණ්ඩපය තුළ බියර් වීදුරුවක් බොමින් සිටින අයුරු සජීවී දර්ශනයක්
ලෙස දැක ගත හැකි විය. රූපවාහිනී මාධ්‍යයෙන් විකාශය කැරෙන
චිත්‍රපටවල ඇතුළත් මත්පැන් හා දුම්වැටි පානය කිරීම දැක්වෙන
දර්ශන පවා මකා දමන රටක තරුණියක් බියර් බොන දර්ශනයක් සජීවී ව
පෙන්වීම විශාල ප්‍රශ්නයකි. මෙය රජය දියත් කැර ඇති මතට තිත
ප්‍රතිපත්තියට අභියෝග කිරීමක් නො වේ ද?
මේ සිදුවීම් දෙස බලා සජීවී ක්‍රීඩා විකාශවලට සීමා පැනවිය යුතු
යැයි අපි නො කියමු. එ සේ නම් මෙහි දී අනුගමනය කළ යුතු
ක්‍රියාමාර්ගය කුමක් ද යන ප්‍රශ්නය නිතැතින් ම මතුවනු ඇත. 2004
වසරේ දී පළ කළ “ලෝක ව්‍යාප්තීකරණය හා සංස්කෘතික ආක්‍රමණය”
නමැති ලිපියෙහි ආරියවංශ රණවීරයන් දක්වන මේ අදහස අපට කිසියම් මඟ
පෙන්වීමකි.
‘මැලේසියාව නැගෙනහිර ආසියාතික රටවල් අතර වේගයෙන් සංවර්ධනය වන
රටක් වූව ද එහි මුස්ලිම් ආගමත්, ඒ මත පදනම් වූ සංස්කෘතික හර
පද්ධතීනුත් සමාජ ව්‍යුහය තුළ තදින් කා වැදී ඇති රාජ්‍යයකි. මීට
වසර තුනකට පමණ පෙර මයිකල් ජැක්සන් නම් ප්‍රකට පොප් ගායකයා
ප්‍රසිද්ධ සංගීත සංදර්ශනයක් සඳහා එරටට පැමිණීමට අවසර ඉල්ලූ
විට, මුලින් මැලේසියානු රජය ඊට අවසරය දීම ප්‍රතික්‍ෂේප කළේ ය.
එහෙත් නැවතත් මේ ගැන ගැඹුරින් කල්පනා කළ ඒ රජය මයිකල් ජැක්සන්ට
ඒ සඳහා අවසර දුන්නේ ය. ඒ තීරණය පිටුපස වූ තර්කය නම් හානිකර වූ
බාහිර බලපෑම් වලට මුහුණ දිය යුත්තේ තහංචි පැනවීමෙන් නො ව, තම
රටේ ආවේණික සංස්කෘතික අංග සොයා ගෙන ගොස්, ඒවා මත නව නිර්මාණ
ගොඩ නංවා එය රැගෙන ජනතාව වෙත ගොස් ප්‍රදර්ශනය කිරීමෙන් ය,
යන්නය. මැලේසියානු ආණ්ඩුවේ මේ තීරණය බත්මූණෙන් ඇත් මූණ
බිඳීමකි.’
ක්‍රිකට් සජීවී විකාශයේ දී අප දුටු මේ සිද්ධි දෙක පිළිබඳ ව
මෙහි සඳහන් කිරීමට හේතුව කිසිවකුට දොස් පැවරීම නො වන බව ද කිව
යුතු ය. මැලේසියානු රජය මයිකල් ජැක්සන් සම්බන්ධයෙන් අනුගමනය කළ
ආකාරයට බත්මූණෙන් ඇත් මූණ බිඳීමේ වැදගත්කම පෙන්වා දීම අප ගේ
අරමුණ ය. |