UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රාජසිංහ රජ සමය හා සීතාවක රාජධානිය මායිම් කරන තුන්කෝරළය සිංහල වංශ කතාවේ සුවිශේෂී ස්ථානයක් ගනියි. බෞද්ධ පුනරුදයේ අරුනලු දකින සමයක මෙම ඓතිහාසික භූමිය ඒකාලෝක කළ ධර්ම කේන්ද්‍රස්ථානයක් වන්නේ බුද්ධ වර්ෂ 2433 දී ඉදි වූ යටියන්තොට ශ්‍රී නන්දාරාම විහාරස්ථානයයි.


බුදුමැදුරේ විචිත්‍ර ප්‍රතිමා

කෑගල්ල දිස්ත්‍රික්කයේ දැදිගම රජමහා විහාරය මුල්කර ගනිමින් තුන්කෝරළය හා හතර කෝරළය පුරා විහිදී ගිය විහාර හරහා එදවස හැමු දම් සුවඳ අපිරිමිතය. යටියන්තොට ශ්‍රී නන්දාරාමය ඉදිවන්නේ ද එහි පසුබිම මුල්කර ගනිමිනි. එවකට දැදිගම රජමහා විහාරාධිපතිව වැඩ විසූ ගරු රේවත නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යා බවට පත්වන්නේ තුන් කෝරළයේ ගනේකන්ද රජමහා විහාරාධිපතිව වැඩ විසූ ගිල්මේ ශ්‍රී සිද්ධාර්ථ හිමිපානන්ය. උන්වහන්සේගේ ප්‍රධාන ශිෂ්‍යයෙකු වූ දොඹේපොල ධම්මජෝති හිමිපානන් මෙම රමණීය විහාරස්ථානය ගොඩනැගීමට මූලික වී තිබේ.

උන්වහන්සේගේ මූලිකත්වයෙන් ආරම්භ කළ මෙම විහාරස්ථානය ප්‍රදේශයට දහම් සිසිල බෙදා දෙන ප්‍රධානස්ථානය බවට පත් කිරීම වෙනුවෙන් මුල පුරන්නේ අලවතුරේ ධම්මානන්ද නාහිමියන්ය. උන් වහන්සේගෙන් ඇරඹෙන ශ්‍රී නන්දාරාමයේ පුනරුදය ස්වර්ණමය යුගයක් කරා රැගෙන යන්නේ රාජකීය පණ්ඩිත අලවතුරේ ධම්මකීත්ති නාහිමියන්ය.

තුන් කෝරළය හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පදවිය දැරීමට තරම් උතුම් ශාසනික සේවයක නියලි උන්වහන්සේ කළ සේවාව විශිෂ්ට වේ. භාෂා පහකට වැඩි සංඛ්‍යාවක් චතුර ලෙස හැසිරවීමට සමත් පඬි රුවනක් වූ උන්වහන්සේ විසින් සිදුකළ සමාජ මෙහෙවර අති විශාලය. 1975 සිට දශක ගණනක් පුරා උන්වහන්සේ විහාරය සියලු ගොඩනැගිලි හා අනෙකුත් යටිතල පහසුකම් සියල්ලම සපුරාලීමට තරම් වීම විශේෂත්වයකි.


විහාරාධිපති බොස්සැල්ලේ ධම්මාවාසී නාහිමි


බුදුමැදුරේ විචිත්‍ර ප්‍රතිමා

1984 වර්ෂයේ දී උන්වහන්සේගේ අප්‍රතිහත උත්සාහය මත ඉදි වූ අලංකාර බුදු මැදුර සියලු වන්දනාකරුවන්ගේ මහත් වන්දනාවට බඳුන් වෙයි. ලංකාවේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන්ගේ තෙළිතුඩින් ඔපවත් වී ඇති බෝසත් සිරිත හා බුදු සිරිතේ විවිධ අවස්ථා සෑම එකකින්ම ජනතාවගේ අධ්‍යත්මික ගුණ වගාවට මහඟු ආදර්ශයක් සපයයි. හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම, මෙන්ම බෝසත් උපත මහාභිනිෂ්ක්‍රමණය, කිඹුල්වත් පුර පිඬු සිගා වැඩීම, සුජාතා සිටු දේවියගේ කිරි පිඬු දානය, අංගුලිමාල දමනය, මෙහෙනි සස්න පිහිටු වීම වැනි අවස්ථා මූර්තිමත් කර ඇත්තේ බොදුනුවන්ගේ හදවත් සැදෑ බැතියෙන් පුරවාලමිනි. ධර්ම චක්‍ර මුද්‍රාවෙන් නෙළා ඇති ප්‍රථම දේශන අවස්ථාව නිරූපණය වන බුද්ධ ප්‍රතිමාව මෙහි වැදගත් තැනක් ගනී.

බෞද්ධ ආරාමයක ප්‍රධාන පූජ්‍ය වස්තූන් සේ සලකන ත්‍රිවිධ චෛත්‍ය මේ විහාරස්ථානයේ පිහිටා ඇත්තේ මනස්කාන්ත භූමියක් කේන්ද්‍ර කර ගනිමිනි. ශාරීරික ධාතු තැන්පත් කළ චෛත්‍යය වසර 70 කට වඩා පැරණිය. සිසිල් අමා දම් සුවය විහිදෙන බෝධිය පිහිටා ඇති භූමිය ඈත කඳු වළල්ල වටකරමින් ගලා බසින වී ඔයේ දසුන අති සුන්දර වේ. එමෙන්ම මෙහි බුදු මැදුර පිහිටා ඇත්තේ ද මෙය පසුබිම් කර ගනිමිනි. සඳකඩ පහන, පුන් කලස, දොරටු පාල රූප ආදි බෞද්ධ කලා සම්ප්‍රදායන්ට අයත් වැදගත් අංග ද වතුර මලක් සහිත කුඩා පොකුණකින් විහාර ස්ථානය තවත් අලංකාර කරයි.

මෙහි ඇති සතර මහා දේවාලය ද පළාත් වාසීන් මහත් භක්තියෙන් වන්ද නාමාන කරන ස්ථානයකි. එමෙන්ම විශාල උපාසක පිරිසකට දහම් අමා රස බෙදා දෙන දෙමහල් ධර්ම ශාලාවද විහාරස්ථානය පරිපූර්ණ කරයි.


දොඹේවෙල ධම්මජෝති නාහිමි ඇතුලු විහාරස්ථානයේ පුරෝගාමී හිමිවරුන්

2006 වර්ෂයේ , ධම්මකීත්ති නාහිමියන් අපවත්වන විට විශාල දායක පිරිසක් විහාරස්ථානයට සමීප වී සිටියේ පුදුමාකාර ලෙසිනි. වර්තමානයේ සෑම කටයුත්තක්ම ඉටු කිරීමේ භාරදූර කටයුත්ත පැවරී ඇත්තේ වර්තමාන විහාරාධිපති ශාස්ත්‍රවේදී බොස්සැල්ලේ ධම්මාවාස නාහිමියන් වෙතයි. නායක හිමියන්ගේ අපවත් වීමෙන් පසු තම වගකීම හොඳින් වටහා ගත් උන්වහන්සේ මේ වන විට කටයුතු රැසක් ආරම්භ කර තිබේ. ශ්‍රී ධම්මානන්ද පුස්තකාලය ගොඩනැඟීම ධාතු මන්දිරය හා සංඝාවාසය කේ. ජී. එල්. ගුණවර්ධන බෞද්ධ මධ්‍යස්ථානය ඉදිකිරීමෙන් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවන් රැසක් ලබා දීමට උන්වහන්සේ බලාපොරොත්තු වෙති.

ධම්ම කීත්ති හිමියන්ගේ ශාසනික සේවාව තුළින් බිහි වූ ශිෂ්‍ය පරම්පරාව රට දැයට ආලෝකයක් වෙමින් දසත විසිරී පැතිරී සිටිති. නිට්ටඔුවේ සාරිපුත්ත ගුරු අභ්‍යාස විද්‍යාලයේ නියෝජ්‍යය පීඨාධිපති තොටගම වාචිස්සර හිමියන් ද එවැනි වියත් හිමිනමකි. උන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් බොහෝ සේවාවන් ඉටු කරති. තුන්කෝරළය හා පහත බුලත්ගම දෙපළාතේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී ගරාගොඩ උපාලි නාහිමි ගරාගොඩ විජිත ධම්ම හිමි හා පොළොන්නරුවේ සමිත හිමි මෙම විහාරයේ සෑම කටයුත්තකදීම ඉතාමත් උනන්දුවෙන් යුතුව කටයුතු කරන හිමිවරුවෙති.

ශාසනික සේවාවන් විවිධ ආගමික හා සාමාජික සංවිධාන රැසක් අනුබද්ධ වූ මෙම විහාරය මගින් ඉටුවන සමාජයීය මෙහෙවර විවිධ ක්ෂේත්‍ර කරා පැතිර යයි. ප්‍රදේශයේ පැරැණිතම ධර්ම විද්‍යාලය බවට පත් “ සිරි ධම්මජෝති “ දහම් පාසලේ ඉගෙනුම ලබන දරු දැරියක් සංඛ්‍යාව ය දහස් ගණනකි. සිඟිති දරුවන්ගේ නැණ නුවණ පාදන ළදරු පාසල හරහා ලබාදෙන පූර්ව ළමා වියේ කුසලතාවය අගය කළ යුතුය. මෙම සියලු සේවාවන්ට අමතරව විහාරස්ථානය හා අනුබද්ධ සමිති සමාගම් රැසකි. තරුණ බෞද්ධ සමිතිය, බෞද්ධ කාන්තා සමිතිය, දායක සභාව ඇතුලු සමිති රැසක් මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් අත්වැල් බැඳ ගනිමින් කටයුතු කරයි.

මෙම විහාරස්ථානයේ පැවැත්වෙන මහා මිහිදු පෙරහර සුවිශේෂි සංස්කෘතික අංගයක් සේ සැළකේ. තුන් කෝරළයේ මහා සංස්කෘතික මංගල්‍ය සේ සලකන මෙම මිහිදු පෙරහර 69 වැනි වරටත් අති උත්කර්ෂවත් ලෙසින් උඩරට, පහතරට , සබරගමු හා හින්දු සංස්කෘතික නැටුම්, හා අලි ඇතුන් රැසක්ද සහිතව මෙවරත් මහත් අභිමානයෙන් යුක්තව පවත්වනු ලබයි. ජූලි මස 04 දින රාත්‍රියේ වීදි සංචාරය කරනු ලබන මෙම පෙරහර සඳහා කෑගල්ල දිස්ත්‍රික්කයේ මැති ඇමැතිවරු හා ප්‍රභූ රැසක් අනුග්‍රාහක දායකත්වය සපයති.

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]