බෝසත් ගුණ සදන
දස පෙරුම් පිළිවෙත
විශ්‍රාම ලත් විදුහල්පති,
බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි
ඩිප්ලෝමාධාරී, ශාස්ත්‍රවේදී
එම්. ඩබ්ලිව්. එස්. ද සිල්වා
පරාර්ථ චර්යාව යනු, අනුන්ගේ හිත සුව පිණිස කටයුතු කිරීම හා සියලු
සත්ත්වයන්ට හිතානුකම්පිකව ජීවත්වීමයි. සමාජ සේවකයකුගේ චරිතයෙහි
අනිවාර්යයෙන්ම මෙම ලක්ෂණය තිබිය යුතු ය. සමාජයට සේවය කිරීමට මෙම ගුණ
ධර්ම අත්‍යාවශ්‍යය. මෙකී ගුණ ධර්ම බුදු දහමෙහි පාරමී යනුවෙන් හඳුන්වනු
ලැබේ. බුද්ධත්වය ලැබූ අවසන් ජන්මය දක්වා බෝසතුන් වහන්සේ විසින් පුරන
ලදි. පාරමී ගණන මෙතෙකැ’යි කිව නොහැකි ය. කල්ප ගණනක් මුළුල්ලේ නොයෙකුත්
ජන්මවලදී මෙකී ගුණ ධර්ම පුරුදු පුහුණු කළ ආකාරය පන්සිය පනස් ජාතක
යනුවෙන් හැඳින්වෙන කථා එකතුවෙහි දැක්වෙයි. බුදු වීමට පෙර එසේ ගුණ ධර්ම
පුරුදු කළ ජන්ම හඳුන්වනු ලබන්නේ “බෝධිසත්ව“ නමිනි. පාරමිතා යනු, ඒ
බෝසතුන්ගේ චර්යාවයි. එය දස වැදෑරුම් ය.
දානං සීලංච නෙක්ඛම්මං -
පඤ්ඤා වීරියෙන පංචමං
ඛන්ති සච්ච මධීට්ඨා න
මෙත්තුපෙක්ඛා ඉමෙ දස
දාන පාරමිතා
සීල පාරමිතා
නෙක්ඛම්ම පාරමිතා
පඤ්ඤා පාරමිතා
විරිය පාරමිතා
ඛත්ති පාරමිතා
සච්ච පාරමිතා
අධිට්ඨාන පාරමිතා
මෙත්ත පාරමිතා
උපෙක්ඛා පාරමිතා
මේ දස වැදෑරුම් චර්යාවෙහි පදනම පරාර්ථ සේවය යි. ගෞතම බුදුන් වහන්සේට
සුමේධ ජන්මයේදීම නිවන් දැකීමට අවස්ථාව ලැබිණි. එය සුමේධ තාපස තුමන්
විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ, දෙවි මිනිසුන් සදහා තමා ෂසින් ඉටු කළ
හැකිව තිබුණු සේවය කිරීමේ අභිප්‍රාය නිසා ය. බුද්ධත්වය ලබා සියලු
සත්වයන්ට විමුක්තිය ලබා දෙමින් සිදු කළේ ඒ සේවයයි.
සමාජ සේවයෙහි ප්‍රධානම ගුණය දානය නොහොත් පරිත්‍යාග යයි. අනුන් සැපවත්
කිරීමේදී අනුනට ත්‍යාගශීලි විය යුතු ය. නැති අයට කෑම බීම ගෙවල් දොරවල්
ඇඳුම් පැළඳුම් ලබාදීම හා ලබා ගැනීමට මඟ පෙන්වීම, අනුන්ගේ වැඩ වලට
තමන්ගේ ශ්‍රමය හා කාලය කැප කිරීම ඒවා සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය උපදෙස්
දීම පරාර්ථකාමියකු තුළ තිබෙන ගුණාංගය , ආත්මාර්ථ කාමිත්වය සමාජ සේවකයකු
තුළ නොතිබිය යුතු දෙයකි. සමාජයේ පොදු යහපත පිණිස ඕනෑම දෙයක් පරිත්‍යාග
කිරීමට සමාජ සේවකයා නිතර සූදානම් විය යුතු ය.
දාන පාරමිතාව පිරූ බෝසතුන් වහන්සේ වරක් අකිත්ති නම් ධනවත් බමුණකුව
උපන්නේය. මිල මුදල්වල හා ධන ධාන්‍යාදී දේවල නිස්සාර භාවය වටහා ගත් ඔහු
තම සම්පූර්ණ ධනයම දුගී මගී යාචකාදීන් අතර බෙදා දී තපස් රැකීමට වනගත
විය. නිසි අහරක් දින ගණනක් නොලබා තපස් රැකි අකිත්ත තවුසා කුස ගිනි නිවා
ගැනීමට ඉතා වෙහෙස වී යම්කිසි වන පත්‍ර (කැළෑ කොළ) කීපයක් සොයාගෙන, ඒවා
කෑමට සූදානම් විය. තවුසාගේ දාන පාරමිතාව පරීක්ෂා කිරීමට සක් දෙවිඳු
මෙවිට දුගී වේසයෙන් ඉදිරියට පැමිණියේ ය. දින කීපයක් සාගින්නෙන් පෙළී
ඉතා අල්ප වූ අහරක් ලබාගෙන කෑමට සූදානම් වූ අකිත්ත තවුසා එම ආහාරය තමා
නොගෙන දුගී වේසයෙන් පෙනී සිටි සක් දෙවිඳුට දීමට ඉදිරිපත් විය. (අකිත්ත
ජා.නො.480) චරියා පිටකයෙහි පෙන්වා දී ඇති පරිදි සංඛ චර්යාවෙන්ද, කුරු
ධම්ම චරියාවෙන්ද මහා සුදස්සන චරියාවෙන්ද , මහා ගෝවින්ද චර්යාවෙන්ද නිමි
රාජ චරියාවෙන්ද චන්ද්‍ර කුමාර චරියාවෙන්ද, වෙස්සන්තර චරියාවෙන්ද සස
පණ්ඩිත චරියාවෙන්ද, බෝධි සත්ත්වයන් වහන්සේ සිය ධනය අඹු දරුවන්, ශාරීරික
අවයව හා මුළු සිරුරම අනුන් වෙනුවෙන් පූජා කිරීමට ඉදිරිපත් වූ අයුරු
පැහැදිලි වෙයි.
පරාර්ථචර්යාවෙහි යෙදෙන තැනැත්තා තුළ මීළඟට තිබිය යුතු වෙයි. ගුණාංගය
මනා හික්මීම නොහොත් ශීලය යි. තමන්ටත් අනුන්ටත් කරදරයක් නොවන පරිදි සිත,
කය, වචනය හික්මවා ගැනීම මෙයින් අදහස් කෙරේ. කෙනෙකුගේ හිත , කය , වචනය
මනාව පාලනය කර නොගැනීම නිසා ඔහුගෙන් සමාජයට සිදුවන හිරිහැර කරදර
අප්‍රමාණය. ප්‍රාණ ඝාතයෙන් වැළකීම සමාජයට අභය දානය දීමකි.
අදත්තා දානයෙන් වැළකීම, මිනිසාගේ අයිතිවාසිකම් රැක දීමකි. බොරු කීමෙන්
වැළකීම සමාජයේ සාමය රැකීමකිය.සාමුහික දියුණුවට ඉඩ දීමකි. කාමයෙහි වරදවා
නොහැසිරීම සමාජයේ සදාචාරය රැක දීමකි. සුරා පානයෙන් මිදීම හැම
දුරාචාරයකටම මුල සිඳීමකි. මෙසේ බලන විට පන්සිල් රැකීමෙන් පමණක් වුවත්
සිඳුවන පරාර්ථචර්යාව සුළු පටු ;නාවන බව පෙනී යයි. අනෙක් සෑම ශීලයක්
සමඟම ආත්ම ශූ®ද්ධියක් මෙන්ම පරාර්ථ සේවයක්ද සිදුවෙයි. එක් චර්යා පිටකයක
බෝසතුන් වහ්සේ හස්ති රාජයකුව ඉපිද තමා අල්ලාගෙන යෑමට ආ මිනිසුන්ට චණ්ඩ
වීමට ඇති අකැමැත්තෙන් ශීලය ආරක්ෂා කර ගෙන අවනත වූ ආකාරය දක්වයි. ජීවිත
පරිත්‍යාගයෙන් සමාදන් වූ සිල් නොකඩවා ආරක්ෂා කළ සැටි භූරි දත්ත
චරියාවෙන්ද , චම්පෙය්‍ය නාග චරියාවෙන්ද මහීස රාජ චරියාවෙන්ද මාතංග
චරියාව ආදී ජාතක කථා වලින්ද පැහැදිලි වෙයි.
පරාර්ථ චර්යා වේ තිබිය යුතු තවත් වැදගත් ගුණයකි. නෙක්ඛම්ම ගුණය.
නෙක්ඛම්ම යනු පංච කාමයෙන් වෙන්වීමයි. වස්තු කාමය හා ක්ලේෂ කාමයයි. කාමය
කොටස් දෙකකි. මෙය මිනිසා දුෂ්චරිතයෙහි ඇද දමන බල වේගයකි. පසිඳුරන්
පිනවීමේ තරඟයට වැටී සිටින මිනිසුන් අතර සිදුවන කෙළවරක් නැති දූෂණ මැඬ
ගත හැකි වන්නේ නෛෂ්ක්‍රම්‍යය පිළිබඳ හැඟීම් මිනිසා තුළ දියුණු
කිරීමෙනි. එහෙයින් නෙක්ඛම්ම පාරමිතාවද පරවැඩ පිණිස කැපවූ ගුණ ධර්මයකි.
නෙක්ඛම්ම පාරමිතාව ඉදිරිපත් කරන චරියා පිටකය යුධඤජය චරියාවෙන් බෝසතුන්
සියලු සැප සම්පත් හැර පැවිදි බිමට ඇතුළත් වූ අයුරු පෙන්වා දෙයි. තවත්
නොයෙකුත් ජන්මයන්හී ද මේ අයුරින්ම සියලු සැප සම්පත් කෙරෙහි ආශාව
දුරුකොට බෝ සතුන් අනගාරික ජීවිත ගත කළ අයුරු සෝමනස්ස චරියාවෙන්ද අයෝඝර
චරියාවෙන්ද, හිස චරියාවෙන්ද, ඝෝණ පණ්ඩිත චරියාවෙන්ද පෙන්නුම් කරයි.
පරාර්ථ චර්යාවෙහි යෙදෙන කෙනකුට ඉතා වැදගත් ගුණාංගයකි. ‘ප්‍රඥාව‘ නොහොත්
නුවණ ප්‍රඥාව බුදු සමයේ මුල් තැන ගන්නා ධර්මයකි. අන් අයගේ ගැටලු
විසඳීමට හැකි වන්නේ එම ගැටලු හොඳින් තෝරා බේරාගත් අයට පමණකි. කෙනකුගේ
බුද්ධිය තවත් අයට උපකාර වීමටත්, මාර්ගෝපදේශ දීමටත් උපකාර වෙයි. මේ අනුව
බලන විට ප්‍රඥාව වර්ධනය කර ගැනීම ද පරාර්ථ චර්යාවෙහි යෙදෙන තැනැත්තකු
ළඟ තිබිය යුතු වැදගත් ගුණාංගයකි. සම්‍යක් දර්ශනයට අනුගතවූ ප්‍රඥාව
ලෝකෝත්තර වශයෙන් මාර්ග ඵල ලබා දෙයි. බෝසත් අවධියෙහි සිට දියුණු වූ
ප්‍රඥාව හැමවිටම අනුන්ගේ යහපත සඳහා කැප වූ අයුරු උම්මග්ග ජාතකයේ මහෝෂධ
පඬි චරියාවෙන්ද, සත්තු භක්ත වැනි ජාතක කථා මගින්ද පෙන්නුම් කරයි.
පරාර්ථ සේවයම පරමාර්ථ කොට පඤ්ඤා පාරමිතාව ගොඩ නැගී ඇති අයුරු මේ අනුව
පැහැදිලි වෙයි.
පරාර්ථකාමියකු තුළ තිබිය යුතු තවත් වැදගත් ගුණාගංයකි. වීර්යවත් වීම,
කම්මැලි අලසයකුට පරාර්ථ චරියාවෙහි යෙදිය නොහැකි ය. අනුන්ට ප්‍රයෝජනවත්
වැඩ ගැන සොයා බලා උනන්දුවෙන එම වැඩ කටයුතු ඉටු කිරීමට ක්‍රියා කළ
යුතුය. මෙවැනි කටයුතු වලදී සමාජයෙන් නොයෙකුත් බාධා හිරිහැර ඉදිරිපත්
වුවත් එම බාධා මැඩ ගෙන වැඩ කිරීමට වීර්යයක් ඔහු තුළ තිබිය යුතු ය.
බෝසත් සිරිතෙයි වීර්ය පාරමිතාව සම්පූර්ණ වූයේ සියලු සතුන්ට විමුක්තිය
සාදා දෙන බුද්ධත්වය ලබා ගැනීමෙනි. වීර්ය පාරමිතාව සලකුණු වූ බෝසත්
සිරිත් රාශියක් ජාතක කථා අතර දක්නට ලැබේ. වණ්ණුපථ ජාතකයට අනුව බෝසත්
තුමා කාන්තාරයක් මැද මහ ළිඳක් කැණ - පැන් ලබා දීමෙන් වෙළෙඳුන්
පන්සියකගේ දිවි ගලවා ගැනීම මෙයට හොඳම නිදසුනකි. වීර්ය පාරමිතාව අනුනට
පිහිට වීමට අවශ්‍ය ගුණ දහමක් බව මෙයින් පැහැදිලි වෙයි.
ක්ෂාන්තිය නොහොත් ඉවසීම ද, පරාර්ථ චර්යාවෙහි යෙදෙන අයට නැතිවම බැරි
ගුණයකි. සමාජ සේවයෙහි යෙදෙන තැනැත්තාට විවිධ මානසිකත්ව ඇති පුද්ගලයන්
සමග කටයුතු කිරීමට සිදු වෙයි. සමාජයේ වෙසෙන හොරුන් , තක්කඩින් හා වෙනත්
දූෂිතයන් සමඟ වැඩ කරන්නට සිදු වූ විට ඔවුන්ගේ හැසිරීම් ගැන කිපෙන, කලබල
වන, කළ කිරෙන අයකුට වැඩි කලක් සමාජ සේවයේ යෙදීම අපහසු සමාජ සේවකයකු
නින්දා අපහාස මෙන්ම ශාරීරික වධ බන්ධනවලට පවා ලක් විය හැකිය. මේ සෑම
අවස්ථාවකම දීම තමාගේ උදාර වැඩ පිළවෙළ කඩාකප්පල් කර නොගෙන, කලබල නොවී,
කෝපයට පත් නොවී, ආරම්භ කළ වැඩ පිළිවෙළ ඉදිරියටම ගෙන යෑම, පරාර්ථකාමියකු
තුළ තිබිය යුතු ගුණාංගයකි. අනුන්ගෙන් සිදුවන වැරැදි හා හිරිහැර නොතකා
සිටීම ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ගුණයකි. සමාජයේ ප්‍රගතියට බාධාවක් වූ අසමගිය
හෙවත් එක්සිත් බවක් නැතිකම පැන නැගී ඇත්තේ, මහජනයා තුළ ක්ෂාන්තී ගුණය
නැති වීම නිසා ය . ක්ෂාන්ති වාදී ජාතකය බෝසතාණන්ගේ ක්ෂාන්ති වාදී ගුණයට
හොඳම නිදසුනකි.
බෝසත් චරියාවෙහි තවත් අංගයක් නම් සත්‍ය පාරිමිතාව යි. (සත්‍ය වචන කීම)
අද සමාජයේ සිදුවන නොයෙක් දූෂණ වලට මූලික හේතුව වන්නේ සත්‍ය වචන
ව්‍යවහාර නොකිරීම යි. බොරුව රජ කරන සමාජයක සාමයක් මෙන්ම ප්‍රගතියක්
දක්නට නොලැබෙයි. විශ්වාසනීයත්වයක් නොමැති සමාජය දිනෙන් දින පරිහානියට
පත්වෙයි. සමාජයක යහපත් පැවැත්මට සත්‍යවාදී බව අවශ්‍යය. අන්‍යොන්‍ය
හිතවත්කම, විශ්වාසය තහවුරු වන්නේ සත්‍ය වචනය පදනම් කරගෙන ය.
සංවිධානාත්මකව යම් වැඩක් සාර්ථක කර ගැනීමට , විශ්වාසය මූලික
අවශ්‍යතාවයකි. පරාර්ථචර්යාවෙහි යෙදෙන තැනැත්තා විසින් අන් අයගේ
විශ්වාසය දිනාගත යුතුයි. තමන් වංචාකාරයකු, සොරකු, තක්කඩියකු නොවන බව,
ඔහු සමාජයට පෙන්වා දිය යුතු ය. වට්ට පෝතක චරියාව, සුතසෝම චරියාව වැනි
චරියා වලින් බෝසත් තුමා සත්‍ය පාරමිතාව පූරණය කළ අයුරු පැහැදිලි වෙයි.
පරාර්ථ චර්යාවෙහි යෙදෙන තැනැත්තා අධිෂ්ඨාන ශක්තියෙන් හෙවත් අරමුණු
ඉටුකර ගැනීමේ දැඩි චේතනාවෙන් යුක්ත විය යුතුය. සමාජ සේවයට බසින
තැනැත්තාට එම වැඩ කටයුතු කිරීමේ දී විශාල වූත් බැරෑරුම් වූත් කර්තව්‍ය
ඉටු කිරීමට සිදු විය හැකි ය. එවැනි අවස්ථාවලදී පසු බා යෑම නොකළ යුතු
දෙයකි. නිර්භීතව, අධිෂ්ඨාන ශක්තියකින් යුතුව ඔහු එවැනි අවස්ථාවලදී
කටයුතු කළ යුතු ය. ආරම්භ කළ සෑම කටයුත්තක්ම අතර මඟ නතර නොකොට කරගෙන යා
හැකි වන්නේ අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත වුවහොත් පමණකි තේමිය පණ්ඩිත
චර්යාවෙන්, බෝසතුන් වහන්සේ අධිෂ්ඨාන පාරමිතාව පූරණය කළ අයුරු පැහැදිලි
වෙයි.
පරාර්ථචර්යාව සඳහා තිබිය යුතු තවත් ගුණාංගයකි මෙත්තාව නොහොත්
ඳත්‍රත්වය. මිත්‍රත්තවය හෙවත් මෛත්‍රිය යන තමන්ට සතුරු මිතුරු සැමට, එක
සේ සුහද තාව දැක්වීම යි. සමාජයේ හැම කෙනකු කෙරෙහි මිත්‍රත්වයක්
හිතවත්කමක්, සුහඳතාවක් නොමැති නම් කෙනකුට සමාජ සේවයේ යෙදීමට නොහැකි ය.
ද්වේශ සහගත පුද්ගලයකු අතින් අනුනට සේවයක් ඉටු නොවෙයි. ද්වේශ සහගත
තැනැත්තා අන් අය නුරුස්සන අතර අන් අය ද ඔහු නුරුස්සති. එබඳු තත්ත්වයක්
යටතේ නියම පරාර්ථචර්යාවක් සිදුවිය නොහැකි ය. මේ නිසා, පරාර්ථචර්යාවේ
යෙදෙන තැනැත්තා තුළ මෙත්තාව නොහොත් මෛත්‍රිය තිබිය යුතු ය. ඒක රාජ
චර්යාව හා සුවර්ණ රාජ චර්යාව වැනි චර්යාවන්ගෙන් උන්වහන්සේගේ මෛත්‍රී
පාරමිතා පූරණය පෙන්නුම් කෙරේ.
පරාර්ථචරියාවෙහි යෙදෙන තැනැත්තා තුළ අවසාන වශයෙන් උපේක්ෂා ගුණය ද
පිහිටිය යුතු ය. උපේක්ෂා ගුණය යනු පැත්තක් නොගැනීම හා ලාභය මෙන්ම
අලාභයත් එක සේ විඳ ගැනීම යි. පරාර්ථ චර්යාවෙහි කෙනකු යෙදිය යුතු වන්නේ
පෞද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන්වත් ප්‍රශංසා ආදිය ලැබීම
පිණිසවත් නොවෙයි. දයානුකම්පාව නිසාම ය. දයානුකම්පාවෙන් සමාජ සේවයට කැප
වන පුද්ගලයා, අලාභ - නින්දා - ගැන කම්පා වීමත්, ලාභ - ප්‍රශංසා ගැන
උදම්වීමත් නො කළ යුතු ය. ඔහු සෑම විටම උපේක්ෂා සහගත විය යුතු ය. මුහුණ
පාන්නට සිදුවන සෑම ප්‍රශ්නයකදීම නොසැලී - උපේක්ෂාවෙන් යුතුව , සිත
කම්පා කර නොගෙන මුහුණ දිය යුතු ය. මහා ලෝහංස චර්යාව වැනි චර්යාවන්ගෙන්
බෝසතාණෝ උපේක්ෂා පාරමිතාව පූර්ණය කළ අයුරු පැහැදිලිව දැකිය හැකිය.
පොදුවේ මේ ගුණ ධර්ම පිළිපැදීමෙන් අනායාසයෙන්ම සුවපත් සමාජයක් ගොඩනැගෙනු
ඇත. බෞද්ධ පරාර්ථ චර්යාව නිතරම ඉදිරියට යන්නේ, ආත්ම ශුද්ධිය ද සමග ය.
එනම් තමා ගුණවත් වී අනුන් ද දුකින් මුදා ගැනීම යි. සර්ව සම්පූර්ණ උසස්
ගුණ වලින් හා බුද්ධියෙන් සමන්විත වූ තැනැත්තා ‘බුද්ධ’ යනුවෙන් අදහස්
කෙරේ’ අප බුදු හිමියෝ තෛ‍්‍රලෝක පූජිත වූයේ; අසම සම වූයේ දෙවි
මිනිසු්නට ගුරු තනතුරට පත් වූයේ , මහා කාරුණික තත්ත්වයට පත් වූයේ,
ඉහතින් සාකච්ඡා කෙරුණු උදාර ගුණ ධර්ම දහය දීර්ඝ කාලයක් මුළුල්ලේ පුරුදු
පුහුණු කර ලබාගත් චරිත ශක්තිය නිසා ය. ලෝකයේ ජීවත් වූ පරාර්ථචර්යාවෙහි
යෙදුණු පුද්ගලයන් අතර, බුදු රජාණෝ අසම සම වූහ. |