බටහිර ශිෂ්ටාචාරය බිඳ වැටීම
වර්තමාන ලෝක ආර්ථික අර්බුදය කුමක්දැයි තේරුම් ගැනීම අප ගේ
පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබේ. එය එ සේ වන්නේ
ඇයි ද යන්න මෙන් ම ධර්ම සන්නිවේදනය සමඟ එහි ඇති සබඳතාව කුමක් ද
යන්න පිළිබඳ ව අප පාඨකයන් තුළ කුතුහලයක් ඇති වීමට පුළුවන. මේ
කුතුහලය සන්සිඳවීම පිණිස විශිෂ්ට ශ්‍රී ලාංකිකයකු ගේ අදහසක්
මෙහි දී උපුටා දැක්වීම මැනවැයි සිතමු. අප මෙහි දී උපුටා
දක්වනුයේ අගමැති එස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1957
දෙසැම්බර් මස 04 වන දා නව දිල්ලියේ දී කළ දේශනයක කොටසකි.
“ශතවර්ෂ ගණනක් පැවැත ආ රෝම ශිෂ්ටාචාරය මධ්‍යතන යුගයේ දී අඳුරේ
සැඟ වී තිබී නැවතත් යුරෝපයේ කතෝලික වැඩවසම් ශිෂ්ටාචාරය
සංකේතවත් කළ පුනර්ජීවයේ උදාව සමඟ ඉස්මතු වුණා. ශිෂ්ටාචාරයක්
අවසන් වරට වෙනස් වුණේ වඩාත් එපිට යුගයක නො වෙයි. එ වැන්නක්
සිදුවුණේ වැඩවසම් ශිෂ්ටාචාරය බිඳී එයින් පසු ධනවාදී
ප්‍රජාතන්ත්‍රවාදී ශිෂ්ටාචාරයන් ඇතිවීම සමඟයි.”
“වැඩවසම් ශිෂ්ටාචාරයේ ප්‍රධාන ම ලක්‍ෂණය වශයෙන් තිබුණේ
ඒකාධිකාරයයි. පාලනය පිළිබඳ ඒකාධිකාරයක් තිබුණා. (වැඩවසම් රදළ
නායකයන් ද හවුල් කැර ගත් රජු ගේ පාලනය) වෙළෙඳාමේ ඒකාධිකාරයකුත්
(රජු ගේ හිතවතුන්ට රජු විසින් වෙළෙඳ ඒකාධිකාරයක් ලබා දුන්නා.)
ඒ වගේ ම ආගමික ඒකාධිකාරයකුත් පැවතුණා. (යුරෝපයේ කතෝලික පල්ලියේ
ඒකාධිකාරය) ඒ වගේම කියනවා නම් අදහස් දැක්වීම පිළිබඳ ව පවා
ඒකාධිකාරයක් පැවතුණා. මේ ආකාරයේ ඒකාධිකාරයට විරුද්ධ ව නැඟී
සිටීමක් වගේ ම, පෞද්ගලික ව්‍යවසාය (පුද්ගලයා ගේ අයිතිය :
පෞද්ගලික ව්‍යවසාය) ස්ථිර ලෙස ඉදිරිපත් කිරීමක් සිදු වුණා.
මූලික වශයෙන් ආර්ථික කැරැල්ලක ස්වරූපයෙන් එය ප්‍රංශයේ සැහැසි
දරුණු තත්ත්වයකට (ප්‍රංශ විප්ලවය) පත් වුණා. එය ජර්මනියේ ඊට
වඩා ලිහිල් ස්වරූපයක් ගනු ලැබුවා. (පාප් වහන්සේට විරුද්ධ ව
මාටින් ලූතර් කිං ඉදිරිපත් කළ රෙපරමාදු ධර්මය) එංගලන්තයේ එය
පාර්ශ්වීය වශයෙන් ආර්ථික සිද්ධියක්, පාර්ශ්වීය වශයෙන් ආගමික
සිද්ධියක්, ඒ වගේ ම පාර්ශ්වීය වශයෙන් අහම්බෙන් සිදුවූවක් (අටවන
හෙන්රි තරමක් අනුරාගී ස්වභාවයක් දැරීමත්, භාර්යාවන් මාරු
කිරීමට ඔහුට තිබූ අභිප්‍රායත් නිසා රෝමයත්, පාප්වහන්සේත්,
රෝමානු පල්ලියත් සමඟ ඔහු ගේ භේදයක් ඇති වුණා.)”
යුරෝපා ශිෂ්ටාචාරයේ වර්තමාන ස්වරූපයත්, එහි දී ආගම ඉටු කළ
දේශපාලන කාර්ය භාරයත් තේරුම් ගැනීමට බණ්ඩාරනායක මහතා ගේ මේ
ප්‍රකාශය අපට බෙහෙවින් උපකාරී වනු ඇත. දැන් අපි ඇමෙරිකාව ලොව
සුපිරි බලවතා බවට පත් වූ ආකාරය දෙස බලමු.
ලුසියානා ප්‍රදේශය ඩොලර් ලක්‍ෂ පහළොවකට ප්‍රංශයේ නැපෝලියන්
ගෙන් මිල දී ගෙන ඇමරිකාවේ භූමි ප්‍රදේශය දෙගුණයකින් විශාල කැර
ගැනීමට ජනාධිපති ජෙෆර්සන් සමත් විය. ඉන්පසු 1819 දී ෆ්ලොරීඩා
ප්‍රදේශය ස්පාඤ්ඤයෙන් මිලදී ගනු ලැබිණ. මෙක්සිකෝවේ කොටසක්
වශයෙන් පැවැති ටෙක්සාස් ප්‍රදේශය 1845 දී ඇමෙරිකානු
සමූහාණ්ඩුවට ඇතුළත් කැර ගැනීම නිසා දෙ රට අතර යුද්ධයක් හට
ගත්තේ ය. එම යුද්ධයෙන් ජයගත් ඇමෙරිකාව මෙක්සිකෝව සතුව පැවැති
කැලිෆෝනියා ප්‍රදේශය තම රටට ඈඳා ගැනීමට සමත් විය. ඔරිගන්
ප්‍රදේශයේ අයිතිය සඳහා බ්‍රිතාන්‍ය සමඟ සටන් වැදුණු ඇමෙරිකාවට
1846 දී එම ප්‍රදේශය ද ලැබිණ. අනතුරු ව ගැස්ඩෙන් ප්‍රදේශය මිල
දී ගත් ඇමෙරිකාව, රුසියාවට අයත් ව තිබූ ඇලස්කා ප්‍රදේශය මිල දී
ගත්තේ ඩොලර් ලක්‍ෂ හැත්තෑ දෙකකට ය. ස්පාඤ්ඤය සතුව තිබූ
පෝටෝරිකෝ, ගුවාම් හා පිලිපීන දූපත් යන ප්‍රදේශ ඩොලර් මිලියන
විස්සක වන්දියක් ගෙවා පවරා ගෙන තිබේ. 1898 දී ස්පාඤ්ඤයට එරෙහි
යුද්ධයේ දී හවායි දූපත සතු කැර ගත් ඇමරිකාව සතු ප්‍රාන්ත ගණන
පනහක් විය.
මෙ සේ ශක්තිමත් වූ ඇමෙරිකාව සුපිරි බලවතකු බවට පත්වීම සඳහා
හිට්ලර් ගේ නාසිවාදී පාලනය ප්‍රිය නො කළ ඇල්බට් අයින්ස්ටයින්
ජර්මනිය අතහැර ඇමරිකාව වෙත පැමිණීම ද ප්‍රබල හේතුවක් විය.
අයින්ස්ටයින් ගේ මඟ පෙන්වීම යටතේ ජනාධිපති රූස්වෙල්ට් (1939
දී) විසින් ඇරැඹි න්‍යෂ්ටික වැඩ පිළිවෙළෙහි ප්‍රබලත්වය 1945 දී
ජපානයට හෙලූ පරමාණු බෝම්බ දෙකෙන් ලොවට හෙළි විය.
අද වන විට ලෝක ආර්ථික අර්බුදයක් බවට පත් වී ඇත්තේ බටහිර
ශිෂ්ටාචාරයේ මේ ගමන ය. නූතන බටහිර ශිෂ්ටාචාරයේ බිඳ වැටීම
වේගවත් කළ අල්කයිඩා ත්‍රස්තවාදීන් ගේ දර්ශනය අනුව ද එය
ගොඩනැඟිය නොහැකි ය. බුදු දහම අනාගත ලෝකයේ අවශ්‍යතාවක් බවට පත්
වන්නේ මෙ තැන දී ය. |