මනෝධර්ම සංගීතය සොයා යෑම
වර්තමාන බෞද්ධ භික්‍ෂූන් වහන්සේ ගේ සමාජයීය කාර්ය භාරය පිළිබඳ
කදිම නිදසුන් සපයන ලිපියක් අද දින අප පත්‍රයේ 9 වන පිටුවෙහි පළ
කැර තිබේ. ගී තනු නිර්මාණය හා ශබ්දපරිපාලනය යන ක්‍ෂේත්‍ර
දෙකෙහි සමත්කම් දක්වන බිබිලාදෙණියේ මහානාම හිමියන් ගැන ලියා
ඇති එම ලිපිය ඇතැම් බැතිමතුන් ගේ විවේචනයට ලක් විය හැකි ය.
එහෙත් රාජගිරිය සදහම් සෙවණ ධර්මායතනාධිකාරී අතුරලියේ රතන
හිමියන් විසින් සඳහන් කැර ඇති පරිදි, මිනිස් කමින් පිරුණු
ලොවක් තැනීමේ උතුම් අරමුණ පෙරදැරි ව අධ්‍යාත්මික සංහිඳියාවට මඟ
පාදන භාවනාමය සංගීතයක් නිර්මාණය කිරීමට දැරූ ප්‍රයත්නයක් ලෙස
මෙය අගය කළ යුතු ය.
උන්වහන්සේ සතු මේ විරල හැකියාවන් ගැන අප පාඨකයන් දැනුවත් කිරීම
වැදගත් යැයි අපි කල්පනා කළෙමු. එහෙත්, මෙය පළ කිරීමට එක ම
හේතුව උන්වහන්සේ සතු හැකියාවන් විරල ගණයේ ඒවා වීම නො වේ. එම
හැකියාවන් උපයෝගී කොට ගෙන කැරැ තිබෙන නිර්මාණ වන ‘සුදු පියුමක්
සේ’ හා ‘සංසාර සංග්‍රාමයේ’ යන සංයුක්ත තැටි යුගලෙහි දක්නට
ලැබෙන යහපත් ලක්‍ෂණ ය.
කෙ සේ වූව ද මතුවිය හැකි විවේචන ආදිය පිළිබඳ ව බිබිලාදෙණියේ
මහානාම හිමියන්ට නිසි අවබෝධයක් ඇති බව පෙනෙන්නට තිබේ. මේවා
උන්වහන්සේ විසින් පළ කළ අදහස් ය.
“භික්‍ෂූන් වහන්සේ ගේ මූලික අරමුණ හා අපේක්‍ෂාව ග්‍රාමවාසී ව
හෝ අරණ්‍ය ගත ව බණ භාවනා වඩමින් නිර්වාණාවබෝධය සඳහා කටයුතු
කිරීමයි. එම උදාර අපේක්‍ෂාවේ නිරත වනවාත් සමඟ, පවතින සමාජ
රටාවේ දී මේ සමාජයේ උන්නතිය උදෙසා මෙහෙවර සිදු කිරීමට අපේ
හාමුදුරුවන් පෙළඹී සිටිනවා. එය විවිධ අංශ මඟින් සිදු කැරෙන බව
කල්පනා කළ යුතුයි.දහම් දෙසුමට, පිරිත් දෙසුමට දක්‍ෂ විචිත්‍ර
දේශකයන් වහන්සේ ඒ ඒ අංශයෙන් සමාජයට මහත් මෙහෙවරක් ඉටු කරනවා.”
‘මා කුඩා කල පටන් සංගීත අංශයට ඇලුම් කළා. ඒ නිසා සමාජ අයහපතට
නො ව යහපත උදෙසා, සංගීත අංශයෙන් මා වඩාත් දක්‍ෂයකු යැයි සිතන
නිසා ඒ අංශය මඟින් සමාජයට මෙහෙවරක් කිරීමට එය තෝරා ගත්තා.
සමාජය ගමන් කරන්නේ නව ආරකටයි. ‘හිපොප්’ ගීත කලාව ආදියෙන්
සංගීතය යම් රැල්ලකට නැඹූරු වී තිබෙනවා. භික්‍ෂුවක් ලෙස මගේ
ජීවිතයේ සැඟ වී තිබෙන කුසලතා සහ හැකියාවන් මඟින් සමාජයට යහපතක්
කළ හැකි නම් ඒ මඟින් හෝ සමාජයට යහපතක් කළ යුතුයි.’
“අපේ නව තරුණ පරපුර නිවැරැදි මාවතකට යොමු කැර වීමට සාහිත්‍යය
මෙන් ම සංගීතය ද මහෝපකාරීවනවා. එ මඟින් සමාජයට සහාය වීම අපේ
යුතුකමක්. සංගීත කලාවෙන් යමක් ඉටු කිරීමට උත්සාහ කිරීම ගැන
කෙනෙක් අපට චෝදනා කළ හැකියි. එහෙත්, අපට ඒ විෂය මඟින් හෝ
අයහපතට යෙදෙන සමාජය ඉන් වළක්වා ගෙන යහපතෙහි යෙදෙන මඟ හෙළි කළ
හැකි නම්, එය කෙතරම් යහපත් ද?”
බිබිලාදෙණියේ මහානාම හිමියන් ගේ මේ ප්‍රයත්නය අගය කිරීමේ දී
කලාව හා රස වින්දනය පිළිබඳ ප්‍රබුද්ධ මතවාදය අපට බෙහෙවින්
ඉවහල් විය. අප මෙයට පෙර ද උපුටා දක්වා ඇති මහාචාර්ය නන්දසේන
රත්නපාල විසින් ලියන ලද “ප්‍රබන්ධනාත්මක ගීත චින්තනයෙහි
සමාජානුයෝජනය” නමැති ලිපිය මෙහි යළි උපුටා දක්වමු.
‘සංගීතයෙහි අතිශයින් ම උත්කර්ෂවත් අවස්ථාව මානසික සංවර්ධනය
කෙරෙහි යොමු කරවා ගත හැක්කකි. මනෝධර්ම සංගීත සාධනාව භාවනාවක්
වන්නේ මෙ බඳු තැන දී ය. මනෝධර්ම සංගීතය නමින් සංගීත ආකෘතියක්
විශ්ව සංගීතයෙහි විකාශනයට පැමිණියේ මෙය පාදක කොට ගෙන ය. සංගීත
නාදය රසභාව දැනවීමට පොහොසත් ය. සංගීත නාදය කලාත්මක ව කම්පනය
වන්නකි. එහි රැඳී ඇත්තේ ඒකාකාර චලනයක් ඇති පෙළගස්වන ලද හඬ
වැලකි. එ බඳු නාදයන් පමණක් සංගීතෝපයෝගී වන අතර අනෙක් නාද කන්
රිදුවන ඝෝෂාවක් වශයෙන් සංගීත විද්‍යාඥයන් විසින් හඳුන්වනු
ලබයි. විධිමත් වූ ක්‍රමික පෙළගැස්මෙන් මනස තුළ පවත්වන බලය
මිනිස් ජීවිතයෙහි වැඩට මෙන් ම අවැඩට ද හේතු විය හැකි ය. සියුම්
රුචියක් සහ වින්දන ශක්තියක් සංගීතයට සමාන්තර ව සමාජයෙහි
ව්‍යාප්ත කළ යුත්තේ මේ නිසා ය.’
සැබවින් ම මෙ බඳු සංගීත නිර්මාණ බිහි කිරීම සඳහා අවශ්‍ය
ශික්‍ෂණය බිබිලාදෙණියේ මහානාම හිමියන් සතු ය. එය අගය කිරීම අප
ගේ යුතුකමක් නො වේ ද? |