කල් පවතින සැබෑ දියුණුවකට නොවරදින මාවත
මහනුවර,
අස්ගිරි විජයසුන්දරාරාමයේ
ශාස්ත්‍රවේදී,
අමුණුපුර පියරතන හිමි
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
සුවිජානෝ භවං හෝති
සුවිජානෝ පරාභවෝ
ධම්ම කාමෝ භවං හෝති
ධම්ම දෙස්සී පරාභවෝ
පින්වත්නි,
සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර
ජේතවනාරාමයෙහි වැඩ වසන කළ එක් රාත්‍රියක දේවතාවෙක් පැමිණ, පුද්ගලයකු
පිරිහීමේ දොරටු මොනවාදැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පරාභව
පිරිහීමට හේතුවන මෙම ගාථාධර්මය දේශනා කළසේක.
දියුණුවන්නා මෙන්ම පිරිහෙන්නා ද ඉතා පහසුවෙන් දැනගත හැකි බව කෙනකුගේ
චිත්තන ධාරා ප්‍රසාරණයෙන් පෙන්නුම් කෙරේ. එම පරිහාණි දොරටුවල මූලය
වශයෙන් දියුණු වන්නා දහමට හා දැහැමියාට රුචිවන අතර පිරිහෙන්නා අදහමට
මෙන්ම අධාර්මිකයාට රුචිකරණ බව මෙම ප්‍රථම ගාථාවෙන් ප්‍රකාශනය වේ.
දියුණුව යනු නැති දෙයක් ඇති කර ගැනීම හා ඇතිදේ වැඩි කර ගැනීමත් ය.
භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මික ගුණදම් වශයෙන් එසේ වර්ධනය කරගත හැකි ය.
පුද්ගලයකුට තම රුචිය අනුව භෞතික සම්පත් හෝ කුසල් හෝ වර්ධනය කරගත හැකි
ය. එහෙත් මානව ධර්මය අනුව නම් කුසල් වර්ධනය කරගැනීමත් එමඟින් භෞතික
සම්පත් අවශ්‍ය ප්‍රමාණය අනුව වර්ධනය කරගැනීමත් ශිෂ්ඨ සමාජය වශයෙන්
සම්මත වේ.
එය පුද්ගලයාගෙන් සමාජයට වන උපරිම සේවාවයි. උදාර මානුෂික හැඟීම්
පුද්ගලාන්තරව ක්‍රියාත්මක කිරීමට නම් අප බුදුරජාණන් වහන්සේ විසින්
පෙන්වා වදාළ පිරිහීමේ දොරටු දැනගෙන හැකිතරම් දුරට ජීවිතයෙන් එය බැහැර
කළ යුතු වේ.
එමෙන්ම මෙහි මිනිසා ධාර්මිකවීම මිනිසාගේ යුතුකමක් මිස ආගමෙන් නීතියෙන්,
දර්ශණයෙන්, විද්‍යාවෙන් කෙරෙන සම්ප්‍රේෂණයක් නොවේ. කුමන ඉගැන්වීමකින්
හෝ මිනිස් චින්තනය සමාජයට අනම්‍ය වේ නම් එය සපුරා අධර්මයක් වන අතර
ශිෂ්ඨ සමාජය විසින් එය ප්‍රතික්‍ෂේප කරනු ලැබේ.
කුශලා’කුශල කර්මයන්ගේ ප්‍රතිවිපාකයන්ට සාපේක්‍ෂව ධර්මා’ ධර්මය විනිශ්චය
කිරීම විනා මනුලොවේ ප්‍රත්‍යක්‍ෂ නොව දේවභූත ආශ්චර්යකින් සිදුවන දෙයක්
ලෙස තීරණය කොට බුද්ධියට සීමා පැනවීමක් බුදුදහමේ කිසිම තැනක සඳහන් නොවේ.
සත් ධර්මය රුචිනොකරන අසත්පුරුෂයන්; අසත් ධර්මයට හා එවන් පුද්ගලයන්ටම
කැමැතිවීම හා සත් ධර්මයට හා සත් පුරුෂයන්ට ද්වේෂ කිරීම ලෝකයේ ඇති
ප්‍රධානතම ගැටලුවයි. සත් අසත් භාවය නිසග බුද්ධියෙන් හඳුනාගත් මිනිසාගේ
උදාර චින්තනය හා ක්‍රියාකාරීත්වය, දියුණුවේ උපරිම තලයට පියවර තැබීමට
පදනමකි.
නිද්දාසීලී සභාසීලී
අනුට්ඨා තාච යෝ නරෝ
අලසෝ කෝධ පඤ්ඤානෝ
තං පරාභවතෝ මුඛං
යෝ මාතරංවා පිතරංවා
ජිණ්ණකං ගත යොබ්බනං
පහුසන්තෝ නභරති
තං පරාභවතෝ මුඛං
පුද්ගයෙකුගේ උසස් ක්‍රියාකාරීත්වය අක්‍රීය වන්නට උපන් පරිසරය
ප්‍රධානවශයෙන් බලපාන බව මානව සමාජ විද්‍යාව අනුව තීරණය කළ හැකි වූවද
එයද වෙනස් කිරීමේ ශක්තියක් මිනිසාට ඇත.
චින්තනයේ අක්‍රිය භාවය, අනවශ්‍ය සමාජ ආශ්‍රය ක්‍රෝධය යන බාල සිතිවිලි
පැමිණෙන්නේ සන්තානයේ උදාර හැඟීම් පිළිබඳ රික්තයක් ඇතිවූවිට ය. මේ නිසා
පුස්ගලයා පිරිහීමට පත්වීම ස්වාභාවික ය. පුද්ගලාන්තර සම්බන්ධයේ දී
දෙමවුපිය, ගුරුවර ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් පිළිබඳ ප්‍රතිචාරයද සද්භාවයෙන්
උදාරත්වයට පැමිණීම සඳහා කුඩා කළ පටන් පරිචිත අභ්‍යාසයක් තිබිය යුතු වේ.
ආගමික ජාතික සිරිත් විරිත් වලින් නම්‍යශීලීවන තැනැත්තාගේ ආකල්ප
ප්‍රසන්න නිසා දානය පරාර්ථ සේවය වැනි ශ්‍රේෂ්ඨ ක්‍රියාවලින් ජීවිතය
අර්ථවත් වන්නේ ය. ආත්මාර්ථකාමී පුද්ගලයාගේ අසත්භාවය නිසා ධනය, ජාති,
කුල, ගෝත්‍ර යන සංකල්ප ජාලය තුළම පල්වී විනාශ වන්නේ ය. පරාභව සූත්‍රයේ
දක්නට ඇති පරිහානි දොරටු විවෘත කරගන්නේ එම පුද්ගලයා විසින්ම ය.
ඉත්ථි ධුත්තෝ සුරා ධුත්තෝ
අක්ඛ ධුත්තෝ ච යෝ නරෝ
ලද්ධං ලද්ධං විනාසේති
තං පරාභවතෝ මුඛං
සේහි දාරේහි සන්තුට්ඨෝ
වේසියාසු පදිස්සති
දිස්සති පරදාරේසු
තං පරාභවතෝ මුඛං
නීතිය මගින් මිනිස් චින්තනයට සීමා පැනවිය නොහැකිවූවද සමාජ අවනතියට
හේතුවන පුද්ගල ක්‍රියාකාරීත්වය පිළිබඳව පහත් ආකල්ප හා එයින් වන අභාග්‍ය
තත්ත්වය පෙන්වීමට ආගමෙන් හැකිවන අතර නීති මගින් පාලනය කිරීමට හැකියාව
ඇත.
සුරාව දුරාචාරය, වංචාව, සූදුව ආදී පහත් ක්‍රියාවන් පරිසරය සමඟ සමීප
සම්බන්ධතාවයක් ඇති කර එකිනෙකට වෙලී පැටලී විෂමාචාර සමාජයකට හේතු වේ.
ඉත්ථි සොණ්ඩිං විකිරණිං
පුරිසංවාපි තාදිසං
ඉස්සරියස්මිං ඨපාපේති
තං පරාභවතෝ මුඛං
අවිද්‍යාව, තණ්හාව, රාගය, ක්‍රෝධය වැනි පහත් අධම හැඟීම් ක්‍රියාත්මක වන
ආකාරය අප බුදුරජාණන් වහන්සේ විසින් මනෝවිද්‍යානුකූලව චිත්‍රාකාරව
පෙන්වා දී ඇත. පුද්ගලයා හීනදීන හැඟීම්වලින් වහලෙකු වූ විට ලෝකය සම්බන්ධ
යථාර්ථය අවබෝධ නොවේ. ඔහුගේ දූෂිත සන්තානය ඔහුටම පිරීහීම ඇති කරන්නේ ය.
බුද්ධ කාලීන භාරත සමාජය, තුළ පැවති විෂමාචාර ක්‍රියාවන්ට මූලිකවූයේ
දුරාචාරය හා සුරාපානයයි. සමාජයේ උසස් අය වශයෙන් සම්මත රජවරු ඇතුළු
ප්‍රභූ පිරිස් පවා මේ සඳහා පෞද්ගලික හැඟීමෙන් ධනය, කාලය ශ්‍රමය
යෙදීමෙන් ජීවිත ගත කළ අයුරු බෞද්ධ සාහිත්‍යයෙන් ප්‍රකටවේ. බුදුදහම අනුව
එය දෙලොව අභිවෘද්ධිය වසාලන ප්‍රමාද දෝෂයකි. අපායට යන දොර විවර කිරීමකි.
ඒතේ පරාභවේ ලෝකේ
පණ්ඩිතෝ සමවෙක්ඛිය
අරියෝ දස්සන සම්පන්නෝ
ස ලෝකං භජතේ සිවන්ති.
අප බුදුරදුන් විසින් මෙම පරාභව සූත්‍රයෙන් පිරිහීමේ දොරටු දොළසක්
පෙන්වා දී ඇත. මිනිස් කයක් ලබාගත් සෑම සත්වයාම උපන්දා පටන් කරන ප්‍රධාන
කාරනය නම් කුමන අංශයකින් හෝ නැති දේ ඇති කර ගැනීමත් ඇති දේ වැඩි කර
ගැනීමත් ය.
කායික වශයෙන් ලබන පෝෂණයට සමගාමීව මානසික පෝෂණයත් ලැබේ. එහෙත් ගුණදහමින්
පෝෂණය වීමට අවශ්‍ය පරිසරය ලබන්නේ පෙර සසරදී කළ දසකුසල් දහම්වල
ප්‍රතිවිපාක වශයෙනි.
මානුෂික චින්තනයක් මානුෂික ශරීරයත් ලබාගත් තැනැත්තා උසස් පරිසරයට අනුව
විමර්ශණ ඤාණයෙන් ආගම දහම, නීතිය දැනගෙන දියුණුවේ මඟ පියවර තැබීමට
අප්‍රමාදව ක්‍රියා කළ යුතු වේ.
එවන් පුද්ගලයා ගුණ නුවණින් සම්පූර්ණව ආර්ය දර්ශනය ඤාණයෙන් කෙදිනක හෝ
චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රත්‍යක්‍ෂ කොට උතුම් නිවන් සුවෙන් සදා සැනසුම
ලබන්නේ ය.
ඔබ සැමට තෙරුවන් සරණයි.
|