UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ධවලමන්දිර අඳුර බිඳීම

යම් දිනෙක ජෝර්ජියාවේ රතු කඳු මත අතීත වහලුන් ගේ පුතුන් සහ අතීත වහල් - හිමියන් ගේ පුතුන් සහෝදරත්වයේ මේසය වටා එකට ඉඳගැනීමට සමත්වනු ඇතැයි මම සිහින දකිමි. අයුක්තියේ ශාපයෙන් පීඩා විඳින පීඩනයේ තාපයෙන් පීඩා විඳින ජනපදයක් වූ මිසිසිපි ජනපදය පවා එක් දිනක නිදහසේ සහ යුක්තියේ ක්‍ෂේම භූමියක් වනු ඇතැයි මම සිහිනයක් දකිමි.

යම් දිනක මගේ කුඩා දරුවන් හතර දෙනා ඔවුන් ගේ හමේ වර්ණයෙන් නො ව ඔවුන් ගේ චරිතයේ අන්තර්ගතයෙන් විනිශ්චයට ලක්වනු ඇත්තා වූ ජාතියක ජීවත් වනු ඇතැයි මම සිහිනයක් දකිමි.

මාර්ටින් ලූතර් කිං (1929 –1968)

ඇමරිකාවේ කළු ජාතිකයන් ගේ නිදහස් අරගලය වෙනුවෙන් මෙයට වසර හතළිහකට පෙර දිවි පිදූ මාටින් ලූතර් කිං දුටු මේ සිහිනය අද වන විට සැබෑ වී තිබේ. හමේ වර්ණයෙන් නො ව චරිතයේ අන්තර්ගතයෙන් විනිශ්චයට ලක්වන රටක තමා ජීවත්වන්නේය යන හැඟීම ඇමරිකාවේ වෙසෙන කළු ජාතිකයන්ට අද ඇති වී තිබිය යුතු ය. ඒ අන් කිසිවක් නිසා නො ව 1789 දී ජෝර්ජ් වොෂින්ටන් ගෙන් ඇරැඹි එ රට ජනපති තනතුරට ඉතිහාසයේ පළමුවරට කළු ජාතියකු තේරී පත් වූ බැවිනි.

ඇමරිකාවේ යුද වීරයකු ලෙස සැලැකෙන සමූහාණ්ඩුවාදී පක්‍ෂ අපේක්‍ෂක ජෝන් සිඩ්නි මැකේන් (72) පරාජය කැර ජනාධිපති තනතුරට පත් ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ බැරැක් ඔබාමා, ඇමරිකානු සුදු මවකට හා කෙන්යානු කළු පියකුට දාව උපන්නෙකි. දික්කසාදයෙන් කෙළවර වූ එම විවාහයෙන් අනතුරුව ඔබාමා ගේ මව ඉන්දුනීසියානුවකු සමඟ විවාහ වී තිබේ. එ බැවින් අවුරුදු දහය වන තෙක් ඔහු ඉගෙනුම ලබා ඇත්තේ ඉන්දුනීසියාවේ දී ය. මෙ බඳු පවුල් පසුබිමක් සහිත 47 හැවිරිදි අපි‍්‍රකානු - ඇමරිකානු ඔබාමා ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීම එ රට ඉතිහාසය අලුතින් ලිවීමකි.

මෙය කෙතරම් ආශ්චර්යවත් සිද්ධියක් දැයි තේරුම් ගැනීමට ශ්‍රී ලංකාවෙන් ම උදාහරණයක් ලැබී තිබේ. ඇමරිකාවේ ජනාධිපතිවරණය පැවැති පසුගිය 4 වන දා ඩේලිනිවුස් පුවත්පතෙහි ඔබාමාට සුබ පතන දැන්වීම් තුනක් පළ විය. එයින් එකක් පසුගිය ඇමරිකානු ජනාධිපතිවරණයේ දී ජෝර්ජ් බුෂ් හට සුබ පතා පුවත්පත් දැන්වීම් පළ කළ ඒ.එස්.පී. සමූහ ව්‍යාපාරයේ අධිපති ඒ.එස්. පී. ලියනගේ මහතා ගේ ය. ඉතිරි ඒවා, එම්. හුසේන් අරිෆ් නමැති ව්‍යාපාරිකයකු ගේ හා අෆ්ෂාල් සහ හෆීෂ් නලීම් නමැති කැලිපෝර්නියා කලායතනයේ උපාධි අපේක්‍ෂකයන් දෙදෙනකු ගෙනි. කුමන හේතුමත වූව ද බැරැක් ඔබාමා ගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පුවත්පත්වල ශ්‍රී ලාංකිකයන් විසින් දැන්වීම් පළ කිරීම විශේෂත්වයක් නො වේ ද?

ඔබාමා ඇමරිකාවේ ජනාධිපතිවරයා වශයෙන් පත්වීම වැදගත් කරුණක් ලෙස අප සලකනුයේ මාටින් ලූතර් කිං ගේ සිහිනය සැබෑ කළ නිසා හෝ ඔබාමා ගේ ප්‍රතිපත්ති පිළිබඳ පැහැදීම නිසා හෝ නො වන බව කිව යුතු ය.

ඔබාමා බලයට පත්වන අවස්ථාව ඇමරිකාවට මෙන් ම සමස්ත ලෝකයටම අතිශයින් තීරණාත්මක ය. ඇමරිකාවේ අධිපරිභෝජනවාදී ජීවන රටාව හා අධිපතිවාදී රාජතාන්ත්‍රික දේශපාලනය ආර්ථික අර්බුදයක් ලෙසින් මේ වන විට ප්‍රකාශයට පත් වී තිබේ. සැප්තැම්බර් 11 ප්‍රහාරය යැයි ප්‍රකට ඉස්ලාම් අන්තවාදී අල් කයිඩා ත්‍රස්ත ප්‍රහාරය මේ විනාශකාරී අර්බුදයේ එක්තරා ආරම්භයක් විය. ඇමරිකාවේ දෘෂ්ටිකෝණයෙන් විග්‍රහ වී ඇති ආකාරයට එය ශිෂ්ටාචාර අතර ගැටුමකි.

එම ශිෂ්ටාචාර අතර ගැටුම නිරාකරණය කිරීමේ මහා වගකීම අපි‍්‍රකානු සම්භවයක් සහිත බැරැක් හුසේන් ඔබාමා වෙත පැවැරීම ඇමරිකාව මෙ තෙක් අනුගමනය කළ මාර්ගය ඇමරිකානුවන් විසින් ම ප්‍රතික්ක්‍ෂේප කිරීමකි.

අප මෙයට පෙර ද පෙන්වා දී ඇති පරිදි, ඇමරිකානු ජීවන රටාව මෙන් ම ඔවුන් ගේ අනම්‍ය රාජතාන්ත්‍රික හැසිරීම ද එකැස් ඇත්තකු ගේ හැසිරීම වැනි ය. අංගුත්තර නිකායේ තික නිපාතයේ පුග්ගල වග්ගයෙහි ඇතුළත් ද්වි චක්ඛු සූත්‍රයේ දැක්වෙන ආකාරයට එක ඇසක් ඇත්තා ද ඇස් දෙක ම නැත්තා ද දුරින් දුරු කළ යුතු ය. ඇසුරු කළ යුතු ශ්‍රේෂ්ඨ පුද්ගලයා වන්නේ දෑස් ඇත්තා ය. භෝග ඉපයීම, වැඩි දියුණු කැර ගැනීම එක් ඇසක් ඇති බව ය. කුසල්, අකුසල්, හීන ප්‍රහීණ දහම්, කළු සුදු දහම් දැනීම නමැති අධ්‍යාත්මික දියුණුව ලබා ගැනීම දෑස් ඇති බව ය. එම නිසා විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ බැරැක් ඔබාමා ශ්‍රේෂ්ඨයකු වනු ඇත්තේ ඇමරිකාව එ බඳු දෑස් ඇත්තකු බවට පත් කළහොත් පමණි.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]