UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිසි මඟට යොමු කළ යුතු පොහෝ දින සීල සමාදානය

පසළොස්වක පුන් පොහෝ දිනය උදාවත් ම, සුදු වතින් සැරසී උරබන්දියක් කරෙහි ලා ගත් උවැසි උවැසියෝ තෙල් මල් රැගෙන, උදෑසනින් ම පන්සල වෙතට එකිනෙකා පැමිණෙන්නට පටන් ගනිති. වාඩිවීමට පැදුරක්, ඇතිරිල්ලක් හෝ පත්කඩයක් ද, අත්‍යවශ්‍ය කළමනා බහා ලූ බෑගයක් ද ඔවුන් අත ඇත. තමාගේ ගෙදර සියලු බන්ධනයන්ගෙන් මිදී දවසක් පන්සලේ ගත කිරීමට තරම් වාසනාවන්තයන් වන මේ අයගෙන් බහුතරයක් කාන්තාවන් වීමත් වියපත් අය වීමත් සුවිශේෂ ලක්‍ෂණයකි. මේ පිරිස සූදානම් වන්නේ අටසිල් හෝ ගිහි දසසිල් සමාදන් වන්නට ය. පා ගමනින් පැමිණිය නොහැකි හෝ දුරින් සිටින අය, තම නිවෙස්වල සිටින්නා වූ හැකි අය විසින් වාහනයකින් ගෙන එනු ලබත්. පොහෝ දිනයේ බොහෝ ගෘහස්ථ වැඩ කටයුතු ඇති බැවින් ඒ හැකි අය වහා ආපසු යත්. විහාර භූමිය අතු ගා පිරිසුදු කොට, පූජා ද්‍රව්‍ය සූදානම් කරගෙන, පන්සලේ හිමිනමක් වැඩමවාගෙන හෝ එසේ නොමැති වුවහොත්, හැකි වැඩිහිටි කෙනෙකු මගින් මේ පිරිස සීලයේ පිහිටත්.

සමහර විහාරස්ථානවල මේ සීල සමාදානය සංවිධානාත්මක වැඩසටහනක් ලෙස දවස පුරා ක්‍රියාත්මක වෙයි. මේ සඳහා හිමිනමකගේ හෝ දැනුවත් ගිහියෙකුගේ උපදේශනය ලැබෙයි. දවස ප්‍රයෝජනවත් ලෙසත්, අර්ථවත් ලෙසත් මෙහෙයැවෙන එම වැඩසටහන් සීල ව්‍යාපාර ලෙස ද හැඳින්වෙයි. එහෙත් බොහෝ තැන්වල, විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ පන්සල්වල එවැනි සංවිධානාත්මක වැඩපිළිවෙළක් නැත. පැමිණ සිටි පිරිස සීලයෙහි පිහිටවූ විහාරවාසී ස්වාමීන් වහන්සේ ද ඉන් පසු ඒ අය වෙත නොඑළඹෙත්. ගුවන් විදුලි ධර්ම දේශනය ද ආධාර කරගෙන තමන්ට හැකි විදිහට දවස ගතකිරීමට යොමුවන ඒ අයට, පරිබාහිර බොහෝ දේ පිළිබඳ තොරතුරු කිසිදු බාධාවකින් තොරව කථා බහ කර ගැනීමට ද, අවශ්‍ය නම් නින්දකින් විවේකය ලැබීමට ද අපූරු නිදහසක් හා ඉඩකඩක් උදාවෙයි. සමහර විට ගෙදර දොරත් මතක් වනවාට සැකයක් නැත. මෙසේ එක තැනකට වී ශික්ෂා පද ටික හැකි විදිහට හා දන්නා විදිහට රැකගෙන වාසය කිරීම හැර, විකල්පයක් ඒ අයට නැත.

මේ අතර එම පිරිස දෙස උපහාසයෙන්, දෝෂාරෝපණයෙන් හා ද්වේශයෙන් යුතුව කථා කරන පිරිසක් ද බැහැරින් සිටිති. ඒ අය කවදාවත් සිල් සමාදන් නොවන අය බව රහසක් නොවේ. සමහර විට උදේ දවල් උපාසක දානයවත් ;නාලැබෙන තැන් බොහොමයක් ඇත. එමතුද නොව මේ අයගේ සීල ව්‍රතය කෙරෙහි අභියෝග එල්ල කරන උගත් අය ද ඇත. සමහරු පෑනෙන් ද අභියෝග කරති.

”අනේ ඔහොම බනින්නෙපා
කවුද අපට කියල දෙන්නෙ
අපිත් හරිම කැමැතියි නොවැ
සීලය හරි හැටි රකින්න
කාගෙත් පිහිටක් නැති කොට
මෙහෙම ඉන්න එකත් මදිද?”

මේ අපේ සිල් සමාදන් වූ අයගේ හදවත් වලින් පැන නැඟෙන දෝංකාරය කවියකින් සටහන් කර තිබූ අයුරු ය. මේ අපේ රටේ විහාරස්ථානවල පොහොය සිල් සමාදන් වන සැදැහැවතුන් පිළිබඳ සංක්‍ෂිප්ත සත්‍ය කථාන්තරය යි. ඇත්තෙන් ම මේ පිරිස දෙස අප කෙසේ බැලිය යුතු ද යන්න කාරුණික විමසුමකට ලක් කළ යුතු ය.

පොහෝ දිනවල අට සිල් හෝ දස සිල් සමාදන් වන විශාල පිරිසක් අප රටේ සිටිති. එක් අතකින් සීලයේ ඵලදායිතාව කෙබඳු වුවත්, ශාසන චිරස්ථිතිය සඳහා ඔවුන්ගෙන් ලැබෙන නිහඬ දායකත්වය කෙසේ නම් ලඝු කොට දැක්විය හැකි ද? සංවිධානාත්මක තැන් හි, අසංවිධානාත්මක තැන් හි හෝ වෙනත් කවර තැනෙක හෝ සීල සමාදානයේ යෙදෙන අයගේ සීලය බාහිර අයට ප්‍රදර්ශනය පිණිස වන්නක් ද නොවේ. ඔවුහු කවර ආකාරයකින් වත් සමාජ දුරාචාරයට දායක වන්නන් නොවන බව ද අප අමතක නො කළ යුතු ය. වියපත් වූ පසුව හෝ තෙරුවන් පහස ලබමින් උසස් සීලයක් සමාදන් වීම කිසි විටෙකත් වරදක් නොවේ. බොහෝ තැන්හි, සාම්ප්‍රදායානුකූල දවසක් ලෙස නිදැල්ලේ ගත කර පුද පූජා ටිකෙන් සැනසීමට පත්ව සිටීමට ඔවුනට සිදු වී තිබෙන්නේ කුමක් නිසා ද? මේ අහිංසක උවසු උවැසියන් විධිමත් අගැයීමකට ලක් කර ඔවුනට අත දීමක් වශයෙන් හෝ දිරිමත් කිරීමක් වශයෙන් සකස් වුණු පොදු ශාසන පිළිවෙතක් අප රටේ නැතිවීම, බලවත් කනගාටුවට කරුණකි.

නොයෙකුත් භේද, මත ගැටුම්, පරස්පරතා මධ්‍යයේ විහාරස්ථානවල පැවැත්වෙන දායක සංගම්වලින් කෙරෙන ශාසනික මෙහෙයට වඩා උසස් ආගමික මෙහෙයක්, සීල සමාදානයෙහි යෙදෙන උවසු උවැසියෝ තම විහාරස්ථානයට ඉටු කරති. මේ අය වෙනුවෙන් කාරුණික අනුග්‍රහය දක්වමින්, මේ කටයුත්තෙහි අගය මනාව තේරුම් ගත් අපේ ගරුතර ස්වාමීන් වහන්සේ දවස පුරාම කැප වී ක්‍රියා කරන විහාරස්ථාන නැතිවා නොවේ. ඒ උතුම් මෙහෙවරවත් පොදු ඇගැයීමකට ලක් කරනු ලැබ ඇති බවක් නොපෙනේ. විහාරස්ථානයක භෞතික සම්පත්, ශාසනික හා ආගමික සීමාවන්ට අනුකූලව පවත්වාගෙන යෑම ද අත්‍යවශ්‍ය බව සත්‍යයකි. නමුත් එපමණකින් ම ආධ්‍යාත්මිික ප්‍රගතිය උදා නොකෙරේ. දර්ශනීය ඉදිකිරීම්, සිත්කලු පරිසරය, පිරිස ගැවසීම තරඟකාරී මට්ටමින් තිබූ පමණින් බෞද්ධ අරමුණු ඉටු නොවේ.

පොහෝ දිනවල සිල් සමාදන් වන පිරිස පන්සලට වී ඕපාදූප හෙවත් සම්ඵප්ප්‍රලාප දොඩමින් කාලය ගතකරන පිරිසක් ලෙස හඳුන්වනු ලබන අවස්ථා ද ඇත. ඔවුනට එසේ කරන්නට සිදු වී ඇත්තේ කුමක් නිසා ද යන මූල හේතුව බොහෝ දෙනා නොදකිති. බුදු දහම පවතින්නේ නොදන්නා වූන් – දන්නා වූන් බවටත්, නොහැකි අය – හැකි අය බවටත්, මඟට නොපිළිපන් අය පිළිපන් අය බවටත්, අවින්‍යෙය අය විනෙය්‍ය අය බවටත්, නිෂ්ටාව වශයෙන් කිවහොත් අවිද්‍යාවෙන් විද්‍යාවටත් ශ්‍රාවකයා පමුණුවාලීමට ය. ගුරු උපදේශ රහිත වූ විට මේ පරිපූර්ණත්වය උදාකර ගත නොහැකි බව අප වටහා ගත යුතු ය. බුදුරජාණන් වහන්සේ පුන පුනා දේශනා කළේ තමන් වහන්සේ මඟපෙන්වන්නකු බවම ය. (අක්ඛාතාරෝ තථාගත) උන්වහන්සේ පන් සාළිස් වසරක් ම කළේ එම අසම මෙහෙවර ය. ශික්‍ෂා පද ටික රැකගෙන සිටි පමණින් සීලය සම්පූර්ණ නොවන බව සත්‍යයකි. එය අඛණ්ඩ, අඡිදු ආදී වශයෙන් අංග අටකින් රක්ෂණය විය යුතු බවද සත්‍යයකි. නමුත් සීල සමාදානය සඳහා විහාරස්ථානයට පිවිසෙන බොහෝ අය, මේ අවශ්‍යතා උදෙසා වූ අධ්‍යාත්මික සන්නද්ධභාවයෙන් යුතු අය නොවේ. විහාරස්ථානය සීල ප්‍රතිපදාවේ පුහුණු මධ්‍යස්ථානයයි. සේවිතාය, භාවිතාය, බහුලීකතාය වශයෙන්, බෞද්ධ ප්‍රතිපදාව කැල ම පුහුණු පිළිවෙතකි. ආධුනිකයාට සරණ සීලයෙන් පටන්ගෙන, සමාදාන විරතිය හෙවත් සමාදන් වන ශික්ෂා පද මගින් කාය ද්වාර වචී ද්වාර වශයෙන් ගැනෙන වාරිත්‍ර සීලය, චාරිත්‍ර සීලය හරහා භාවනාව දක්වාම වැටී ඇත්තේ පුහුණු ප්‍රතිපදාවකි. ඒ නිසා එය පුද්ගලයා අභිමුඛව සිට අතුරු තැන් පිහිටුවමින් කළ යුත්තක් මිස, පොත පත මගින් කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා ගුරු උපදේශනයෙහි අවශ්‍යතාවය නොකිව මනා ය.

අද බහුල වශයෙන් වැඩි අගයක් දී ඇත්තේ ආමිසයට ය. භව සුඛ විහරණය අරබයා ලෞකික ශාන්තිය හා ආශීර්වාදය පතමින් බෝ රුක වටා පෙළගැසෙන සැදැහැවතුන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. හින්දු ආගම් ආභාෂයෙන් හා මහායාන තන්ත්‍රයානික ආභාෂයෙන් අපට බද්ධ කරනු ලැබ ඇති නොයෙකුත් පූජා සිරිත් සමග එක්ව සිටීමට අද බෞද්ධයාට සිදු වී ඇත. ඒවා සඳහා ඕනෑම වේලාවක කැමැති කාලයක් කැප කිරීමට ද ඔවුන් සූදානම් ය. එනමුත් පුන් පොහෝ දිනයේත් අප්‍රමාණ වැඩ යොදාගෙන අනල්පකිච්ච ජීවිතයක් ගත කරන බෞද්ධයාටත්, එදිනම උපකාරක පන්ති යොදා ගෙන බොදු දරුවන්ගේ පොහොය අයිතිය අහිමි කරන අයටත් අප අනුකම්පා කළ යුතු ය. මක්නිසාද යත් සීල සමාදානයෙහි යෙදෙන අය වෙතට ඇඟිල්ල දිගු කරනු ලබන්නේ, ඒ අය විසින් බැවිනි.

සිල් සමාදන් වන වැඩි පිරිසක් වියපත් අය නිසා ඒ අය නොසලකා හැරිය යුතු නොවේ. ජීවිතයේ අග භාගයේදී හෝ නිසි මඟ ගනී නම් එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක්වූ කාරණයකි. ඒ අය අතරද වාසනා ගුණය පිහිටි අය සිටින බව සත්‍යයකි. එමෙන්ම සංවිධානාත්මක සීල වැඩසටහනකදී වූවද ඒ සමඟ අනුගත විය නොහැකි අය ද එමට සිටිති. පුද්ගලවේමත්තතාවය එයයි. ඒ අය කවදත් සිටිති. තවද සමහරෙක් පන්සලේ සීල සමාදානයේ ස්වභාවය කල් වේලා ඇතිවම තමන්ට සාපේක්‍ෂව තක්සේරු කර එතැනට නොගොස් තම නිවසෙහිම සීලය සමාදන් වී රූපවාහිනී යන්ත්‍රය තම ගුරු තනතුරෙහි තබා ගෙන ගෙදර ගත කරති. සීලයෙහි කොතැනකදී පිහිටියත් එය උතුම් ය. ඔවුන් කියන්නේ පන්සලේ එම කටයුත්ත සංවිධානාත්මකව නොකෙරෙන නිසා එසේ කරන බවය. සාධාරණ වූ ඒ හේතුව අපට ප්‍රතික්ෂේප කළ නො හැකි ය. නමුත් සීලය මගින් අවම හෝ තුනී කරගන්නට නිර්දේශිත ගැටීම කල්වේලා ඇතිවම ඒ අයගේ සිත් තුළ ඉපදී ඇති බව ද, ගෘහස්ථ බැඳීම්වලින් නෛෂ්ක්‍රම්‍ය නොවී – මානය නමැති ක්ලේශයාගේ වංචාවට තමන් නොදැනුවත්වම ග්‍රහණය වී ඇති බවද ඒ අය නොදනිති. මේ සියලු තත්ත්ව උදාවන්නේ මෙහි උද්ධෘත කොට සඳහන් කෙරෙන, ක්‍රමවත් හා සංවිධානාත්මක මඟපෙන්වීමක් යටතේ විහාරස්ථානයේ සීල සමාදාන පුහුණු පිළිවෙතක් නැති බැවිනි. ලෞකික සීලයේ උපරිම ඵලය ක්ෂාත්සාත් කර ගත් සැදැහැවතෙකුට නම් ගෙදර ය, වැඩපොළ ය, පන්සල ය, පොහෝ දිනය ය කියා වෙනසක් නැත. මේ අතර පන්සල අතහැර, බොහෝ පිරිස් එකතු වී පැවැත්වෙන සීල සමාදාන වැඩසටහන්වලට සහභාගි වීමට නැඹුරුවක් ද අද දක්නට ලැබේ. ඊට හේතුව ලෙස ද ගෙන හැර දක්වන්නේ සීලයෙහි සාර්ථක භාවය පන්සලෙන් ඉටු නොවන බව යි. ඒ කෙසේ වෙතත් පන්සලත් සීලයත් දෙකම රැකගත යුතු ය යන ස්ථාවරයෙහි බෞද්ධයා සිටිය යුතු ය යන්න, අපගේ පිළිගැනීමයි.

ධර්ම දේශනා හා ධර්ම සාකච්ඡා මගින් අප වෙත දහම් මඟ විවෘත කර දීමට දිනපතා අපේ ගරු කටයුතු ස්වාමීන් වහන්සේ දරන වෑයම ඇත්තෙන් ම පැසසිය යුතු ය. උන්වහන්සේ කිසිම විටක - නොදත් අය පහත් කොට දහම් නොදෙසත්. එනමුත් ඒකාන්ත පුහුණු වැඩපිළිවෙළක් වූ සීල ප්‍රතිපදාව දේශන මගින් පමණක් ම ඉඳුරා සංස්කරණය කළ හැකි එකක් වේ යැයි තීරණය කළ නොහැකි ය. උන්වහන්සේ මනා කොට කරුණාවෙන් ප්‍රත්‍යලාභය නොතකා පෙන්වා දෙන මාර්ගය ක්‍රියාවට නැංවීමේදී, නොදත් ඇත්තන් අතින් වැරැදි සිදුවීම ස්වභාවයෙන් ම සිදු වෙයි. බුදුරජාණන් වහන්සේ නිග්‍රහ කළේ වරදකරුට නොව, වරදට ය. විහාරස්ථානවල සීල සමාදානයේ යෙදෙන උවසු උවැසියෝ ස්වකීය වැරැදි නිවැරැදි කර ගැනීමට සැම විටම කැමැති වෙති.

මේ අනුව පොහෝ දිනවල සීල සමාදානයේ යෙදෙන දහස් ගණනින් වන අප රටේ උපාසක උපාසිකාවන් දෙස ශාසනික වශයෙන් මීට වඩා ධනාත්මක දෘෂ්ටි කෝණයකින් බැලිය යුතුව ඇතැයි සිතමි. ඒ අයත් නොමැති නම් පන්සල වියළි භූමියක් සේ වනු ඇත. එය බෞද්ධ කටයුතු හා සම්බන්ධ ආයතනික පදනමින් රාජ්‍ය මට්ටමේ අවධානයට ලක් විය යුතු ජාතික මට්ටමේ සංවිධානාත්මක කටයුත්තක් වීම යෝග්‍ය බව පෙනේ. ශාසනාරක්ෂක මණ්ඩල හා දායක සභා මගින් මේ සඳහා පිඹුරු පත් සකස් කළ හැකි ය. හුදෙක් විහාරවාසී ස්වාමීන් වහන්සේට පමණක් මේ කටයුත්ත කළ හැකි නොවේ. එය ගිහි පක්‍ෂය සඳහාම වන වැඩපිළිවෙළක් නිසා ඒ අය මෙහි යම් මූලිකත්වයක් ගත යුතුව ඇත. කෙටියෙන් කිවහොත් ශාසනික මූල කේන්ද්‍රස්ථානවල අනුශාසකත්වය යටතේ ගිහි පැවිදි උභය පාර්ශ්වීය සියලු දෙනාගේ කරුණාධ්‍යාශයෙන් මෙකී සීල සමාදාන වැඩසටහන් විධිමත් කළ යුතු බව පෙනේ. එවිට වියපත් අය පමණක් නොව තරුණ පිරිස ද ඒ සමඟ ක්‍රමයෙන් සම්බන්ධ වනු ඇත.

නොකරුණෙහි පැහැදීමත්, නිවැරැදි මඟෙහි අනවබෝධයත්, සීලය නිසි ලෙස නොරැකීමත් යන සියලු කාරණා ළදරු වූ ද, ලාමක වූ ද, අමූලිකා ශ්‍රද්ධාවේ ම ස්වරූපය යි. සීල සමාදානයේ යෙදෙන බෞද්ධ පිරිස මෙම වැරැදි ශ්‍රද්ධා රාමුවෙන් යම් තරමකින් හෝ මුදාගෙන, ඉන්ද්‍රිය සංවරය මගින් ඇලීම් ගැටීම් නිව නිවා යන මඟට ඒ අය යොමු කිරීමට හැකි නම්, එය උතුම් ම කුසලයකි.

ඉල් පුර පසළොස්වක පෝය


ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 12 වන දා බදාදා අපර භාග 3.12 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා, පූර්ව භාග 11.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 12 වනදා බදාදා ය.
 

මී ළඟ පෝය නොවැම්බර් 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]