UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික බෞද්ධ සිතුවම් කලාව

ස්වභාවික විපත් හා සිතා මතා කරනු ලබන අනතුරු හේතුවෙන් අන්‍ය කලා නිර්මාණ වලට වඩා සිතුවම් පහසුවෙන් විනාශයට පත්වේ. දැනට භාරතයේ හෝ ලක්දිව ශේෂව ඇත්තේ අතීත බෞද්ධ චිත්‍රවලින් අංශු මාත්‍රයකි. එහෙත් ප්‍රාග් බෞද්ධ යුගයේ සිට සිතුවම් කලාව නොනැසී පැවැති බව වර්තමානයේ පෙරදිග රටවල ශේෂව ඇති සිතුවම් ස්වල්පය මගින් අවබෝධ වේ.

ඉපැරැණි පාලි සාහිත්‍යයෙහි සඳහන් වන්නේ ‘මාලා කර්ම හා ලතා කර්ම’ පමණක් සිතුවමින් නිරූපණය කිරීම බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ බවයි. බිතු සිතුවම්හි දැක්වෙන ‘පටිභාන චිත්තං’ හෝ සම්භාෂණ චිත්‍ර එනම් පේ‍්‍රම දර්ශන උන්වහන්සේ අනුමත නොකළ බවද එහි සඳහන්ව ඇත. බුදුරජාණන් වහන්සේගේ ජීවමාන සමයෙහි පසේනදී කොසෙල් රජතුමා සතුව චිත්‍රාගාරයක් (චිත්තාගාර) පැවැති බවද බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වේ. සමකාලීන තවත් චිත්‍ර ආයතනයක් පැවැති බව භාරතීය භාර්හුත් කලා නිර්මාණ වලින් සනාථ වේ. එමෙන්ම භාරතීය ඔරික්සා ප්‍රාන්තයේ රාම්ගර් ලෙන් තුල ඇඳ ඇති චිත්‍ර ක්‍රි.ව දෙවැනි හෝ පළමුවැනි සියවස්වලට අයත් මුල්ම කලා නිර්මාණ ලෙස සැලකේ.

මේ සියලුම සිතුවම් වලට වඩා සම්භාව්‍ය කලා ලක්ෂණයන්ගෙන් හෙබි සිතුවම් මාලාවක් ක්‍රි.ව පළමුවැනි හා සත්වැනි සියවස් වලට අයත් භාරතීය අජන්තා ලෙන් තුළින් හමුවේ. මෙම සම්භාවනීය සිතුවම් අතරින් වැඩි ප්‍රමාණයක් ගුප්ත යුගයට අයත් වේ.


කැලණි විහාරයේ සිතුවමකි

අජන්තා ගුහා සිතුවම් ඇඳි සමයේම, එනම් ක්‍රි.ව හයවැනි සියවසට අයත් චිත්‍ර හමුවන්නේ මාල්වා හි බාඝ් ප්‍රදේශයෙනි. නේපාලයෙන් ලැබුණු කුඩා බෞද්ධ චිත්‍ර කීපයක් ශ්‍රී ලංකාවේ ශේෂ වී ඇති බිතු සිතුවම්ද හැරුණු විට ක්‍රි.ව. 650 - 1550 අතර ඇඳි වෙනත් බෞද්ධ සිතුවම් දැනට හමුවී නැත.

මුල්ම බෞද්ධ සිතුවම් අතරින් බොදු තේමාවන් රැසක් වස්තු විෂය කරගත් චිත්‍ර රැසක් එකම ස්ථානයක දක්නට ලැබෙන්නේ අජන්ත ගුහා සංකීර්ණයේ ය. එම සිතුවම් ජනතාව වශී කරවන සුළු වූ උසස් ශිල්ප ක්‍රමයක් අනුව ඇඳ ඇත. මෙම සිතුවම් සාමාන්‍ය ගැමි ජන ජීවිතයටද ඉතා සමීප බව දක්නට ලැබේ. අජන්තා සිතුවම්කරණය භාව ප්‍රකාශනයෙන් අනූනය. එම සිතුවම් කාලිදාසයන්ගේ කෘතීන් හි වර්ණිත රාජසභා ආගමික සංස්කෘතියට අයත් බව භාරතීයයන්ගේ මතය වේ.

අජන්තා සිතුවම් කලාව බොදු වස්තු විෂයයන් යටතේ ඇඳ ඇති නමුත් අධික නිදහසකින් ඇඳි නිවහල් කලා නිර්මාණ සමූහයකි. මේ උදාර වූ අජන්තා රූපවල ප්‍රසන්න වූ ශාන්ත භාවය, සුන්දර ඉරියව් සිනහව කඳුල මෙන්ම අත්‍යන්ත පී‍්‍රති සහගත අවස්ථාවන්හි පවා මහත් වූ ගැඹුරු දොම්නසක් දක්නට ලැබේ. මෙම විචිත්‍ර වර්ණ වූ අජන්තා සිතුවම් සහිත අඳුරු ශාලාවන්ද පහන් වූ සංවේග ජනක හැඟීමක් උපදවයි. එය ගැඹුරු ලෙස දියුණු කරන ලද කලාවකි. එම සිතුවම් අතර අනුරාගය හා මුදු මොලොක් බවද ගෑවී ඇති නමුත් පැවැති සමාජ සිරිත් විරිත් මගින් එය මැනවින් හසුරුවා ඇති බව පෙනේ. මනා සංයමයෙන් මෙහෙයවන ලද ජීවිතවල සීමා තුළ පවතින්නා වූ ශෝකය, පී‍්‍රතිය පිළිබඳ ඉතා ගැඹුරු වූ හැඟීම් අජන්තාවේදී ප්‍රකාශ වී ඇත. අතිශයින් චිත්තාවේගී වූද ලැජ්ජාශීලිත්වයෙන් පිරිපුන් වූද සිතුවම් මෙහි දක්නට ලැබේ. මින් පිළිබිඹු වන්නේ ලෞකික වූ රාජසභා හා මාලිගා ජීවිතයත් සාමාන්‍ය ජන ජීවිතයත්ය. එහි රජවරුන් හා බිසෝවරුන්ද දෙවියන් හා දෙවඟනන්ද දයාභරිතවද අව්‍යාජවද නිර්මාණය කොට ඇත. එහි පැහැදිලිව දිස්වන අවංක බවක් ද උදාරත්වයක්ද සිතුවම්ව ඇත. සිතුවම්වලින් පැහැදිලි වන ආකාරයට එකල ගොවියාද රදලවරයකු හෝ රාජසභිකයකු මෙන් සිත් ඇදගන්නා අයුරින් සමාජය ඇසුරු කළ බව නිසැකය. අජන්තා සිතුවමින් ජනතාවගේ අව්‍යාජ සංස්කෘතියද ස්ථිර වූ ආත්ම විශ්වාසයක් ද සිහිගන්වයි.

බෞද්ධ පුරාවෘත්ත අතරින් අතිශයින් ශෝභමාන ජාතක කථාවක් වන්නේ ඡද්දන්ත ජාතකය හෙවත් සදළ ඇතාගේ උත්පත්ති කථාවයි. එය අජන්තා ලෙන් පන්තියේ දහඅටවැනි ගුහාවෙහි අතිශය සංවේග දනවන අයුරින් ගැඹුරු යථාර්ථවාදී ස්වභාවයකින් නිර්මාණය කොට ඇත. එක් පසෙක විශාල සුදු ඇතු මැනවිත් දක්වා ඇත. බෝධි සත්ත්වයන් වහන්සේ අන් සත්ත්වයින්ගේ යහපත පිණිස තම දිවි පරදුවට තබා කටයුතු කළ අවස්ථා බොහෝ සේ දක්නට ලැබෙන්නේ මෙවැනි පුරාවෘත්තයන් තුළය. තවත් සිතුවමක, සුදු ඇතු වැද්දාට ඉහළින් හිම පර්වතයක් සේ නැගී සිටින අතර, දළ කැපීමට මුහුණ පා සිටින ආකාරය නිරූපිතය. වැද්දක් දළ රැගෙන තරුණ බිසව වෙත පැමිණි විට අති ශ්‍රේෂ්ඨ වූ සුදු ඇතුට කළ විපත පිළිබඳ මැඩලිය නොහැකි ශෝකයට පත්වන ඇය හද පැලී මරු වසඟ වන්නීය.

අජන්තා සිතුවම් අතරින් ලෝක ප්‍රසිද්ධ වූ ශ්‍රේෂ්ටතම චිත්‍රය වන්නේ පළමුවන ලෙනෙහි ඇඳ ඇති බෝධිසත්ව රූපයයි. එහි පරමාර්ථය ලෙස නිරූපණය වන්නේ මහා පුරුෂයකු ලෝකයේ පවත්නා දුකට පිළියමක් සොයා සියලු බැඳුම් ඉවත ලා බැහැර හැරීමයි. අජන්තා චිත්‍ර ශිල්පියා තමන් අධ්‍යයනය කර ඇති සෑම රූපයක් තුළම දකින්නේ පුද්ගල විශේෂතා නොව ලෝක සත්ත්වයා වෙත දක්වන පේ‍්‍රමය හා අන්තර් දර්ශනය අතරින් මතුවන යුගයක ස්වභාවය යි.

පෙරදිග බොහෝ සිතුවම් ඇඳීමට පෙර ඒ සඳහා බිත්තිය සකස්කරන ලද්දේ කනින ලද රළු ගලමත වැටි ගොම සහ කුඩු කරන ලද ගල් බෙයද කුඩු මිශ්‍රණයක් ආලේප කිරීමෙනි. ඇතැම් විට මෙයට දහයියාද එකතු කොට ඇත. අජන්තාවේද එසේම සැකසූ බදාමයේ පළමු තට්ටුව අඟල් 1/8 සිට 3/4 දක්වා ඝණට සිටින සේ තවරා ඒ මත තුනී සුදු ඔපවත් බදාමයක් තවරා ඇත. ඒ මත රූප ඇඳ තෙත් බදාමය මත ගැඹුරට කාවදින අයුරින් සකසා ඇත.

සුදු බදාමය මත පළමුව රතු රේඛාව ඇසුරෙන් සිතුවම ගොඩනගා ඇත. අනතුරුව විනිවිද පෙනෙන පච්චවර්ණ බදාමය සිතුවම මත යොදා නියමිත වර්ණ ගල්වනු ලබයි. පසුව කළු, සුදු, දුඹුරු පැහැයන්ගෙන් බාහිර රේඛාකරණය සිදුකරයි. අවසානයේ වර්ණයේ ප්‍රභේද පැහැදිලිව පෙන්වා අවශ්‍ය තැන්හි මද සෙවන යොදා ඇත. මෙම සිතුවම් හි ශිල්ප ක්‍රමය පිළිබඳ විශේෂතාවය වන්නේ බාහිර රේඛාවල බලය හා වේගය පිළිබඳ විශ්වාසනීය බවයි.

පෙරදිග බෞද්ධ සිතුවම් අතරින් අජන්තාව හැරුණු විට පැරැණි චිත්‍ර රාශියක නටඹුන් හෝ ශේෂව පවතින්නේ ශ්‍රී ලංකාවේය. මහින්දාගමනයෙන් පසුව බුදුදහමත් සමඟ මුසු වූ චිත්‍ර කලාව ශ්‍රී ලාංකේයයන්ගේ් හදවත් තුළ මෛත්‍රී සහගත හැඟීම් ජනිත කරවන්නට සමත් විය. පෙරදිග බෞද්ධ සිතුවම් අතරින් පැහැදිලිව ප්‍රදර්ශනය වන සිතුවම් රැසක් මෙරට විවිධ පෙදෙස්හි විහාර හා ගල්ලෙනි ආශි‍්‍රතව දක්නට ඇත. ඒ අතරින් සිතුල් පව්ව, කරඹගල, වෙස්සගිරිය, දිඹුලාගල, මිහින්තලේ හා මහියංගන සිතුවම් ඉතා පැරැණිය.

විසල් වනයක් මැද පිහිටි සිතුල්පව්ව ලෙන් සිතුවම් සහිත පූජනීය ස්ථානයකි. මෙම ලෙනෙහි දකුණු පස කෙළවරෙහි ධම්මචක්ක මුද්‍රාවෙන් යුතුව අඳින ලද බුද්ධ රූපයක් හා මුවෙකුගේ රූපයකි.

එම සිතුවම්හි රේඛා රතු පාටින් ඇඳ ඇත. ස්වල්පයක් ලෙස ඉතිරිව ඇති නමුත් සිතුල්පව් සිතුවම් උසස් කලා ලක්ෂණයන්ගෙන් යුතුව ක්‍රි.පූ දෙවැනි සියවසේදී ඇද ඇත.

අම්බලන්තොට ආසන්නයේ වූ රිදියගමට නුදුරින් කරඹගල පුරාණ විහාරය පිහිටා ඇත. සිතුල්පව් සිතුවම් හා සමකාලීන වූ බෞද්ධ සිතුවම් කීපයක් කරඹගලින් හමු වී ඇත. එයින් බෝසත් රූපයක සිතුවමක් හා අප්සරාවකගේ සිතුවමක් නිරූපිතය. දුඹුරු පැහැති තද බදාමයක් මත ඇඳි මේ සිතුවම් විනාශයට පත්ව ඇත.

වෙස්සගිරියද අතීත බෞද්ධ සිතුවම් ඇඳ තිබූ වැදගත් විහාරස්ථානයකි. එහි අවසාන කාලය වන විට ශේෂව පැවතියේ වර්ණ පදාසයන් හා රේඛා සටහන් කිහිපයකි. කහපාට පසුතලය මත ගුරු පැහැයෙන් ඇඳි රේඛා වලින් මතු වූ දේවරූප මෙහි සිතුවම් කරන්නට ඇතැයි සැලකේ. කකුලක් ඉදිරියට දිගුකරමින් අනෙක් කකුල නවාගත් ආකාරය පෙන්වන චිත්‍රයක්ද වෙස්සගිරි සිතුවම් අතර දක්නට ඇත.

ලක්දිව, වැදගත් සිතුවම් කිහිපයක් දිඹුලාගල පර්වතයක වූ ලෙනක බිත්තිය මත එම සිතුවම් ස්වල්පයක් දක්නට ලැබී ඇත.

ඉතිහාස කථා අනුව එහි මෙට්ටයක් වැනි ඇතිරිල්ලක වැඩ හිඳින බුදුරුවක් සිතුවම් කොට ඇත. තවත් ලෙන් බිත්තියක සස ජාතකයෙහි සඳහන් වන ශක්‍ර දේවේන්ද්‍ර හාවාගේ රුව සඳමත අඳින ආකාරය නිරූපිතය. සක්දෙවිඳුගේ එක් අතක වර්ණ ඵලකයකි. අනෙක් අතෙහි පින්සලය දක්වා ඇත. මෙම ලෙනෙහිම අන් තැනෙක පසුපස ගාත් නවාගෙන සිටින ඇතෙකුගේ රූපයක් ද සිතුවම් කොට තිබූ බව සඳහන්ව ඇත.

ලංකාවෙන් හමු වූ බෞද්ධ සිතුවම් අතර, මිහින්තලේ අම්බස්තල චෛත්‍යයේ ධාතුගර්භය තුළ තිබී හමු වූ සිතුවම්ද විශේෂ තැනක් ගෙන ඇත. එම සිතුවම් හි නිරූපණය වන්නේ් බුද්ධ වන්දනාවෙහි යෙදෙන දෙවිවරුන්ගේ් සිතුවම් කිහිපයකි. ඔවුන් මහත් වූ ශ්‍රද්ධා භක්තියෙන් යුක්තව දොහොත් මුදුන් දී වැඳගෙන සිටින අයුරින් ඇඳ ඇත. රේඛා භාවිතයෙන් තෙල් සායමින් ඇඳි මෙම සිතුවම් රතු හා කළු පැහැය උපයෝගී කොට වර්ණ ගන්වා ඇත. එහි නිරූපිත දෙවිවරු අතකින් මානෙල් මල් දරා සිටින අවස්ථා ද දක්වා ඇත. ඔවුන් වලාකුළුවලින් මතු වී ඇති ආකාරයක් දර්ශනය වී ඇත.

අනතුරුව එළඹෙන්නේ පොළොන්නරු යුගයට අයත් බෞද්ධ බිතුසිතුවම් කලාවයි. මහියංගන ධාතු ගර්භයෙන් හමු වූ සිතුවම්, ගල්විහාර සිතුවම්, ලංකාතිලක බිතුසිතුවම්, පුල්ලිගොඩ ගල්ලෙන් සිතුවම් හා තිවංක පිළිමගෙයි බිතු සිතුවම් ඒ අතර විශේෂත්වයක් ගෙන ඇත.

මහියංගන දාගැබේ ධාතු ගර්භයෙන් හමු වූ චිත්‍ර මනා ලාලිත්‍යමය රේඛාවෙන්ද පැහැපත් වර්ණ සංකලනයෙන්ද යුක්තය. බුදුරජාණන් වහන්සේ බෝරුකට පිට දී වැඩහිඳිමත් බ්‍රහ්ම, විෂ්ණු, ශිව සහ දෙවිවරුන්ගේ රූපයනුත් එහි සිතුවම්ව ඇත. මාර යුද්ධයද චිත්‍රණය ‍ෙකාට ඇත. බුදුරුවට පසෙකින් සිටින දේවතා රුවෙහි එක් අතෙක නෙළුම් මලකි. රූප බොහෝ සේ රිද්මයානුකූ®ලය. නම්‍යශීලීය. දැනට තහවුරු කළ එම සිතුවම් අනුරාධපුර කෞතුකාගාරයේ තැන්පත් කොට ඇත.

දිඹුලාගල පර්වතයට අනෙක් පැත්තෙන් ගල පාමුල පිහිටි ගල් ගුහාවෙහිද පුල්ලිගොඩ සිතුවම් නමින් ප්‍රකට වූ සිතුවම් කිහිපයක් විය. මෙහි හිස් පලඳනා හා ප්‍රභාමණ්ඩල සහිත දේවතා රූප යැයි සිතිය හැකි රූප තුනක් සිතුවම් කොට ඇත. එක් දේවතා රුවක් මඳක් අඳුරු නිල් පැහැයෙන් යුක්තය. දසන් දක්වා තිබීමද එහි විශේෂත්වයකි. සෑම දෙව්රුවකම මාල, වළලු උරහිස් පළඳනා අලංකාර ලෙස දක්වා ඇත.

පොළොන්නරු ගල් විහාරයේ විද්‍යාධර ගුහාවේද බෞද්ධ සිතුවමක ශේෂයක් ඉතිරිව ඇත. එහි එක් තීරුවක මල් මෝස්තරයකි. පහලින් නෙළුමක් අතින් ගෙන සිටින මහළු, ප්‍රතාපවත් රුවකි. මෙයින් මහා බ්‍රහ්මයා නිරූපණය වන බව විචාරක මතයයි. එහිදිගු උඩු රැවුලකි. පළල් නළල් තලයකි. දිගු නාසයකි. එම මහළු රුවට පහළින් දේවරූප හා ප්‍රභාමණ්ඩලයක සිතුවමක කොටසකි.

පොළොන්නරු යුගයේ සියලු කලා ශිල්පයන් සඳහා හින්දු කලා ආභාෂය මද වශයෙන් හෝ ලැබී ඇත. එවන් කලා නිර්මාණ රැසක් දායාද කොටගත් මැනවින් සුරුකුණු සිතුවම් සහිත පිළිමගෙයක් පොළොන්නරුවේ ඇත. එනම් තිවංක පිළිම ගෙයයි. වඩා සම්භාව්‍ය වූත් උසස් කලා ලක්ෂණයන්ගෙන් හෙබියා වූත් සිතුවම් තිවංක පිළිම ගෙය තුළින් හමුවේ. තිවංක පිළිමගෙයි චිත්‍ර ශෛලීන් දෙකකි. ගර්ග ගෘහයට ප්‍රවේශවන අන්තරාලයෙහි සහ ගර්භ ගෘහය තුළ එම ශෛලීන් දෙකට අයත් චිත්‍ර ඇඳ ඇත.

ඒ අතරින් වඩාත් අලංකාර වූත් සෞම්‍ය වූත් සිතුවම් වන්නේ ගර්භ ගෘහය තුළ නිර්මිත ‘දේවාරාධනය’ හා ‘සංකිස්ස පුර වැඩීමයි’.

දේවාරාධනය චිත්‍රයෙහි වන දෙවිවරුන් වඩාත් නම්‍යශීලී සුන්දර හැඟීම්බර ස්වභාවයකින් සිත් පහන්කරවන ස්වභාවයකින් ඇඳ ඇත. එහි රූප රිද්මයානුකූ®ලය. නිර්මාණාත්මකය. සන්සුන් වූ මුහුණින් ද ශ්‍රද්ධා භක්තිය පෙන්වන ඉරියව් වලින්ද යුතුය. ගර්භ ගෘහය පුරා නිදහස්ව ඇඳ ඇත. දේවත්වය මැනවින් ප්‍රකාශිතය. ලාලිත්‍යමය රතු රේඛාකරණය විශේෂය. සමාජයේ හා කලාකරුවාගේ නිපුණතාවය ප්‍රදර්ශනය වේ. මෙහි දේවරූප තුළින් සිහිපත් වන්නේ අජන්තා බෝධිසත්ව රූපයයි.

එම ගර්භ ගෘහයෙහිම බුදුරජාණන් වහන්සේ සංකස්ස පුරයට වැඩම වීම සිතුවම් කර ඇත. මෙහි බුදුරුව විශාලව දක්වා රන් හිනිමග පසුපසින් පෙන්වා ඇත. රන් හිණෙන් බසින බුදුරජාණන්වහන්සේට ගෞරවය පිණිස ඡත්‍රයක් ඔසවා ඇති ආකාරයද චිත්‍රයට නගා ඇත.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]