UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මහා ස්මාරකය

මහසෙන් රජතුමා (ක්‍රි.ව.273 - 301 ) විසින් කැරැ වූ අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය රාජයාණන් වහන්සේ පිළිසකර කොට යළි වන්දනාමාන පිණිස සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම අතිශයින් වැදගත් සිදුවීමකි. බුදුරදුන් ගේ පටී ධාතුවෙන් අඩක් හා අස්ථි ධාතු මෙන් ම කේශධාතු ද තැන්පත් ව ඇති මේ ස්තූපය බෞද්ධයාට ඉතා වැදගත් පූජනීය ස්ථානයක් බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ලොව පැරැණි ම හා විශාලත්වය අතින් තුන්වන ස්ථානයෙහි ලා සැලැකෙන ජේතවන මහා දාගැබ මිනිස් ශිෂ්ටාචාරයට කෙ තරම් වැදගත්දැයි බොහෝ අය නො දනිති. මානව ශිෂ්ටාචාරයේ ඉදිරි ගමන පිළිබඳ සංකේතයක් වන ජේතවනාරාමයේ අගය නිවැරැදි ව අවබෝධ කැර ගැනීම පිණිස සිංහල විශ්වකෝෂයේ ගඩොල් ගැන සඳහන් විස්තරයෙන් කොටසක් මෙහි උපුටා දක්වමු.

“අවුරුදු හය දහසකට පමණ පෙර බැබිලෝනියානුවන් මෙන් ම ඇසිරියානුන් ද ගඩොල් පරිහරණය කළ බව දැන ගෙන තිබේ. යුප්‍රටීස්, ටයිගී‍්‍රස් , නයිල් වැනි ගංගාවන් පිටාර ගැලීම නිසා එකතු වූ රොන්මඩ තට්ටු වතුර බැස ගිය පසු දැඩි හිරු රැසින් වියළී ඉරිතැලී කුට්ටි වූ බවත්, ඒ කුට්ටි අව් වැසි ආදියෙන් ආරක්‍ෂා වීම සඳහා කුටි තනා ගැනීමට භාවිත කළ හැකි බව දැන ගත් ආදි මිනිසා ඒ අනුසාරයෙන් ගඩොල් තනා ගැනීමට ඉගෙන ගත් බවත් විශ්වාස කරනු ලැබේ.”

‘’ගඩොල් තැනීම බැබිලෝනියාවේ සිට බටහිර දෙසටත් මිසරය ඇතුළු මධ්‍යධරණී ප්‍රදේශයටත් නැඟෙනහිරින් ඉන්දියාව, චීනය වැනි රටවලටත් පැතිර ගිය බව සලකනු ලැබේ. ක්‍රි.පූ. 400 දී මෙසපොටේමියාවේ ඌර් නගරයෙහි බෝක්කු සැදීම සඳහා වියළා ගත් ගඩොල් භාවිත කළ බව සොයා ගෙන ඇත.’’

“කලක් ඉක්ම ගිය පසු වියළි ගඩොල් දර යොදා දැවීමෙන් පිළිස්සූ ගඩොල් සකස් කැර ගනු ලැබී ය. නූතන අවදියේ භාවිතයට ගනු ලැබෙන උෂ්ණත්වය පාලනය කළ හැකි පෝරණුව පිළිබඳ මූලධර්මය සොයා ගනු ලැබුවේ ආදිකාලීන ඌර් වැසියන් විසිනි. ඌර්හි සිගුරට් ස්මාරකය ගඩොලින් නිම කළ ඉපැරැණි ඉදිකිරීමක් පිළිබඳ නිදර්ශනයකි. එය මුලින් වියළි ගඩොලින් තනනු ලැබුව ද අවුරුදු 1500 කින් පසු පිළිස්සූ ගඩොල් යොදා ප්‍රතිනිර්මාණය කරනු ලැබී ය. ආදි මිසර දේශවාසීහු ගඩොල් තැනීම හා භාවිත කිරීම දැන සිටි බව එම ගඩොල් වල තත්කාලීන රජවරුන් ගේ මුද්‍රා සටහන් යොදන ලද බවත් සොයා දැන ගෙන තිබේ. ඉන්දියාව ගැන සලකන විට ක්‍රි.පූ. 2500 - 1500 අතර වූ හරප්පා සමයේ දී ද පිළිස්සූ ගඩොල් භාවිත කොට ඇත්තේ ය. ක්‍රි.පූ. 210 දී චීන මහා ප්‍රාකාරය තැනීමේ දී ගඩොල් දෙවගය ම පරිහරණය කරනු ලැබීය. “

“ක්‍රි.පූ. 3 වන සියවස වන විටත් ශ්‍රී ලංකාවේ ගඩොල් භාවිතය ප්‍රචලිත වී තිබුණු බවට නිශ්චිත සාක්ෂ්‍ය ඇත්තේ ය. ක්‍රි.පූ. 3 වන සියවසට අයත් ථූපාරාම දාගැබ ශ්‍රී ලංකාවේ පිළිස්සූ ගඩොලින් ඉදි කරන ලද ප්‍රථම ඓතිහාසික නිර්මාණය යැයි කිව හැකි ය. වාසය සඳහා ඉදි කරන ලද ප්‍රථම ගොඩනැගිල්ල වියළි ගඩොලින් තනන ලද්දකි. කාර්යයේ හදිසි බව නිසා මේ ගඩොල් ගිනිහුල් වලින් වියළා ගත් බවත්, ඒ නිසා කළු පැහැ වූ ඒ ගඩොලින් බඳින ලද ගොඩනැගිල්ල ‘කාලපාසාද ‘ නම් වූ බවත් වංශ කතාවල දැක් වේ. වැඩි කල් නොයවා ම පිළිස්සු ගඩොල් කර්මාන්තය මෙ රට දියුණුවේ උසස් ම තැනට පත් වූයේ ය. ක්‍රිස්තු පූර්ව දෙවන සියවස වන විට රුවන්මැලි සෑය, මිරිසවැටිය වැනි මහා කර්මාන්තත්, පළමු වන සියවස වන විට අභයගිරිය වැනි අති විශාල දාගැබ් කිරීමටත් තරම් උත්කර්ෂවත් තත්ත්වයකට එය පත් වූයේ ය.”

මෙයට වසර එක්දහස් හත්සියයකට පමණ පෙර ගඩොලින් ඉදි කළ ජේතවන දාගැබ කෙ තරම් වැදගත් ස්මාරකයක් දැයි මේ අනුව අප පාඨකයන්ට වැටහෙනු ඇත. අක්කර අටක් වසා පැතිර ඇති ජේතවන සෑ මළුව වල් බිහි වීම අප ජාතියේ පිරිහීම සංකේතවත් කිරීමක් ලෙස සැලැකීම වරදක් නො වේ. එ බැවින් වසර විසි අටක් පුරා ප්‍රතිසංස්කරණය කොට පසුගිය 18 වනදා පැවැති, යළි වන්දනාමාන පිණිස විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ මේ ප්‍රකාශය රටේ සියලු දෙනා ගේ අවධානයට යොමු විය යුතු ය.

“ලෝකයේ ගඩොලින් තැනූ විශාලතම චෛත්‍යය ඉදි කරමින් එදා අපේ රටේ විසූ මුතුන් මිත්තන් එක් පණිවුඩයක් ලබා දුන්නා. ඒ තමයි ඔව්, අපිට පුළුවන් යන්නයි. අපි ඒ දේ වර්තමාන පරපුරට ලබා දී ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් භාරදීමට කටයුතු කළ යුතු යි. මේ ඓතිහාසික පූජා භූමියේ සිට ඒ වගකීම අකුරට ම ඉටු කරන බවට මා ප්‍රතිඥා දෙනවා “

ජේතවන දාගැබෙහි අගය වටහා ගැනීම සඳහා තවත් එක් උදාහරණයක් දැක්වීම මැනවැයි සිතමු. වර්තමාන ලෝකයේ ප්‍රධාන බලවතකු වන බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ඉදි කිරීම් සඳහා ගඩොල් භාවිත කැර ඇත්තේ ක්‍රි.ව. 1666 දී එ රට මුහුණ දුන් මහා ගින්නෙන් පසු බව එම කරුණයි. එහෙත්, මහසෙන් රජු දවස ජේතවන දාගැබ වැනි දැවැන්ත ගඩොල් නිර්මාණ ඉදි කළ ශ්‍රී ලාංකිකයන් ගේ අද තත්ත්වය කෙ බඳු ද?

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූනි 29 වන දා සඳුදා පූර්ව භාග 05.25 ට ලබයි. 30 වන දා අඟහරුවාදා පූර්වභාග 4.45 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 29 වන දා සඳුදා ය.

මී ළඟ පෝය ජූලි 6 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 29

Full Moonපසෙලාස්වක

ජූලි 06

Second Quarterඅව අටවක

ජූලි 15

New Moonඅමාවක

ජූලි 21

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]